යසස්වී වෙහෙරගොඩ, තුසිතයේ කුඩා කැටයම් සඳැල්ලට පිවිස ගරාදි වැටට බර වූවා ය. ටිකක් පමා වනතුරු නින්ද ගියත්, උදෑසන නැවුම් බව තවමත් පහව ගොස් නැත. දෑස් ඉදිරියෙහි එක යායට නිල්ල දිලෙනා තණ පලස ද, පැත්තකින් රක්ත වර්ණ ගෙඩි පොකුරු නිසා අතු බිමට බර වී හිඳිනා මැලේසියානු රඹුටන් ගස ද ගෙමිදුලට විශේෂ සිරියාවක් එක් කොට තිබේ. මිදුලේ තැන් තැන් වලින් අහසට නැගී ඇති විවිධ පළතුරු ගස් වට නෙක වර්ණ මල් පඳුරු ය. සීනියාස් හා දාස් මල් නිසා පැස්ටල් පෙට්ටියක විචිත්‍ර බව මිදුල පුරා විසිරී තිබේ. කහ පාට මල් මිදුලක සුලභ මීමැසි ගුමු ගුමුවක් යසස්වි ගේ සවනත වැකේ.
තනි සුදු වර්ණයෙන් පිරියම් කළ, බීරළු හා කැටයම් වලින් ගහන, රට උළු සෙවිලි කළ පරණ වලව් පෙනුමක් මේ ගෙදර – තුසිතයෙහි- තිබේ. ගෙයි හරි මැදින් ඉදිරියට නෙරූ චතුරස්‍රාකාර පෝටිකෝවට ඉහළින්, මතු මහලේ සඳැල්ල පිහිටයි. දෙපළට ගැසූ සඳැල්ලෙහි වහළ, මල් කැටයම් වඩිම්බු ලෑලි වලින් අලංකෘත ය. සඳැල්ලට වන් කල මුළු ඉදිරිපස මිදුල ද දෙපැත්ත ද මැනවින් දැකිය හැකි වේ. දකුණු පස පිහිටි කළු පාට දෙපියන් යකඩ කැටයම් ගේට්ටු වල සිට පෝටිකෝව තෙක් ඉන්ටලොක් ගල් ඇල්ලූ පුළුල් පෙත් මඟකි. ඒ මග දෙපස, බිම බදාගත් දම්, සුදු රාජපොහොට්ටු පඳුරු වලින් සමන්විත ය. ඉදිරිපස කෙටි තාප්පයට ඔබ්බෙන් වන්නේ බස් ධාවනය වන මහ පාරයි. තාප්පය අයිනේ දිගට සිටවූ වර්ණවත් පත්‍ර සහිත විවිධ හැඩයේ ක්‍රෝටන් ගස් පෙළ නිසා මතු මහළට කෙසේ වතුදු පහළ මහළට නම් වැඩිපුර පාර පෙනෙන්නේ නැත. ගෙයට මඳක් ඔබ්බට වන්නට මිදුලේ දෙපැත්තේත් පිටුපසට සැලකිය යුතු වපසරියකත් පොල් ගස් යායකි. ඒ අතරේ ඉඳහිට තැඹිලි ගසක් ද වේ. ගෙහිමියාගේ පරපුරෙහි මුල් පුරුක් පවා යමක් කමක් තිබූ අය බව මේ නිවසත් එහි වටාපිටාවත් නිහඬව සාක්ෂි දරයි.
මිදුලේ වම් පසට වන්නට පිරිමියෙකු ව්‍යායාම කරමින් සිටින බව යසස්වී දුටුවේ, සඳැල්ලට පැමිණ විනාඩියකට දෙකකට පස්සේ ය. ඇය ඔහු දෙස බලා ආගන්තුක සිනහවක් පෑවා ය. ඔහු කවුරුන්දැයි ඇය තවමත් නො දන්නවා වී ද ඒ මේ ගෙදර නිවැසියෙකු බැවින් දුටු ප්‍රථම වතාවේ ම සිනහවකින් සංග්‍රහ කිරීම සිය යුතුකමක් සේ යසස්වි සිතුවා ය. නමුත් ඇය කොහෙත් ම බලාපොරොත්තු නොවූ ආකාරයෙන් ඔහු ඉවත බැලුවේ ඇගේ සිනහවට සිනහවකින් පිළිතුරු නො දෙමිනි. යසස්වී ගේ පපුව මැද ම ගිනියම් සුළියක් හටගති. එහෙම වුණේ ඇයිදැයි ඇයට සිතාගත හැකි වූයේ පවා නැත. අඩියක් පසුපසට ගත් ඕ වහා ම සඳැල්ලෙන් ගෙතුළට වැදුණා ය.
‘කවුරු වුණත් හිනා වුණාම හිනා වෙන්න බැරිද… මොකද කාට හිනා වුණත් ඇඟෙන් කෑල්ලක් කැඩිල යන්නෑනෙ’
ඕ දොර වසා දැමුවේ එසේ මුමුණමිනි.
අස්විද සූරියබණ්ඩාර දිගට ම ව්‍යායාම වල නිරත වූයේ ය. ඉරිදා උදයට ටික වෙලාවක් ව්‍යායාම කිරීම ඔහු ගේ පුරුද්දයි. නීතීඥවරයෙකු වශයෙන් ගෙවනා කාර්යබහුල ජීවිතය ව්‍යායාම වලින් තොර වීම නිසා ම විවිධ රෝගාබාධ ඉස්මතු වීමේ කාලය වැඩි ඈතක නොවන බව ඔහු දනී. දැන් ඔහු තිස් පස් වෙනි විය ඉක්මවමින් සිටී. අවිවේකී රාජකාරී දිවියත් එක්ක කාලය ගෙවී ගියේ නො දැන ම වී ද තිස් පහක් කියන්නේත් පොඩි වයසක් නොවන බව ඉඳහිට අස්විද ට සිතේ. හතළිහක් වූවාට පස්සේ ජීවිතයෙන් හරි අඩක් ගෙවී ගියා හා සමාන ය. දැනටම හිස කෙස් කිහිපයක් ද රැවුලෙහි තැන තැන ද සුදු වෙමින් එයි. ව්‍යායාම මඳකම නිසා උදරය ද පේන නො පෙනෙන ගාණට ඉදිරියට නෙරා එමින් තිබේ. මිනිසුන් වියපත් කරන්නට සොබා දහමට ඔය තරම් වන හදිසිය කුමක්දැයි කැඩපත ඉදිරියෙහි දී අස්විද ට සිතී තිබෙන්නේ වරක් දෙවරක් නොවේ. වයස ගත වෙන එක මෙතනින් නතර කරගත හැකි නම් ඔහු එහෙම කරනු ඇත. ඔහු ගේ ජීවන ඉරණම කෙබඳු වී ද පුළුවන් තරම් කාලයක් නිරෝගීව හා තරුණ පෙනුමට සිටීම අස්විද ගේ ඒකායන අරමුණයි.
වජිරා සූරියබණ්ඩාර උදේ කෑම මේසය සූදානම් කළේ උනන්දුවෙනි. ආහාර ඇනවුම් ලබාගන්නා අසල්වැසි නිවසකට ඉඳිආප්ප ඇනවුමක් ලබාදුන් ඕ තොමෝ, පාන් වලට පරිප්පු මිරිසට තනා තෙම්පරාදු කළා ය. ඉඳිආප්ප වෙනුවෙන් පොල් සම්බෝල ද කිරි හොදි ද ලැබුණෙන් ඕ දවල්ටත් එක්ක ම චිකන් කරියක් පිළියෙළ කළා ය. රෝස කැකුළු සහල් වලින් බතක් ද පිස මේසයට තැබුවේ, මතු මහළට පැමිණි තරුණිය යසස්වී උදයට කෙසේ කෑම ගන්නා කෙනෙකු දැයි නො දැන සිටි බැවිනි.
මතු මහළට තිබෙන්නේ නිදන කාමර දෙකක්, නාන කාමරයක් හා තරමක් ලොකු ආලින්දයකි. මතු මහල පාවිච්චි කළේ විජිත හා වජිරා සූරියබණ්ඩාර යුවළයි. ඔවුන් ගේ වැඩිමල් පුත් චේතිය විවාහ වී පුතුන් දෙදෙනා උස් මහත් වීත් තවමත් මහ ගෙදර ම ජීවත් වෙයි. අස්විද විවාහ වී නොමැති නිසා එහි ගැටළුවක් වන්නේ නැත. චේතිය ගේ බිරිඳ විවාහයට පෙර රැකියාවක් කළ ද දරු පිළිසිඳ ගැනීමත් සමග ගෙදර නතර වූ ගමන් තවමත් ගෙදර ය.
මහගෙදර නතර වූවාට ඔවුන් වෙන ම පවුලක් බව ඇරඹුමේදී ම වජිරා ලොකු පුතාටත් ලේලියටත් අවධාරණය කළා ය. ඇය නිදහස් ජීවිතයක් ප්‍රිය කළෙන්, චේතිය ගේ පවුලේ වැඩ කටයුතු ඔවුන් විසින් බලා කියාගත යුතු බවත්, තවදුරටත් ඇගේ වගකීම වන්නේ අස්විද පමණක් බවත් කියා සිටියා ය. එබැවින් චේතියලාගේ පවුලේ ඉහුම් පිහුම් පවා කෙරුණේ වෙනම ය. ගෙයි ප්‍රධාන මුළුතැන්ගෙයින් ඔබ්බට, මිදුලෙහි වෙනම හැදූ මුළුතැන්ගෙය ලොකු ලේලි නිලූකා අයිති කරගත්තා ය. ඒ එහි දර ළිපක් වන බැවිනි. වත්ත පිටියෙන් නොමිලයේ සපයාගත හැකි දර වලින් පිරිමසාගත් විට ගෑස් වලට අමතර වියදමක් දැරිය යුතු නැති වීම ඇයට සහනයක් විය. නමුත් නැන්දණිය වජිරා දර ළිපේ උයා දැළි කුණු තවරාගන්නට අකමැති වූ නූතන ස්ත්‍රියක වූවා ය.
‘උදේට මුකුත් හදන්නෙපා’
කියා වජිරා උදයෙන් ම නිලූකා ට දැනුම් දුන්නා ය. නිලූකා ගේ මූණේ නැගුණේ පුළුල් සිනහවකි. එක වේලක් හෝ නැන්දම්මාගෙන් පිරිමැසෙන විට කඩයප්පන් වලට වැය කළ යුතු මුදල පසුම්බියෙහි ඉතිරි වේ.
උඩ කාමරයට පැමිණි ගෑනු ළමයාව පවුලේ අයට හඳුන්වා දෙන ගමන් ඇයට උදය ආහාර වේලෙන් සංග්‍රහ කිරීම වජිරා ගේ කැමැත්ත විය. යසස්වි ට කොළඹ නතර වීමට කාමරයක් ලබා දිය හැකි දැයි විමසා සිටියේ වජිරා ගේ පැරණි මිතුරියක වූ චාරුනී ය. යසස්වි වූ කලී චාරුණී ගේ බාල ම සොයුරිය ගේ දියණියයි. ඇය අනුරාධපුරයේ ව්‍යාපාරික පවුලක දියණියකි. වැදගත් කුළ කාන්තාවක වූ වජිරා ට මිතුරිය ගේ ඉල්ලීම ප්‍රතික්ශේප කළ හැකි වූයේ නැත.
‘දුව බ්‍රෙක්ෆස්ට් ගන්න එන්න’
යනුවෙන් වජිරා ඇරයුම් කරනා විට, යසස්වි සිතමින් සිටියේ ක්ෂණික නූඩ්ල්ස් එකකින් උදය ආහාර වේල පිරිමසා ගන්නටයි. තවමත් විසි හැවිරිදි යුවතිය ගේ මුව මත මල් දෙපෙති සිනහවක් විකසිත විය.
‘අයියෝ ආන්ටි කරදර වෙන්නෙපා’
‘නෑ නෑ කරදරයක් නෑ. ඊයෙ රෑ වෙලානෙ දුව ආවෙත්. දැන් මේ වෙලාවෙ එකපාරටම උයන්න ඕන නෑ. එන්න. අපි එක්ක කෑම ටිකක් කමු’
යසස්වී තවදුරටත් ප්‍රතික්ෂේප කරන්නට ගියේ නැත. ලී තරප්පු පෙළ බැස පහළ මහළේ කෑම ශාලාව වෙත පැමිණෙන විට, දිගු මේසය දිගට හිඳගත් පිරිමි ඇස් ගණනාවක් ඇය වෙතට යොමු වී තිබිණ. නමුත් එක් දෑසක් පමණක් ඇය කියා කෙනෙකු ගැන කිසිදු වගක් නොමැතිව දුරකතනය දෙස බලා සිටියේ ය. ඒ මීට ටික වෙලාවකට පෙර මිදුලේ ව්‍යායාම කරමින් සිටි තැනැත්තා බව යසස්වී හැඳින්නා ය.
‘මේ ඉතිං අපේ දරු මුණුපුරෝ ටික තමයි. ලොකු පුතයි එයාගෙ නෝනයි පුතාල දෙන්නයි. මේ නිලූකාගෙ නංගි දිලූපා. එයත් මෙහෙ ඉඳං තමයි ඔෆිස් යන්නෙ… එතකොට අර අපේ පොඩි පුතා අස්විද’
අනිත් හැම කෙනෙකු ම හෙලෝ හායි කියමින් ඇයව පිළිගත්ත ද අස්විද නම් දුරකතනයෙන් මෙපිටට දෑස් ගෙන ඇයට එක් බැල්මක් හෝ දුන්නේ නැත.
‘මේ මොන අහංකාර සමයමයක්ද… හිතං ඉන්නෙ එයා හේමාල් රණසිංහ කියලද කොහෙද’
යසස්වී පුටුව ඇද මේසයට හිඳගත්තේ ලස්සන පොදු සිනහවකිනි.
‘මං දිල්නුක. ඩිග්‍රි එකට සොෆ්ට්වෙයර් එන්ජිනියරිං කරනව. යසස්වි මොකද්ද කරනව කියපු ඩිග්‍රි එක…’
‘සයිකොලොජි. ෆස්ට් සෙමෙස්ටර් එකේ ගෙදර ඉඳං යුනි එකට ආවෙ. ඒක මහ එපාවෙන වැඩක් අප්ප. ඒකයි මං හිතුවෙ බෝඩින් ප්ලේස් එකක් හොයාගන්නව කියල’
‘චාරුලතාගෙ ඉල්ලීමට බෑ කියන්න බැරිකමට මිසක් තව කෙනෙක් නතර කරගන්න අපි හිතුවෙවත් නෑ. ගේ කොච්චර ලොකු වුණත් ඉඩකඩ නෑ දැන්’
නැන්දම්මා එසේ කීවේ සිය නැඟණිය නැවතී සිටින නිසා යයි උපකල්පනය කළ නිලූකා මූණ එල්ලාගත්තා ය.
‘ඇත්තටම මං මෙහෙට ආසයි. මේක හරිම යුනික් ගෙදරක්. ඔන්න ඉඩ නෑ කියල මට මෙහෙං යන්න කියන්නනං එපා ආන්ටි. කිව්වට යන්නෑ ඩිග්‍රි එක ඉවර වෙනකල්’
යසස්වි ගේ කතාව තුළ හුරතලයක් ගැබ්ව තිබිණ. ඇය සිංහල කතා කරන්නේ ඉංග්‍රීසි ඌරුවකට ය. එය හිතා මතා ඇති කරගත් ආරක් නොවන නිසා හුරතල් ය. ඒ වචන ඉසිරවීම යසස්වි ගේ හුරතල් දඟකාර පෙනුම සමගින් කදිමට පෑහෙන්නේ ය.
විජිත හඬ නගා සිනහ වූයේ ය. අස්විද එක් වරක් පමණක් ඇදෙස නෙතු ඔසවා බලා ඉඳිආප්ප කිහිපයක් පිඟාන මතින් දමාගත්තේ ය.
‘අපේ ලොකම්ම ඉස්සර මෙහෙ ඇවිත් නතර වෙලා ඉන්නවලු නේ…’
‘අපොයි ඔව්. පස්සෙ ඉතිං චාරු අනුරාධපුරේටම වුණානෙ’
වජිරා එක මොහොතක් සිය තුරුණු වියෙහි මතකයන් අතරට වී සිටියා ය. උදේ කෑම මේසයේ දී යසස්වි ට ගෙදර අය හැඳින ගන්නට හොඳට ම අවස්ථාව ලැබිණ. ඇය ඒ කෙටි කාලය තුළ එක එක්කෙනා ගැන වෙන වෙන ම යම් යම් තක්සේරු වලට ද පැමිණියා ය.
‘දැක්කද අරය හීන්සැරේ කියල දැම්ම හැටි… කොච්චර ගේ ලොකු වුණත් දැන් ඉඩ නෑ කියල…’
වියළි පොල් අතු ටිකක් කපා එකතු කරනා ගමන් නිලූකා නිලූපා දෙස බලමින් කීවේ ගේ පැත්තට ද දෑස් පා කරමිනි.
‘ඔය මහ ජෝඩුව මොනා හිත්වල තියං ඉන්නවද කියල දෙයියොවත් දන්නැතුව ඇති. තාම මහ ගේ ලිව්වෙ නෑ. මං ඒකයි ඔයාට කියන්නෙ කොහොමහරි ඔය අස්විදව යාළු කරගන්න කියල. අස්විදටයි චේතියටයි මිසක් මේක වෙන කාට කියල දෙන්නද…’
‘යාළු කරගන්න කියල බලෙං කරේ එල්ලෙන්නද අනේ. සත පහකට ගණං ගන්නෑ මාව’
‘කොහොම හරි මායමක් දාල වැඩේ කරගන්න බලනව. මේ දේපළ දවසක පිට යන්න දෙන්න ඕන නෑනෙ. අනික අස්විදට දැන් තිස් පහත් පැනල. මොකෝ විසි පහක කෙල්ලෙක් හොයන්නයෑ එයාට දැන්. මහ උන්දැගෙ උජාරුව තියෙන්නෙ පුතා ලෝයර් නිසා. ලෝයර් වුණත් ඔය වයසට කසාද හොයන්න ලේසි නෑ. ගෙයිම ඉඳලත් ඕක කරගන්න තමුසෙට බැරිනං මට කරන්න දෙයක් නෑ’
දිලූපා හෙමිහිට අක්කාගෙන් මිදී ගේ දෙසට ඇවිද ගියා ය.
වජිරාත් විජිතත් යසස්විත් කුඩා සඳැල්ලෙහි වේවැල් පුටු වල අසුන්ගත වී ආගිය තොරතුරු කතා කරමින් සිටියහ. මුළු ගෙදර ම හරි හදිසියේ අලුත් එළියකින් ආලෝකවත් වූවා සේ දැනේ. ඔවුන් දුවක බලාපොරොත්තුවෙන් සිටියත් ලැබුණේ පුතුන් ම දෙදෙනෙකි. ඔවුන් තරුණ වියට එළඹි කල දියණියන් දෙදෙනෙකු ම ලැබෙනු ඇතැයි වජිරා සිතා සිටියා ය. නමුත් නිලූකා වූ කලී ඇය කැමති විදිහේ දුවක වූයේ නැත. ඇගේ ඇතැම් සටකපට ගති පැවතුම් වලට වජිරා රිසි වූයේ ම නැත. නමුත් ඇය සිය පුතු ගේ බිරිඳ වන බැවින්, ඔවුන් ගේ යුග දිවියට අවැඩක් නොවනු පිණිස වජිරා බොහෝ තැන් ඉවසුවා ය. අඩු තරමින් චේතිය ට හෝ දියණියක ලැබුණේ නැත. අස්විද විවාහ වීම තරයේ ප්‍රතික්ෂේප කරමින් හිඳී. ඉතින් ගෑනු ළමයෙකු ගේ හුරතල් සිනා කතා හඬක් නැති තුසිතයේ පාළු හුදෙකලාව කිසි දා පහන් නොවනු ඇති බවට අනියත සංවේගයකින් වජිරා දින ගෙවමින් සිටියා ය. නමුත් ඒ පාළු නිහැඬියාව එක් රැයකින් අහෝසි වී ගොස් තිබේ. යසස්වි ගේ සිනා කතා හඬින් තුසිතය පිරී යන්නට ගෙන තිබේ. ඒ වජිරා ගේ සේ ම විජිත ගේ ද හදවත් වල වූ අඳුරක් පළවා හරිමිනි.