නොසිතූ මොහොතක අහම්බෙන් මෞර්යා මුණගැසීම ආදිත්‍යගේ සිතට කිව නොහැකි තරමේ සියුම් සතුටක් එකතු කරමින් තිබුණේය. එයට නිශ්චිත හේතුවක් කිව නොහැකි වුවත් එය සැනසිලි දායක හැඟීමක් විය. සතුටුදායක දවසක් අවසන් කිරීමට මත්තෙන් ඇවිදීමට සිතා පැමිණි මෞර්යා ඇවිදින මං තීරුවට පිවිසෙන්නට ඔන්න මෙන්න තිබියදී තිගැස්සි හැරී බැලුවේ ආදිත්‍ය ගේ හඬටය. පෙර දිනයේ මුණගැසුණු දේහධාරී කඩවසම් තරුණයා ඔහුගේ රථයට හේත්තු වී තමා දෙස බලා සිටින ආකාරය මෞර්යා දුටුවේ ඉන් අනතුරුවය.
” What a surprise ”
මෞර්යා අඩියට දෙකට ආදිත්‍ය සිටි තැනට පැමිණියාය. ආදිත්‍ය වාහනයට හේත්තු වී හුන් ඉරියව්වෙන්ම මෞර්යා තම සමීපයට පැමිණෙන තුරු බලා සිටියේය.
” මං මේ ඇත්තමයි කියන්නේ , මට මෙතනට එනකොට ඔයාව මතක් උනා ”
මෞර්යා කිංකිණි හඬකින් සිනාසුනාය.
” බොරු නේද ? එහෙම මාව මතක් වෙන්න හේතුවක් නෑනේ ඔයාට ”
ආදිත්‍ය කීවේ අඩමානයටය. අඩ අඳුරේ වුවද මෞර්යා ගේ දෑස් දීප්තිමත්ය. ඇගේ වත පැහැබරය. එහි ඇත්තේද අව්‍යාජ බවකි. ඇය සිනාසෙන්නේ කුඩා ළදැරියක සේය.
” ඇත්තමයි අනේ මට ඔයාව මතක් උනා. දැන් ඔයාට කොහොමද ? ”
මෞර්යා ඇසූ පැනයට පිළිතුරු දීමට ආදිත්‍යය මොහොතක් ගත කළේය. ශාරීරික මෙන්ම මානසික අතින්ද තමා බොහෝ සේ විඩාවට පත්ව සිටින බව තමාට හිතැති අයෙකුට පවසා හිත නිදහස් කර ගැනීමේ දැඩි උවමනාවකින් ආදිත්‍ය පෙළුනේය. එහෙත් මෞර්යා යනු තවමත් තම ජීවිතයට ආගන්තුකයෙකි.ඊටත් වඩා ඇයව හඳුනාගෙනද බොහෝ කාලයක් ගත වූයේ නැත. ඒ නිසා තමාට ඇය ඉදිරියේ විවෘත විය නොහැක.
” මං හොඳින් ”
ආදිත්‍ය පිළිතුරු දුන්නේ ආයාසයෙනි. මෞර්යා තමාට වඩා වයසින් බොහෝ ලාබාල විය යුතුය. ඇවිදින මං තීරුවේ සහ මාර්ගයේ ඇති විදුලි පහන් වල එළියෙන් මෞර්යා ආදිත්‍ය ගේ මුහුණ පැහැදිලිව දැක ගත්තාය. ඔහු කියනා තරම් හොඳක් ඔහුගේ මුහුණේ පෙනෙන්නට නැත. ඔහු සිනාසෙන්නට වෙර දරුවත් ඔහුගේ මුහුණේ සැඟවුණු කුමක්දෝ මලානික බවක් ඇතැයි මෞර්යාට සිතුණි.
” ආදිත්‍යය ”
මෞර්යා ඇසෙන නෑසෙන ගානට ආදිත්‍ය ඇමතුවාය. වාහනයට හේත්තු වී මං තීරුව දෙස බලා සිටි ආදිත්‍ය හිස හරවා මෞර්යා දෙස බැලුවේය.
” මං ඔයාට නම කියලා කතා කළාට ඔයාගේ වයස කීයද කියලා දන්නේ නැහැනේ ”
ආදිත්‍ය පුදුම වූයේය. මෞර්යා තමාට වඩා බොහෝ ලාබාල ඇතැයි තමා සිතුවේ තප්පර ගණනාවකට පෙරය.
” මට තිස් පහයි ”
ආදිත්‍ය සෘජුව පිළිතුරු දුන්නේය.
” අනේ ? ඒ කියන්නේ ඔයා මට වැඩිය සෑහෙන්න වැඩිමල් නේ ? ”
මෞර්යා හඬ නගා සිනාසුනේ පාසල් යන වියෙහි පසු වන කුඩා කෙල්ලක සේය. ඇය වෙතින් දිස්වන සරල බව ආදිත්‍ය ගේ සිත් ගත් අතර ඇය හදවතින් නැගෙන අව්‍යාජ වූ සතුටෙන් සිනාසෙන ආකාරය ආදිත්‍ය බලා උන්නේ ය.
” ඔයා දන්නවද මට වයස කීයද කියලා ? ”
ආදිත්‍ය නිහඬව බලා සිටින අතරේ මෞර්යා නැවත ඇසුවාය. ආදිත්‍ය මොහොතක් කල්පනා කළේය. සමහරවිට මෞර්යා ෂෙහාරාගේ වයස පමණ විය යුතුය.
” විසි අටක් විසි නමයක් වගේ ? ”
ආදිත්‍ය පිළිතුරු දුන් විට මෞර්යා නැවත හඬ නගා සිනාසුනාය. ඇය ආදිත්‍ය ඉදිරියේ උන්නේ කුරුලු පියාපතක් මෙන් සැහැල්ලුවෙනි.
” පිස්සුද ? මට විසි පහයි අනේ ”
මෞර්යා සිනහව නතර කර කීවාය.තමා සිතුවා නිවැරදිය.ඇය තමාට වඩා දස වසරකින් ලාබාලය. ආදිත්‍ය කල්පනාවේ නිමග්නව සිටින අතරේ මෞර්යා තවත් පියවරක් දෙකක් ඉදිරියට පැමිණ ආදිත්‍යයට මදක් නුදුරින් ඔහුගේ රථයට හේත්තු වූවාය.
” එහෙනම් මං ඔයාට අයියා කියන්නද ? ”
” අපෝ එපා. මට ආදිත්‍ය කිව්වම ඇති ”
ආදිත්‍යය මෙතෙක් වෙලා සිටි ඉරියව්ව මාරු කරමින් මෞර්යාව පෙනෙන සේ සිට ගත්තේය.
” අද ඇවිදින්න යන්නේ නැද්ද එතකොට ? ”
ආදිත්‍ය මෞර්යා දෙසට හැරුණේය. ඇයව මුලින්ම මුණගැසුනේ උදේ වරුවකය. ඇය රැකියාවට යාම ආරම්භ කළ නිසා ඇවිදීමට සවස් වරුව යොදා ගත්තා විය හැකිය.
” මං ආවෙ පුරුද්දට වගේ. අනික , මම මේ හෙන කාලෙකින් ආවේ හවස ඇවිදින්න ”
” ඇයි ඒ ?”
” මං අද අලුත් ජොබ් එකකට ගියා “
මෞර්යා පිළිතුරු දුන්නාය. ඇය සේවයට පැමිණියේ තමාගේ ආයතනයට බව ආදිත්‍ය ඇයට කියන්නට ගියේ නැත. බැලූ බැල්මට ඇය රැකියාව සම්බන්ධයෙන් සිටින්නේ සතුටුදායක හැඟීමක බව ආදිත්‍ය ඇගේ මුහුණේ ඉරියව් වලින් තේරුම් ගනිමින් උන්නේය.
” Really ? Congratulations ”
ආදිත්‍ය එපමණක් කීවේය. මෞර්යා නිහඩව ඇවිදින මං තීරුව දෙස බලා හිඳිමින් ආදිත්‍යව තේරුම් ගැනීමේ උත්සාහයක නියැලෙමින් උන්නාය. ඔහුගේ පිළිතුරු කෙටිය. ඒවායේ ව්‍යාජ බවක් ද නැත.නමුත් ඔහු මුවින් නොකියන යමක් ඔහුගේ ඇතුලාන්තයේ ඇති බව දැනේ.
” ඉතින් කොහොමද අලුත් ජොබ් එක ? ”
මෞර්යාගේ කල්පනාව බිඳ දමමින් ආදිත්‍ය නැවත ඇසුවේය. ඇත්තටම ඔහුට උවමනා වූයේ තම ආයතනය පිළිබඳව ඇය දරන අදහස දැන ගැනීමටය. තමා එහි ප්‍රධානියා බව නොදන්නා නිසා සමහර විට ඇය තම අවංක හැඟීම ප්‍රකාශ කරනු ඇතැයි ආදිත්‍ය සිතුවේය.
” හොඳයි.මං ආසයි එතනට. මං බලාපොරොත්තු උනාට වඩා එතන හැමෝම හොඳයි. වැඩ කරන අය. බොස්ලා එහෙම හරි හොඳයි ”
” බොස්ලා කිව්වේ ? එතන බොස්ලා කීයක් ඉන්නවද ? ”
ආදිත්‍ය කිසිවක් නොදත් සේ ඇසුවේය.
” දෙන්නෙක් ඉන්නවා. හැබැයි මට හම්බ උනේ නම් එක්කෙනයි ”
” ඒ මොකද ? ”
තමා හා මෞර්යා අතර සංවාදය යන අත ගැන ආදිත්‍ය සතුටු වෙමින් උන්නේය. බොහෝ කාලයකට පසුව තමා කෙනෙකු සමග මේ ආකාරයේ සංවාදයක යෙදෙනවාමය. එයද හිත සැනසෙන ආකාරයේ එකකි.
” දන්නේ නෑ. interview එක දවසෙත් එයා හිටියේ නැහැ. අද හම්බුනෙත් නැහැ. ඔය සමහර කම්පැනි වල ලොක්කෝ ඉන්නවනේ , කම්පනි එක එයාගේ නිසා වැඩට එන්නේ එයාට ඕන ඕන වෙලාවටයි ඕන ඕන දවසටයි නේ. සමහරවිට මේ බොස් එහෙම කෙනෙක් වෙන්නැති. මාව interview කළේයි , අද හම්බුනේයි ඒ බොස්ගේ මල්ලිව ”
ආදිත්‍ය සිනහව තද කර ගත්තේය. මෞර්යා ඇය නොදුටු ,මුණ නොගැසුණු ප්‍රධානියා පිළිබඳව සිතා සිටින්නේ අපූරු ආකාරයකටය. තමා මේ සිටින්නේ ඒ ප්‍රධානියා ඉදිරියේ බව දන්නවා නම් ඇයට කුමක් හැඟෙනු ඇති දැයි ආදිත්‍ය කල්පනා කළේය.
” මාර බොස් කෙනෙක් නේද ? ”
” අනේ ද කියන්නේ. ඒ වුණාට ඔෆිස් එකේ හැමෝම මාර හොඳයි. අපේ තාත්තා කියන්නේ office එකේ හැමෝම එහෙම හොඳ වෙන්නේ , අනිත් අයට උදව් කරන්නේ බොස්ලා හොඳ උනාම කියලා. මොකද බොස්ලා හොඳ උනාම හැමෝම වැඩ කරන්නේ සතුටෙන් නේ ”
මෞර්යා ඇගේ සිත තුළ වූ හැඟීම ප්‍රකාශ කළාය. එය අව්‍යාජ බව ආදිත්‍ය වටහා ගත්තේ මෞර්යා මුණගැසුණු පළමු මොහොතේ සිටම ඇය කුමන ආකාරයේ තරුණියක දැයි ඇය මනාව පෙන්වමින් සිටි නිසාය.
” ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නෑ.හැබැයි ඉතින් මට හිතෙනවා මේ තැන මට හොඳටම හොඳයි කියලා. මගේ සමහර යාළුවො ඉන්නවා උදේට නැගිටලා ජොබ් එකට යන එක නිකන් පනිෂ්මන්ට් එකක් වගේ කියලා හිතන. ඒ උනාට මට නං එහෙම නැහැ ”
මෞර්යා තොර තෝංචියක් නැතිව කියවන ආකාරය ආදිත්‍ය බලා උන්නේය. ෂෙහාරා මේ ආකාරයෙන් තමා ඉදිරියේ විවෘත වන්නේ නැත.ඇයගේ ලෝකය තුළ ඇත්තේ මිතුරන් හා විනෝද වීම , විලාසිතා කිරීම සහ අනෙකුත් විසිතුරු දෑ පමණි. පොළවේ පය ගසා අව්‍යාජව ජීවත් වීමට ෂෙහාරා දන්නේ නැත. එය ඇයට ඉගැන්වීමට පවා තමා ප්‍රමාද වැඩිය.ඊටත් වඩා තමා කියනා දෙයක් පිළිගැනීමට ඇය සූදානම් වන්නේද නැත.
” ඔයා මොකක් හරි අවුලකින්ද ඉන්නේ ආදිත්‍ය ? ”
මෞර්යා එකවරම ඇසුවාය. ආදිත්‍ය පියවර දෙක තුනක් මෞර්යා දෙසට පැමිණියේය.
” ඇයි එහෙම ඇහුවේ ? ”