මුතු බෙලි හදවත – 3 වන කොටස

ආදිත්‍යා දකුණු පැත්තේ සඳැල්ලෙන් පිටත බලා සිටියා ය. අහස මන්දාරම් වී ගෙන එයි. තමන් දරා සිටිනවා වන් බරක් මේ අහස වුව දරා සිටින්නේ දැයි ඇය සිතුවා ය. ගේ ඉදිරිපස ට නෙරූ සඳැල්ලත් පිටුපසට නෙරූ සඳැල්ලත් දෙස ඇය මාරුවෙන් මාරුවට බැලුවා ය. සඳළුතලා හතර ම එක ම කොරිඩෝරයකින් එක ට සම්බන්ධ වේ. නමුත් ආදිත්‍යා නිතර ම එන්නේ දකුණු පස සඳැල්ලට ය. ඇය හෙමිහිට ඇවිද ගෙන පිටුපස සඳළුතලාව ට ගියා ය. එක ම ගෙදරක හාත්පස එක එක පැති වල සිට දකිත්දී පෙනෙන්නේ කෙතරම් වෙනස් ව දැයි මුල් ම වතාවට ඇය ට සිතිණි.

ජීවිතයත් එසේ නොවේ ද? එක එක පැති වලින් බලත්දී එක එක කෝණ වලින් ජීවිතය දැකිය හැකි ය.

විකුම් ඇය ව විවාපත් කොට ගෙන තිබෙන්නේ කැමැත්තකින් නොවන බව ආදිත්‍යා දැන ගත්තේ අද ය. එය සිදු ව තිබෙන්නේ තනිකර ම සඳසීලී විජයවික්‍රම ගේ උවමනාවටයි. ඔහු ට ඇය කුණ්ඩවාලයකි.

ආදිත්‍යා ගේ හිත් වේදනාව මුළු සිරුර පුරා ම ඔඩු දුවා තිබිණි. ආර්ථික වශයෙන් දුෂ්කරතා සහිත පවුලක ජීවත් වුණ ද විවාහයට පෙර ඇය සතුටෙන් සිටියා ය. සැහැල්ලුවෙන් සිටියා ය. යන්නට යන පතිකුලය ගැන විශ්වාසයක් කොහොමටත් ඈ වෙත වූයේ නැත. ආදිත්‍යා මේ ගමන එන්නට හිත හදා ගත්තේ පවුලේ අය මේ විවාහය මත්තෙන් දුටු හීන කන්දරාව හැබෑ කොට දිය යුතු වූ නිසාවෙනි. අම්මා අප්පච්චි බලාපොරොත්තු වූ විලසින් ම විජයවික්‍රම ඇමති තුමා මල්ලී ට වරාය සංවර්ධන අධිකාරියේ රැකියාවක් ලබා දුන්නේ ය.

ආදිත්‍යා දිගු සුසුමකින් ළය බර මඳක් නිවා ගැනීමේ උත්සාහයක් දැරුවා ය. නමුත් මේ වතාවේ කඳුළ පාලනය කර ගන්නට ඈ දැන සිටියේ නැත.

සිය කැමැත්තකින් තොර ව මේ ඇමති මන්දීරේ ලේලිය වී පැමිණිය ද, විකුම්, ඇගේ සැමියා ඇය ව ප්‍රතික්ෂේප කරතැයි ඈ සිහිනයකිනුදු නො සිතුවා ය. මෙතෙක් කල් සැමියා ලෙස ළඟින් උන් ඔහු ට ඇය, නැන්දම්මා විසින් කරේ එල්ලන ලද කුණ්ඩවාලයකි.

විකුම් සිය දරුවා වෙනුවෙන් ස්වභාවයෙන් ම හිමි පීතෘත්වය ප්‍රතික්ෂේප කරයි. ඒ වුණත් ආදිත්‍යා ගැන යම් හැඟීමකින් ඔහු පසු වෙනවා නම් හෙමිහිට ඔහු ගේ හිත මෙළෙක් කර ගන්නෙමැයි ඇය සිතා සිටියා ය. නමුත් එය එසේ නොවේ. ඔහු ට ඇය කුණ්ඩවාලයකි!

ජීවිතය ඉදිරියේ හරස් වී හිඳිනා ඉරණමත් එක්ක සටන් කළ යුත්තේ තනිව බව දැන් ඉතින් ඉර හඳ සේ විශ්වාස ය. ඔටිසම් දරුවෙකු කර පින්නා ගත් දුක්බර අම්මා කෙනෙකු ඇගේ මනස ඉදිරියේ ඇවිද ආවා ය. ඒ අම්මා ට සිය මුහුණුවර ලබා දෙන්නට ආදිත්‍යා දැඩි උත්සාහයක් දැරුවා ය. ඒ අම්මා ඇය බව කෙසේ නම් හදවතට කියා දෙන්න ද?

ඇගේ ඇස් වලින් කඳුළු ගලා යමින් ඇති බව ආදිත්‍යා ට දැනිණ. මහත් ආත්මානුකම්පාවකින් ඇය ඉරිතලා ගියා ය. උරහිස් ගැස්සී ඉකිළුමක් පිටතට ආවේ ය. ආදිත්‍යා ඉකි බිඳ හඬන්නට පටන් ගත්තා ය. මේ සඳළුතල වල සිට හැඬුවාට කාටවත් ඇහෙන්නේ නැත. කාටවත් පේන්නේ හෝ දැනෙන්නේ නැත. මන්දිර සඳළුතලා වල වැටෙන කඳුළු ගැන ලෝකයට ඉවක් ඇත්තේ ම නැත.

නමුත් එක දෑසක් ඈ වෙත යොමු වී තිබිණි. ආදිත්‍යා ඒ ඇස් දුටුවේ හරි අහම්බෙනි. ඇගේ ඉකි බිඳුම ක්ෂණික ව නැවතිණ. අඬත්දී ඇය කෙතරම් කැත දැයි වහා ම ඇය ට සිහි විය.

යාබද මහල් නිවසේ සඳැල්ලේ සිටි යෞවන ඇස් දෙක ඇදෙස බලා ගෙන ම සිටියේ ය. ආදිත්‍යා වහා ම එතැනින් ඉවත් ව ගෙතුළට වැදුණා ය.

මින්දුල සිටියේ නින්දේ ය. යහන මත හිඳ ගෙන ටික වෙලාවක් පුතු දෙස බලා උන් ආදිත්‍යා සිය කම්මුල් වල කඳුළු පැල්ලම් මකා ගත්තා ය. කඳුළක දිය වී යා නො හැකි ය. එසේ වුව හොත් සිදු වන්නේ මේ ගෙදර ඔටුන්න හිමි කුමාරයා සදාකාලික ලෙඩෙක් වෙන එක පමණකි. ආදිත්‍යා ට උවමනා ඔහු ට ඔටුනු පළඳවන්නට නොවේ. ඔහු මිනිසෙකු කරන්නට ය. අඩු ම තරමින් සිය වැඩ ටික තනි ව කර ගත හැකි තත්වයකට ඔහු ට ඔහු පත් කොට දිය යුතු ය. අම්මා වශයෙන් දැන් ආදිත්‍යා ඉදිරියේ වන දැවැන්ත ම වගකීම එයයි.

“මං පුතාගෙ ට්‍රීට්මන්ට්ස් වලට එයාව ගෙනියනව අම්ම”

හිත දැඩි කර ගත් ඕ සඳසීලී සොයා ගොස් කීවා ය. සමාජ සේවිකාව හැඟීම් විරහිත දෑස් ලොකු කර ගෙන සිය ලේලිය දෙස බලා සිටියා ය. මේ සිය පුත් විකුම් විසින් සොයා ගෙන ආ තරුණියක නොවේ. ආදිත්‍යා ව සොයා ගත්තේ ඈ ය. ඇය ලේලිය කර ගන්නට ඕනා වූයේ ඇයට ය.  කුඩා සිරුරක් ඇති හුරතල් කෙල්ල එදා සිටි රුවැත්තිය නොවන බව සඳසීලී දුටුවා ය. ඇය සුදු මැලි වී ඇදී ගොසිනි.

“ආදිත්‍යා…මට ඔයාව තේරෙනව දුව”

ඕ තොමෝ සුසුමක් හෙළමින් ලේලිය ඇමතුවා ය.

“ඔයා තනි වෙලා කියල හිතන්න එපා. විකුම් ට එක පාරටම මේක දරා ගන්න බැරුව ඇති. පිරිමි හරි හයියයි කියල ලෝකෙට පෙන්නගෙන හිටියට එයාලගෙ අත පය විතරයි හයිය. හිත හයිය නෑ. ගෑනු හිත් ඊට වඩා දස දහස් ගුණයක් හයියයි. ප්‍රශ්නයක් තමං ඉස්සරහට ආවහම ගෑනු හිත් වල හයිය තවත් අසාමාන්‍ය විදිහට හයිය වෙනව. මං ඒක හොඳට දන්නව දුව. මාත් ගෑනියෙක්නෙ”

මෙතෙක් මහත් හිස් බවක් පෙනෙන්නට තිබූ සඳසීලී ගේ ඇස් දීප්තිමත් වෙන හැටි ආදිත්‍යා දුටුවා ය.

“ඔයා කරන්න ඕන කියල හිතෙන ඕන දෙයක් කරන්න. ඒ වියදං ඔක්කොම මේ ගෙදරිං වෙන්න ඕන. කවුරු නැතත් මං ඔයත් එක්ක ඉන්නව”

සඳසීලී ලේලිය ගේ අතක් තද කොට අල්ලා ගත්තා ය.

“විකුම් ගෙ හිත වෙනස් කර ගන්න බලන්න. ඒක ඔයාට කරන්න පුළුවන්”

ආදිත්‍යා නැන්දම්මා ගේ නෙතු වලින් මිදී ඉවත බැලුවා ය. විකුම් දැන් ඇගේ හිතේ හිටියාටත් වඩා ඈතින් ඈතකට ගොස් ඇති බවක් දැනුණත්, ඔහු ගේ ම අම්මා ට ඒ බව කියන්නට තරම් ඈ කුරිරු නොවුණා ය.

“සෙල්ලක්කාරය වුණාට…මං හිතුව වගේම ඔයාව මැරි කළාට පස්සෙ විකුම් තැන්පත් මිනිහෙක් වගේ ජීවත් වුණා. මාත් සැනසීමෙන් හිටියෙ. මින්දුල ගැන මේ ආරංචිය එයාට දරා ගන්න බෑ. ඕක ටික ටික හරියයි”

හිතක් බිඳුණු පසු ඒ මත්තේ බලාපොරොත්තුවේ බිජුවට වැපිරිය නො හැකි ය. සිය බිරිඳ කුණ්ඩවාලයක් සේ හිතනා මිනිසෙකු සමග මෙතෙක් කල් ගෙවුවා වූ ව්‍යාජ යුග දිවිය ගැන ලජ්ජාවක් ආදිත්‍යා තුළ ඇති විය. කිසි දාක ඔහු ගේ හිතේ ඈ ගෞරවනීය බිරිඳක වී සිටින්නට නැත. ඇගේ සියුමැළි සිරුර ඔහු ගේ හැඩි දැඩි පිරිමි ශරීරය තුළ දැවෙනා රාගාශාවන් සන්සිඳුවාලන බිල්ලක් වූවා පමණක් වන්නට ඇත.

ඒ දැනෙනා වූ හීන මානය දරා ගැනීම පහසු නැත. එය අමතක කරන්නට ආදිත්‍යා ට වූ එක ම මග මින්දුල වෙනුවෙන් කැප වෙන එක ය.

“දුව මේවා ඔයාගෙ ගෙදරට කියන්න යන්න ඕන නෑ. මොනා වුණත් ගෙයි ගින්දර පිටට දෙන්න ඕන නෑ කියනවනෙ. ඔයත් එක්ක මං ඉන්නව. විකුම් ටික ටික දරුවගෙ ප්‍රශ්නෙට හුරු වෙයි”

සඳසීලී එවන් ප්‍රතිඥාවක් ද ආදිත්‍යා ගෙන් ගත්තා ය. කොහොමටත් ඈ සිත් හි වන ගින්දරින් අම්මා අප්පච්චි ගේ සැනසීම ගිනි ලන්නට ඇයට ඕනෑ වූයේ නැත.

වෙන මොනවා නැතත් දැන් ඇය ට දරුවෙකු හිඳී. ගැහැනු පපුවකට මවු පදවිය තරම් දැනෙනා වෙන කිසිත් නොවේ. මින්දුල අම්මා කියා කතා කරනවා නම් ඇයට මේ සියලු දුක්ඛ දෝමනස්සයන් අමතක කොට හිනා වී ඉන්නට පුළුවන. ආදිත්‍යා විශේෂඥ වෛද්‍ය උපදෙස් මත දරුවා ව ප්‍රතිකාර සඳහා යොමු කළා ය.

ඒ සායන වල දී හිත කම්පනය කරවන දෑ ඕනෑ තරම් දකිත හැකි විය.  හිත තව තවත් හයිය කර ගෙන දරුවා වෙනුවෙන් කැප විය හැකි කාරණා ද අපමණ දැකිය හැකි විය. සායන වාර වලදී ආදිත්‍යා නිරීක්ෂණය කළ වැදගත් ම කාරණය වූයේ ඒ තැන් වල පියවරු සිටියේ ඉතා කලාතුරකින් ය යන්න ය. අසනීප දරුවන් කර පින්නා ගෙන, ඇතැම් විට තවත් දරුවන් ද අතින් කරින් එල්ලා ගෙන ඒ තැන් වල දුක් විඳ ගත්තේ අම්මාවරු ම ය!

විකුම් සිය බිරිය හා පුතුන් නිදනා කාමරය මුළුමනින් ම අත් හැර දැමුවේ ය. එක අතකට එය ආදිත්‍යා ට සැනසිල්ලක් විය. තමන් කෙරේ අංශු මාත්‍රික ප්‍රේමයක් නොවන මිනිසෙකු සමග යහන් ගත වෙනවා කියන්නේ දරා ගත හැකි අවාසනාවක් නොවේ. නමුත් විකුම් ඒ විදිහට ඇයව ප්‍රතික්ෂේප කරත්දී, මේ මහා ඇමති මන්දීරය ඇතුළේ ඈ කිසිදු අයිතිවාසිකමක් නොමැති, අත් හැර දැමුණු ගැහැනියක සේ ආදිත්‍යා ට දැනුණේ ය.

“ඔයාට පුතා විතරක් නෙවෙයි…මාවත් ඕන නැති වුණාට කමක් නෑ. ඒත් මේ ගෙදර අනිත් අය ඒක දැන ගන්න ඕන නෑ නේද විකුම්…මොකද…එතකොට මට මොකද්ද මේ ගෙදර ජීවත් වෙන්න තියන අයිතිය…”

ඇය විකුම් ව අල්ලා ගන්නට ලැබුණු වෙලාවක කීවා ය.

“මේ ගෙදර ඉන්න බැරිනං ඉන්න පුළුවන් තැනකට යන එකයි”

ඔහු ගේ හිතට මුලින් ම කියන්න ආ දේ එයයි. නමුත් විකුම් ඒ වදන් පිට නො කර ඔහු තුළ ම හිර කර ගත්තේ ය. කතා කරනු වෙනුවට නිහඬව ඉන්නා එක හොඳ ය යන්න ඔහු දැන් ආදිත්‍යා කෙරේ දක්වන ප්‍රතිපත්තියයි.

“ඔයා කියන්නෙ මට මෙහෙං යන්න කියලද…”

විකුම් සිය නීත්‍යානුකූල බිරිඳ විනිවිද බැලුවේ ය. ඈ ගැන සියුම් අනුකම්පාවක් ඔහු ට දැනිණ.

“මං ඔයාට එන්න කිව්වෙත් නෑ…යන්න කියන්නෙත් නෑ”

“ඒක මාර කතාවක්නෙ විකුම්…එන්න කිව්වෙ නෑ කියන්නෙ…ඔයා මාව මැරි කරන්න කැමති වුණ නිසා නෙවෙයි ද මං මේ ගෙදරට ආවෙ…”

“ආදිත්‍යා…”

ඔහු ගැඹුරු හඬකින් ඈ විනිවිද බැලුවේ ය. ආදි කියා ඈ අමතන්නට පුරුදු වී සිටි සැමියා මුළු නම ම කියා ඈ අමතත්දී ආදිත්‍යා ට යම් නුහුරක් දැනිණි. ඒ දීර්ඝ ඇමතුමෙන් කියවෙන්නේ ම ඔවුන් අතර හදිසියේ ඇති වූ දුරස්ථ බව නො වන්නේ ද?

“අර ළමයව මං කිව්ව විදිහට ඕෆනේජ් එකකට දාමු. ඊට පස්සෙ ආයෙත් අපිට කලින් වගේ ඉන්න පුළුවන්”

ආදිත්‍යා ඍජු ව විකුම් ගේ මුහුණ දෙස බලා සිටියා ය. කියන්නට තිබුණු බොහෝ දේ වචන වලට නො පෙරළී ඇගේ සිත තුළ ම හිර වී ගත්තේ ය.

මින්දුල ගේ ක්‍රියාකාරිත්වයන් වර්ධනය කිරීම සඳහා සායනික ප්‍රතිකාර පමණක් ප්‍රමාණවත් නොවන බව විශේෂඥ අදහස විය. ඔහු ගේ ඇවිදීම දුර්වල ය. කථනය ඉතාමත් අඩු ය. අම්මා කියා හෝ ඔහු පැහැදිලි ව කියන්නේ නැති තරමි. කොපමණ සෙල්ලම් බඩු තිබුණ ද ඔහු එක ම දෙයක් අතේ තබා ගෙන සිටියි. බිම වැතිරී එය ඉහළට කොට අල්ලා ගෙන කරකවමින් බලා සිටී. ඒවා දකිත්දී ආදිත්‍යා ගේ මව්වත් හදවත කඩා වැටේ. කොපමණ වාර ගණනක් හඬන්නේ නැතැයි සිතුවත් හැඬේ.

ඇය පුතු ව අල්ලා ගෙන දිනකට කිහිප වරක් මතු මහලේ එකිනෙකට සම්බන්ධිත සඳළුතලා දිග ඇවිදවූවා ය. එතැන ඇයගේ හිතට පහසු ය. සුරක්ෂිත ය. කාගේවත් අනුකම්පා දෑස් හෝ අකාරුණික සමච්චල් සහගත දෑස් එතැන ඇත්තේ නැත. මින්දුල බිය වන්නේ නැත. කෑගසමින් කලබල කරන්නේ නැත. ඔහු පහසුවෙන් ඉන්නා තැන ඇයටත් පහසු ය.

එහෙම ඉන්නා ඇතැම් දවසක ඇතැම් හවසක, යාබද නිවසේ සඳැල්ලේ සිට අර යෞවන දෑස් දැල්වෙනු ආදිත්‍යා ට පෙනේ. විකුම් පායේ වට තාප්ප ඉතා උස් ය. නමුත් මතු මහලේ සඳළුතලා, යාබද නිවෙස් හි මතු මහල් වලට විවෟත ය. ඒ ඇස් දකිත්දී ම ආදිත්‍යා ඉවත බලා ගනී.

නමුත් මින්දුල ව ඇවිද්දවන හෝ ඔහු වඩා ගෙන වචන උසුරුවන්නට කියා දෙන හැන්දෑ වරු වල, ඒ ඇස් ඇත්දැයි විමසීමේ පුරුද්දක් කෙමෙන් ඈ තුළ ඇති විය. ඔහු හිටියොත් යාන්තම් දෙතොල් මත්තට මඳහසක් කැන්දා ගන්නට ද ඈ හුරු වූවා ය. නමුත් යෞවනයා කිසි දාක සිනහ නොවුණේ ය.

“විකුම් අයියයි ඔයයි අතරෙ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද අක්කෙ…”

ආදිත්‍යා ගේ නැගණිය මෙවර නිවාඩුව ගත කරන්නට ඇවිත් සිටි සමයේ නිතර ඇමති නිවෙසට ආවේ මින්දුල වෙනුවෙන් සිය උපරිම ශක්තිය යොදවන්නට ය. හාපිටිගම අධ්‍යාපන විද්‍යා පීඨයේ ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ ගුරු පුහුණුව ලබමින් සිටි ඇය, ඔටිසම් හා ඩවුන් සින්ඩ්‍රම් සහිත දරුවන් ගැන විශේෂ අවධානය යොමු කරන්න ට පටන් ගත්තේ මින්දුල නිසා ම ය. මේ නිවාඩුව තුළ නිතර නිතර විකුම් පායට ආ ගිය ඇය ට, සොයුරිය ගේ යුග දිවියෙහි දෙදරීමක් දැනෙන්නට පටන් ගෙන තිබිණ.

“නෑ”

ආදිත්‍යා මඳහසකින් කීවා ය. නමුත් ඒ මන්දස්මිතය වඩාත් සමීප වූයේ සිනහවකට නොව ඉකි බිඳුමකට බව ආමන්තා ට දැනිණ.

“පුතා ගැන එයා ටිකක් අවුලෙං ඉන්නෙ. තාම එයාට මේකට ෆේස් කරන්න බෑ. එයා බයයි ඔටිසම් දරුවෙක්ගෙ තාත්ත වෙන්න. එයාට ඕනෙ මේකෙං පැනල ගිහිං හැංගිල ඉන්න”

ආදිත්‍යා හැකි තාක් සන්සුන් ව දෙඩුවා ය. සැමියා කවර වරද කළත් ලෝකයෙන් ඒබව සඟවා ගෙන ඔහු ට සුදු හුණු ගානා සම්ප්‍රදායික බිරිඳක් වන්නට මේ මොහොතේ ඇය ට සිදු ව තිබිණ.

“ඒක මාර වැඩක්නෙ. එයා විතරක් ඒකෙං හැංගිල හිටියහම හරිද…එතකොට මේ ඔයා ගෙදරිං එනකොට ගෙනාපු ළමයෙක්ද…”

“ෂ්…නංගි…”

ආදිත්‍යා වට පිට බැලුවේ කිසිවෙකුට ඒ හඬ ඇසේ දැයි කියා ය. අර සිනහවකින් තොර දෑස් ඈත සඳැල්ලේ පායා තිබෙනු ඇගේ නෙත ගැටිණ.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...

මතක දිගහැරුම 74 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ හතරවන දිගහැරුම ,කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා දැඩි ලෙස මානසිකව පීඩාවට පත්වී සිටි හෂාන්ට ධෛර්ය දීම සඳහා දෙමව්පියන්...

මීදුම් මාරුත -18

"දඟම කාලේ නේද උදාරා දැන්.."මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ...

හිත ගිය තැන්

අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්‍යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා." පයින්...

මවකගේ ලෝකය – 7 වන කොටස

පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content