ආදර සැලසුම් – 10

0
2619

දහවල් කෑම වේලාව ආවේය. සහෘද සේවක සේවිකාවන් කිහිප දෙනෙක් දහවල් කෑමට යාම සඳහා මෞර්යාට ආරාධනා කළෝය. නිල්මිණී විසින් සකස් කර දුන් බත් පතද රැගෙන මෞර්යා කෑම කාමරය වෙත ආවාය. කාර්යාලය මෙන්ම කෑම කාමරය ද ඉතා සිත් ගන්නා සුළු ලෙස සකස් කර තිබුණි. එය පිරිසිදු කිරීමට සහ තේ සකස් කිරීමට මෙන්ම තේ පිළිගැන්වීමටද සේවක සේවිකාවන් කිහිප දෙනෙක්ම එහි වූ අතර ඔවුන්ද අනෙක් සියල්ලන් මෙන්ම ඉතා සුහදශීලී සහ කාරුණික අය වූහ. කෑම කන අතරේ තම තොරතුරු අන් අය හා සීමා සහිතව බෙදාගත් මෞර්යා තම පියා සතු ව්‍යාපාර පිළිබඳව සහ තම වත් පොහොසත්කම් පිළිබඳව නොකියා ඉන්නට ප්‍රවේශම් වූවාය.

නිවසින් පිටතට පැමිණීමෙන් පසුව ආදිත්‍ය කාර්යාලයට පැමිණියේ නැත. ඒ වෙනුවට ඔහු හෝකන්දර පිහිටි තම මව හා සහෝදරයා වෙසෙන නිවස වෙත රථය පැදවුයේය. ගේට්ටුව අසල වාහනය නතර කළ ආදිත්‍යය අශිකාට දුරකථන ඇමතුමක් ගත්තේ ඉන් අනතුරුවය.

” අම්මා ” 

” ආදිත්‍යය ? කියන්න පුතේ ? “

” මං ගේට්ටුව ඉස්සරහ අම්මා “

අශිකා දුරකථන ඇමතුම විසන්ධි කර ස්වයංක්‍රීය ගේට්ටුව විවෘත කළාය. ආදිත්‍ය වාහනය මිදුලේ නතර කර ඉන් බැස්සේ මලානික මුහුණට කොහේදෝ නැති ප්‍රබෝධයක් මවා ගනිමිනි. එහෙත් අශිකාට ආදිත්‍ය සිටින්නේ හොඳින් නොවන වග වටහා ගැනීමට අපහසු වූයේ නැත. 

ආදිත්‍ය වචනයක්වත් නොපවසා ගෙට ඇතුළු වී සෝෆාවේ වාඩිවී දෑස් පියා ගත්තේ ගැට ගසා තිබුනු කොන්ඩය මුදා හරින අතරේය .අශිකා දොරකඩ සිට මොහොතක් ආදිත්‍ය දෙස බලා සිට ඔහු අසලින් වාඩි වූවාය.

” මල්ලි කිව්වා ෂෙහාරාට සනීප නැති නිසා ඔයා ගෙදර ගියා කියලා ” 

ආදිත්‍ය දෑස් හැරියේය. හිතට දැනෙන දරා ගත නොහැකි බර මව ඉදිරියේවත් නිදහස් කර හැරිය යුතු බව සිතුනත් ඇය විඳි සහ තවමත් විදිමින් සිටින දුක් කන්දරාව අනුව ආදිත්‍යයට ඊට හිත හදා ගැනීමට හැකි වූයේ නැත.

” පොඩි ඔළුවේ කැක්කුමක් හැදිලා අම්මා. මං මේ එයාට බෙහෙත් ටිකක් අරන් දීලා එන ගමන් ” 

” ඔයා කාලා නෑ නේද ආදිත්‍ය ? ” 

” කන්න වෙලාවක් තිබ්බේ නෑ අම්මා.ආපහු ඔෆිස් එකට යන්නත් ඕනේ. ටික දවසකින් මේ පැත්තෙ එන්න බැරි උන නිසා මම මේ ආවේ ” 

” ඉන්නකෝ ” 

අශිකා වාඩි වී හුන් තැනින් නැගිට මුළුතැන්ගෙය දෙසට ගියාය. ඇය ඔය යන්නේ කුමකට දැයි ආදිත්‍ය දනීයි. බලාපොරොත්තු වූ පරිදිම අශිකා බත් පිඟානක් බෙදා ගෙන විත් ආදිත්‍ය ළඟ වාඩි වී එය අනන්නට පටන් ගත්තාය.පිඟානේ ඇති සුදු කැකුළු බතට හැදූ අල ව්‍යාංජනයත් , මාළු ඇඹුල්තියල් ව්‍යාංජනයත් සහ කොළ මැල්ලුමත් දුටු ආදිත්‍යයගේ කටට කෙල උනා ආවේය.අශිකා බත් කටවල් එකින් එක කවද්දී ආදිත්‍ය වචනයක් වත් නොකියා ඉතා ආසාවෙන් කෑවේය. නිවසේ හැදූ මෙවැනි ආහාර වේලක් රස විඳින්නට හැකි වන්නේ මෙවැනි මොහොතක පමණි. 

විවාහ වූ මුල් දිනවල ෂෙහාරා විසින් යූටියුබ් නාලිකා නරඹමින් අමාරුවෙන් ගිල දැමිය හැකි ව්‍යංජන දෙක තුනක් සමග බත් පිසුවද මාස දෙක තුනක් යන විට ඇය එය අත හැර දැමුවාය.ඉන්පසුව ඇය ඉඳහිට බටහිර කෑමක් , සැන්විච් එකක් හෝ වෙනත් කුඩා සහ සරල කෑමක් පිළියෙල කළා මිස බඩ පිරෙන්නට කෑ හැකි යමක් පිළියෙල කලේම නැත.

අශිකා බෙදාගෙන පැමිණි බත් පිඟානම ආදිත්‍යයට කැව්වාය. ඉන් පසුව මුළුතැන්ගෙයට ගොස් අත සෝදාගෙන වතුර වීදුරුවකුත් ආදිත්‍යයට ගෙනවිත් දුන්නාය.

” දැන් ඔෆිස් යන්න පුතේ. ඒ වැඩ මඟ ඇර ගන්න එපා. ඔයාට ඕනෙ නම් මං හෙට ඉඳන් මල්ලි අතේ ඔයාටත් කෑම එකක් එවන්නම් ” 

අෂිකා කීවේ ආදරයෙනි. ආදිත්‍යයට කාර්යාලයට ගෙන යන්නට ෂෙහාරා කෑම පිස දෙන්නේ නැති බවත් , ආදිත්‍ය ආහාර ඇණවුම් කර ගෙන්නා ගන්නා බවත් අභිමන් බොහෝ අවස්ථාවලදී සවස නිවසට පැමිණි පසු අශිකාට කියන්නේය. ඒ පිළිබඳව ආදිත්‍යගෙන් කෙලින් අසන්නට බැරි කමක් අශිකාට තිබුණත් ඒ බව විමසන්නේ නැතිව ඔහු වෙනුවෙන් කල හැකි දේ පමණක් අශිකා පවසන්නට වග බලා ගත්තාය.

” එපා අම්මා. අම්මා කරදර වෙන්න එපා ” 

ආදිත්‍ය සෝෆාවෙන් නැගිට්ටේ දෑතින්ම කොණ්ඩය එකතු කර හිස මුදුනට වන්නට බැඳගන්නා අතරේය.

” මට මොන කරදරයක්ද ළමයෝ. කොහොමත් මල්ලිට කෑම හදන එකේ තව බත් එකක් එවන එක මට මහ දෙයක් නෙමෙයි ” 

අශිකා අවසන් තීරණය දුන් පසු එයට කිසිවක් නොකියා ආදිත්‍ය අශිකාට වැඳ වාහනයට නැග කාර්යාලයට එන්නට පිටත් වූයේය.

මෞර්යා කාර්යාලයේ පළමු දිනය ඉතා සැහැල්ලුවෙන් ගෙවමින් උන්නාය. ඇයට නියමිත වූ පළමු කාර්ය සාර්ථකව නිමා කළ පසුව ඇගේ අංශ ප්‍රධානියා වූ හේමන්ත ගෙන් ඇයට කැඳවීමක් ලැබී තිබුණි.

” ඔයාගේ පළවෙනි වැඩේ හරිම ලස්සනයි මෞර්යා. ඒ වගේම හරිම ක්‍රියේටිව්. ඇත්තටම කිව්වොත් මං මෙච්චර බලාපොරොත්තු වුණේ නෑ ඔයාගෙන්. මං හිතුවේ මට හදන්න දේවල් ගොඩක් තියෙයි කියලා ” 

මෞර්යා සන්තෝසයෙන් ඉපිල ගියාය. පළවෙනි දිනයේම තම අංශ ප්‍රධානියාගෙන් මෙවැනි ඇගයීමක් ඇය බලාපොරොත්තු වූයේම නැත. 

” තෑන්ක් යූ මිස්ටර් හේමන්ත ” 

හේමන්ත තවත් කෙටි වේලාවක් ඉදිරි වැඩ කටයුතු පිළිබඳව විස්තරයක් මෞර්යා වෙත ඉදිරිපත් කළාය. එහි අපැහැදිලි වූ තැන් කිහිපයක් මෞර්යා හේමන්ත ගෙන් අසා දැනගත් අතර හේමන්ත ඉතා සුහදශීලීව මෞර්යාට මග පෙන්වීම් සිදු කළේය.

ආදිත්‍ය නැවත කාර්යාලය වෙත පැමිණියේ මෞර්යා හේමන්ත ගේ කාර්යාල කාමරයේ සිටින අතරය. මෞර්යා පිළිබඳව එකදු සිතුවිල්ලක් හෝ ඒ මොහොතේ ආදිත්‍යගේ සිතට නොපැමිණි අතර ඔහු විදුලි සෝපානයෙන් පිටතට පියවර තැබූ මොහොතේ සිටම කල්පනාබරව තම කාර්යාල කාමරය වෙතට ඇතුළු වී නැවතත් වැඩ ආරම්භ කළේය.

මෞර්යා සවස පහයි තිහ වන විට කාර්යාලයෙන් පිට වූවාය. ඒ ගෙවුණු දවස ගැන ඉතා තෘප්තිමත් සහ සතුටුදායක වූ හැඟීමකිනි. ඇය නිවසට පැමිණෙන විට චන්දික නිවසේ නොසිටි අතර ගෙවුණු දවස පිළිබඳව විස්තරය දැනගන්නට නිල්මිණී ද නොඉවසිල්ලෙන් සිටියාය.

” ඇති යන්තම් ඔයාට හොඳ තැනක් හම්බ වුණා. ඒ වුනාට ඉතින් පළවෙනි දවසෙන්ම කියන්න බැහැනේ ඒ තැන කොහොමද කියලා. ඒ නිසා ඔයා තව ටික දවසක් ඔහොම වැඩ කරගෙන යන්න මෞර්යා ” 

මෞර්යා ඉතා ආසාවෙන් කාර්යාලයේ විස්තරය පැවසූ පසුව නිල්මිණී තුළ වූයේ එවන් අදහසකි. නිල්මිණි සකස් කර දුන් කෝපි එකද රසවිඳීමෙන් පසුව මෞර්යා කාමරයට පැමිණියේ ඇවිදින මං තීරුව වෙත යාමට සූදානම් වීමටය. රැකියාව නිසා හෝ එය මගහැර ගැනීමට මෞර්යාට වුවමනා වූයේ නැත. ජීවිතයේ වෙනදාට වඩා පරිපූර්ණව සහ සැලසුම් සහගතව ගෙවී යන බව මෞර්යාට දැනෙමින් තිබුණි.

මෞර්යා ඇවිදින මං තීරුව වෙත යාමට පිටත් වූයේ සවස හත පමණ වන විටය.ඒ වනවිට අඳුර වැටී තිබුණු නිසා ඇය නිවසින් පිට වනවාට නිල්මිණී ගේ එතරම් කැමැත්තක් නොවුනත් ඉඳහිට මෞර්යා මෙවැනි වේලාවල් වලද මං තීරුව වෙත යන නිසා නිල්මිනීට විහිළුවක්ද කර මෞර්යා නිවසින් පිට වූවාය.

අත්‍යවශ්‍ය වැඩ කටයුතු කිහිපයක් පමණක් නිමා කොට ආදිත්‍ය සවස හය හමාර පමණ වන විට කාර්යාලයෙන් පිටවූ අතර එසැණින්ම නිවසට යන්නට ඔහුට හිත දුන්නේ නැත. එම නිසා ඔහු අතරමඟදී හමුවන ඇවිදින මං තීරුව අසල වාහනය නතර කර ඉන් බැස වාහනයට හේත්තු වූයෙ අත්දිග කමිසයේ දෑත් වැලමිට තෙක් නවාගන්නා අතරේය.

ඇවිදින මං තීරුව වෙත රථය පදවන අතරේ හදිසියේම මෞර්යාට සිහිපත් වූයේ ආදිත්‍යවය. හිසේ පිටුපසට වන්නට ගැටගසා තිබූ තැනින් තැන තඹ පැහැ ගැන්වූ ඔහුගේ කොණ්ඩය උරහිස තෙක් වත් දිගු ඇතැයි මෞර්යා සිතුවාය. සමහර විටක මේ වන විට ඔහුට තමා පිළිබඳව මතකයක් වත් නැතිව ඇතැයි ද සිතමින් මෞර්යා මං තීරුව අසලට වන්නට වාහනය නතර කර ඉන් බැස්සාය.

මෞර්යා අත බැඳි ස්මාර්ට් ඔරලෝසුවේ පියවර ගණනය කරන විධානය ක්‍රියාත්මක කරන අතරේ ඇවිදින මං තීරුවට පිවිසීමට සූදානම් වූවාය. වාහනයට හේත්තු වී ඇවිදින මං තීරුව දෙස අරමුණකින් තොරව බලාහුන් ආදිත්‍ය මං තීරුවේ තැනින් තැන ඇති විදුලි පහන් වල ආලෝකයෙන් මෞර්යා අත බැඳි ඔරලෝසුව දෙස බලාගෙන මං තීරුවට පිවිසෙන්නට සූදානම් වන අයුරු දුටුවේය.

” Excuse me ” 

තමාට අඩි කිහිපයක් නුදුරින් ඇවිද යන මෞර්යාට ඇසෙන්නට ආදිත්‍ය තරමක හඬින් කෑ ගැසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here