ආදර සැලසුම් – 18

0
3355

ආදිත්‍ය කාර්යාලයට නොපැමිණීම නිසා අභිමන් බෙහෙවින් කාර්යබහුල වූයේ ය. ආදිත්‍ය ආයතනය නියෝජනය කරමින් සහභාගී විය යුතු රැස්වීමකට අභිමන්ට සූදානම් විය යුතු වූ අතර නෙහාරා අභිමන් හට අවශ්‍ය කරුණු පැහැදිලි කරමින් උන්නාය. අභිමන් මෙවැනි රැස්වීමකට සහභාගී වන්නේ බොහෝ කාලයකට පසුව නිසා ඔහු උන්නේද චකිතයෙනි.

” මේක අලුත් කම්පනි එකක් නිසා ක්ලයන්ට් ගොඩක්ම ප්‍රයෝරිටි එක දීලා තියෙන්නේ ලෝගෝ එකට මිස්ටර් අභිමන්. ඒ නිසා එයාට මේ මීටින් එකට ලෝගෝ එක ඩිසයින් කරන කෙනාවත් ඕනේ කියලා කිව්වා. එතකොට අපි කාවද මේකට තෝර ගන්නේ ? “

අභිමන් මොහොතක් කල්පනා කලේය. තම ආයතනයේ දක්ෂ ග්‍රැෆික් නිර්මාණ ශිල්පීන් කිහිප දෙනකුම සේවයේ නිරත වී සිටියි.ඔවුන් සියලු දෙනාම වසර ගණනාවක පළපුරුද්ද සහිත අය ය. ඔවුන් අතරින් කවුරුන් තෝරා ගත්තත් තමාට අවශ්‍ය ආකාරයෙන් නිර්මාණයක් කරගත හැකි බව අභිමන් හොඳාකාරවම දන්නේය. නමුත් මේ සඳහා ඔහු යම් අවදානමක් ගැනීමට සිතුවේය.

” අපි මේකට මෞර්යාව ගමු නෙහාරා”

කල්පනා කර බලා අවසානයේදී අභිමන් කීවේය.නෙහාරා ඔහු දෙස බැලුවේ පුදුමයෙනි.මෞර්යා තවමත් ආයතනයට නවකයෙකි.ඊටත් වඩා මෙවැනි රැස්වීමකට ඇය ආධුනිකයෙකි.

” මිස්ටර් අභිමන් එයා අලුත් වැඩි නැද්ද මේ වැඩේට ? මිස්ටර් ආදිත්‍ය මොනවා කියයිද දන්නේ නෑ “

” මෞර්යා උනත් හදිස්සියකදී මේ වගේ දේකට ෆේස් කරන්න පුරුදු වෙන්න ඕනේ නේ නෙහාරා. ඔයා මෞර්යාට කියන්න ලෑස්ති වෙන්න කියලා “

අභිමන් අවසාන තීරණය දුන් පසු මෞර්යා කාර්යාල කාමරයකින් පිටව මෞර්යා සොයා ගියාය. ආදිත්‍ය කාර්යාලයේ නොමැති මොහොතක අභිමන් මෙවන් අවදානමක් ගැනීමට සැරසීම පිළිබඳව නෙහාරාගේ සිතේ කිසිදු පැහැදීමක් තිබුණේ නැත.

දහවල් වන විට ෂෙහාරා යථා තත්ත්වයට පත් වෙමින් උන්නේ සාමාන්‍ය පරිදි ආහාර ගැනීම සහ නිසි වෛද්‍ය ප්‍රතිකාර ලැබීම නිසාය.රයන් කිහිප වරක්ම ඇය ඇමතුවද ෂෙහාරා ඒ එකදු ඇමතුමකට වත් පිළිතුරු දුන්නේ නැත. ඔහුද යථා තත්ත්වයට පැමිණෙමින් පවතින බව වරක් පැමිණි හෙදියක් පවසා සිටිය නිසා ෂෙහාරා ඉන් අනතුරුව ඔහු පිළිබඳව සොයන්නට ගියේ නැත.

කලබලකාරී සිතින් යුතුව ෂෙහාරා ආදිත්‍ය පැමිණෙනතුරු බලා උන්නාය.අත්‍යවශ්‍ය කළමනා කිහිපයක් ගෙන ආදිත්‍ය පැමිණියේ දහවල් එකට පමණය. ඒ ද පැමිණිය යුතුම නිසා මිසක හිතකින් නොවේ.

” මං ඔයා එනකම්මයි බලාගෙන හිටියේ ආදිත්‍යය “

ෂෙහාරා කීවේ බොරු හුරතලයක් මවා පාමිනි.එහෙත් ඒවා හිතට ගන්නට තරම් ආදිත්‍යගේ හිතේ සැනසීමක් හෝ ෂෙහාරා පිළිබඳව ළයාදරත්වයක් ඉතිරිව තිබුණේ නැත. ඔහු කළමනා සහිත බෑගය පසෙකින් තබා රෝහල් කාමරයෙහි වූ අනෙක් කුඩා ඇඳ මතින් වාඩි වූයේය.

” මං අම්මත් එක්ක කතා කරලා ආවෙ “

ෂෙහාරා තැති ගත්තාය.ආදිත්‍ය නැවත පැමිණෙන විට යම් තරමකට හෝ සන්සුන් වී තිබෙනු ඇතැයි බලාපොරොත්තු වුවත් එය එසේ සිදුවී නැත.

” මොනවද ? “

” අපේ ඩිවෝස් එක ගැන. මේ වෙච්ච හැම දෙයක්ම මං අම්මත් එක්ක කිව්වා. දැන් තියෙන්නේ ඔයාගේ ගෙදර අයට කියන එක තමයි “

ආදිත්‍ය පිළිතුරු දුන්නේ දැඩිවය. ඔහු මේ තරම් දැඩි ලෙස හැසිරෙන්නේ ප්‍රථම වතාවටය.විවාහ වී ගත වූ අවුරුද්දක කාලය තුළ තමාගේ කැමැත්ත අකමැත්ත නොවිමසා ආදිත්‍ය තීරණයක් ගෙන ඇත්තේද ප්‍රථම වතාවටය. ඒ කෙසේ වුවත් මේ මොහොතේ තමාට දික්කසාදයකට මුහුණ දිය නොහැක. ඊටත් වඩා තමා අතින් සිදුවූ මේ බරපතළ වැරැද්ද පවුලේ අයට කිව හැකි වන්නේ ද නැත.

” ඔයා හදන්නේ මේ පොඩි ප්‍රශ්නයක් බොරුවට ලොකු කරගන්නද ආදිත්‍ය? “

” පොඩි ප්‍රශ්නයක් ? මේක පොඩි ප්‍රශ්නයක්ද ෂෙහාරා ? “

” මොන වගේ ප්‍රශ්නයක් වුණත් අපිට කතා කරලා විසඳගන්න බැරි වෙන්නේ නැහැනේ “

ෂෙහාරා කෝපය යටපත් කර ගනිමින් උන්නාය.වරද ඇත්තේ තමාගේ අතේ වුවත් තමාව දික්කසාද කිරීම වැනි දැඩි පියවරක් ගැනීමට ආදිත්‍ය හට කිසිසේත්ම ඉඩ දිය නොහැක.

” කතා කරලා අපිට කරන්න පුළුවන් එකම දේ තමයි ඩිවෝස් වෙන එක.මොකද එකපාරක් මේ දේ මට කරපු ඔයාට තව පාරක් ඒක කරන එක මහ දෙයක් නෙමෙයි ෂෙහාරා “

” මේවද ආදිත්‍ය පවුල් ඇතුළෙ වෙන්නේ? දැන් ඔයාගෙම තාත්තා බලන්නකෝ.එයා අවුරුදු කීයක් තිස්සේ වෙනම ඉන්නවද? ඒ වුනාට ඩිවෝස් වෙලා නැහැනේ. “

ආදිත්‍ය ගේ හදවත රිදුම් දෙන්නට පටන් ගත්තේය. මේවා ඉතාම මානුෂීය කාරණාය.එවැනි කාරණා වලින් නන්නාඳුනන පුද්ගලයෙකුට වුවත් දමා ගැසීම කළ යුතු නොවේ. තමා සහ තම පවුල සම්බන්ධයෙන් එවැනි වූ සංවේදී කාරණාවකින් තමාව මේ රිදවන්නේ තමාගේම නීත්‍යානුකූල බිරිඳය. ආදිත්‍ය හිතට ධෛර්ය ගත්තේය. ෂෙහාරාට තවදුරටත් තමාව රිදවීමට ඉඩ තැබිය යුතු නැත.

” දැන් ඔයා කියන්නේ මටත් එහෙම ඉන්න කියලද ? “

” මං ඔයාට එහෙම කියන්නේ නැහැ ආදිත්‍ය.මිනිස්සු අතින් තමයි වැරදි වෙන්නේ.ඒව හදා ගන්න ඉඩ දෙන්න ඕන නේද ? “

” ෂෙහාරා , කරුණාකරලා ඩිවෝස් එකට ලෑස්ති වෙන්න”

එපමණක් කියූ ආදිත්‍යය වාඩි වී හුන් තැනින් නැගිට කාමරයෙන් එළියට පැමිණියේ තව දුරටත් මේ කතා බහ ඉදිරියට නොයා යුතු බැවිනි. මේ සියලු බරින් නිදහස් වී කොහේ හෝ ඈතකට ගොස් ජීවත් වන්නට සිතුවිල්ලක් ආදිත්‍ය තුළ ඇති විය. එහෙත් ඒවා ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය හැකි ඒවා නොවේ. ජීවිතයේ තමා ඉටු කළ යුතු තවත් බොහෝ වගකීම් ඇත.

මෞර්යා චකිතයෙන් යුතුව අභිමන් සහ නෙහාරා සමග රැස්වීමට සහභාගී වුවද ඇය බලාපොරොත්තු වූවාටත් වඩා ඉතා සාර්ථකව ඒ සඳහා මුහුණ දුන්නාය. සේවා දායකයාගේ ආයතනයට අදාලව ඉතාම නිර්මාණශීලීව ලාංඡනයක් සකස් කිරීම සඳහා මෞර්යා ඉදිරිපත් කළ අදහස් සේවා දායකයාගේ අති මහත් පැසසුමට ලක් වූයේ නොසිතූ පරිද්දෙනි. මෞර්යාව එම රැස්වීමට කැඳවා ගෙන යාමට ගත් තීරණය පිළිබඳව ආඩම්බරයකින් අභිමන් නෙහාරා දෙසද බැලුවේ රැස්වීම අවසාන වී රැස්වීම් කාමරයෙන් පිටතට පැමිණෙන මොහොතේය.

” ඔයා නම් මාරයි මෞර්යා “

අභිමන් මෞර්යා දෙස බලා කීවේ සේවා දායකයා ඉතා සන්තෝෂයෙන් පිටව ගිය පසුවය. මෞර්යා ද උන්නේ ඒ හා සමානම තෘප්තිමත් හැඟීමකිනි. මේ තමාගේ පළමු රැකියාවය.නමුත් ඔවුන් බලාපොරොත්තු වනවාටත් වඩා සේවයක් ඔවුන්ට ලබා දීමට තමාට හැකියාව සහ අවස්ථාව ලැබී ඇත.

” තැන්ක් යූ මිස්ටර් අභිමන් , මාව විශ්වාස කරලා මේ මීටින් එකට මාව ගත්තට “

මෞර්යා ස්තූති වන්ත වී ඇගේ ආසනය වෙත යන ආකාරය අභිමන් බලා උන්නේය. ඉන් පසුව ඔහු ඔහුගේ කාර්යාල කාමරයට පැමිණ අසුන් ගත්තේ අත තිබූ ලිපිගොනු නෙහාරා අතට භාර දුන් පසුවය . තරුණියක් නම් මෞර්යා මෙන් හැම අතින්ම දක්ෂ විය යුතුය.ඒ අතින් බැලූ කල මෞර්යා සෑම අතින්ම පරිපූර්ණය. ඇය ගැන මේ තරමටම තමාට විශේෂ හැඟීමක් දැනෙන්නේ ඇයි දැයි අභිමන් බොහෝ වේලාවක් කල්පනා කළේය. ඔහුගේ කල්පනා ලෝකය බිඳ වැටුණේ දුරකථනය නාද වන හඬිනි.

” කියන්න අම්මා “

” අද ටිකක් කලින් ගෙදර එන්න පුළුවන්ද පුතේ ? “

” ඇයි අම්මා ? “

අභිමන් ඇසුවේ බියෙනි.සාමාන්‍යයෙන් අශිකා කිසි දිනයක රාජකාරියට බාධා කරන්නේ නැත. එසේ නම් මෙය අත්‍යවශ්‍යම කාරණාවක් විය යුතු යැයි අභිමන් අනුමාන කළේය.

” අයියගේ ප්‍රශ්නයක් පුතේ. ඒක කතා කර ගන්න තාත්තාට එන්න කියන්න ඕනේ. ඔයාත් හිටියොත් මට හිතට හොඳයි”

” මොකක්ද අම්මා ප්‍රශ්නේ ? ෂෙහාරා අක්කව බලන්න මම හිතන් හිටියේ ඔෆිස් ඇරිලා hospital එක පැත්තෙ යන්න.අයියා නැති නිසා මං ටිකක් බිසී උනා “

” ෂෙහාරා තමයි පුතේ ප්‍රශ්නෙ “

අශිකා පිළිතුරු දුන්නාය. ඇය උන්නේද දැවෙමිනි. එය මේ මොහොතේ අභිමන් සමග බෙදා ගන්නවා හැර දේවකගෙන් සහනයක් බලාපොරොත්තු වී ඵලක් නැත. නමුත් ආදිත්‍ය පත්වී ඇති තත්ත්වය සහ ඔහු ගෙන ඇති තීරණය පිළිබඳව දේවක සමග කතා කිරීම කළ යුතුය.

” ඒ කිව්වෙ අම්මා ? “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here