සිතට දැනෙන මේ අරුමැති හැඟීම් පහදා ගලපා ගැනීමේ හැකියාවක් අපූර්වාට වූයේ නැත. එක තැන සිටින්නටත් බැරි, නැගී සිටින්නටත් බැරි කිසිවක් කිරීමටත් සිත් නොදෙන මේ නොසන්සුන්කම යුවතියට අමුත්තකි. විටෙක කුරුළු පිහාටුවක් සේ සැහැල්ලු වන, තවත් වරෙක මොර සූරන වර්ෂාවකට හසු වූවාක් සේ සීතලෙන් ගැහෙන, තවත් වරෙක නේක වර්ණ විදුලි බුබුළු වලින් ආලෝකමත් වූ මාවතක ඇවිද යනවාක් සේ වර්ණවත්වන මේ හදවත විඳින අමුතු පීඩාව අපූර්වාට විටෙක වදයක් වූවාය.
“ඈ ළමයෝ… මේ තේ එක ඇල්වෙලානේ..”
ආච්චි ළඟට විත් කතා කරන තුරුම ඈ උන්නේ ඒ පීඩනය දරාගෙනය.
“හේෂානි මොකටද ළමයෝ අච්චර කඩචෝරු ගොඩක් ගත්තේ. කවුරු වුනත් සල්ලි එහෙම නිරපරාදෙ නාස්ති කරන්න හොඳ නෑ. ඒ ළමයාගේ තාත්තත් සුළු පටු දුකක් නෙමෙයිනේ විදින්නේ..”
ආච්චි මේ පවසන්නේ පෙරදා යුගාෂ් රැගෙන දුන් කඩ චෝරු මල්ල ගැනය. ඒසා සැහැල්ලුවට බොරුවක් කියන්නට හැකියාව ලැබුණේ මගදී ගලපාගෙන ආ නිසාය. එහෙත් මෙවේලෙහි අපූර්වාගේ දෑස් බිමට හැරවුනේ ඇයත් නොදැනුවත්වමය. ඔවුන්ගෙන් යමක් සඟවාගෙන තබා ගැනීම ලෙහෙසි පහසු නොවේ.
“අම්මගේ රෙදි තියෙනවනං එකතු කරලා දෙන්න ආච්චි. ආච්චි, අම්ම ලඟින් හෙල්ලෙන්නවත් එපා.”
අපූර්වා එසේ පැවසූයේ පියසීලීව මග හරින්නට මිස මෙවේලෙහි දොළ අසලට යාමට වුවමනාවක් තිබූ නිසා නොවේ. ඊයේ සවසත් සෝදා දැමූ නිසා අමුතුවෙන් රෙදි එකතු වී තිබුනේ නැත. එහෙත් ඇගෙන් ගැලවිල්ලක් නැතුවා සේය.
“දැං ඔය කොළඹ ඉන්න දොස්තරට පෙන්නුවොත් මේ ලෙඩේ හරියයිද ළමයෝ…”
“පෙන්නල බලමු ආච්චි. ඒ ලංකාවේ විතරක් නෙමෙයි පිට රටවලත් ප්‍රසිද්ධ ඩොක්ටර් කෙනෙක්. ලේසියෙන් එපොයිමන්ට් එකක් දාගන්න බෑ.”
“ඔය දොස්තර ගැන වෙන්න ඇති ගුණවතීත් කිව්වේ. ටී වී එකේ එහෙම නිතර පෙන්නනවා කියලා. මගේ ඇස් දෙක පියවෙන්න කලින් උඹලගේ අම්මා සනීප කරගන්න පුළුවන් වුනොත් මට ඒ ඇති. එහෙම නැතුව උඹ මේ ලෙඩ ගෑනිත් එක්ක කොහොම ඉස්සරහට ජීවත් වෙයිද කියලා හිතද්දී මගේ බඩ පපුව පත්තු වෙනවා බං.”
අවසන පියසීලී පැවසූයේ සිය පපුව මිරිකා ගෙනය. රාත්‍රියට නින්ද නොයන තරමටම දැන් ඒ සිතුවිල්ල ඇයට වදයක්ව ඇත. ඒ අදහස් ඕ යන්තමින් හෝ බෙදා ගන්නේ ගුණවතී සමගින්ය. නිවස සෑදුවාට පසුව අපූර්වාට විවාහයක් කරදිය යුතුයැයි ඔවුන් දෙදෙනා ඊයේ කතා වූයේ මේ බංකුවේ වාඩිවී සිටියදීමය.
“ඒ කෙල්ල ටිකක් ඉහලට ඉගෙන ගන්න ආසාවෙන් හිටියට දැන් ඉතින් ඕවා කරන්න හම්බ වෙයි කියලා මං හිතන්නේ නෑ. හොඳම දේ තමයි තමන්ට ආරක්ෂාවක් රැකවරණයක් තියෙන තැනක නතර වෙන එක.”
ගුණවතී එසේ පැවසූයේ පියසීලිගේ දුක් අඳෝනාවට සවන් දීගෙන සිටියාට පසුවය.
“දැන් කාලෙ ඉන්න කොල්ලෝ වගකීම් ගන්න කැමති නෑ බං. මාව පැත්තකින් තියමුකෝ. දෑවැද්දට වගේ මේකිට දැන් ලෙඩෙකුත් ඉන්නවනේ.”
“පියසීලී අක්කා ඔය කියන දේ ගැන මටත් හිතිලා තියෙනවා. කෙල්ල කොච්චර ලස්සන උනත් ගුණ යහපත් උනත් මහ මිනිස්සු ඉන්න තැනකින්නම් කැමති වෙයිද මේ බරක් කරගහ ගන්නවට. මංනං කියන්නේ කෙල්ලට වඩා ටිකක් වයසින් වැඩිමල් දීගෙ අතෑරුණු මනුස්සයෙක් හරි කමක් නෑ. දුකක්, කරදරයක්, කඳුලක් නොදී අපූර්වව බලා ගන්නවනම්. එතකොට මිනිහා හම්බ කරලා දෙන දෙයක් කාලා බීලා ඒකිට අම්මව බලාගෙන ඉන්න පුළුවන්නේ.”
“අනේ මන්ද බං..කසාදයක් ගැන වචනයක් ඇහෙද්දි මට පුප්පන්න තියා ගන්නවා. මට මොන කසාඳද ආච්චි කියල අහයි. මගේ හිතේ පත්තු වෙන ගින්දර ගැන ඒකිට ගානක් නෑ. සුළු පටු වගකීමක්ද බං මේ නහින දෙහින කාලේ මට කරගහ ගන්න සිද්ධ උනේ”
පියසීලි මඳක් පහත්ව දෑසුත් නැහැයත් පිස දා ගත්තේ ඇඳ සිටි චීත්තයෙන්මය.
“ඒකිට ගානක් නැතුව නෙමෙයි බං. අපි මේ කතාවෙන දේම ඒකිත් හිතනවා ඇතිනේ.”
“හිතේ ආවේගයට තමයි මේ හැමදේම කරන්නේ. මට හරි මහන්සියි දැන්”
“නැතුව තියෙයිද පියසීලි අක්කේ. උඹට දැන් අසූවකට කිට්ටුයි නේ.”
“මේ අවුරුද්දට හැත්තැ අටක්.”
“අනේ ඉතින් නන්දසේන ජීවත් වෙලා හිටියනම් කාන්ති සනීපෙන් හිටියනම් පියසීලි අක්කට තියෙන්නේ නිදහසේ බණක් භාවනාවක් කරගෙන ඉන්න විතරයි. ඕං මනුස්ස ජීවිතවල හැටි. කණපිට පෙරළෙන්න ඒ හැටි වෙලාවක් යන්නේ නෑ. වැරදි කරපු මිනිස්සු තවමත් කිසි දෙයක් නොවුණු ගානට ජීවත් වෙන එකනෙ පුදුමේ.”
“මේවා කරුම බං. අපි කරුම ගෙවනවා උන් කරුම රැස්කර ගන්නවා. ජීවිතය කියන්නේ ඕක තමයි…”
පියසීලී පැවසූයේ දිගු සුසුමක් මුදා හැරියාට පසුවය. තමාගේ වයසට මේ උහුලන්නට සිදු වූ දුක්, සෝ, සුසුම් කන්දරාව දරා ගැනීම ලෙහෙසි පහසු නොවන වග ඇයට විශ්වාසය. දිවා රෑ දෙකේ සිත රිදවමින් වද දෙන්නේ අපූර්වා ගැන වූ බියය.
ආච්චී වූයේ කල්පනාවේය. අපූර්වා තමා අත වූ ජංගම දුරකතනයෙහි වට්ස් ඇප් වෙත පැමිණි කෙටි පණිවිඩය යළිත් විවෘත කර බැලුවේ මහා ලෝබකමකින් සිත පිරී යද්දීය.
“ගුඩ් මෝර්නින්..අද මට වැඩ ගොඩක් තියෙනවා. ඒ නිසා උදේ කතා කරන්න බැරි වෙයි සමහරවිට. ඒත් ඔයාට ඕනම වෙලාවක මගේ ෆෝන් එකට ගන්න. සතුටින් දවස පටන් ගෙන සතුටින්ම ඉවර කරන්න. කොහේ ගියත් මොනව කලත් පරිස්සමින්…මං ඉන්නවා ඔයා එක්ක”
ඒ වදන්වල වූයේ පුදුමාකාර ආදරයකි. හදවත් කුහරවල අංශු මාත්‍රික ඉඩක් නොතබාම ඒ සෙනෙහස පැතිරෙමින් තිබිණ. අහම්බයක් වූ ඔහුගේ මේ හමුවීම තවමත් ඇයට විශ්වාස කරන්නට නොහැකි සේය.
කාලය ගෙවී ගොස් ඇති බව වැටහුනේ ‘අද උඹ වැඩට යන්නෙ නැද්ද..’ යනුවෙන් අසමින් පියසීලී නැගී සිටියදීය. කුමක්දෝ මුමුණමින් කෙටි කොණ්ඩය දෙපසට ඇද ගනිමින් ඉදිරියට ඇවිද ආ අම්මාව නවතා ගත්තේ අපූර්වාය.
“අම්ම කොහෙද මේ යන්න හදන්නේ? යං ගෙට..”
“බිල්ලො ඇවිල්ලා, බිල්ලො ඇවිල්ලා..අර බිල්ලො ඇවිල්ල…”
“නෑ අම්මේ කවුරුවත් ඇවිත් නෑ.”
“උඹලට පිස්සු බිල්ලො. ඇවිල්ලා… දරුවා පරිස්සම් කර ගනින්. බිල්ලො ඇවිල්ල. අර බිල්ලො ඇවිල්ලා.”
“හරි අම්ම ගෙට යන්නකො. මං බිල්ලො එලවලා එන්නම්…”
“එළවන්න ඕනේ..ඕනේ එළවන්න ඕනේ..බිල්ලො ඇවිල්ල…”
ඉඳ හිට හෝ කාන්ති කතා කරන්නේ මේ වදන් කිහිපය පමණි. කුඩා කාලයේ ඇය තමාට බත් කැවුවේ බිල්ලන් පැමිණ සිටිනවායැයි බිය කරමින්ය. කළු පාට රෙදි කඩකින් මුළු ශරීරයම වසාගෙන සිටින මිනිසුන් පිරිසක් බිල්ලන් යැයි අපූර්වා කුඩා කාලයේ සිතා සිටියාය. බිල්ලන්ටත් වඩා බිය විය යුත්තේ මිනිසුන්ට බව ඈ හැඳින්නේ පසුගිය කාලයේ සිදුවූ ඛේදවාචක තුලින්ය. කාන්ති යලිත් ඇඳ මතින් වාඩි වූයේ හිස කේ දෙපසට ඇද ගනිමින්ය. ඉන තෙක් දිගුව තිබූ ඇගේ කොණ්ඩය ගෙල තෙක් කපා දැමුවේ මෑතකදීය. පසු කාලයේ කාන්ති කොණ්ඩය පීරන්නට ඉඩක් දුන්නේ නැත. එනිසාම කොන්ඩය කැරලි ගැසෙන්නටත් උකුණන් බෝ වන්නටත් පටන් ගත්තේය. අම්මා තමාගේ සේම ඇගේ කොන්ඩය රැක ගත්තේත් අර පරිස්සමටය. කීකිරිදිය, ගොටු කොළ මුල්, දිය හවරිය, මුකුණු වැන්න, සැවැන්දරා මුල් සහ උළු හාල් යොදා සකස් කරගන්නා තෙල් වර්ගයක් ඈ නිතර සෑදුවාය. එදවස ඈ එම තෙල් වර්ගය ගල්වා පැයක් පමණ අපූර්වාගේ කොණ්ඩය සම්බාහනය කරන්නීය. කපා දමන විටත් කාන්තිට වූයේ අපූර්වාගේ සේම මහත නිරෝගී කොණ්ඩයකි. අපූර්වා දුක සුසුමකට බර කලේ ඒ කෙටි හිසකේ අතර දෑගිලි යවමින්ය.
*****************
“මචං පුෂ්පානන්ද සර් හැම තැනම කිය කිය යනවා උඹ අමායාගේ නඩුව පරදිනවා කියලා.”
තීක්ෂණ පැවසූයේ උසාවියේ සිට ආපසු පැමිණියාට පසුවය. දික්කසාද නඩුවක් සඳහා පැමිණි තරුණ යුවළක් පිටව ගියේ මින් විනාඩි කිහිපයකට ඉහතදීය. ඔවුන් විසින් බාර දුන් ලියකියවිලි පරීක්ෂා කරමින් උන් යුගාෂ් හිස එස වූයේ මුව මත මදහසක් තබාගෙනය.
“නෙදකින් උඹේ ඔය විරිත්තිල්ල තමයි මට පෙන්නන්න බැරි.”
“දැන් උඹ මට අඬන්න කියලද කියන්නේ…”
“මේ නඩුව උඹට බාර නොගෙන ඉන්න තිබ්බා.”
මිතුරා මේ පිට කරන්නේ කෝපය නොව තමා වෙත වූ ආදරය බව විශ්වාසය. පළපුරුදු දක්ෂ නීතිඥවරු අතර දැනට නමක් තබාගෙන සිටින්නේ තමායැයි ඔහු නිතර පවසයි. මේ කෝපය ඒ තත්වය නැතිව යාවියැයි වූ බිය නිසාම හටගත් එකකි.
“දැන් මම කියව කියව යනවද මම මේක පරදියි කියලා හරි දිනයි කියලා හරි.”
“කියව කියව යන්න දෙයක් නෑනෙ උඹට..”
“මගේ වට්ස්ඇප් එකේ වීඩියෝ එකක් තියෙනවා. ඒක බලහංකෝ..මං ඒක උඹට මේල් එකක් දාලත් ඇති.”
යුගාෂ් අන්ලොක් කල තම ජංගම දුරකථනය මිතුරා වෙත පෑවේ පෙර වූ සිනහවෙන්මය.
තීක්ෂණගේ දෑස් විසල් වූයේ වීඩියෝව දෙස බලා සිටියදීය. ඉන්පසු ඔහු යුගාෂ් දෙසට හැරුනේ දෑසත්, මුවත් විසල් කරගෙනය.
“යකෝ මැස්සෝ රිංගයි කට වහගෙන ඉදපං…”
“ඒ බං මේක මාරයිනේ…..”
“අන්න එහෙම මාර දේවල් තමයි මං ළඟ තියෙන්නේ. ඒකනේ මං බය නැතුව ඉන්නේ.”
“උඹ නං…..පුෂ්පානන්ද සර්ගෙම පුතා තමයි”
“මං නෙමෙයි බං..ඔන්න ඕක තමයි ගෑනු හිත් ශක්තිමත් වෙන තැන. පිරිමි දහයක් පරද්දන්න ශක්තිය ගෑනු හිතක තියෙනවා බං. අමායව මාස තුනක් තිස්සෙම මම දැක්කේ කිසිම දෙයක් කරගන්න බැරි අඬ අඬා ජීවත්වෙන ගෑනු චරිතයක් විදිහට. මම මේ නඩුව බාරගත්තේ අමායගෙන් අංශු මාත්‍රයක සපෝර්ට් එකක්වත් මට නෑ කියලා දැන දැනම බං. මේ වගේ දෙයක් වුනාට පස්සේ ගොඩක් අය හොයන්නේ තමන්ට වෙච්ච වැරැද්ද වහගන්න පුළුවන් ක්‍රමයක්. ලෝකෙන් හංග ගන්න ක්‍රමයක්. ලෝකෙන් හැංගෙන්න ක්‍රමයක්. ඒකට පාර කපලා තියෙන්නෙත් අපේ මේ නීතියම තමයි බං. ඉඳලා හිටලා හරි මෙහෙම නැගිටින ගෑනුම තමයි ලෝකෙට ගෑනු හිත්වල හයිය පෙන්නන්නෙ.”
“කියල වැඩක් නෑ බං. මට තවමත් හිතා ගන්න බෑ. අනිත් එක දයාල් මෙච්චර මෝඩද බං.”
“තොට අමතක උනාද ඌ ඊලඟ මැතිවරණ අපේක්ෂකයා කියලා. උගේ තාත්තා මන්ත්‍රී කෙනෙක් කියලා..”
යුගාෂ්ගේ මුවෙහි වූයේ අවඥයා සහගත සිනහවකි. ඔහු ඊළඟ පළාත් පාලන මැතිවරණයේදී අලුත්ගම ආසනයෙන් තරග වදින අපේක්ෂකයාය.
“අට පාස්, පහ පාස් උන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ බං. ආයෙ…කෙල්ලෙක් දිහා බලන්නෙවත් නැති මතක හිටින පාඩමක් වෙයි මේ නඩුව ඌට…උඹ මාරයි ඈ…උඹ එදා ඒ කෙල්ලට දීපු මෝටිවේශන් එක හින්ද තමයි බං ඒ කෙල්ල මෙහෙම නැගිට්ටේ…මරු.. මරු.. ඈ.”
තීක්ෂණ සුවපහසු අසුනින් නැගී සිට මිතුරාව වැළඳ ගත්තේ එසේ පවසමින්ය. වරක් දෙවරක් අමායා යුගාශ්ව හමුවන්නට පැමිණියේත් එදා උසාවි භූමියට පැමිණියේත් අම්මාගේත්, තාත්තාගේත් බල කිරීමට මිස තමාගේ උවමනාවට නොවන බව තීක්ෂණ දැන සිටියේය. ඈ එදා උන්නේත් මේ සියල්ල වදයක් කරගෙන බිම බලා ගත් ගමන්ය. අද මේ සා හපන්කමක් කර ඇත්තේත් ඇත්තේත් ඒ මුළු ගැන්වී සිටි යුවතියමය. මේ නඩුව ඉතිහාසය වෙනස් කරන, යුග යුග ගනන් මිනිසුන්ගේ මතකයේ රැඳෙන එකක් වනබව විශ්වාසය.
“මේ පිනෙන් උඹට ජීවිතය පුරාම ආදරයෙන් බලා කියාගන්න, දිගු වරලසක් හිමි ඡවි කල්‍යානයෙන් අනූන. ගුණ යහපත්. ඔබේ දරුවන්ට යහපත් මවක වන, දුසිරිතෙන් සුරා සූදුවෙන් තොර චරිතවත් ස්ත්‍රියක සරණ පාවා ගන්නට ලැබේවා…”
දිවා ආහාරය ගනිමින් උන් නීලියා විවේක කාමරයේ සිට කාර්යාලයට පැමිණියේ එවේලෙහිය. තීක්ෂණගේ වදන් වලට ඕ හිනැහුනේ සිය දකුණතින් මුව වසා ගෙනය.
“අම්මෝ සර්….”
“ආ.. ඔයත් මෙතන හිටියද නීලියා…”
“සර්.. ඒ විස්තරය කියද්දිම තමයි මං ආවේ…මං හිතුවා ඩ්‍රාමා එකක දෙබස් කියලා”
“ගණන් ගන්න එපා නීලියා කවියෙක් වෙන්න ඉඳපු එකෙක් අම්මගේ තාත්තගේ බල කිරීමට ලෝයර් කෙනෙක් උනහම ඔහොම වෙනවා. මුගෙ අම්මටයි තාත්තටයි තමයි වැරදුනේ.”
යුගාෂ් පැවසූයේ සිනහසෙමින්ය.
( යළිත් හමු වෙමු ආදරයෙන්……)