සන්තාන සුසුම් සර – 11

0
5138

  පෝටිකෝවේ කණුවකට හේත්තු වී, අත් දෙක පපුවේ බැඳගෙන, එක පාදයක රබර් සෙරෙප්පුව සම්පූර්ණයෙන් බිම පතිත වන සේ ද අනෙක හරස්  අතට ඉදිරිපස තුඩ පමණක් බිම ස්පර්ශ වන සේ ද අස්විද සූරියබණ්ඩාර පිටත බලා සිටියේ ය. අහස වැස්සක අවසාන වතුර බින්දු ටික පොළොවට අත්හරිමින් සිටියි. හෝරාවක් පමණ තිස්සේ වැහි දිය කඩා වැටීම නිසා හාත්පස තෙත් වී නැවුම් වැහි සුවඳක් හමමින් තිබේ. තුරු පත් බදා උන් දුහුවිලි අංශු හේදී ගිහින් ඒවා අලුත් හරිත වර්ණ ඇඳුමින් සැරසීගෙන ය. අටපෙතියා ගාලේ මල් නම් හොඳට ම තෙමී ගෙල මුලින් ම බිමට බර වී හිඳිනුයේ බිම බලාගත් නව යෞවනියන් රෑනක් මෙනි. හදිසියේ වට වැස්ස නිසා අකරතැබ්බයට පත් කුරුලු කොබෙයියෝ වහ වහා පිටතට පැමිණ සිය ඥාති හිත මිතුරන් කැඳවති. ඇඳිරි වැටෙන්නට තව කල් තිබේ!

තුසිතයෙහි කිසිදු කටහඬක් නෑසේ. සති අන්තයේ මෙහෙව් හෝරාවක වැඩි දෙනෙකු සන්ධ්‍යා නින්දක සුව විඳින බැවිනි. ඒ ගැඹුරු නිහැඬියාව බිඳිනුයේ, වඩිම්බුව දිගට එල්ලී ඉඳහිට හඬ නගන සුළං සීනුවක් පමණකි. තෙත්බර සුළඟේ හදවත වඩාත් බරැති විය යුතු ය. සුළඟේ ගී හඬ!

වැස්සේ ම දිය නාගත් යසස්වි, හිස කේ වල තෙත හිඳෙන සේ ඔතාගත් ටවල් එක ලිහිල් කරමින් ආලින්දය ඔස්සේ බරාඳය වෙත එමින් සිටියා ය. ඇය අස්විද ව දුටුවේ අහම්බෙනි.

‘මනමාලි බලන්න යන එක ගැනද කල්පනා කරන්නෙ…’

අස්විද හිස හරවා බැලුවේ ඒ හඬටයි. තෙත් බර වරලසකින් ද සීතලේ දිය නෑම නිසා රෝස පැහැයකට හැරුණු කොපුල් වලින් ද යන්තම් ලා රතක් තැවරීගත් මල් පෙති දෑසකින් ද සමන්විත ඇය වැස්සේ පෙඟුණ මලක් සේ ය. ශැම්පු, කන්ඩිශනර්, බොඩි වොශ්, ෆේස් වොශ් එකී මෙකී නොයෙකුත් සුවඳ මිශ්‍ර වූ කලවම් තෙත සුවඳක් ඇය වෙතින් හමයි. ඒ සුවඳ සරාගී ය. පිරිමි හැඟුමන් සසල කරවනා සුළු ය. අස්විද දෑස් ඇගෙන් ඉවතට, මිදුල වෙතට ගෙන ගියේ ය.

‘ඇත්තට දැං කවද්ද යන්නෙ…ඊළඟ වීක් එන්ඩ් එකේ…’

ඇය හිස ඇලකොට බලා සිටී. අස්විද නැවත ද බැලුවේ ය. ඇගේ ඇස් තටු තෙතමනයට ඇලී, බෝනික්කියගේ සෙයින් සැලී ගියේ ය.

‘අනේ මේ… පණ්ඩිත ආච්චි වෙන්නැතුව ඉන්නවද…’

බොරු සැරක් පෙන්වන්නට හැදුවාට ඔහු ගේ වචන අතරේ දැවටී තිබුණේ මෘදු බවකි. යසස්වී ඉන් අනුබල ලැබුවා ය.

‘පණ්ඩිත නෙවෙයි. ආන්ටිල බලං ඉන්නෙ මේ සැරේවත් ඔය මගුල් හෙවිල්ල නතර කරන්න’

‘නතර කරන්න කියල තමයි මාත් කියන්නෙ’

‘ඇයි එතකොට වනගත වෙලා තපස් රකින්නද…’

අස්විද සිනහ වුණේ දත් දෙපෙළ එක මත තබා මේ කෙල්ලගේ කට කොහොම නතර කරන්නදැයි සිතමිනි. ඒ වෙලාවේ ඔහු ගේ දෑස් මත වූ බැල්ම දඟකාර ය. පරිනත පිරිමියෙකුට දඟකාර බැල්මක් වූ කලී වශී බන්ධනයකි. යසස්වී ඒ බන්ධනය තුළ අතරමං වෙන්නට ගිහින් අතරමගදී පාර හොයාගත්තා ය.

‘කව්ද දන්නෑ නේ රංකිරි කටගෑවෙ…’

මෙහෙම හැන්දෑවක, පායන්නට තතනමින් යළිත් හඬනා වැස්සක, නිහඬ පිරිමියෙකු දොඩමළු වෙන්නට අරාඳිත්දී ගැහැනු හදකට දැනෙනා හැඟුමන් සමුදාය කෙබඳු ද කියා යසස්වී දන්නේ නැත. මීට පෙර දැන සිටියේ නැත. නමුත් මේ මොහොතේ ඇඟ මස් ලේ නහර විනිවිද යන යම් අමුතු හැඟීමක් දැනේ. නමුත් ඒ කුමක්දැයි හැඳිනගන්නට ඇයට කිසිදු හදිසියක් වූයේ නැත.

‘දන්නෑ’

ඇය සිලිබිලි කිචිබිචිය පෑවා ය. අස්විද ඇයට නො දැනෙන සේ මුව යාන්තමින් විවර කොට පෙනහලු පිරෙන සේ හුස්මක් ගත්තේ ය. ඒ ගමන් ම දෑස් ඇගෙන් ඉවතට හැරෙව්වේ ය. මේ පුංචි කෙල්ල ඔහු ගේ පිරිමි හිතට අනවශ්‍ය බරක් ව දැනේ. ඇය මෙතැනින් නික්ම යනවා නම් ඔහු ට පහසු ය. නමුත් තව බෝ වෙලාවක් ඇය මෙතැනට වී හිඳ සිලිබිල්ලක සේ කිචි බිචි ගානවා නම් යයි හිතේ එක පැත්තක් ආයාචනා කරයි.

නිහඬ පිරිමියෙකු ගේ දොඩමළු ඇස් දෙකක් තුළ මේ තරම් චුම්භක බලයක් වන්නේ දැයි යසස්විට දැනී නො දැනී ගියේ ය. එකී චුම්භක බල ක්ෂේත්‍රය තුළ ගින්දරක උණුහුමක් ද හිම ගිරක සිසිලසක් ද වේ. බුදුන් පෑ යමා මහ පෙළහර ගැන කතාව ඇයට සිහි විය. පිරිමින් කියන්නේ එකවර ගින්දර ද සිසිලස ද විකිරණය කළ හැකි ජීව කොට්ඨාශයක් ද?

මේ වැස්සේ සීතලේ හැන්දෑවේ ගෑනු ළමයින්  දිය නෑ යුතු දැයි අස්විද ගේ හිත ප්‍රශ්න කරයි. ඇය වූ කලී තනිකර ම හිතුවක්කාරකමකි. ඔහු ට පාඩුවේ ඉන්නට නොදී හඹා එන සුන්දර වදයකි.

‘මට උදව්වක් කරන්න පුළුවන්ද…’

එවර නම් ඇගේ සර අවිහිංසක ද හුරතල් ද විය. නිසි වයසේ දී විවාහ වූවා නම් ඔහු ට ඇගේ වයසට ආසන්න දියණියක සිටින්නට තිබුණා විය නො හැකි ද? අස්විදත් ඔහු ගේ සිතත් දෙතැනක අවස්ථා දෙකකට නිරාවරණය වී තිබිණ. දහදිය දමාගෙන එන්නා සේ ද ඔහු ට දැනිණ.

‘උදව්වක්… මොකද්ද…’

‘කරන්න පුළුවන්ද කියන්නකො’

‘පුළුවන්ද බලන්න මොකද්ද කියන්න එපැයි’

‘මොනා වුණත් කරන්නං කියන්න බෑ කියලනෙ ඒ කියන්නෙ…’

මේ කෙල්ලට උවමනා වචන වලින් පැටලෙන්නට ම ය. අස්විද ඇය දෙසට දැඩි බැල්මක් හෙළුවේ ය. යසස්වී ඒ බැල්ම විඳිමින් ම බිම බැලුවා ය. තෙත්බර තුවාය ඇගේ සිහින් දිගු රෝස පාට ඇඟිලි වලින් මිරිකී තිබිණ.

‘මට ඩ්‍රයිවින් ඉගෙනගන්න ඕන’

‘මොකද්ද…’

‘ඩ්‍රයිවින් අනේ… ඕක ඔච්චර බය වෙන්න දෙයක්ද…’

සමහර මොහොත වලට මුහුණ දීමේ දී පිරිමින්ට වැඩි ආත්ම ශක්තියක් ස්ත්‍රීන්ට තිබෙනවාවත්ද?

‘ඉතිං… ඩ්‍රයිවින් ඉගෙනගන්නනං ලර්නර්ස් එකකට යන්නනෙ තියෙන්නෙ. ම්… මං කොහොමද…මං…’

‘හරි හරි බැරිනං බෑ කියන්නකො’

ඇය කෂණිකව නො රිස්සුම් වූවා ය. යසස්වී මෙතැනින් පැන යනු ඇතැයි හදිසි බියක් අස්විද තුළ ඇති විය.

‘ඉතිං… මං කිව්වෙ මේ… ලයිසන්ස් ගන්නනං…’

‘මට කා එකක් ගන්න ඕන වුණා. තාත්ත අරං දෙන්න කැමැත්තෙන් හිටියෙ. දැන් වුණත් එයා අරං දෙයි. මටත් ලේසියි එහෙනං. ගෙදරදි මං ලර්නර්ස් එකකටත් ගියා. ඒත් ඒ මිනිහ යකෙක් වගේ ඇඟට කඩං පනිනව. කලින් ඩ්‍රයිව් කරල තියෙනවනං ඌ ළඟට යනවයැ ඉගෙනගන්න. දවස් දෙකයි ගියේ. මං ඌගෙ වටින දෙයක් හොරකං කරල වගෙයි බණින්නෙ. අනේ… ලයිසන්ස් ඕනෙත් නෑ ගෙවපු සල්ලි ඕනෙත් නෑ කියල මං තුන්වෙනි දවසෙ ඉඳං ගියෙ නෑ’

අස්විද ට සිනහ නැගෙන්නට ආවේ ය. නමුත් ඔහු ඒ සිනහවට ඉඩ නොදී ඉවත බලාගත්තේ ය. නිකං ම ගෙදර නැවතුණා පුදුම ය. රිය පුහුණුකරන්නා ගේ දතක් දෙකක් නො ගැලවී ඇය ගෙදර නතර වූයේ ඔහු ගේ වාසනාවකට විය යුතු ය.

‘ඒත් මට ආසයි ඉගෙනගෙන ලයිසන්ස් ගන්න. අනේ අයිය ප්ලීස් චුට්ටක් මට උගන්නන්නකො. හරි ඉතිං මං ඒකට ගෙවන්නං’

අස්විද දෙතොල් තද කරගෙන බරාඳ කුළුණ ළඟින් මෑත් වූයේ ය.

‘ඔන්න එහෙනං ඒක කන්ෆර්ම් හොඳේ’

කියමින් ඇය පියගැට පෙළ දෙසට ගියා ය. යෝජනාව ගෙනාවේත් ඇය ය. එය ස්ථිර කළේත් ඇය ය. සම්මත කළේත් ඇය ය. ඔහු බලා සිටියා පමණකි.

යසස්වි නාන්න ගියේ අර්තාපල් අල කිහිපයක් තැම්බෙන්නට තබා ය. වජිරා අවදි නො කර ම විත් ඕ කට්ලට් සාදන්නට පටන්ගත්තා ය. මේ වාගේ වැහි දවසක හැන්දෑවේ තේ එකත් එක්ක උණු උණුවෙන් ම එහෙම කෑමක් රසවත් ය. ජීවිතය වූ කලී විවිධ රස වල විවිධ මාත්‍රාවන් හි එකතුවකි. රසයන්හි විවිධත්වය මත ජීවිතයේ රස තීව්‍ර ව දැනෙනු ඇත. හැම මොහොතක් ම රසවත් කරගැනීම ජීවිතය තෘප්තිනත් ව ගෙවීමේ රහස වේ. හැම දවසක් ම හැම මොහොතක් ම ජීවිතයක් තුළ සැමරිය යුතු වන්නේ ය. විශේෂ හේතු අවැසි නැත. මේ මොහොත තුළ ජීවිතය පැවතීම ම සැමරිය යුතු තරම් හේතුවක් නො වන්නේ ද?

කට්ලට් බඳිනා ගමන් ඇය ගීතයක කොටසක් මිමිනුවා ය.

‘ගහකොළ වලට දාහක් ඇස් ඇති හින්දා… සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා… කවදාවත් ම නුඹ මට නො ලැබෙන හින්දා… මුණිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා..’

සනුක ඇවිත් කට්ලට් එකක් ගන්නට අත දැම්මේ එතකොට ය.

‘ඒයි… ගන්නෑ. තියනව තෙල්     හැන්ද අතේ’

යසස්වි කෑගෑවා ය. සනුක වහා අත ඇදගත්තේ ය.

‘ඔක්කොම බැදල ඉවර වෙනකල් ඉන්නෝනෙ’

යසස්වි ආදරයෙන් තරවටු කළා ය. ගෙදර අය එක්කෙනා දෙන්නා කෙටි නින්දෙන් අවදි වෙමින් සිටියහ. දිල්නුක යසස්වී කට්ලට් බදින පිටුපසට විත් සුවඳ ඉව කළේ ය.

‘කට්ලට්ස් සීයක් වුණත් කන්න පුළුවං’

‘හැබැයි එච්චරනං නෑ’

ඇය අවඥාවෙන් කීවා ය. නමුත් දිල්නුක ඒ වගකට ගත්කා නොවේ.

‘බලමු රස කොහොමද කියල…’

‘අත දාන්නෑ… තෙල් හැන්ද තියෙයි අතේ’

‘ඔයා ඉතිං මට රස බලන්න දෙනවනෙ’

‘නෑ එහෙම විශේෂයක් නෑ. තාම අංකල්ට දුන්නෙත් නෑ’

අස්විද මේස පුටුවක හිඳ සති අග පුවත්පත දිගහැරගෙන එදෙස බලා සිටියේ ය. ඇස් පත්තරය මත වූවාට කියවූ යමක් ඔහු ගේ හිතේ රැඳුණා දැයි නිශ්චිත නැත. ඔහු ගේ කන් දෙක යොමු වී තිබුණේ මුළුතැන්ගෙය දෙසටයි. යසස්වී කොල්ලන්ට පවා සද්දය දමා ඔවුන් බිය ගන්වාගෙන හිඳී. අස්විද ගේ දෙතොල් මත්තෙහි නිරායාස සිනහවකි. ඔහු පුවත්පත නවා තබා කුස්සිය දෙසට ගියේ වතුර එකක් බොන්නට යන බවක් හඟවමිනි. වීදුරුවට ගුරුලේත්තුවෙන් වතුර ගන්නට හදත්දී ඇය හිස හරවා බලා කෝපි මල් සිනහවක් පෑවා ය. අස්විද පෙරළා සිනහ වෙන්නට නො ගොස් ආඩම්බර පිරිමියාව නඩත්තු කළේ ය.

‘කට්ලට් එකක් දෙන්නං… කාල රසද කියනවද…’

ඇගේ දෑස්, විදුලි බුබුළු දහස් ගණනක් දැල්වූ තොරණක් මෙන් දීප්තියෙන් බැබළිණ. අස්විද එතැනට ළං වූයේ උනන්දුවක් නො පෙන්වමිනි. යසස්වී සිය රෝස පෙති අතැඟිලි වලින් කට්ලට් එකක් ගෙන අස්විද ට පෑවේ ය. ඇගේ අතැඟිල්ලක් යන්තමින් හෝ ස්පර්ශ නො කරන්නට ඔහු ට උවමනා වී ද එසේ කළ හැකි වූයේ නැත. අස්විද කට්ලට් එකෙන් කටක් කනතුරු ඇය දෑස් දල්වාගෙන බලා සිටියා ය.

ඔහු ට දැනුණ රසය විග්‍රහ කරන්නට අස්විද දන්නේ නැත. එහෙම රසවත්ව කට්ලට් හදන්නට පුළුවන්ද කියාවත් ඔහු දන්නේ නැත.

‘රසද…’

‘තව එකක් ඕනෙ’

කියමින් අස්විද තවත් කට්ලට් එකක් බඳුනෙන් ගෙන නික්ම ගියේ ය. යසස්වී මන්දස්මිතයකින් යුතුව පිටුපස හැරී බලා සිටියා ය.

‘තියන අහංකාර කමට රසයි කිව්වෙ නෑ. දුෂ්ටය’

 තෙල් තාච්චියෙහි වූ කට්ලට් කිහිපය කර වෙමින් ඇති බව ඇය දුටුවේ ආපසු හැරෙත්දී ය.

‘මේ මේ ඒව බෑ බාප්පේ… අපිට දුන්නෙත් නෑනෙ’

සනුක ගේ ආඩපාලිය ඇතුළතින් ඇසිණ.

‘වැඩිහිටියන්ට තමයි අග්‍ර කොටස. උඹල වගේ කජු කොල්ලන්ට දෙන්නෙ පස්සෙ’

අස්විද සිනහ වෙවී කීවේ ය. යසස්වි ගේ මුව මත දිගට ම තුනී නොවූ මඳහස රැඳී තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here