අස්විද සූරියබණ්ඩාර කැඩපත අභියස හිඳ ටයි පටිය ගැටගැසුවේ ය. සුදු කමිසයට කළු පැහැති කලිසමත්, සුදු හා අළු මෝස්තර වැටුණ ටයි පටියත් මැනවින් ගැලපිණ. ටයි එකේ ගැටය තදකරන ගමන් ඔහු මුහුණ මඳක් ඉහළට ඔසවා, රේඛාවන් වූ දෑස් වලින් කැඩපත දෙස බැලුවේ ය. කෙටිවට කපා තිබූ රැවුලෙහි අතරින් පතර සුදු වූ රැවුල් කොට නිසා ඔහු ගේ පෙනුම පරිපූර්ණ ය. පරිණත ය. දෑස් බැල්ම උකුස්සෙකු ගේ මෙන් තියුණු, නීතීඥවරයෙකු වශයෙන් ලද චින්තනයෙහි පළපුරුද්ද නිසා විය හැක. කෙස් ගසක් හෝ එහෙ මෙහෙ නොවන සේ පරිස්සමෙන් පිළිවෙලට ඔහු හිස කේ සැකසුවේ ය.
උදේ නාන කාමරය අසල දී නිලූපා හමු වීම සිහි වී ඔහු ගේ දෙතොල් අතරේ නිරායාස සිනහවක් ඇඳිණි. පෙර දිනක ඔහු ගේ ඇඳුම් ගෙන කාමරයට පැමිණීමේ සිද්ධියෙන් පසු ඇය අස්විද ට මූණ දුන්නේ ම නැත. නමුත් උදේ තනිව හමු වූ වෙලාවේ ‘ඇයි මට මෙහෙම කරන්නෙ අස්විද’ කියා ඇය මූණට ම ඇසුවා ය.
‘ඔයාගෙ හිතේ තියන බහුබූත අයින් කරගන්න නිලූකා. මට එහෙම කිසිම අදහසක් නෑ’
කේන්තියක් නැති මෘදු හඬකින් අස්විද ඍජුව කීවේ ය. ඒ විදිහට හෝ ඔහු කතාකිරීම නිලූකා ට සතුටක් විය.
‘ඔයා මාත් එක්ක තරහ නෑ නේද…’
ස්ත්‍රීන් සමග බොළඳ හුරතල් වදන් දෙඩීමේ පුරුද්දක් නැති ඔහු වහා එතැනින් නික්මුණි.
‘ගෑනුන්ට පිස්සු. තුත්තිරි කරල් වගේ කාගෙ හරි ඇඟේ එල්ලෙන්න බලන් ඉන්නව’
මේ වෙලාවේ ඔහු ගේ හිතේ වූ සිතිවිල්ල එයයි. නමුත් පුදුමය නම් වෙනදා වාගේ හිතේ කේන්තියක් නොවීමයි.
කාමරයට පිටතින් කුමක් හෝ පෙරළෙන ලොකු හඬක් නැගුණේ අස්විද කාමරයෙන් පිටත් වීමට සූදානම් වත්දී ය. ජනේලය තිබුණේ වසා දමායි. ඔහු වහා තිර රෙදි දෙපසට කොට ජනේල පියන් විවර කළේ ය. ඉණිමගක් ද සමගින් බිම පතිත වූ යසස්වි, මූණ ඇඹුල් කරගෙන නැගිටිමින් සිටියා ය. ඒ හඬට ගේ ඇතුළේ සිට සනුක ද දුල්නෙත් ද වජිරා ද නිලූකා ද දිව ආහ.
‘මොකද්ද වුණේ…’
හැම මුවකින් ම නැගුණු පැනය එයයි. බිම වැදීම නිසා යසස්වි ගේ අතක් තුවාල වී ලේ බින්දුවක් පිටතට එමින් තිබිණ. ඇය බිම වූ සුළං සීනුව අතින් ගත්තා ය. දුක්බර මොහොතක වුණත් එය මිහිරි නාදයක් නැගුවේ ය.
‘මං මේක මෙතන එල්ලන්න ගියේ’
ජනේලයෙන් අස්විද දුටු ඇයට ලැජ්ජාවක් දැනිණ. ලැබුණු හැම අවස්ථාවක ම විහිළුවට හෝ ඔහු ව සරදමට ගෙන කී කතා නිසා, පොළොව පළාගෙන හැංගෙන්නට හැකි වී නම් ඇය එහෙම කරනු ඇත.
‘අනේ දරුවො මොනාට නගින්න ගියාද ඉණිමං වල. ගොඩක් තුවාලද… ඔළුව එහෙම වැදුණද…කොහෙවත් තදට රිදෙනවද…’
‘නෑ නෑ ආන්ටි. එහෙම මුකුත් නෑ’
‘මදැයි ඔයින් ගියා’
වජිරා නම් බිය වී සිටියා ය. යසස්වි ට මීට වැඩිය ලොකු අනතුරක් වී නම් ඇගේ දෙමාපියන්ට කවරක් පවසන්න ද යන්න ඇගේ සිත්හි නැගුණු මුල් ම පැනයයි.
‘මට කිව්වනං මං ඕක එල්ලල දෙනවනෙ’
සනුක මිත්‍රශීලී ළෙංගතුකමක් පෙන්වූයේ ය.
‘මේ… තුවාල වෙලා ලේත් එනව’
දිල්නුක ඇගේ අත අල්වා වැලමිට ළඟින් ඉහළට ඔසවා බැලුවේ ය.
‘අනේ ලොකු පුතා අර ෆස්ට් ඒඩ් බොක්ස් එකේ බෙහෙත් ඇති. ඔන්න ඔය තුවාලෙට බෙහෙත් ටිකක් දාන්න. අනේ යසස්වි මොනාහරි ඕන්නං අපිට කියන්න අනේ. මේ කොල්ලො දෙන්නෙක් ඉන්නෙ’
නිලූකා පුදුම ආදරයක් පෑවා ය.
‘අම්මෙ මට ලේට් වෙනව. ලන්ච් බොක්ස් එක ගේන්නකො අප්ප’
අස්විදගෙන් පිටතට පැන්නේ එතෙක් ඔහු වෙත නොවූ නො රිස්සුමකි. යසස්වී රවා බැලුවා ය. හැම කෙනෙක් ම ඇය වැටුණු එක ගැන කණගාටු වෙත්දී ඔහු ට බත් එකක් හදිසි වී තිබේ.
‘ගල් ඉබ්බ. එයා ආස නිසයි මං වින්ඩ් චයිම් එක මෙතන එල්ලන්න ගියේ’
ඇය හිතෙන් බැන්නා ය.
යසස්වි ඒ සුළං සීනුව ගත්තේ පෙර දා හැන්දෑවේ ඇයට අලුත් ඇඳුමක් ගන්නට ගිය විලාසිතාගාරයේ තිබී ය. තඹ පාට කුඩා සීනු හා ලී පතුරු ද ලෝහ කැබලි ද වලින් තනා තිබූ එය දුටු ගමන් ඇයට සිහි වූයේ අස්විදයි. ඔහු ගේ සුළං සීනු අතරේ මේ හැඩයේ එකක් නැති බව ඇයට සහතික ය. අස්විද ගේ කාමරයේ ජනේලය විවෘත කළ විට පෙනෙන සේ එය එල්ලීම ඇගේ ආශාව විය. ඔහු නික්ම යන්නට පෙර ඇය එය එල්ලන්නට ගියේ ජනේලයට තට්ටු කොට අස්විද ට ඒ පෙන්වීමේ අරමුණෙනි. ඇය වැටුණේ ඔහු හින්දා ය. නමුත් දුෂ්ට ආඩම්බරකාරයා ඇය වැටුණු එක ගැන ගණනක්වත් නැතිව කෑම එක ගේන්නයි වජිරා ට සැර දැම්මේ ය. අඩු තරමින් ඈ අත වූ සුළං සීනුව දෙසවත් බැලුවේ නැත.
‘දුෂ්ටය. එල්ලන්නෑ මේක මෙතන’
ඇය කේන්තියෙන් සිතුවා ය.
නිලූකා ට ඕන වුණේ දිල්නුක ලවා සීරුම් තුවාලයට බෙහෙත් දම්මන්නට වී ද යසස්වී ඊට ඉඩ දුන්නේ නැත.
‘මං ළඟ සොෆ්‍රමයිසින් තියනව. ඒ ටිකක් ගාපු ගමන් හොඳ වෙයි. වෙන මොනාත් ඕන නෑ. අනික මේක ලොකු තුවාලයක් නෙවෙයි’
ඇය තිර ලෙස පැවසුවා ය.
ඒ සුළං සීනුව යසස්වී විසින් ගෙන එන ලද්දකැයි කිසිවෙකු සිතුවේ නැත. ඒ තරමට තුසිතයෙහි සුළං සීනු සුලභ ය. නමුත් ඒ අලුත් එකක් බව අස්විද දැන සිටියේ ය.
ඉණිමගත් සමග ඇය බිම පතිත වී ඇති බව ඔහු දකිනා විටත් යසස්වි නැගිටිමින් සිටියා ය. මේ පැරණි වලව් පන්නයේ ගෙදර ජනේල පියන් පනේල සහිත තනිකර ලෑලි වලින් තැනූ ඒවා ය. එබැවින් පිටත පෙනෙන්නේ විවර කළ පසුයි ඒවායෙහි සිරස් අතට සිලින්ඩරාකාර තඹ බට සවි කොට තිබේ. ඇය වැටී සිටිනු දුටු ගමන් ජනේලයෙන් පැනිය හැකි වී නම් ඔහු එහෙම කරන්නට තිබිණ. නමුත් ඊළඟ නිමේශයේ දුටුවේ ගෙදර හැම කෙනෙක් ම වාගේ ඒ දෙසට දිව එනු ය. ඈ ගැන සොයන්නට බලන්නට ඕනෑ තරම් අය සිටිති. දිල්නුක ඇගේ අත් අල්වාගෙන බෙහෙත් දමන්නට පවා සූදානම් වූයේ ය. ඉතින් ඔහු කුමට ද? ඒ වෙලාවේ වජිරාත් කෑම පෙට්ටිය අතේ තියාගෙන එතැන ය. ඔහු තුළ උපන් ක්ෂණික නො රිස්සුම කුමක් ද කියා අස්විද දන්නේ නැත. ඒ ඔහු ට සිදු වන ප්‍රමාදය ගැන ද?
රිය පදවත්දීත් අස්විද ගේ සිතිවිලි වල කැළඹුමක් විය. නමුත් ඒ සිදුවීම ගැන දුරට දිගට සිතිය යුතු නැතැයි ඔහු ම තීරණය කළේ ය. දිල්නුක අලුත් ගෑනු ළමයා ගැන උනන්දු වෙන පාට ය. එහෙම දඟකාර හුරතල් කෙල්ලක තුසිතයට ඕනෑ කර තිබූ බවට සාක්ෂි මුළු තුසිතය පුරා වේ. අස්විද තොල් කොනක සිනහවක් නගාගත්තේ ය. ටික ටික හිතේ කැළඹුම තුනී වී ගියේ ය. ඔහු එදිනට නියමිත නඩු ගැන සිත යොමුකළේ ය.
ඒ වෙලාවේ පෙන්නුවේ නැතිවාට, ඉණිමගෙන් වැටුණ නිසා යසස්වි ගේ අතේ තුවාලය ද කකුලක් ද රිදුම් දුනි. එදා විශ්ව විද්‍යාලයේ දේශන නොවන නිසා හොඳට ගියේ ය. රිදෙනා බවක් නො කීව ද වජිරා ඇයට වෙනිවැල්ගැට තම්බා දුන්නා ය.
‘කෙල්ලෙක් නැති නිසා අපේ නෝනා සෑහෙන්න දුකෙන් පාළුවෙන් හිටියනෙ. ඔන්න දැන් කොල්ලො සීයක් ඉන්නව වගේ දැනෙන කෙල්ලෙක් හම්බවෙලා’
විජිත හඬ නගා සිනහ වූයේ ය. වජිරා නිකටෙහි අත තබා දෙතොල් තද කරගෙන සිනහ වූවා ය. යසස්වි ට යම් කිසි අපහසුවක් නො දැනුණා නොවේ. නමුත් ඇය ඒ ගැන කතා කරන්නට කැමති වූවා ය.
‘අනේ… මං නිකං වැඩී වැඩී වගේද… එහෙමනං කියන්න ආන්ටි… මට තව ටිකක් තැන්පත් විදිහට ඉන්න පුළුවං අංකල්’
‘ආ නෑ නෑ. අපිට මොකක් හරි අඩුයි අඩුයි වගේ දැනි දැනි තිබුණෙ. නේද වජිරා… දැං ඒක හරි වගේ. කිසි වැඩියක් නෑ’
විජිත ගේ සිනහ හඬ තුසිතය පුරා දෝංකාර දුන්නේ ය. යසස්වී නිසා විජිත සතුටෙන් ද සැහැල්ලුවෙන් ද ඉන්නා බව වජිරා ට ඉර හඳ වගේ විශ්වාස ය. ඇගේ ද දෙසවන් හා සිත නිතර ම පිරී පවතී. මේ තරමට ලොකු වී ඇය තුසිතයට ලැබුණ එක හොඳ ය. පොඩි කාලේ ම ලැබුණේ වී නම් වජිරා ට මේ වන විට මෙහෙම ඉන්නට හැකි වනු ඇතැයි සිතිය නො හැකි ය!
හැන්දෑවේ අස්විද ගෙදර එන විට සනුක ඉණිමගෙහි නැග ඔහු ගේ කාමරයේ ජනේලය ඉදිරියෙන් වන වහලේ මල් කැටයම් වඩිම්බුවේ සුළං සීනුව එල්ලමින් සිටියේ ය. යසස්වි ඉණිමඟ අල්වාගෙන ඉහළ බලාගෙන සිටියා ය. ඇයට දැනුණේ ජයග්‍රාහී සතුටකි. ඒ සතුටෙන් ම අස්විද දෙස බලා සිනහ සයුරක් පෑවාට ඔහු එක සිනහ බින්දුවක්වත් දුන්නේ නැතිව ගෙට ගියේ ය.
‘අහංකාර හැළි වඳුරා’
ඇය කුටු කුටු ගෑවා ය.
තුසිතයේ හැන්දෑ තේ පානය සිදු වන්නේ පවුල් දෙක ම එකට ය. වැඩි වශයෙන් තේ පිළියෙළ කරන්නේ වජිරා වේ. ඇතැම් දිනෙක නිලූකා ස්වේච්ඡාවෙන් ඒ කටයුත්ත සිදු කරයි. පන්ති ගිය, වැඩට ගිය, කැම්පස් ගිය හා ගෙදර සිටි හැම කෙනෙකු ම දවසේ සිදුවීම් කතා බහ කරමින් පෝටිකෝවේ තැන් තැන් වල හිඳ තේ බීම සිරිත වේ. ඒ වෙලාවට ගෙදර නැති කෙනෙකු වෙනුවෙන් පසුව තේ හදනවා නම්, පවුල් දෙකෙන් කාට වුව නැවත තේ එකක් ඉල්ලා සිටිය හැකි වේ. වෙන් වෙන්ව උයාගෙන කෑවාට පවුල් දෙකේ හට්ටි මුට්ටි ද ඕනෑ ම වෙලාවක උනුන්ට විවෘත ව පවතී. මේ පවුල් දෙකේ වන වටිනා බැඳීම් ඒවා ය.
මෙකී දිනයේත් වජිරා තේ පිළියෙළ කළා ය. උනුන් ගේ මග් වලට තේ දමා නම් කියමින් හඬගෑම ඇගේ පුරුද්දයි. නමුත් යසස්වි සියලු කෝප්ප බන්දේසියක තබාගෙන ඉස්සරහාට ගෙන ගියා ය.
‘ඔය අතත් බැරුව බලාගෙන’
කියා කියන්නට වජිරා අමතක කළේ නැත.
‘කෝප්ප එකතු කරන්න කවුරුත් එන්නෑ. බීල ගිහින් හෝදල තියන්න ඕනෙ හරිද…’
සනුක තේ එක ගද්දී ඇය අනතුරු ඇඟවීමක් ද කළා ය. තේ බොන ගමන් කෙටි පිළිසඳරකට පස්සේ කවුරු කවුරුත් තමන්ගේ හිස් තේ කෝප්පය කුස්සියට ගෙන ගොස් සෝදා තැබූහ. වෙනදාට එහෙම නොකර බීපු බීපු තැන කෝප්ප දමන සිය කොල්ලන් දෙදෙනා පවා ඒවා සෝදා තැබීම ගැන නිලූකා හිතින් සිනහ වූවා ය. නමුත් අස්විද ගේ මග් එක කනප්පුව මත විය.
‘හෙට උදේට මේකටම තේ දාන්න ආන්ටි’
යසස්වි එය අතට ගත්තේ එසේ කියමිනි. අස්විද මඳක් හිස නගා ඇදෙස බැලුවේ ය.
‘මං කිව්වෙ නෑනෙ කාටවත් ගෙනියන්න කියල’
ඔහු ඒ කියාගත්තේ අමාරුවෙනි.
‘අම්ම ගෙනියයි’
‘ආ… අම්මල කියන්නෙ වොශින් මැෂින්වත් රයිස් කුකර්වත් ඩිශ් වොෂර්වත් නෙවෙයි’
යසස්වී ගේ දෑස් ඍජුව ඔහු ගේ ඇස් මත පතිත විය. අස්විද වහා සිය නෙතු ජංගම දුරකතනය වෙතට යොමුකර ගත්තේ ය.