ඔබ දකින තුරා -4

ඈතින් සුදු වළා කැටිති වලින් ගහන නිල් අහස ද, සුදු පෙණ කැටිති දඟ කරන නිල් සයුර ද සහිත පසු බිම ය. මෑතින් නිල් ඩෙනිම් කලිසමකට සුදු කමිසයක් හැඳි තුරුණුවෙක් ය.  මුවග පිපුණු හදිසි මඳහසකින් යුතුව තුරුණුවා තරුණියන් වෙත ඇවිද එමින් සිටියේ ය. එය මුල දී ඔහු ගෙන් දකිත හැකි වූ නො සැලකිලිමත් අලස ගමන වෙනුවට උද්‍යෝගයෙන් පිරිපුන් කඩිසර ගමනකි. 

අමාරසී මේ දර්ශනය දුටුවේ සිතුවමක් ලෙසිනි. ඇය චිත්‍ර ශිල්පිනියක වූවා නම්, එය ඇගේ අතින් ඇඳෙනා අගනා ම සිතුවම වනු ඇත. 

“කොහොමද..”

ඔවුන් ළඟට ම පැමිණි ඔහු මාරුවෙන් මාරුවට තරුණියන් දෙදෙනා දෙස බලමින් ඇසුවේ ය. සැඳෑ හිරු රැසින් දුඹුරු පාට වූ මුහුණක් ඇති උසැති කොල්ලෙකු යනු ස්ත්‍රී ඇසකට ඒ සා චමත්කාරයක් විය හැකි දසුනක් යයි කවුරුවත් සිතා තිබුණේ නැත. 

“මිස්ට දිසත්…”

අමාරසී තව දුරටත් ඔහු දෙස බලා සිටියදී මුණිවත බින්දේ දිලිනි ය.

“බබාව එක්ක ආව ටිකක් බීච් එකට”

“මේ ඔයාගෙ බබාද..”

දිසත් තරුණියන් දෙදෙනා විසින් දෑතින් අල්ලා ගෙන සිටි පුංචි කොලු පැටියා වෙත නැඹුරු වූයේ ය.

“ඔව්”

“ඔයාට බබෙක් නැද්ද…”

ඊළඟට ඔහු යළිත් තරුණියන් දෙස බලමින් විමසුවේ අමාරසී ගෙනි.

“ඉන්නව. ගෙදර…”

ඇය ගත් කටට ම එසේ කියා අතකින් මුව වසා ගෙන සිනහ වූවා ය. ඒ සිනහව හරියට සමනල කන්ද මුදුනේ දී දැකිය හැකි හිරු ගේ ප්‍රථම දර්ශනය වාගේ යයි දිසත් ට සිතිණි. 

“බොරු මිස්ට දිසත්. රසී අන්මැරීඩ්”

දිලිනි ඉක්මන් කොට ඒ වරද නිවැරදි කළා ය. 

“මිස්ට දිසත්ට බබාල කී දෙනෙක් ඉන්නවද…”

“තාම එක්කෙනෙක්වත් නෑ දිලිනි”

කියමින් ඔහු පෑ මඳහස ලැජ්ජාශීලී එකකි.

“මේ ඉන්නෙ..මෙන්න මෙයාව දීල දාමු එහෙනං”

කියමින් දිලිනි ගේ පුතණුවන් වඩා ගත් අමාරසී ඔහු ව තදින් සිප ගත්තා ය. පැංචා ඇගේ හිස දෝතින් ම වැළඳ ගෙන කිතියට සිනහ වූයේ ය. 

“අංකල් එක්ක යනවද…ම්…බෑ නේ..ඔයා මගෙ නේ…”

“ඔයාගෙයි අම්මිගෙයි තාත්තිගෙයි”

පොඩි එකා ගේ සුරතල් කතාවට එතැන මැවුණේ සිනහවකි. ඊළඟට ඔවුන් ඇවිද යන්නට වූයේ එකට ය. අමාරසී දරුවා බිම තැබුවේ නැත. ඇය ඉතාමත් තදින් ඔහු ව තුරුලු කර ගෙන සිටියා ය. ඇගේ හදවත තුළ කාලයක් තිස්සේ පවතින්නා වූ අසීමිත තනිකමක්, එසේ සමථයකට පත් කර ගන්නට එය උත්සාහයක් වූ බව ඇය පවා දැන සිටියේ නැත. 

“බිමින් තියන්න රසී…ඔය අලි බබාව උස්සං යන්න බෑ”

දිලිනි කීවා ය. තමුත් එසේ කරන්නට ලෝබ කමින් ඇය තව තවත් දරුවා ව තුරුලු කර ගෙන සිටියා ය. 

මොනවා හෝ බොන්නට තරුණියන් ට ඇරයුම් කළේ දිසත් ය. අමාරසී නිහඬ ව සිටියා ය.

“අනේ කරදර වෙන්න එපා මිස්ට දිසත්”

දිලිනි ආචාරශීලී ලෙස ඇරයුම ප්‍රතික්ෂේප කරන්නට හැදුවත් දිසත් ඊට ඉඩ දුන්නේ නැත.

“මොන කරදරයක්ද…යං..ඔයාට ටෝයි එකක් අරං දෙන්නංද අංකල්..”

ඔහු අමාරසී අතේ උන් දරුවා ගේ හිස පිරිමැද ඇසුවේ ය. පොඩ්ඩා සිනා සී අමාරසී ගේ ගෙලෙහි මුහුණ සඟවා ගත්තේ ය.

“ආ..මේ බලන්නකො”

“හැබැයි මගෙ අතට ආවොත් තමයි අරං දෙන්නෙ”

“අන්න යන්න. අංකල්ට වඩා ගන්න දුන්නොත් ටෝයි එකක් අරං දෙනවලු”

දරුවා වහා දිසත් වෙතට දෑත පෑවේ ය. ඔහු ව ගන්නට අමාරසී වෙත ලං වෙත්දී ඔවුන් ගේ ඇස් අතරේ ක්ෂණික අකුණක් පිපිරී ය. අමාරසී කිසිදු වෙනසකින් තොර ව තොල් තද කර ගෙන සිනහ වූවා ය.

“අනේ සොරි මිස්ට දිසත්..එදා මීටින් එක වෙලාවෙ ඩිස්ටර්බ් වුණානං…”

සුඛෝපභෝගී අවන්හලෙහි හිඳ තේ බොන ගමන් අමාරසී කීවා ය.

“මේ දෙන්නා එක එක ඒව කිව්ව. ඒකයි මට හිනා ගියේ”

ඇය පොඩි දැරියක සේ නෝක්කාඩු කීවේ මූණ ද හදා ගෙන ය. දිසත් සිනහවක් නගා ගත්තේ ය.

“මං කැකිල්ලෙ රජ්ජුරුවො වගේ වුණානං අමා…රසී හිනාවුණ එකට දිලිනිට තමයි පනිෂ් කරන්න වෙන්නෙ”

අමා කියා විතරක් කියවෙන්නට ගොස් දිසත් රසී කෑල්ල ද අගට එල්ලා ගත්තේ ය. ඔහු පෙනෙනා තරම් ආඩම්බර කාරයෙකු නොවෙතැයි තරුණියන් වටහා ගත්තේ ඒ හමුවෙන් අනතුරුව ය. දිලිනි ගේ සැමියා ගෙන් දුරකතන ඇමතුමක් ආ නිසා, ඔවුහු දෙපැත්තට සමු ගෙන ගියහ.

ගෙදරට ගොඩ වූ ගමන් යොහාන් ගෙන් අමාරසී ට ඇමතුමක් ආවේ ය. ඇය හොඳින් කතා බහ කළා ය. දැනටමත් ඇය ඔහු ට විවාහය සඳහා කැමැත්ත පළ කොට තිබේ. ඒ නිසා මේ තත්වයට මුහුණ දිය යුතු බව ඇය වටහා ගනිමින් සිටියා ය. ප්‍රේමය හා විවාහය යනු එකක් නොව දෙකක් ලෙස සිතනා තරමට පහසු ය. විවාහය තුළත් ප්‍රේමය ට පැවතිය හැකි නම් මැනවි. නමුත් නැත ය කියා එය ප්‍රතික්ෂේප කළ හැකි වන්නේ ද? 

“එහෙනං මං දැං එන්නද ඕගොල්ලංගෙ ගෙදර..”

යොහාන් ඇසුවේ ය. එපා කියන්නට තරම් දැඩි වන්නට අමාරසී ට හිත් දුන්නේ නැත.

“ඒ ළමයට එහෙනං රෑට කෑම කාල යන්න ලෑස්ති කරන්න වෙයි. ඔන්න මං මේ කලින්ම ඔයාට කියන්නෙ. මෙතන අනං මනං කටේ ගාගෙන ඇවිත් මේ කෙල්ලට ලැජ්ජ කරනව එහෙම නෙවෙයි”

නිර්මලා කල් ඇති ව ම සිය දරුවන් ගේ පියා ට, අජිත් ට දැනුම් දුන්නා ය. අජිත් සිය බාරිය දෙස බැලුවේ රවා ගෙන ය. 

“ඔව් ඔව්. උඹලට මං තමයි ලෝක ලැජ්ජාවක් වෙලා තියෙන්නෙ. ගෑනියෙ ඔය ළමයි තමුසෙගෙ විතරක් නෙවෙයි මගෙත්. උං උස් මහත් වෙලා තැනකට ආවහම තමුසෙ පෙන්නන්නෙ නිකං…ඔක්කෝම තමුසෙ තනියම කළා වගේ. මොකටද ඉතිං මගෙ කට”

“ඔය කට කියෙව්වට මොනාද ඉතිං කළේ..දැං මේ ලොකු කෙල්ල කසාද බඳින වයස පහු කර ගෙන යනව. නිකමට තාත්ත කෙනෙක් විදිහට හොයල බලල ඒ ගැන කටයුතු කරනවද..ඒ කිසි වගකීමක් නෑ. කට ගොන්නක් බී ගත්තහම මදෑ”

“මං යුතුකං ඉෂ්ට කරන තාත්ත කෙනෙක් තමයි ඕයි. ඒව කලට වෙලාවට සිද්ද වෙයි. මේකි තාම මේ පොඩි එකී…දැංම කසාද ඕන නෑ”

නිර්මලා ගස්සා ගෙන මුළුතැන්ගෙට ගියා ය. අජිත් කියන්නේ නරක මිනිසෙකු නොවේ. විශේෂයෙන් ම පිටත සමාජයට නම් ඔහු ට වඩා හොඳ මිනිසෙකු නැති තරම ය. සිය ලිපිකරු රැකියාව ද ඔහු අකුරට ඉටු කළේ ය. පදම් වන්නේ ඉන් අනතුරුව හැන්දෑවට ය.

“දවසෙ මහන්සිය යන්නත් එක්ක චූට්ටක් ගත්තට මක් වෙනවද නිර්මලා”

ඉතා ඈත අතීතයේ දී ඔහු එසේ කීවා ඇය ට මතක ය. නමුත් කල් යාමේ දී ඒ චුට්ට ටික ටික වැඩි විය. වැඩ ඇරී එන ගමන් වයින් ස්ටෝරුවේ කොටු දැලේ එල්ලී නො සිටි දවසක් ඔහු ගේ අතීතයෙන් සොයා ගත නොහැකි තරම ය.

“ඕකට කියන්නෙ පෙරේත කමට බොනව කියල..නැත්තං මෙහෙම කනමදය වගේ බොන්න මේ මනුස්සයට මොන හේතුවක් තිබිලද”

අජිත් මත් පැනින් සප්පායම් ව ගෙදර විත් වමනය දමමින් වද දෙන රැයක නිර්මලා අනන්ත වාරයක් එසේ කියා තිබේ. නමුත් කවදාවත් ඔහු වෙනස් වූයේ නැත.

“අම්මෙ”

රයිස් කුකරයට හාල් හුණ්ඩුවක් ‘සරස්’ ගා දමනා ගමන් නිර්මලා අමාරසී දෙස බැලුවා ය. යුවතිය මව වෙත ගොස් හාල් ඇට දෙකක් ගෙන ඉදිරි දත් දෙකක් අතරේ තබා හැපුවා ය.

“මූණ දෙන්න ඕන ඇත්තටයි. යොහාන් මාව බඳිනවනං එයා මේ ඇත්ත දැන ගන්න ඕනනෙ අම්මෙ. දකින්න ඕනනෙ. ඉතිං තාත්ත අදට විතරක් අමුතුවෙන් රඟපාන්න ඕන නෑ. එයාගෙ විදිහට එයා හිටපුදෙන්. යොහාන් අපේ ගෙදර විදිහ දැකපුදෙන්”

“ඒ වුණාට…මේ නර නාටක දැක්කහම ඒ ළමය කසාදත් එපා කියල දුවයි”

“එහෙම දුවන කෙනෙක්නං දුවපුදෙං. අපි පස්සෙං දුවන්නවත් බලෙන් නතර කර ගන්නවත් ඕන නෑ”

“අනේ මං ඔය අපබ්‍රංස දන්නෑ රසී. මං දන්නෙ දැන් ඔයාගෙ කල වයස හරි කියලයි ඒ කටයුතු පිළිවෙලක් කරන්න ඕන කියලයි විතරයි”

අම්මා ඉක්මනින් රෑ කෑම පිසුවා ය. අමාරසී ද පොල් ටිකක් ගා දුන්නා ය. අම්මා බලාපොරොත්තු වූයේ තාත්තා පදම් වන්නට පෙර බත් කන්නට දී යොහාන් ව පිටත් කොට හරින්නට ය.

ඔහු ඉතා වේගයෙන් ඔවුන් දෙදෙනා ගේ අනාගතය සැලසුම් කරන්නට පටන් ගෙන ඇති බව අමාරසී ට වැටහිණ. රැකියාවෙන් ඉවත් වී ව්‍යාපාරයකට අත ගැසීම යොහාන් ගේ බලාපොරොත්තුව වී තිබුණේ ය. 

“සිල්ලර කඩයක් හරි කමක් නෑ…අපි එහෙම තැනකින් පටන් ගමු. සිල්ලර කඩයක් කියල කිව්වට…පොඩියට සුපර් මාකට් එකක් වගේ පටං ගන්න තමයි මං හිතන් ඉන්නෙ. ඔයා වුණත් ඊට පස්සෙ ජොබ් එකෙන් අයින් වෙලා බිස්නස් එකට ජොයින් වෙනවනං තමයි හොඳ. මොකද ඒක අපේ දෙයක්නෙ. අපි දෙන්නම මහන්සි වුණ තරමට තමයි ඉක්මනට දියුණු වෙන්න පුළුවන්..මේ කාලෙ වෙන මොනාත් නෙවෙයි රසී…සල්ලි තමයි හොයන්න ඕනෙ. අපි ඉක්මනට පටන් ගත්තොත් අපි ඉක්මනට ගොඩ”

ඔහු සිය සැලසුම් ගැන ඉස්පාසුවක් නැතිව අමාරසී සමගින් කියවූයේ ය. යොහාන් කියන්නේ සල්ලි පස්සේ දුවනා මිනිසෙකු බව ඒ සුළු කාලය තුළ ඇය ට පසක් කර ගත හැකි විය. ඔහු ට ඕනා කර තිබෙන්නේ ඒ සඳහා සහායට කෙනෙකි. ඒ කෙනා සිය බිරිඳ ම වෙත්දී සේවකයෙකු ට වෙන් කළ යුතු වැටුප ද ඉතිරි කර ගත හැක. එසේ සිතත්දී අමාරසී ට තනි ව සිනහ නැගිණ.

“දියුණු වෙන්න උත්සාහ කරන ළමයෙක්. ඔයාගෙ වාසනාව”

යොහාන් නික්ම ගිය පසු නිර්මලා කීවා ය. අමාරසී කම්මුලෙහි අතක් ගසා ගත්තා ය.

“අපරාදෙ…කලින් දැන ගෙන හිටියනං මෙයාවයි බඳින්න වෙන්නෙ කියල…මෙච්චර ඉගෙන ගන්න මහන්සි නොවී ඉන්න තිබුණා…කඩේක බඩු කිරන්නනෙ තියෙන්නෙ”

අමාරසී ලොකු සුසුමක් හෙළුවා ය. නිර්මලා දියණිය දෙස බලා උන්නේ විමතියෙනි. ඇයට මනාලයන් සොයනා එක පහසු නැත. ඇගේ හිතේ ඉන්නේ මොන විදිහේ මිනිසෙකු දැයි අම්මා වී ත් ඇය ට තේරෙන්නේ නැත. එදා පබා කියා ගියේ ආයේ නම් ඇය අක්කා ට මගුල් නො සොයනා බවයි. යොහාන් වාගේ හොඳ පෙනුමක් ඇති, දැන උගත් කම් ද දියුණු වීමේ උනන්දුව ද ඇති තරුණයෙකු ගැනත් අමාරසී සෑහීමට පත් නො වන්නේ නම් ඇය ට මනාලයන් කොහෙන් හොයන්න ද? 

සඳුදා උදයේ අලුත් ප්‍රභාශ්වරයක් දිසත් වෙතින් දකිත හැකි විය. දිලිනි සමගින් අමාරසී උදේ බත් එක කමින් සිටියදී දිසත් භෝජනාගාරයට පැමිණියේ ය. එතකොට තරුණියන් කෑම කා නිම වන්නට ආසන්න ය. 

“අපරාදෙ…කලින් ආවනං බත් කටක් කන්න තිබුණ”

ඔහු අසුන් ගත්තේ එසේ කියමිනි. 

“බත් කෑවෙ නැති වුණහම අපිට ගෑස්ට්‍රයිටිස් මිස්ට දිසත්”

බත් පත හකුළන ගමන් අමාරසී ඔහු දෙස බැලුවා ය. දිසත් ගෙනැවිත් තිබුණේ පේස්ට්‍රි ශොප් එකක කෙටි කෑම වර්ග ය. ඔහු කෑම කත්දී යුවතියෝ ගිනුම් අංශයට පිය ගැට පෙළ බැස්හ.

දවාලේ දිසත් ගේ වීදුරු කුටියෙහි රාජකාරී කටයුත්තක නිරත ව සිටිය දී කාර්යාල කාර්ය සේවකයෙකු කෑම පැකට් එකක් ගෙන විත් ඔහු වෙත දුන්නේ ය.

“හරි හරි බැලන්ස් එක ඔයා තියා ගන්න”

ඔහු ඉතිරි මුදල නො ගත්තේ ය.

“ඇයි මිස්ට දිසත් ගෙදරින් කෑම ගේන්නෙ නැද්ද..”

අමාරසී එසේ ඇසුවේ විශේෂ හේතුවක් මත නොවේ. නිකමට ය. ඔහු ගේ මුහුණ ට ළදරුවෙකු ගේ බඳු අවිහිංසක සිනහවක් ආවේ ය.

“අපිට කවුද ඉතිං බත් උයල දෙන්න ඉන්නෙ…”

ඔහු හෙමිහිට කීවේ ය. පිච්චීමක් බඳු සංවේදනයක් අමාරසී ගේ පපුවේ හරි මැද ම ඇති විය. ඊට හේතුවක් ඇය දන්නේ නැත. නමුත් පසු දා උදේ බත් පත අතට ගෙන දිලිනිත් එක්ක කෑම ශාලාවට යන්න සැරසෙත්දී නැවතත් ඇය ඒ පිච්චීමට බඳුන් වූවා ය.

“මං ඔයාගෙ එකෙං කටක් දෙකක් කනව”

ඇය සිය කෑම භාජන දෙක ම ඔවුන් ගේ කෑම තබන මේසය මත තැබුවා ය. දිලිනි ගේ ඇස් වල වූයේ ප්‍රශ්නාර්ථයකි.

“මං උදේට ගේන එක දවල් ට කාල දවල් එක මිස්ට දිසත් ට තියනව. පව් කියල හිතුණා අප්ප”

දිලිනි කිසිත් කීවේ නැත. අමාරසී ගේ හිත සතුටෙන් තිබිණ. ඇය හේතුවක් හදා ගෙන උදෙන් ම දිසත් ගේ කුටියට ගොස් පිටතින් කෑම ගෙන්වන්නට එපායි කීවා ය.

“කහයි කොළයි කොටු සර්වියට් එකකින් රැප් කරල තියෙන ලන්ච් බොක්ස් එක මිස්ට දිසත්ට”

ඇගේ හිනා වෙන දෑස් ඉදිරියේ ඔහු දිය වී යන්නා සේ දිසත් ට දැනෙන්නට විය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

සුහදිනි -76

ජයග්‍රහණය කියන්නේ උණුසුම් හැඟීමකට ය.අහස් උපදින්නටත් පෙර වසරක දිනා ගත් ලෝක කුසලානයක් මිසක ශ්‍රී ලංකාවට ලෝක කුසලාන හිමිකමක් නොවිණ.ඒ හිමිකම අත පොවන...

නිබ්බුත ගීත -26

මම සෑම ඍතුවක ම ජීවිතයට ආදරය කළ ගෑනු ළමයෙකු වීමි. කුස ගින්න ඇතුලු දරිද්‍රතාවයේ සියල් අංග අවි අමෝරා අප වට කොට ගත්දීත්...

(අ)හිමි සිහින -230

මිනිස්සු එකිනෙකා හා බැඳෙන්නේ හදවතින් මිස බාහිර උවමනා එපාකම් වලින් නෙවෙයි.ඥාති හිතමිත්‍ර කමක් වුණත් හටගන්නේ එහෙමයි. සුධාරකගේ වැඩිමල් සහෝදරිය...

නිබ්බුත ගීත -25

තාප්පය අයිනේ කහ පාට බෝඩරයක් ව දිස් වන තාරුකා මල් තීරය දිය බත් කර ගෙන වැස්ස වහිමින් තිබිණ. අලුතෙන් උදලු ගෑම නිසා...

රෝගී වූ ගුරුතුමිය අත් නොහැරි පන්තියේ දඟකාරයෝ

පන්තිභාර ගුරුතුමියට අම්මා මෙන් සලකන දරුවන් ඕනෑතරම් හිඳිනවා.එසේ වන්නට ඇය කළ එක් ක්‍රියාවක් ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වන්නට පුළුවන්.නව යොවුන් වියේ පසුවන දරුවන්...