පොළොව දෙදරුම් කෑ ආදර කතාවක් – Dil Dhadak Dhadak

අද අපි ඔයාලා එක්ක බෙදාගන්න යන්නෙ හින්දි බාෂාවට ඩබ් කරපු තෙලිඟු චිත්‍රපටයක් ගැන. මේකේ හින්දි චිත්‍රපටයේ නම Dil Dhadak Dhadak. ඒත් Original Film එකේ නම Padi Padi Leche Manasu. ඉතින් මොන භාශාවෙන් ගත්තත් මේ නමේ තේරුම ගැහෙන හදවත කියන එකයි.

ඉතින් මේ හින්දි භාශාවට ඩබ් කරපු මේ තෙලිඟු චිත්‍රපටයේ රඟපාන්නෙ අපි ගොඩක් ආදරය කරන තෙලිංගු චිත්‍රපට නිලියක් වන සායි පල්ලවී.

සායි පල්ලවීට අමතරව Sharawanand, Priya Raman, Sampath Raj රඟපාන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරේ හනු රාඝවපුඩි.

කතාව දිග ඇරෙන්නෙ මෙන්නෙ මෙහෙම.

මේ කතාවට පසුබිම වෙන්නෙ කල්කටාව. මේ ප්‍රදේශයේ ඉන්නව සූරිය කියන කොල්ලෙක්. එයා පාපන්දු ක්‍රීඩකයෙක්. මේ පාපන්දු ක්‍රීඩකයා වෛද්‍ය ශිෂ්‍යාවක් වන වෛශාලිට වහවැටෙනවා. හැබැයි ඉතින් වෛශාලි කියන්නෙ මේ එහෙම ලේසියෙන් කොල්ලෙක්ට කැමති වෙන කෙල්ලෙක් නම් නෙවෙයි.

කොහොමත් ඉතින් ගොඩක් ආදර කතාවල මුලින්ම කෙල්ල ඕනවටත් වඩා ගණන් උස්සන සීන් තියෙනවනෙ. ඉතින් මේ වෛශාලිත් එහෙම පොඩි ගණන් ඉස්සීමක් කරනවා. සූරියට ලේසිවෙන්නෙ නෑ කෙල්ලව තමන්ගෙ පැත්තට නම්මගන්න. හැබැයි ඉතින් කොල්ල වැඩේ අතාරින්නෙත් නෑ.

හැබැයි ඉතින් උත්සහවන්තයා ජය ගනී කියන කතාව ඔප්පු කරගෙන ඔන්න වෛශාලි කොල්ලට හා කියල කියනව. ඉතින් ආයෙ අහන්න දෙයක් නෑනෙ කොල්ලගෙ සන්තෝසෙ ගැන.

ඉතින් සුපුරුදු ආදර කතාවක් විදියට දිගටම ඇදීගෙන යන මේ කතාව එක තැනක නතර වෙන්න හේතුවක් වෙනවා. ඒ තමයි ආදර සබඳතාවයක ඉද්දි අපි හැමෝම දන්න දෙයක්නෙ කෙල්ලො ඔය සම්බන්ධෙ පරතෙරටම කල්පනා කරනව කියන එක. ඉතින් වෛශාලිත් සූරිය එක්ක එයාලගෙ මේ ආදර සබඳතාවයේ අනාගතය එහෙම නැත්තම් විවාහය ගැන කතාකරනවා.

හැබැයි එතනදි තමයි අපිට තේරෙන්නෙ සූරිය මේ වෛශාලිව තමන්ගෙ කරගන්න මොන තරම් වලිකෑවත් මිනිහට මේ සමබන්ධෙ ආදර සම්බන්ධයක් කියන දෙයින් එහාට ගෙනියන්න උවමනාවක් නැති බව.

ඒ කතාබහ අහරිම තීරණාත්මයෛ.

ඇත්ත ජීවිතේදිත් ආදර කතා ඇතුලෙ මේ වගේ තීරණාත්මක කතා බස් ඇතිවෙන තැන් ඕනතරම් තියෙනව. සමහර වෙලාවට ඔයාට මේ චිත්‍රපටය බලද්දි ඔයාටත් ඔයාගේ ආදර කතාව ඇතුලෙ ඇතිවෙච්ච ඒ වගේ තීරණාත්මක නිමේෂයන් මතක් වෙන්න පටන් ගනීවි. හිත රිදෙයි. කඳුලු එයි. ඒත් අමතක කරන්න එපා, ආදරේ කවදාවත් පරාද වෙන්නෙ නැති බව.

තමන් මේ සබඳතාවය විවාහයෙන් කෙලවර විය යුතුයි කියල හිතාගෙන ඉන්න වෛශාලි තේරුම්ගන්නව සූරියා කැපවෙන්න බයයි සබඳතාවයකට කියල. ඉතින් වෛශාලි මෙන්න මෙහෙම කියනවා “අපි තව අවුරුද්දකින් නේපාලයේ කත්මන්ඪු නුවරදි හමුවෙලා මේ ගැන කතාකරමු”

ඔයාල හිතනවද මේ තරුණ පහේ කෙල්ලෙක් සහ කොල්ලෙක් ඔය විදියට අවුරුද්දකින් හමුවෙනව කියල දීපු පොරොන්දුවක් ඒ විදියට ඉටු වෙයි කියල?

ඒත් කතා කරගත්ත විදියට මේ දෙන්න අවුරුද්දකට පස්සෙ තමන්ගේ ආදරය ගැන තීරණාත්මක තීරණයක් ගන්න නේපාලයේ කත්මන්ඩු නුවරට එනවා.

වෛශාලි සෙනග ගොඩේ සූර්‍යව හොයනව.

සූර්‍යා වෛශාලිව හොයනවා.

හදවත් දෙකක් ගැහෙනව.

ඒත් ඇත්තටම ගැහෙන්නෙ හදවත් දෙකක් විතරක්ම නෙවෙයි. මහ පොලොවත් ගැහෙනවා. ඒ මේ සූර්‍යා වෛශාලි ආදර කතාවේ තීරණාත්මක බව නිසාද?

ඇත්තෙන්ම ඒ ප්‍රශ්නයට උත්තර දෙකක් තියෙනව ඔව් සහ නෑ.

ඒ 2015 අවුරුද්දෙ නේපාල භූමිකම්පාව සිදු වෙච්ච දවස. ඒ භූමිකම්පාව අතරවාරෙ තමයි මේ තීරණාත්මක දෛවයක් අතේ හිරකරගෙන එකිනේකා එක්ක ආදරයෙන් බැඳිච්ච මේ ආදරවන්තයො දෙන්න එකිනෙකාව හොයන්නෙ.

වෛශාලිට භූමිකම්පාව නිසා තුවාල සිදු වෙනව. එයාව බේරගන්න පුලුවන් උනත් ප්‍රතිගාමී සිහුමුර්ජා තත්වයකින් එහෙම නැත්තම් Retrograde amnesia කියන රෝගී තත්ත්වයෙන් වෛශාලි පීඩා විඳිනව. එයාට හැමෝවම මතකයි. ඒත් සූර්‍යව මතක නෑ. පවුලෙ හැමෝම එක්ක සන්තෝසෙන් ඉන්න වෛශාලිව දකින සූර්‍යා ආදරේ හැබෑවටම තේරුම්ගන්නෙ එතනදි.

තමන් වෛශාලිට ආදරේ බවත්, වෛශාලිට මෙහෙම දෙයක් වෙන්න තමනුත් හේතුවක් කියන කතාව අමතක කරන්න බැරි නිසාම සූර්‍යා ආයෙම වෛශාලි එක්ක ආදරයෙන් බැඳෙන්න තීරණය කරනවා.

කලින් වතාවෙ වගේම. එයා වෛශාලි පස්සෙන් යනව. වෛශාලිගෙ ආදරේ දිනාගන්න උත්සහ කරනවා. සූර්‍යගෙ තාත්තා ප්‍රසිද්ධ ලේඛකයෙක්.ඉතින් ඒ ලේඛකයගෙ දේශනයක් අහන්න වෛශාලි දවසක් එනව. ඒ එයාගෙ අම්ම එක්ක.

එතනදි තමයි වෛශාලි දෙවනි වතාවට සූරියා එක්ක ආදරයෙන් බැඳෙන්නෙ. වෛශාලි තේරුම් ගන්නව තමන් සූර්‍යට ආදරේ බව. වෛශාලිට උවමනා වෙනවා සූර්‍යගේ ආදරේ මුලු ජීවිත කාලය පුරාවටම තමන්ට අයිති කරගන්න.

වෛශාලි සූර්‍යගෙන් අහනවා “අපි බඳිමුද?”

මේ මොහොත බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ට හිතෙනව කලින් වතාවෙ වගේම මෙ දෙවනි ආදරයත් වෛශාලි සහ සූර්‍යට හරිම තීරණාත්මක බව. කලින් වතාවෙත් ආදර කතාව නොහිතපු කෙලවරකට ඇදිල ගියේ මේ විවාහයක් ගැන කතාව නිසා. යන්තම් ජීවිතේ බේරගෙන ඔලුව උස්සගත්තයින් පස්සෙ ආයෙම වතාවක් ඒ තීරණාත්මක ප්‍රශ්නෙම ඒ දෙන්න ඉස්සරහට ඇවිත්?

ඉතින් සූර්‍යා තමන්ගෙ ජීවිතේ දෙවනි වතාවට එකම ප්‍රශ්නෙට එකම උත්තරේ දේවිද?

එහෙම නැත්තම් වෙන උත්තරයක් දේවිද?

ඒ ගැන දැනගන්න ඔයාල  Dil Dhadak Dhadak එහෙමත් නැත්තම් Padi Padi Leche Manasu චිත්‍රපටය බලන්න.

 Dil Dhadak Dhadak කියල හින්දි බාශාවට ඩබ් කරපු චිත්‍රපටයට වඩා මගෙ නම් හිත ගත්තේ Padi Padi Leche Manasu කියන තෙලිගු චිත්‍රපටය. සබ්ටයිටල් එක්ක තෙලිංගු චිත්‍රපටයක් බලන එක අපහසු නැත්තම් මගෙ රෙකමන්ඩේශන් එක ඔයාලත් ඒකම බලන්න කියන එක.

කොහොම නමුත් අමතක කරන්න හොඳ නැති දෙයක් තියෙනව.

ජීවිතේ සමහර වෙලාවට අපිට එකම ප්‍රශ්නෙට ජීවිතේ ඇතුලෙ දෙවතාවක් උත්තර දෙන්න වෙයි. එහෙම අවස්තා එන්නෙ හරිම කලාතුරකින්. ඒත් ඒ වගේ ප්‍රශ්නවලට උත්තර දෙද්දි බොහොම සිහිකල්පනාවෙන් උත්තර දෙන්න අමතක කරන්න එපා.

මොකද හැමදේම දෙවතාවක් අපිට මුණ ගැහෙන්නෙ නැති හන්දා!

Related Articles

Don't Miss


Latest Articles