ආදර සැලසුම් – 16

0
2679

ඉතා ඉවසීමෙන් ජීවත් වූ පුද්ගලයෙකු ගේ එම ඉවසීමේ සීමාව ඉක්ම වූ තැන කෙතරම් දරුණු වනවා දැයි ෂෙහාරා උගත්තේ ආදිත්‍ය දැඩි තීරණයක හුන් නිසාය. එම නිසා ෂෙහාරා උන්නේ කරකියා ගත හැකි දෙයක් නොමැතිවය.

” ආදිත්‍ය කලබල වෙලා තීරණ ගන්න එපා. ඔයාට තේරෙන්නේ නැද්ද අපේ පවුල් දෙකටම මේකෙන් කොච්චර ලොකු ඩැමේජ් එකක් වෙනවද කියලා ? හැමෝටම කියලා ලොකුවට වෙඩින් එකක් අරගෙන අවුරුද්දක් යන්නත් කලින් කොහොමද අපි ඩිවෝස් වෙන්නේ ? අනේ පොඩ්ඩක් තේරුම් ගන්නකෝ ආදිත්‍යය මම කියන දේ ” 

ෂෙහාරා ආදිත්‍ය ඉදිරියේ බැගෑපත් වූවාය.එහෙත් ආදිත්‍ය උන්නේ ඒ එකදු වචනයක් හෝ සලකා බලන තත්ත්වයක නොවේ.එකම වහලක් යට එකට ජීවත් වූ තම බිරිඳම තමාව රැවටීමේ වේදනාවෙන් ආදිත්‍ය පෙළෙමින් උන්නේය.ඒ වේදනාව පරදා කෝපයකුත් නැගෙමින් තිබුණු නිසා ආදිත්‍ය තම තීරණය වෙනස් කිරීමට කිසිසේත්ම සූදානම් වූයේ නැත.

” පවුල් දෙකටම ඩැමේජ් එකක් වෙනවා කියලා ඔයාට හිතන්න තිබුනේ මේ නාඩගම් පටන් ගන්න කලිනුයි ෂෙහාරා. මං ඉවසගෙන හිටියේ පවුල රැක ගන්න ඕන නිසා මිසක් මේ වගේ රැවටෙන්න නෙමෙයි ” 

එසේ කිවූ ආදිත්‍ය රෝහල් කාමරයෙන් පිටතට පැමිණියේය. ඒ වනවිට උදෑසන අට පමණ වී තිබු නිසා තමා කාර්යාලයට නොපැමිණෙන බව අභිමන්ට හෝ දැනුම් දිය යුතු යැයි සිතමින් ආදිත්‍ය දුරකථනය ගෙන අභිමන්ට ඇමතුමක් ගත්තේය.

” ගුඩ්මෝනින් අයියා ” 

” ගුඩ්මෝනින් මල්ලි.මං කතා කළේ මට අද ඔෆිස් එන්න වෙන්නෙ නෑ කියන්න ” 

ආදිත්‍යය එසේ පැවසූ විට අභිමන් සිත යටින් සුසුමක් හෙළුවේය. ඔහු නැතිව හෝ කාර්යාලයේ කටයුතු තමාට කළමනාකරණය කර ගත හැකි වුවත් මෑතක සිට ආදිත්‍ය සිටින්නේ හොඳින් නොවන වග අභිමන් වටහා ගනිමින් උන්නේය.

” ඕකේ අයියා. අවුලක් නෑ Take your time ” 

අභිමන් හේතුවක් නොවිමසාම කීවේය.

” මල්ලි ” 

අභිමන් දුරකථන ඇමතුම විසන්ධි කරන්නට සූදානම් වන විටම ආදිත්‍ය නැවත සිහින් හඬින් කතා කළේය.

” ඇයි අයියා ? ” 

” ෂෙහාරා ඇක්සිඩන්ට් උනා ඊයෙ රෑ ” 

” What ? ” 

ෂෙහාරා ගමනක් ගොස් නැවත නිවසට පැමිණෙන විට හදිසි අනතුරකට ලක් වී ඇති බව පමණක් ආදිත්‍ය අභිමන් හට කීවේය. එහෙත් අභිමන් එය විශ්වාස කළේ නැත.පසුගිය කාලයේ ආදිත්‍ය ගේ හැසිරීමත් ඔහුගේ මුහුණින් පැහැදිලිවම දක්නට ඇති කනස්සල්ලත් එයට හේතුව විය.එහෙත් ආදිත්‍ය පවසනා දෙයට වඩා යමක් හාරවුස්සන්නට අභිමන්ට සිත දුන්නේ නැත.

ආදිත්‍ය රෝහල් කාමරයට ඇතුළු වූයේ ෂෙහාරා දෙස බැල්මකින්වත් නොබලාය.ඔහුගේ සිත තුළ වූ කලකිරීම බිඳෙන් බිඳ උත්සන්න වූවා මිස මදක්වත් අඩු වූයේ නැත.

” මං ගෙදර යනවා ෂෙහාරා. ඕන කරන දේවල් ටික අරගෙන මං දවල් වෙලා එන්නම් ” 

ෂෙහාරාට තවත් යමක් නොකියන්නට ඉඩ තබාම ආදිත්‍ය තප්පර කිහිපයක් ඇතුලත රෝහල් කාමරයෙන් පිටවූයේ ය. තවත් මොහොතක් දොරකඩ සිට කල්පනා කෙරූ ආදිත්‍ය සෙමෙන් පියවර තබමින් විදුලි සෝපානයට ගොඩ වී ඉහළ මාලයට නැගුනේය. විදුලි සෝපානයෙන් පිටතට පැමිණි ආදිත්‍ය කොරිඩෝව දිගේ පැමිණ තවත් එක් කාමරයක් අසල නතර වී කල්පනා කළේය. ඉන් පසුව ඉතා දිග හුස්මක් ගෙන කාමරයට ඇතුළු වූයේ සිදුවන ඕනෑම දෙයකට මුහුණ දෙන්නට සිතා ගෙනය.

” රයන් ? ” 

රෝහල් කාමරයේ ඇඳ මත සිටියේ තමා මෙන්ම දේහධාරී සහ කඩවසම් තරුණයෙකි. ෂෙහාරා ට සිදුවී තිබූ හානියට වඩා වැඩි හානියක් ඔහුට සිදුවී තිබුණු අතර පෙනුණු ආකාරයට ඔහුගේ දකුණු අතද කැඩී තිබුණේය.

” Yes ? ” 

තරුණයා ආදිත්‍ය දෙස බැලුවේ නන්නාඳුනන පුද්ගලයකු පැමිණ තමාව ඇමතීමේ  කුතුහලයෙනි.ආදිත්‍ය රෝහල් ඇඳ අසලටම පැමිණ නැවතුනේය.

” මං ආදිත්‍ය. ආදිත්‍ය දේවපුර ” 

” අ.. මං ඔයාව අඳුරන්නේ නම් නැහැ ආදිත්‍යය ” 

තරුණයා කීවේය.

” ඔව් ඔයා මාව අදුරන්නේ නැහැ.මමත් ඔයාව අඳුරගත්තේ අද ” 

ආදිත්‍ය පිළිතුරු දුන්නේය. ෂෙහාරා රැවටුවේ තමාව පමණක් නොවේ.ඒ නිසා දැන් මොහුට සත්‍ය වසන් කර පළක් නැත. 

” මං ෂෙහාරා ගේ හස්බන්ඩ් ” 

රයන් අපහසුවෙන් නැගිට ඇඳ මත වාඩි වුයේ අදහා ගත නොහැකි බැල්මකින් ආදිත්‍ය දෙස බලමිනි. ඔහු සමග කතා කිරීමට සහ ඔහුට සත්‍ය පැවසීමට ධෛර්‍යයෙන් යුතුව පැමිණියද ආදිත්‍ය උන්නේ දැඩි අපහසුවකිනි. ලොව කිසිදු සැමියෙකුට මෙවන් අවස්ථාවක් උදා නොවේවායි ඔහු සිතින් ප්‍රාර්ථනා කළේය.

” මොකක්ද ? මට ඔයා කියන දේ තේරෙන්නේ නෑ ? ” 

” මට තේරෙන්නෙත් නැහැ රයන්. මමත් තාම ඉන්නේ මේ වෙච්ච දේ මොකක්ද කියලා හිතා ගන්න බැරි තත්වෙක ” 

” ෂෙහාරා මැරීඩ් කියලා මම දැනගෙන හිටියේ නැහැ ආදිත්‍ය. මට එයාව මීට් උනේ පබ් එකේදි.එයා මගේ යාළුවෙකුගේ යාළුවෙක්.අඩුම ගානේ ඒ යාළුවවත් මට මේ ගැන කියලා නැහැ ” 

ආදිත්‍ය පුදුම වූයේ නැත. ෂෙහාරා ට සිටින්නේ වරදක් පෙන්වා දෙන තරමේ හොඳ ගතිගුණ ඇති යහළුවන් නොවන බවත් , ඔවුන් ජීවිතය පිළිබඳව ඉතා සරලව සහ සැහැල්ලුවෙන් සිතන විනෝද කාමින් පමණක් බවත් ආදිත්‍ය පළමුවෙන්ම තේරුම් ගත්තේ විවාහ මංගල්‍යය උත්සවය දිනයේය.

” ෂෙහාරා මැරීඩ් කියලා දන්නවනම් මම මෙහෙම affair එකක් පටන් ගන්නෙ නැහැ ආදිත්‍ය කීයටවත්. ප්ලීස් මාව වරදවල තේරුම් ගන්න එපා.ඇත්තමයි මටනම් මේක හිතා ගන්නවත් බැහැ  ” 

” එහෙම දෙයක් නෑ රයන්. මට ෂෙහාරාම කිව්වා එයා මැරීඩ් කියලා එයා ඔයාට හැංගුවා කියලා “

එකම ගැහැණියකට රැවටුණු තරුණයන් දෙදෙනා මොහොතකට නිහඬ වූහ. රයන් හට මේ කාරණයෙන් ගැලවීමට ඉතා පහසු වුවත් තමාට එසේ නැත. තමා බොහෝ දේවල් වලට මුහුණ දිය යුතුය. විවාහයක පදනම විශ්වාසය මත රඳා පවතින නිසා තමාගේ විවාහය දැන් අරුත් සුන් එකක් බව ආදිත්‍ය සිතුවේය.

” ඇත්තටම මම ඊයේ ටිකක් බිසී උනා ආදිත්‍ය.ෂෙහාරාගේයි මගෙයි යාළුවෙක් පාටි එකකට ඉන්වයිට් කරත් මට යන්න බැරි වුණා. ඒත් රෑ වෙද්දි ෂෙහාර මට එන්න කියලා දිගටම කෝල් කරා.අනිත් එක එයා ගොඩක් ඩ්‍රින්ක්ස් අරගෙන හිටියේ. මං ඒ නිසා ටැක්සි එකක් දාගෙන පබ් එක ළඟට ගිහින් එයාව අරගෙන එයාගේ වාහනේ එද්දී තමයි මේ ඇක්සිඩන්ට් එක උනේ ” 

හදිසි අනතුර සිදුවූ ආකාරය රයන් පැහැදිලි කළේය. ආදිත්‍යය එය අසා උන්නේ පරාජිත වූ හැඟීමකිනි. අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු සිට ඇත්තේ බීමතින් නොවන බව හෙදියක් පැවසූ කතාව සත්‍ය බව ආදිත්‍ය වටහා ගත්තේය.දෙදෙනෙකු රැවටීමේ වරද සම්පූර්ණයෙන්ම සිදුවී ඇත්තේ ෂෙහාරා අතින්ය. විවාහ යෝජනාවකින් ෂෙහාරාව මුණ ගැසුණත් විවාහයට පෙර සිටම ආදිත්‍ය ෂෙහාරා පිළිබඳව සොයා බලමින් ඇගේ අවශ්‍යතා සියල්ල ඉටු කළේය. විවාහයෙන් පසුවද එය නොවෙනස්ව පැවතුනු නමුත් මාස ගණනාවකට පෙර සිට ෂෙහාරා ගේ පැහැදිලි වෙනසක් දක්නට වූයේ රයන් මුණ ගැසීමෙන් අනතුරුව යැයි ආදිත්‍ය අනුමාන කළේය.

” මේ ඇක්සිඩන්ට් එකෙන් හරි ඇත්ත එළිවෙච්ච එක හොඳයි ආදිත්‍ය. නැත්නම් මං තව මාසයක් දෙකක් ගියාට පස්සේ මගේ පේ්‍රන්ට්ස්ලට මේ ගැන කියන්න හිටියේ ” 

ආදිත්‍ය අසා උන්නේය. ෂෙහාරා මේ ආකාරයට ජීවිතය සහ බැඳීම් සැහැල්ලුවට ගෙන කටයුතු කළේ කෙසේදැයි ආදිත්‍ය හට ඒ මොහොතේදී ත් සිතා ගත නොහැකි විය. කතා බහෙන් සහ පෙනුමෙන් රයන් යනු වැදගත් තරුණයෙකි. ඔහු බලාපොරොත්තුවෙන් සිට ඇත්තේ ෂෙහාරාව විවාහ කර ගැනීමටය.

” ෆෝන් එක අතට හම්බුනාට පස්සේ මං කීප සැරයක්ම ෂෙහාරාට ගත්තා.එයා ආන්සර් කළේ නැහැ. ආපු නර්ස් කෙනෙක්ගෙන් විස්තර ඇහුවම එයා කිව්වේ ෂෙහාරාගේ ගෙදරින් ඇවිල්ලා ඉන්නවා කියලා.ඒත් මං මෙහෙම දෙයක් නම් කීයටවත් බලාපොරොත්තු වුණේ නෑ ආදිත්‍යය ” 

ආදිත්‍යය යන්නට නැගිට්ටේය. ජීවිතය යනු ක්ෂණයකින් වෙනස් විය හැකි දෙයක් බව ගත වූ පසුගිය පැය කිහිපය තුළ ආදිත්‍ය තේරුම් ගත්තේය. ඉතින් මෙවන් වූ වේදනා බර විවාහයක සහ බැඳීමක තවත් රැඳී සිට පලක් නැත.

” තෑන්ක්ස් රයන්. මට ඇත්තම කිව්වට තෑන්ක්ස් “

” ඔයා දැන් මොකක්ද කරන්න හිතන් ඉන්නේ ආදිත්‍යය ? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here