පිණි මුතු පලසක් – 47

0
2090

දවස් ගෙවුණද අනෝමා උන්නේ කිසිසේත්ම තමන්ගේ වචනය වෙනස් කර නොගනිමිනි. අරුණට තේරුම් ගියේ මේ මොහොතේ ඇය සමඟ තවදුරටත් කතා කිරීමෙන් ඵලක් නොවන බවයි. ඇය සිටියේ තමන්ගේම වේදනාවක සිර වී එයින් එහාට කිසි දෙයක් සිතන්නට ඉඩක් නොදෙමිනි.හදවත බිඳි ගියාක් මෙන් දැනුනද අරුණ කිසිත් වෙනසක් නොපෙන්වා රාජකාරිය සඳහා ගියේය. අම්මා පිස දෙන ආහාර අනුභව කරේය. වෙනදා මෙන්ම අම්මා සමග දුක බෙදාගත්තේය.

“අනෝමා ආන්ටි කියන දේ එයාගෙ පැත්තෙන් සීයට සීයක් සාධාරණයි නේද? අපි මේ වෙලාවෙ හැමෝටම වඩා ඇටෙන්ශන් එක ආන්ටිට දෙන්න ඕන අරුණ. එයා ඉන්නෙ ලොකු ලොස් එකක් දරාගෙන. ඔයාගෙ තාත්තව වගේම මල්ලිටත් වෙච්ච දේ එක්ක අම්මට ලැජ්ජාව, බය ඔක්කොම එක්ක තනියෙන් නෙ ඩීල් කරන්න වෙලා තියෙන්නෙ.

එහෙම එකේ ඔයාලගෙ අම්ම විතරක් නෙවෙයි අරුණ ඕනම අම්මා කෙනෙක් රියැක්ට් කරන්නෙ ඔය විදියට තමයි. ඒ හන්දා ඔයා ප්‍රශ්නෙ අහපු ගමන් අම්මා ඒකට ඔයා බලාපොරොත්තු වෙච්ච විදියෙ උත්තරයක් දේවි කියලා ඔයා බලාපොරොත්තු වෙන්න එපා. අපි එහෙම බලාපොරොත්තු වෙන එක වැරදි නේද?

ඒ ප්‍රශ්නෙට අම්මා අපි බලාපොරොත්තු වෙන උත්තරේ කවද දෙනවද කියන එක ගැන නොහිත මේ වෙලාවෙ අපි ලොකුවටම බලන්න ඕන අම්මව මෙන්ටලි බැක් ටු නෝමල් ගේන්නෙ කොහොමද කියලා. ඔයා අම්මාව කවුන්සලින් වගේ අරගෙන යන්න. මේ අපේ ප්‍රශ්නෙට උත්තරේ ගන්න නෙවෙයි අම්මාට අතීතෙ වෙච්ච දේවල් වලින් පොඩ්ඩක් රිකවර් කරගන්න” කියා සමුධ්‍යා කියද්දී අරුණ නිහඬවම ඒ සියල්ලටම එකඟ වුණේය. අම්මා සතුටෙන් සිටිනු දැකීම තමන්ට ලොකු මානසික නිදහසක් උනත් ඇගේ කෝපය සහ අගතිය සමුධ්‍යාව අත්හැරීමට අරුණගේ හිතට ඉඩ දුන්නේ නැත. අම්මාට මේ තත්ත්වය තේරුම් කරවන්නේ කෙසේද කියා අරුණ සැබවින්ම දැන උන්නේ නැත.

අරුණත් සමුධ්‍යාත් මෙයාකාර තමන්ගේම අරගලයක සිර වී ඉද්දී සත්සරා උන්නේද සර්ව සම්පූර්ණ නිදහස් මානසිකත්වයක නොවේ. 

ගල් කැට මතින් වාහන යද්දී නැගුණ හඬ මධ්‍යයේ පාසල් ඇරුණු දරුවන් බස් නැවතුමේ සිට නිවස බලා පියමන් කළහ. දූවිලි පිරුණු එම මාවත් දිගේ සත්සරා කඩිනමින් පියවර තැබුවේ වහා ගෙදර ගොස් බඩගින්න නිවා ගන්න අදහසකය.සත්සරා පාර පැන පාරෙන් එහා පස පිහිටි කඩය පැත්තට ආවේත් එහා පැත්තේ සිටි කාන්තාවන් දෙදෙනෙකු තම කතාබහ අතරමගදී නතර කර තමන් අසල උන් තම දියණියගේ අත තදින් අල්ලා ගත්තේ සත්සරා වෙත නොපහන් බැල්මක් හෙලමින් ය.

“මෙච්චර දේවල් උනාට පස්සෙත් මං හිතුවෙ නෑ ආයෙ ඉස්කෝලෙ එයි කියලා” එක අම්මා කෙනෙකු කියද්දී අනෙක් තැනැත්තිය හඬ පහත් කළ නමුත්, ඇගේ විනිශ්චය කිසිසේත් පහත් කළේ නැත.

 “ඔව්… පව් කියලත් හිතෙනවා වෙලාවකට. ඒ උනාට අනේ කවුද දන්නෙ ඔය කියන ඒවා ඇත්තමද කියලා. මොකෝ ඕව වෙද්දි අපි ඔතන හිටියද හගිස්සවගන්න? අනික කෙල්ලෙක් මොකටද කියන්නකො තනිපංගලමෙ තරුණ කොල්ලෙක් ඉන්න කාමරයක් අස්සෙ රිංගන්න යන්නෙ? ඒකෙන්නෙ ඔය ඔක්කොම ප්‍රශ්න” කියා ඇය කියූ සෑම වචනයක්ම සත්සරාට පැහැදිලිව ඇසුණි.

ඇය හිස පහත් කරගෙන දිගටම පියමන් කළාය.

නිවස අසලට පැමිණි විට, ඇය නිවස තුළට යාමට පෙර මොහොතක් නැවතුණාය. ඇය නිවස දෙස බැලුවාය පොල් අතු හෙවිලි කර වරිච්චි බිත්ති ඇති තමන්ගේ අත්තම්මාගේ නිවස, පඩිපෙළ අසල ඇති එක පැත්තක් කැඩී ගිය මල් පෝච්චිය, සුළඟේ සැලෙන රෙදි වැල සත්සරාගේ දෙනෙත් වල චිත්‍රයක් මෙන් ඇඳි ගියාය.

සෑම දෙයක්ම එලෙසම විය. කිසිම දෙයක් වෙනස් වී නොමැති බව පෙනුණත් සියල්ලම වෙනදාට වඩා වෙනස් වී ඇති බව සත්සරාගේ යටි හිත කිව්වාය.

කෙතරම් බඩගින්නක ගෙදර ආවද ඇය තමන් බෙදා දුන් බත් පිඟානට යන්තම්වත් අත තැබුවේ නැතිබව ගුණවතී දැක්කාය. සත්සරා නිවස එලියේ මිදුලේ දමා තිබූ පොල් කොටයක් උඩ වාඩි වී උන් සත්සරා දිගින් දිගටම ඈත අහසදෙස බලා සිටින බව දුටු ගුණවතී කෙල්ලගේ හිත රිදෙන යමක් සිදු වී තිබෙන බව තේරුම්ගත්තාය.

“බත් කන්න බැරිද කෙල්ලෙ? තේකක් වක්කරලා දෙන්නද?” කියා ගුණවතී අහද්දී සත්සරා හිස සෙලෙව්වේ එපා කියන්නට මෙනි.

“මොකෝ උඹ අද කෑවෙ නැත්තෙ? වෙනද උඹ තකහනියෙ ගෙදර එන්නෙම බත් එක ගිලින්න බලාගෙනනෙ. මොකෝ අදත් කවුරුහරි මොනා හරි කිව්වද?” කියා අත්තම්මා අහද්දී සත්සරාට තව දුරටත් හිත අස්සේ පමණක් කණස්සල්ල හංගගෙන ඉන්න හැටියක් තිබුනේ නැත.

සත්සරා හිස සැලුවේ අත්තම්මා ඇසූ පැනයට පිළිතුරු දෙන්නට මෙනි.

“කවුද?”

“කඩේ ළඟ උන්නු ගෑණු කට්ටියක්”

“එයාලා හිතන්නේ මම බොරු කියනවා කියලා.තනිපංගලමෙ තරුණ කොල්ලෙක් ඉන්න කාමරයක් අස්සෙ රිංගන්න ගියේ? මොනවා ගැනද එයාලා කියන්නේ? එයාලා දන්නේ නැහැ මම ගියේ ඇයි කියලා. එයාලා දන්නේ නැහැ එදා එතන මොකද වුණේ කියලා.කවුද අත්තම්මෙ හිතුවෙ ලකී මහත්තය එහෙම කරාවි කියලා.මෙච්චර ඔක්කොම දේවල් උනාට පස්සෙත් ඇයි මිනිස්සු හිතන්නෙ මං වරදක් කරාය කියලා?”

අපි නඩුවෙන් දිනුවා කියලා සමුධ්‍යා ටීච කිව්වට මිනිස්සු එහෙම හිතන්නෙ නෑනෙ” කියා සත්සරා අහද්දී ගුණවතී උන්නේ සත්සරාට දිය යුතු පිළිතුර හිත අස්සෙන් හිතාගනිමිනි.

“යමක් කමක් තේරෙන කිසිම මනුස්සයෙක් කවදාවත් එහෙම හිතන්නේ නැහැ. මිනිස්සු දේවල් කියන්නේ එයාලා ඇත්තට මූන දෙන්න බය හන්දා. ඔහොම දෙයක් මේ ගම අස්සෙ උනා කියල දැනගන්න එක මේ ගමේ ගෑනුන්ව බය කරන්නෙ ඔය වෙච්ච දේ උඹට නොවී උන්ගෙ දරුවන්ට වෙන්න තිබ්බනෙ කියල මොක උනත් හිත කියන හන්දා. මිනිස්සු කැමති නෑ හිතන්න තමන් ජීවත්වෙන්නෙ නරක ලෝකෙක කියලා. ඉතින් කවුරුහරි මේ ලෝකෙ තියෙන නරක දෙයක් පෙන්නල දුන්නම අපෙ උන් බනින්නෙ ඒ නරක ලෝකෙ පතුරුවන්න හේතුවෙච්ච උන්ට නෙවෙයි නරක පෙන්නලා දුන්න කෙනාට.”

“ඒ උනාට ඒක වැරදි නේද? ඒක අසාධාරණ නැද්ද?” සත්සරා රහසින් ඇසුවාය.

“කවද්ද බං මේ ලෝකේ සාධාරණ දේවල් උනේ? උසාවි අස්සෙ මොන තරම් නඩු දින්නත් උසාවියෙන් එලියට ආවට පස්සෙ ඒ දිනපු එක අදාල වෙන්නෙ නෑ කෙල්ලෙ. උසාවි තීන්දුව කියන්නේ පොතක ලියපු වචන ටිකක් විතරයි. හැබැයි මිනිස්සුන්ගේ කටවල් වහන්න පුළුවන්ද? බැහැනේ. එයාලා කතා කරනවා, රහසින් කතා කරනවා, ඇඟිලි දික් කරනවා. උසාවිය සමහර කතන්දර නතර කරන්න උදව් වෙනවා. හැබැයි මිනිස්සු කරන්නෙ තව තව කතන්දර හදන එක. එයාලගේ ඔළුවල තියෙන පුංචි පුංචි හිඩැස් පුරවගන්න එයාලා කතා හදනවා. ඒක තමයි මේ ලෝකේ හැටි.

මිනිස්සුන්ට ඕන නෑ අසාධාරණයක් වෙලා වැටිච්ච එකෙක්ට සාධාරණයක් උනා කියල හිතන්න. හැමෝටම ඕන තමන් වැරදි නෑ කියල හිතන්න. ඒ නිසා තමයි උන් වැරැද්ද කරපු එකා සුද්ද කරලා අනික් එකාට  දොස් කියන්නේ. 

උඹ දන්නවද කෙල්ලෙ, මේ කටකතා කියන්නේ ගස්වල වැටෙන කොළ වගේ. කොච්චර අතුගෑවත් ආයෙත් වැටෙනවා. හැබැයි ඒවට උඹේ ජීවිතේ කියන මහ රූස්ස ගහ බිමට වට්ටවන්න කවදාවත් ඉඩ දෙන්න එපා. කොල හැලුනට ගහක් කවදාවත් වැටෙන්නෙ නෑනෙ. උඹ හයිය වෙන්න ඕන. හැම කතාවක් පිටිපස්සෙම කතාවක් තියෙනවා. මිනිස්සු කියන කතා අහලා උඹ දුක් වෙන්න එපා. උඹ දන්නවනේ ඇත්ත මොකක්ද කියලා. ඒක තමයි වැදගත් ම දේ.

කලින් වගේ ඉන්න ඕන නැහැ කෙල්ලෙ. උඹ වෙනස් වෙලා. ලෝකේ වෙනස් වෙලා. හැබැයි ඒක හොඳ විදියෙ වෙනසක් වෙන්න පුළුවන්. උඹට දැන් තේරුම්කමක් තියෙනවා, ඒකෙන් උඹට තවත් හයිය වෙන්න පුළුවන්. කටකතා කියන ඒවා හුළඟ වගේ. හුළඟ හමනකොට ගස් වැනෙනවා. ඒත් ගහේ මුල් හයිය නම් හුළඟට ගහ පෙරළන්න බැහැ. උඹත් ඒ වගේ වෙන්න ඕන.

මම දන්නවා උඹට මේක අමාරුයි කියලා. මම දන්නවා උඹට රිදෙනවා කියලා. ඒත් මතක තියාගනින්, උඹ තනියම නෙවෙයි. අපි හැමෝම උඹ ළඟ ඉන්නවා. හැමදාම. උඹට ඕන වෙලාවක අපි ඉන්නවා. ඒ ඇති. 

අනිත් මිනිස්සු කියන දේවල්වලට උඹ දැන්ම උත්තර දෙන්න ඕන නෑ.

ඒ උනාට කවදහරි දවසක උත්තර දීපං”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here