“සතුටින් නේද..”
යුගාෂ් ඇසුවේ රාත්‍රියේ අපූර්වාද දුරකථන ඇමතුමක් ගෙනය. අවිවේකී දවසක් වූ නිසා වෙනදා තරම් ඇය ගැන සොයා බලන්නට ඔහුට අවස්ථාවක් වූයේ නැත. එහෙත් හෝරාවකට වඩා වැඩි කාලයක් නන්දනී අපූර්වාගේ සිවසේ සිදු වු සියල්ලම යුගාෂ් හා පැවසුවාය. වෙනදාට වඩා අවිවේකී දවසක් ගෙවූ නිසා දැනුණු සියුම් හිසරදය හේතුවෙන් තමාරා සැඳෑ වරුවම කාලය ගත කලේ තම කාමරයට වීගෙනය.
“ඔව්…..මං මාවම කොනිත්තගෙන බලනවා මං මේ ඉන්නේ හීනෙකද කියල. මං දන්නෑ යුගාෂ් සර් එහෙම මිනිස්සුන්ට කොහොම පින් දෙන්නද කියලා.
“පින් දෙන්න අවශ්‍ය නෑ අපූර්වා. එයාලට ස්වභාවධර්මයෙන්ම ඒ දේ ලැබෙනවා.”
“එහෙනම් ඒ පිනෙන්ම කොටසක් යුගාෂ් සර්ටත් යන්න ඕනේ.”
ඒ මොකටද මං මුකුත් කළේ නෑනේ.
“මුලින්ම මට ආදරේ කරනවට, මං ගැන හොයලා බලනවට, මගේ අය සර්ගේ අය කරගත්තට, මගේ හිත බලාපොරොත්තු වලින් පුරවනවට, මට ජීවත් වෙන්න ශක්තිය දෙනවට”
“අම්මෝ.. ඒ ලිස්ට් එකේ හැටියටනම් මං ඉක්මනටම නිවන් යයිද දන්නෙත් නෑ. එයා පස උන් තරුණයා හිනහ වුණේ උස් හඬින්ය.”
“පිස්සු කෙල්ල. ඔයා මගේ….මගේ කියලා හැඟෙන දේවල් වෙනුවෙන් මිනිස්සු මොනවද නොකරන්නේ?. ඉතින් කියන්නකෝ අද කොච්චර වැඩ කළාද.”
“අඩිතාලම බැඳලා ඉවර කළා. ඒ බාස්ලත් චුට්ටක්වත් කම්මැලි නෑ සර්..සමන් මාමලත් කිව්වා හරි හොඳ මිනිස්සු කියලා.”
“එහෙනම් හොඳයි ඉක්මනටම වැඩ කෙරෙයි.”
“සර් කවදද එන්නේ මගේ චූටි ගෙදර හැදෙනවා බලන්න.”
“එහෙම එන එක හොඳ මදි අපූරුවා. ගමේ මිනිස්සු ඔයාට වැරදි දේවල් කියන්න පුළුවන්. ඔයා හරි පරිස්සමට ජීවත් වෙන්න ඕන කෙනෙක්. අම්මත් සනීප කර ගත්තට පස්සේ මං අපේ අම්මත් එක්කම එන්නම්.”
“අනේ සර් සර්ගෙ අම්මා..ඒ ගැන හිතද්දි මං මැරි මැරි උපදිනවා”
“මගේ අම්මා කියන්නේ හිතිං ගොඩාක් දුක් විඳපු කෙනෙක්. කවදාවත් එයා මගේ නිදහසට බාධකරලා නෑ. මගේ තෝරා ගැනීම් ගැන අම්මට විශ්වාසයක් තිබුණා. මට විශ්වාසයි අපූර්වා. එයා දවසක අපිව තේරුම් ගනීවි. අද මහන්සිය ඇතිනේ මටත් අද චුට්ටක් ටයර්ඩ්. හෙට උදේට මං ඔයාට කතා කරන්නම්. අපි අනිද්ද හමුවෙනවනේ.”
යුගාෂ් දුරකථනය තැබුවේ එසේ පවසමින්ය. ඉන්පසු ඔහු දිගු සුසුමක් මුදා හැරියේය. තමා අම්මාගේ විශ්වාසය බිඳ තිබුනේවත් ඇය කිසිදා තමාගේ තෝරා ගැනීම් අභියස විරුද්ධ වූයේවත් නැත. එහෙත් මේ තෝරා ගැනීම අන් සිල්ලටම වඩා වෙනස්ය. එතනදී තමාරාගේ හැසිරීම හා තීරණ අනුමාන කරන්නට ඔහුත් බිය වූවේය. වරින් වර ඈ අනතුරු අගවමින් උන්නෙත් අපූර්වා හමුවේ යුගාෂ්ගේ සීමාව පැහැදිලි කරමින්ය.
*************
සුපුරුදු පරිදි සති අන්තයේ සේනකගේ නිවසේ පැවැත්වෙන මත්පැන් සාදයට පුෂ්පානන්ද සහභාගී වූවත් ඔහු උන්නේ හිත් හොඳකින් නොවේ. සති අන්ත පත්තර සියල්ලෙහිම අමායාගේ නඩුවට ලොකු ඉඩක් වෙන්කර තිබිණ. ඊයේ පෙරේදා දින බොහෝ කාන්තා සමිති, සංගම්වල මාතෘකාව වී තිබුණේ අමායාය. ඔහු මෙම නඩුව බාරගත්තේ සේනකව විශ්වාස කරගෙනය. වසර ගණනක් තිස්සේ රැකගෙන ආ තමන්ගේ නමත් විනාශ කරගන්නට පුෂ්පානන්ද කිසිවිටෙකත් අපේක්‍ෂා නොකළේය.
“තමුසෙගේ පුතා කිව්වනේ අයිසේ ඔක්කොම ක්ලියර් කරලා තියෙන්නේ කියලා.”
පුෂ්පානන්ද එසේ පැවසූයේ කට ගැස්ම දීසියක වූ ඉස්සෙක් තම ඇඟිලි තුඩුවලින් අල්ලා ගන්නා ගමන්ය.
“මටත් හිතාගන්න බෑ පුෂ්පානන්ද මහත්තයා මොනවද මේ වෙන්නේ කියලා. ඔය කෙල්ල පිටිපස්සෙ ඉන්නේ පුෂ්පානන්ද මහත්තයාගේ පුතා තමයි. ඔය හරි අහිංසක මිනිස්සු. මට පේන්නේ දැන් මේක අපිට විරුද්ධ නඩුවක් නෙමෙයි. පුෂ්පානන්ද මහත්තයට විරුද්ධ නඩුවක්.”
සේනකගේ ස්වරයෙහි වූ අවඥයා සහගත බව හඳුනා නොගැනීමට තරම් පුෂ්පානන්ද මත්ව සිටියේ නැත. ඔහු වඩාත් කෝප ගත්තේ එනිසාය.
“සේනක මහත්තයා නිකං බොරුවට මෙතනදි මාව ඉස්සරහට දාන්න ලෑස්ති වෙන්න එපා. යුගාෂ් නෙමෙයි පැමිණිල්ල පැත්තේ කවුරු හිටියත් කතා කරන ක්‍රමය තමයි ඕක. මෙතන සම්පූර්ණ වැරැද්ද සේනක මහත්තයාගේ පුතාගේ. මොකද මම නඩුවට කතා කරන්න ලෑස්ති උනේ සාක්ෂි මුකුත් ඉතුරු කරලා නෑ කියන තැන ඉඳගෙන. ෆෝන් ගත්තා කිව්වා. ඒවා ඩිලීට් කරා කියලා කිව්වා. කෙල්ලට සල්ලි දෙනවා කිව්වා, කෙල්ලව උස්සනවා කිව්වා බය කරනවා කියලා කිව්වා. එවිඩන්ස් මුකුත් නෑ පුෂ්පානන්ද සර් බය නැතුව කතා කරන්න කියලත් කිව්වා…දැන් ඔය ලස්සනට ඔක්කොම දිග ඇරෙන්නෙ.”
“පුෂ්පානන්ද මහත්තයා විශ්වාස කරන්න ඒවා ඔය කියන විදිහට ඔක්කොම කලා. පුෂ්පානන්ද මහත්තයා එක පාරක් ඔබතුමාගේ පුතාව නවත්තන්න උත්සාහ කරන්න. ඒක කරන්න පුළුවන්නම් මේ නඩුව කිසි කෙනෙක් බාර ගන්නේ නෑ. ඒක මට විශ්වාසයි.”
“මම කොහොමද අයිසේ ඒක කරන්නේ. ඌ ලෝයර් කෙනෙක්…”
එසේ පවසමින් පුෂ්පානන්ද මත්පැන් වීදුරුවක් පුරවා ගත්තේය. ගේට්ටුවෙහි උන් ආරක්ෂක නිලධාරියකු සේනක අභියසට පැමිණ යමක් පැවසූයේ එවේලෙහිය.
“එන්න කියනවා..
තත්පර කිහිපයකට පසුව දෙදෙනා අසල පෙනී සිටියේ ප්‍රදේශයෙහි වූ නිදහස් මාධ්‍යවේදියෙකි.
“පුෂ්පානන්ද මහත්තයා මේ දීරසේකරව අඳුරනවා ඇතිනේ.”
“මුං අඳුරගත්තට වැඩක් නෑ අයිසේ. මුං අපිව බේරගන්නෙ නෑ කාල බීලා යනවා විතරයි.”
එවරය පුෂ්පානන්ද පැවසූයේ මඳක් උස් හඬින්ය. කොහොමටත් ඔහු කිසිවෙකු මායිම් කල අයෙකු නොවේ. දැන් මේ නඩුව අල්ලා විසිකරන්නට තරම් ඔහුගේ සිතෙහි වන්නේ කෝපයකි.
“එහෙම කියන්න එපා මහත්තයා. මං මට පුළුවන් හැමදේම කළා. නිවුස් නැතුව වේලි වේලි ඉන්න උන්ට මේක මරු නිව්ස් එක. අනික ඔය සමාජවාදී පත්තර කාරයොත් එක්ක වැඩ කරන්න හරි අමාරුයි.”
“වාඩි වෙනවා කෝ…”
“මේ අපේ එක මීඩියා කාරයෙකුටවත් පුද්ගලිකව කතා කරලා එන්න කියලා නෙමෙයි. මේවා කෙලින්ම මහතැනින් ආපු ඕඩර්ස්. මේ වෙලාවේ සේනක මහත්තයා මේ ඇද ගත්තේ අනවශ්‍ය නඩුවක්. විරුද්ධ පිළට ඕන කරලා තියෙන්නේ දයාල් මහත්තයා නොමිනේෂන් බාර දෙන එක නවත්තන්න. ඕක සල්ලි ටිකක් විසි කරලා විසඳගන්න තිබුන ප්‍රශ්නයක්. ඒකටත් කැමති නොවුනනම් බොඩි එක මෝය කටෙන් හම්බවෙන විදිහට වැඩක් දෙන්න තිබුණා”
මාධ්‍යවේදියා කියවන්නට වූයේ සේනකගේ ඇරයුමෙන් දෙවරක් තුන් වරක් මත්පැන් වීදුරුව පුරවා ගත්තාට පසුවය. දැන් මේ කිසිවකින් පුෂ්පානන්දට ඵලක් නොවේ. ඉදිරි නඩු වාරයේදී යුගාෂ් මීට එහා ගිය සාක්ෂි ඉදිරිපත් කරන බව විශ්වාසය. තමාත් සේනකත් ඉදිරිපිට නතර වූ මාධ්‍යවේදීන් ඉන් පසුව අමායාගේ දෙමාපියන් ඉදිරිපිටත් මඳක් එහායින් උන් යුගාෂ් ඉදිරිපිටත් නැවතුණු අයුරු පුෂ්පානන්ද බලාගෙනය.
“මේක තවම උසාවිය තුළ විභාග වෙමින් පවතින නඩුවක් නිසා මට මුකුත්ම කියන්න බැහැ. හැබැයි හැම වෙලාවකම අසාධාරණය දිනන්නෙත් නැහැ. මම විශ්වාස කරනවා මට සාධාරණය දිනවන්න පුළුවන් වෙයි කියලා.”
යුගාෂ් මාධ්‍යවේදීන් ඉදිරියෙහි පවා කතා කළේ ආඩම්බරයෙන් හා මනා සංයමයකින්ය. වරක් දෙවරක්ම ඔහු මාධ්‍ය නාලිකාවල විකාශය වූ යුගාෂ්ගේ හඬ වීඩියෝව ඇසුවේය. ඒ වචන වල පවා වූයේ ඔහුගේ ජයග්‍රහණයේ විශ්වාසයයැයි පුෂ්පානන්දට සිතේ.
පුෂ්පානන්ද නැගී සිටියේ තවදුරටත් මෙතන සිටියහොත් තම කෝපය තමාටම පාලනය කරගත නොහැකි වේ යැයි සිතුණු නිසාය. මාධ්‍යවේදියා තවමත් කියවමින් සිටියි. දැන් ඔහු කියවන්නේ ඔහුගේ පුරාජේරුය. සේනකව තරහ කර ගතහොත් දේශපාලන ගමනෙහි තමාට තැනක් නොවන බව විශ්වාසය. ඔහු මේ සා නොසන්සුන් එනිසාය.
“පුෂ්පානන්ද මහත්තයා ඔය නැගිට්ටෙ යන්නද…”
මට පොඩි වැඩ වගයක් තියෙනවා. තමුසෙලා කතා කර ගන්නවකෝ”
“පුෂ්පානන්ද මහත්තයාට මම කියන්නම තමයි හිටියේ…..මහත්තයාගේ…පුතා ඉන්නව නේද..කවද හරි මේ ලංකාවෙ පුෂ්පානන්ද මහත්තයවත් නොතියපු නමක් තියෙනවා. මම කියන දෙයක් කවදාවත් වැරදිලා නෑ. පුෂ්පානන්ද මහත්තයාට කවද හරි ආඩම්බර තාත්තා කෙනෙක් විදිහට පාරෙ බැහැලා යන්න පුළුවන්. හෙට මේ රටම කතා වෙන්නේ ඔබතුමාගේ පුතා ගැන. කාටද ආඩම්බර…පුතෙක්ගේ දක්ෂකම් දැකලා තාත්තා කෙනෙක් තරම් වෙන කවුරුවත් ආඩම්බර වෙන්නේ නෑ. ඔබතුමා ගුරු මුෂ්ඨියක් තියාගන්නේ නැතුවම පුතාට ශිල්පේ දීලා තියෙනවා. අපේ සුභ පැතුම් පුෂ්පාද මහත්තයා….”
ධීරසේකර නැගී සිටියේඅපහසුවෙන්ය. ඒ හා සමගම ඔහු ඉදිරියට සිය දකුණත දිගු කළේ පුෂ්පානන්දට සුභ පතන්නටය. ඔහුගේ අතෙහි වැදී පෙරළී ගිය වීදුරුව අල්ලා ගත්තේ සේනකය. ඔහු මත්පැන් පානය කළේ සාගතයකට හසුව සිටියා සේ කෑදර කමකින්ය. පැය එකහමාරක් තිස්සේත් අඩු වූයේ මිල අධික විස්කි බෝතලයෙන් කාලක් පමණි. දැන් එහි මත්පැන් ඉතිරිව තිබුණා නං ඒ බෝතල් අඩියේ මද වශයෙන්ය. ධීරසේකර පැමිණි පසුව සේනකගේත් පුෂ්පානන්දගේත් වීදුරු වලට මත්පැන් වත් කෙරුණේ එක වරක් පමණි.
“තමුසෙල වගේ පිස්සොත් එක්ක එකට වාඩිවෙන්න ආපු මට ගහන්න ඕනේ.”
එසේ පැවසූ කෝපයෙන්ම පුෂ්පානන්ද සේනකගේ ගෙවත්තෙන් පිට විය. ඔහු එනතුරු බලා උන් රියදුරා බෙන්ස් වර්ගයේ රියට නැඟුනේ කලබලයෙන්ය.
*************
ඊයේ පෙරේදා සිට දුරකථනයට නිවාඩුවක් නොවූ තරම්ය. අද තිබු කාන්තා සමිති වාරයේත් ප්‍රධාන මාතෘකාව වී තිබුණේ යුගාෂ්ය.
“කාන්තාවෝ විදිහට අපි මේ ප්‍රශ්නයෙදි අමායගේ පැත්ත අරගෙන පෙනී හිටින්න ඕනෙ. අපි පිකටින් එකක් කරමු. අපිට පුළුවන් ලොකු බැනර් එකක් ගහන්න අපේ කාන්තා සමිතියේ නම මීඩියා වලට හොඳින් පෙනෙන විදිහට. අපි ඉල්ලීමක් විදියට කරන්න ඕනේ මේ නඩුව වෙනුවෙන් අපක්ෂපාතී තීන්දුවක් ලබා දෙන්න කියලා.”
කාන්තා සමිතියේ ලේකම්තුමිය පැවසූයේ එසේය. ඇය මෙම නඩුවෙන් අනවශ්‍ය ප්‍රසිද්ධියක් තම කාන්තා සමිතියට ලබාගැනීමට උත්සාහ දරනවා යැයි තමාරාට සිතිණ. අමායා වෙනුවෙන් කාන්තාවන් පෙළ ගැසිය යුත්තේ හදවතින්මය. එහෙත් මෙම ප්‍රශ්නයේදී එක් පිරිසක් දේශපාලන වාසි ලබා ගැනීමටත්, තවත් පිරිසක් ප්‍රසිද්ධිය ලබා ගැනීමටත් උත්සාහ කරන අයුරු තමාරා නිරීක්ෂණය කළේ දින කිහිපයක සිටය.
“පුතා ඔයා වැඩක්ද…..”
තමාරා යගාෂ්ගේ කාමරයට එබුනේ එසේ අසමින්ය. යුගාෂ් සිටියේ තම ලැප්ටොප් පරිගණකය දෙස බලාගෙනය.
“වැඩක් නම් තමයි අම්මා. ඒත් කමක් නෑ අම්මා එන්න.”
“නෑ පුතා එහෙනම් මං පස්සේ කතා කරන්නම්..”
“නෑ.. නෑ …අම්ම එන්න එතරම් හදිසි වැඩක් නෙමෙයි.”
යුගාෂ් නැගී සිටියේ ලැප්ටොප් පරිගණකය වසා තබමින්ය. මඳක් විසල් වූ ඔහුගේ කාමරයේ එක් පසෙක තබා ඇති සුවපහසු අසුනෙන් තමාරා අසුන් ගත්තේ නිහඩවය.
“ඇයි අම්මා…..
දැන් මේ නඩුවට මොකද පුතා වෙන්නේ?.”
“මොන නඩුවටද .”
“අර අමායා කියන ගෑණු දරුවගේ..
“ඒ නඩුව අපි දිනනවා අම්මා. අප්පච්චිට වගේම සේනකලටත් කොතනකදි හරිවැරදුනා. නඩුව දිනන්න ඕන හැම සාක්ෂියක්ම මේ වෙනකොට මං ළඟ තියෙනවා. ඊයේ පෙරේදා සේනකගේ පුතා දෙන්නෙක් යවලා තියෙනවා අමායාව පැහැර ගන්න. ඒ දෙන්නව තවමත් රඳවගෙන ප්‍රශ්න කරනවා.”
යුගාෂ් පැවසූයේ කෙටියෙන්ය. මේ අම්මා නඩුවක් පිලිබඳව තමාගෙන් යමක් ඇසුවාමය.
“ඒ ළමයා තවමත් ගෙදරද ඉන්නේ…”
“ඔව් අම්මා…ඒත් අමායාට මේ වෙද්දි ආරක්ෂාව තියෙනවා.
“පුතාට හිතෙන්නෙ නැද්ද මේ ප්‍රශ්නෙන් වටේ පිටේ ඉන්න මිනිස්සු වාසි ගන්නවා කියලා. විශේෂයෙන් ඔය මීඩියාවල කට්ටියයි කාන්තා සමිතිවල කට්ටියයි”
“ඒක මේ නඩුවෙදි විතරක් නෙමෙයි අම්මා. හැම තැනකදිම වෙන දෙයක්. කන්දක් නාය යන්න, ගංවතුරක් එන්න, හුළඟට ගෙවල් කැඩිලා යන්න… එච්චර ලොකු දේවල් ඕන් නෑ අම්මා, පාරෙ යනකොට පොඩි එක්සිඩන්ට් එකක් වෙන්න. ජනප්‍රිය වෙන්න හේතු හොය හොය ඉන්න මිනිස්සුන්ට බල්ලෙක් බිරුවත් ඇති අම්මා. හැබැයි එක පැත්තකින් ඒකේ නරකකුත් නෑ. ලෝකෙට බයෙන් හැංගිලා ඉන්න ගෑනු ළමයින්ට එළියට බහින්න පොඩි මෝටිවේෂන් එකක් ලැබේවි. මේ වගේ රැවටීම් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න පිරිමි ඒ ගැන දෙපාරක් හිතාවි.”
තමාරාට යමක් අසන්නට හෝ පවසන්නට ඔහු ඉඩක් තැබුවේ නැත.
“අම්මේ අදටත් මං කියනවා මං අප්පච්චි ගැන කතා කරන්නේ තරහින් නෙමෙයි. හරි කලකිරීමකින්. මගේ පොඩි කාලේ මං දැක්කේ අම්මගේ ඇස්වල කඳුළු විතරයි. අප්පච්චි මේ ගෙදරින් ගියපු දවසේ අම්ම එයාගේ කකුල් දෙක අල්ලලා වැඳලා කිව්වා දරුවා වෙනුවෙන්වත් අපි දෙන්න එකට ඉමු කියලා.”
තමාරා යුගාෂ් දෙස බැලුවේ සිය දෑස් ලොකු කරගෙනය. ඔහු මේ පවසන්නේ සැබෑවකි. එහෙත් ඒ දසුන යුගාෂ් දුටුවේ කෙසේදැයි තමාරා සිතුවේ මවිතයෙන්ය. ඈ නිවස හැරදා යන්නට සූදානම් වන සැමියා අසලට ගියේ යුගාෂ්ව කාමරයට රැගෙන ගොස් දොර වසා ගන්න යැයි තම මවට පවසමින්ය.
(හෙටත් හමුවෙමු ආදරයෙන්………)