(අ)හිමි සිහින -129

සුධාරකගේ හැමදෙයක්ම ගැන මම සොයා බැලුවෙ ඔහුට සමහර දේවල් තිබිය යුතු නිවැරදි ම ආකාරය මම මිස දන්නා කෙනෙකු නැති නිසා.ඔහුට නිදාගැනීමට ඉරියව්වක් තිබුණා.ඒ ඔහුගේ රෝගී තත්ත්වයක් නිසා.ඔහුට හොඳ සුවපහසු ඇඳක් අලුත් නිල නිවාසයේ තිබුණත් රෝගී තත්ත්වය ගැන දන්වා එයට වඩාත් ගැළපෙන ඇඳ නිල නිවාසයේ තබන්නට මම ක්‍රියා කළා.

“මැණිකේ,මේ කොල්ලො දන්නවනේ මට තියෙන අසනීපෙ.මම ඇලයට නිදා ගන්නවා කියලා ඒගොල්ලෝ දන්නව.”

ඔහු නිල නිවාසයට ගිහින් මට එහෙම ඇමතුමක් දෙන්නේ හරිම පුදුමයකින්.ඔවුන්ගේ සංකල්පනය ගැන මට සිනාවක් නැගෙන අවස්ථා ද බොහොමයි.

“ඔව් ඔව් ඔයාට හොඳ ස්ටාෆ් එකක් තියෙනවා නේ”

කිසිත් නොදන්නවා වගේ මම එහෙම කියන්නේ ඔහුගේ ප්‍රතිචාරය දැන ගන්න හිතාගෙන.නමුත් ඔහු හඬනගා හිනැහෙන්නට පටන් ගන්නවා.

“එයාලා දැනගන්නේ කොහොමද? මගෙ මැණිකේ කියලා එහෙම දේවල් කරවන්න ඇති.ඒකනෙ මම ඔයා වගේ දක්ෂ නෝනා කෙනෙක් හොයාගත්තේ.ඒකනෙ මම ඔයාවම හොයාගෙන ඔයාවම පතාගෙන ආවේ”

මගේ ජීවිතයේ වෘත්තිය ජයග්‍රහණ මම ඕනෑ තරම් ලබා තිබෙනවා.ඕනෑ තරම් ප්‍රසංසා දරාගෙන තිබෙනවා.ඒවා මට බොහොම නිහතමානීව දරා ගන්නට පුළුවන්.නමුත් මගේ සුදාරක මාව ඇගයීමට ලක් කරද්දී මට දැනෙන්නේ දරාගත නොහැකි තරම් ප්‍රීතියක්.විශාල සෙනඟක් ඉදිරියේ වේදිකාවක් මත වෘත්තීමය ජයග්‍රහණ ලබා ගන්නවටත් වඩා අපූරු සතුටක් වුණා. 

සුදාරකගේ නැගණියත් ඇගේ සැමියාත් සුධාරක රාජකාරි කරන ප්‍රදේශයට චාරිකාවක් සැලසුම් කළේ මේ කාලයේදී.දින තුනක චාරිකාවක් ඔවුන් සැලසුම් කළා.ඒ ඔහු නව සේවා ස්ථානයේ වැඩ බාර ගත් දිනවලදීමයි.නමුත් ඒ චාරිකාවට සුධාරකගේ අම්මා රැගෙන යාමට කිසිම කෙනෙකුගේ සැලසුමක් තිබුණේ නෑ.නමුත් මට සුධාරකට කියන්නට දෙයක් තිබුණා.ඒ මේ දින කිහිපයේදී සුධාරකගේ රාජකාරී ජීවිතයේ වටිනාම සිදුවීමක් එළඹෙන්නට තිබුණා.ඔහු වෙනුවෙන් ඔහුගේ රෙජිමේන්තුවෙන් ලබා දෙන ආචාර පෙළපාලිය සැලසුම් කර තිබුණේ ඒ දිනවලදී.

“මහත්තයා,ඔයා වෙනුවෙන් කරන මේ පෙරඩ් එක අම්මට බලන්න දෙන්න ඕන.”

මම එවැනු ඉල්ලීමක් කරත් ඇත්තටම සුදාරක එයට එතරම් රුචියක් දැක්වූ නැති තරම්.නමුත් ඕනෑම මොහොතක ඔහු මගේ ඉල්ලීමට ඉඩ දෙන නිසාම මම යෝජනාවෙන් ජයග්‍රහණය කළා.ඒත් අම්මාව චාරිකාව රැගෙන යන දවසේ උදෑසන පවා සුදාරක හිටියේ ඒ තීරණය ගැන දෙගිඩියාවෙන් බව මට හිතුණා.අම්මා දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම,ගමන යන්නට ප්‍රමාදවී සූදානම් වීම දේවල් ඔහුගේ කෝපය අවුලුවන්නට හේතු වී තිබුණා.

“හැමතිස්සේම කාටහරි දොස් කිය කියා තැන තැන ඇවිදිනවා මිසක්කා කිසිම දෙයක පිලිවෙලක් නෑ.ගමනක් යනකොට පිලිවෙලට ලෑස්ති වෙන එක ගැන මෙච්චර වයසට ගිහිල්ලා වත් දන්නේ නෑනේ”

සුධාරක එහෙම දෝෂාරෝපණය කරමින් කේන්තියෙන් එහෙට මෙහෙට ඇවිදින්නට පටන් ගෙන තිබුණා.එහෙත් ගමනක් යද්දී ඒ විදියට කෝප වෙන්නට එපා කියලත් මම ඔහුට දොස් නගන්නට අමතක කළේ නෑ.අම්මාගේ හිත නොරිදවා ඇයව ඒ ගමන රැගෙන යන්නට මට උවමනා වුණා.

සැබෑවටම ඒ චාරිකාව ජීවිතයේ අමතක කළ නොහැකි බොහෝ මතකයන් ඉතිරි කළ චාරිකාවක්.සියල්ල සිදුවන්නේ දෛවයේ කැමැත්තට බව මට නැවත නැවතත් සිහි කැඳවන චාරිකාවක්.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles