පිණි මුතු පලසක් – 48

0
1338

සත්සරා එතැන් පටන් ජීවත්වනු පිණිස අත්තම්මාගේ වචන හිතට ගත්තාය. ගමේ මිනිසුන්ගේ කටකතා සහ හිත රිදවන වචන හිතට තදින්ම දැනුණත්, අත්තම්මා විසින් කියන්නට යෙදුණ කතාව සත්සරාගෙ හිතට අලුත් ශක්තියක් ගෙන දුන්නේය. ඇය තම පාඩම් කටයුතුවලට වඩාත් තදින් කැපවීමට තීරණය කළාය. තම අනාගතය ගොඩනඟා ගැනීමෙන් පමණක් මේ කටකතාවලට පිළිතුරු දිය හැකි බව ඇය විශ්වාස කළාය.

පාසලේදී, සත්සරාගේ හැසිරීම වෙනස් වුනේ ඒ අනුවය. වෙනදාටත් බියගුලු නිහඬ, හැකි හැම විටම හිස නමා බිම බලාගෙන හිඳිනා අයෙකු වූ ඇය වෙනදාටත් වඩා නිහඬ විය. අනිත් ළමයි ඇයගෙන් ඈත් වී සිටියත්, ඇය ඒ ගැන තැකීමක් නොකළාය. ඇය තම පොත්පත්වලට වැඩි අවධානයක් දුන්නාය. විභාග ළං වෙද්දී ඇය අතිශයින්ම වෙහෙස වී පාඩම් කළාය. රාත්‍රී කාලයේදී පවා ඇය පහනේ තෙල් ඉවර වන තුරුම පොත්පත් කියෙව්වාය, පාඩම් වැඩවල නිරත වූවාය. සත්සරාගේ එකම අරමුණ වූයේ විභාගය හොඳින් සමත් වී, මේ කටකතා සියල්ලම බොරු බව අත්තම්මා කියූ පරිද්දෙන්ම සමාජයට ඔප්පු කිරීමයි.

මේ සිදුවීම සම්බන්ධයෙන් කතා කිරීමට සමුධ්‍යා ඒ අතරවාරයේ ඉදිරිපත් වෙනට සිතුවේ මතුපිටින් දෙයක් දෙස බලා තීරණ ගන්නා සමාජයක් වෙනස් කිරීමේ අරමුණෙනි. සත්සරාව ඇගේ සම වයසේ දරුවන් විසින් ප්‍රතික්ශේප කරන බවද, විහිලු තහලු හිත රිදවන කතා කියන බවද සමුධ්‍යා දැනගත්තේ සත්සරාගෙන් නොව වෙනත් ගුරුවරියන් කිහිප දෙනෙකු විසින් ස්ටාෆ් රූම් එක ඇතුලේ කියන්නට යෙදුණ කතාවන් අසා හිඳය.

සමුධ්‍යා  කාර්යාලයේ වාඩි වී සිටියේ, දහවල් ආහාරය ගැනීම සඳහා සිසුන් විවේකයට ගිය පසු ලැබෙන මද විරාමය භුක්ති විඳිමින් තම වාර්තා පොතේ යමක් සටහන් කරමින්ය. එතැනට පැමිණි ඉතිහාසය උගන්වන රංජනී පුටුවක් ඇදගෙන සමුධ්‍යා අසලින් වාඩි වෙද්දිත් රංජනීගේ මුහුණේ තිබුණේ තරමක් නොසන්සුන් පෙනුමක් යැයි දකිද්දිත් මේ වනාහී තමන් නොසිතන අන්දමේ යම් කිසි බරපතල කතාවක් විය හැකි බවට සමුධ්‍යාගේ සිත ඉඟි කෙරුවාය.

“සමුධ්‍යා, ඔයා අර සත්සරා එක්ක ඊට පස්සෙ කතාකරාද?” කියා රංජනී අහද්දි හිත කොතෙක් කලබල වුවද සමුධ්‍යා එය එලියට පෙන්වූයේ නැත.

“මම එහෙම ස්පෙශලි නම් මුකුත් කතා කරේ නෑ රංජනී මිස්. ඇයි එහෙම ඇහුවෙ?”

“නෑ අර ළමයි ටිකක් එයාට විහිළු කරලා තිබ්බා කියල අපේ ක්ලාස් එකේ ළමයි වගයක් කිව්වා. මං ඒකයි ඇහුවෙ. ඔයා දන්නවනෙ සිරිමතී මිස්ගෙ දූ චාමිනීත් ඔය සත්සරාලගෙ ක්ලාස් එකේනේ. සත්සරා පන්තියට යද්දී කෙල්ලෝ ටිකක් කතා කර කර ඉඳලා තියෙනවා. නදීෂායි, චාමිනීයි. එයාලා හිතලා නැද්ද මන්දා සත්සරාට ඇහෙයි කියලා, ඒත් ඒ ළමයට ඒක ඇහිලා. ‘අනේ බලහන්කො ඒකි දිහා, කිසිම දෙයක් වුණේ නැති ගානට ඉන්නවා’ කියලා නදීෂා කියද්දි චාමිනී ඒකට හිනා වෙලා, ‘අනේ මන්දා, මේ කේස් එකෙන් පස්සේ කොහොමද ඒකි මෙහෙම ඉන්නේ කියලා. සමහරවිට මේ හැමදේම බොරු වෙන්න ඇති. අපේ අම්මත් කිව්වා කොහොමත් සත්සරාට මගුල් විසේ කියලා’ කිව්වලු.” රංජනී කිව්වේ කණගාටුවෙන්ය.

“මොනවද අප්පා මේ ලැජ්ජ නැති වැඩ?  අර දරුවා මොනතරම් වේදනාවක් විඳිනවා ඇත්ද? එයාලා හිතන්නේ නැද්ද ඒ ළමයා මේ වෙනකොටත් කොච්චර දුක් විඳලා ඇත්ද කියලා? සත්සරා මොකද කරලා තියෙන්නෙ?”

“ඒ ළමයා මුකුත් කියලා නෑ. කොහොමත් වැඩි කතාබහක් කරන ළමේක් නෙවෙයිනෙ.. ඔළුව පහත් කරගෙන ගිහින්. ඒත් ඊට පස්සේ ඒ ලමයා ඕවා කල්පනා කරලා ඔලුව තව කුරුවල් කරගන්න එකනෙ වෙන්නෙ. පන්තියේදී තනියම පාඩම් කර කර ඉද්දි තවත් ළමයි ටිකක් ගිහින් කතා හදන උන් සේරම බෝසත් ද? ඔලුව නවන් හිමිජ්ජි වගේ ඉඳල ඉස්කෝලේ කොල්ලන්ටත් මොන මොනවා කියාවිද දන්නෙ නෑ වගේ දේවල්’ කියලා තියෙනවා. ඒ වෙලාවේ නම් සත්සරා ඒ අයට උත්තර දීලා. ඉන්පස්සෙ කට්ටිය මුකුත් කියන්න ගිහින් නෑ ඒ උනාට කෝකටත් මට හිතෙන්නෙ අපි තව පොඩ්ඩක් ඒ ළමයා දිහා බලන් ඉන්න එක හොඳයි නේද කියලා සමුධ්‍යා?

ඔය වගේ ප්‍රශ්නෙකින් ගොඩ එන්න අපෙ උදව්වත් ඕනනෙ. මේ වගේ දේවල් වෙන්න ගත්තොත් ඒ ළමයට හිත හදාගෙන ගොඩ ඒමක් නැතිවෙයි” කියා රංජනී කියද්දි සමුධ්‍යා හිස වැනුවේ ඒ වචන හා එකඟ වනු පිණිසය.

“ඒත් සමුධ්‍යා, මේක නතර කරන්නේ කොහොමද? මේ කටකතා ඒ දරුවට ලේසියෙන් ඉඩ දෙන්නේ නැහැ සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න.” රංජනීගේ කටහඬේ තිබුණේ අසරණකමකි.

” මේක අපි හැමෝම මුහුණ දෙන ප්‍රශ්නයක්. සමාජෙ හරිම ඉක්මනට දේවල්වලට තමන්ගෙ තීන්දු තීරණ දෙනවා, ජජ් කරනවා. විශේෂයෙන්ම ගැහැණු ළමයින්ව. අපි කොච්චර ආරක්ෂා කරන්න හැදුවත්, සමහර දේවල් අපිට කන්ට්‍රෝල් කරන්න කිසිමාකාරයකින් පුලුවන්කමක් නෑමෙ. ඒත් අපිට පුළුවන් දරුවන්ට ශක්තිමත් වෙන්න උගන්වන්න. තමන්ට අසාධාරණයක් වුණාම ඒකට විරුද්ධව කතා කරන්න උගන්වන්න.”

“අපි ලබන සතියේ පාසල් රැස්වීමකදී මේ ගැන කතා කරමු. අපි ළමයින්ට පැහැදිලිව කියමු, මේ වගේ සිද්දියකට මූන දුන්න කෙනෙකුට චෝදනා කරන එක, පස්සෙන් ගිහින් කතා හදන එක කොච්චර නම් වැරදිද කියලා. සත්සරා කළේ හරිම නිර්භීත දෙයක්. ඒක වැරදීමක් නෙවෙයි. ඒක ආදර්ශයක්.” සමුධ්‍යා පැවසුවේ තරමක් තදින්ය.

“හොඳ අදහසක් සමුධ්‍යා. ඒත් ළමයි කොච්චර දුරට ඒක තේරුම් ගනීවිද? අනික දරුවන්ගෙ ඔලුවලට විසබීජ දාන්නෙත් ගෙවල් වලින්නෙ. ඒක කොහොමද අපි නතර කරන්නෙ? මේ දරුවව දැන් සලකන්නෙ නිකන් අර දෙයියන්ගෙ ලෙඩක් හැදිච්ච කෙනෙක් විදියට” රංජනී ප්‍රශ්න කළා.

“තේරුම් ගන්නේ නැති වුණත්, අපි කියන්න ඕන. හැමෝම වෙනස් වෙන්නේ නැති වුණත්, එක දරුවෙක් හරි මේ කතාවෙන් දෙයක් ඉගෙන ගත්තොත් ඒක මට ඇති. අපි දරුවන්ට උගන්වන්නේ මේ වගේ දේවල්වලින් බේරෙන්න ඕන කියලා. ‘ඒ පාරේ යන්න එපා’, ‘ඔය ඇඳුම අඳින්න එපා’, ‘රෑට එළියට යන්න එපා’ වගේ දේවල්. ඒක වැදගත් තමයි. හැබැයි අපි කවදාවත් උගන්වන්නේ නැහැ, ,මේ වගේ අකටයුත්තක් වුණොත් මොකද කරන්න ඕන කියලා. ඔයාලට කවුරුහරි හිංසනයක් කළොත්, ඔයාලා නිහඬව ඉන්න ඕන නැහැ. ඔයාලා කතා කරන්න ඕන. කවුරුහරි විශ්වාසවන්ත වැඩිහිටියෙකුට කියන්න ඕන. ඒකට ලැජ්ජා වෙන්න ඕන නැහැ. මොකද, වැරැද්ද කළේ ඔයාලා නෙවෙයි. වැරැද්ද කළේ අනිත් කෙනා. ඒ නිසා ඔයාලට කිසිම දොසක් අහන්නෙ වෙන්නෙ නෑ කියලා අපි කියන්නෙ නෑනෙ. කොච්චර prevention is better than cure කිව්වට මිස් අපිට සමහර දේවල් වෙන එක වළක්වන්න විදියක් ඇත්තෙම නෑනෙ. එහෙම එකේ දෙයක් උනාට පස්සෙ මොකද කරන්න ඕන කියන එක පවා අපි උගන්වන්න ඕන.

සත්සරා අපිට පෙන්නලා දුන්නා කොහොමද මේ වගේ දේකට මූණ දෙන්නෙ කියලා. එයා කිසිම දෙයකට බය වුණේ නැහැ. එයාට වුණ අසාධාරණයට විරුද්ධව කතා කළා. ඒක ඇත්තටම හරිම ආදර්ශමත් දෙයක්. අපි හැමෝම එයාගෙන් ඒ ආදර්ශ ගන්න ඕන. කවදාවත් අසාධාරණයකට ඉඩ දෙන්න එපා. කවදාවත් නිහඬව ඉන්න එපා. ඔයාලගේ හඬට බලයක් තියෙනවා. ඒ බලය පාවිච්චි කරන්න කියන එක අපි අනිත් දරුවන්ටත් කියන්න ඕන.” .

සත්සරාට, අත්තම්මාගේ සහ සමුධ්‍යාගේ සහයෝගය ලැබුණද, සමාජයේ විනිශ්චයන්ට දිගින් දිගටම මුහුණ දෙන්නට සිදුවුණ බව කිව යුතුමය. ඇය සිය අධ්‍යාපන කටයුතු කෙරෙහි අවධානය යොමු කළේ එම අභියෝග මැදින් ගොඩඒමටයි. ඇයම් සිදුවීමකින් පසු වින්දිතයෙකුට සාමාන්‍ය ජීවිතයට පැමිණීම අප සිතන තරම් පහසු නොවන බවත්, සමාජයක් ලෙස අපගේ වගකීම වන්නේ ඔවුන්ට සහයෝගය ලබා දීම මිස චෝදනා කිරීම නොවන බවත් සත්සරා මෙන්ම සමුධ්‍යා ඇතුලු පිරිස තේරුම්ගත්තේ දිනෙන් දින මේ අභියෝග වලට මුහුණ දෙමින් ඉදිරියට යද්දීය.

සත්සරාගේ ජීවිතය ටිකෙන් ටික සාමාන්‍ය තත්ත්වයට පත් වුවත්, ඇය වටා ඇති සමාජයේ බැල්ම කිසිදා ඇයව සම්පූර්ණයෙන් අත්හැරියේ නැත. ඇය ඉස්කෝලේ යන විට, සමහර ළමයි ඇය දෙස බැලුවේ වෙනස් ආකාරයකටය. ඔවුන් ඇය ගැන රහසින් කතා කරන හඬ ඇයට පැහැදිලිව ඇසුණි.

ඇය පාඩම් කටයුතුවලට අමතරව, සමුධ්‍යා සමග සමාජ සේවා කටයුතුවලට සම්බන්ධ වීමට පටන් ගත්තාය. සමුධ්‍යා  ඇයව නොයෙකුත් වැඩසටහන්වලට සම්බන්ධ කරගත්තාය. මිනිසුන් රැසක් සමග එක්ව ක්‍රියාකාරී වීම මුලදී අමාරු වුවත්, ටිකෙන් ටික ඇය ඒ සඳහා හුරු විය.

මල් පොහොට්ටු තිබුනේ හීන් සැරේ මේ අලුත් වසන්ත කාලයේ පිපෙමින් ය.

මල් පිපෙන්නට තව බොහෝ කලක් ඇති බව දන්නවා නමුත් සත්සරා ඒ ගැන වද වුණේ නැත.

මල් පොහොට්ටු දැන් දකින්නට හැක. ඉතින් අනිවාර්‍යෙන්ම මල් පිපෙනු ඇති බව ඇය විශ්වාස කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here