සන්තාන සුසුම් සර – 14

0
4417

යසස්වී උදෑසන අවදි වී මුළුතැන්ගෙට පැමිණෙන විට එය කිරිබත් සුවඳින් පිරී ගොස් තිබිණ. වජිරා, පැන්ට්‍රි මේසය මත එලූ කෙසෙල් කොළයක් මත කිරිබත් වඩවමින් සිටියා ය.

‘ශාහ්… කිරිබත් උයල. ඒත් ආන්ටි තනියම පොලුත් ගාගත්තද… මට කතාකරන්න තිබුණනෙ අනේ…’

යසස්වී හුරතල් නෝක්කාඩුවකින් වජිරා වෙත දැවටුණා ය.

‘නිලූපා පොල් ටික ගාල දුන්න පුතේ. ඔයා ඔන්නෙහෙ තව ටිකක් නිදාගත්තදෙන් කියල මං කතාකළේ නෑ’

‘අද අස්විද මල්ලිගෙ බර්ත් ඩේ එකනෙ. ඉතිං නිලූපා පොල් ටික ගෑවහම කිරි රස වැඩි වෙයිනෙ’

පිටත කුස්සියේ සිට ඇතුළට එබී බලා ජයග්‍රාහී තානයකින් කීවේ නිලූකා ය. අස්විද යනු නිලූපා ට අයිති වස්තුවක් බව යසස්වී ට වරින් වර සිහිපත් කරනා එක හොඳ යයි ඇයට සිතී තිබූ බැවිනි.

‘ඕ… අද බර්ත් ඩේ එකක්ද… කවුද දන්නෙ ඉතිං…’

‘අද නැන්දම්මයි ලේලියි එකතුවෙලා කොල්ලගෙ බර්ත්ඩේ කිරිබත ඉව්ව ඔන්න’

‘එහෙනං රස වැඩි ඇති’

යසස්වී කිකිණි හඬකින් සිනහ වූවා ය. වජිරා කිසිත් නො කියා සිටියේ මේ උදේ පාන්දර වන බැවිනි. අනිත් අතට කියන්නට ඇති හැම දෙයක් ම දැනටමත් ඕ නිලූකාට කියා අවසාන ය. එතැනින් ඔබ්බට නිහඬ වන එක හොඳ ය.

‘උදව්වක් ඕනද ආන්ටි…’

‘අනේ පුතේ පුළුවන්නං කට්සම්බලයක් කොටල ගමුකො. උම්බලකඩ මේ ටින් එකේ ඇති’

‘අපි හදල අයිතිකාරයො තරහ වෙයිද දන්නෑ හැබැයි’

ඇනුම්පද කියන්නට යසස්වී ට ඕන වුණා නොවේ. නමුත් නො අයිතිය පිළිබඳ හැඟීමක්, ඇය මෙතැනට අයිති නැති කෙනෙක් වාගේ දෙයක් නො දැනුණා ද නොවේ.

‘අයිතිකාරයනෙ දරුවො ඉතිං මේ කියන්නෙ…’

කිරිබත් කැට වෙන් කරනා ගමන් වජිරා නිසොල්මනේ කීවා ය. නිලූකා හොස්ස ගස්සාගෙන, රොස් වෙන ව්‍යාංජනය බලන්නට පිටත කුස්සියට පය ඉක්මන් කළා ය.

‘අස්විද අයියට කීයද අදට…’

රතුලූණු පොත් යවමින් යසස්වි එසේ විමසූයේ නිකමට ය.

‘තිස් හතක් සම්පූර්ණයි අදට’

‘දැං ලොකු කොල්ලෙක් නේ…’

‘ලොකු පුතා විසි පහක් වෙනකොට එයාගෙ ලොකු පුතා හම්බ වෙලත් ඉවරයි. දැන් ඉතිං ඒගොල්ලො මැදි වයසට එනකොට ඉලන්දාරි දෙන්නෙක් ඉන්නවනෙ. අනේ මන්දා මෙයා ඉතිං කවද බැඳල කවද ළමයි හදයිද කියල’

‘ඉතිං මේ නිලූපා අක්ක කැමතිනං…’

යසස්වි එසේ කීවේ හඬ බාලකොට ය. නිලූකා පේන්නට ඉන්නවා දැයි බලමිනි.

‘අනේ ඒගොල්ලොන්ගෙ හිත් වල තිබුණට ඕව කෙරෙන ඒව නෙවේ. චූටි පුතා කැමති නෑ කොහෙත්ම’

වජිරා ද රහස් ස්වරයකින් කීවා ය.

‘ඇයි ඉතිං එයා බඳින්නැතුව ඉන්නෙ… ගර්ල් කෙනෙක් ඉඳලත් නැද්ද…’

‘දෙයියො තමයි දන්නෙ දරුවො. වචනයක් ගන්නව කියන්නෙ ඉතිං ඉබ්බංගෙන් පිහාටු ගන්නව වගේනෙ’

‘කියල වැඩක් නෑ. මහ පුදුම ගල් ඉබ්බෙක්’

කිරිබත් මේසයේ දී යසස්වි ට අස්විද හමු විය. කළු කලිසමට කිරි කොක් සුදැති අත් දිග කමිසය පිළිවෙළට යට කොට, කළු බඳ පටිය බැඳ, දිළිසෙන කළු සපත්තු පැළඳ, ජෙල් ගා සීරුවට හිස කේ සකසාන, සුවඳ සලාගෙන මේසය වෙත පැමිණි ජේත්තුකාරයා සැබවින් ම අවිවාහකව සිටීමට හේතුව කුමක් ද යන පැනය යසස්වි ගේ හිතෙන් තදින් මතු වී ඉහළට ආවේ ය.

‘මගෙ චූටි පුතාට සුබ ම සුබ උපන් දිනයක්’

කියමින් වජිරා පළමු කිරිබත් කට අස්විද ට කැව්වා ය. ඔහු අම්මාව හදවතින් වැළඳගත්තේ ය. අම්මා ගැන හදවතේ පිරී ඇති ආදර හැඟීම කිසි දා වචන වලට හරවා කියන්නට ඔහු සමත් වී නැත. නමුත් ඒ නිහඬ ආදරය අම්මා ට දැනෙනවා ඇතැයි ඔහු සිතයි.

‘මේ තාත්ත ඊයෙ රෑ කමිසයක් ගෙනත් තිබ්බ තෑග්ගට දෙන්න කියල’

යසස්වි ගේ උගුරෙහි හිරවුම් රිදුමක් ඇති විය. බැඳීම් කියන්නේ හදවතට කෙතරම් ළඟින් දැනෙනා දෙයක් ද? නමුත් ඇයට ගෙදරදී මේ සියල්ල දුරස්ව තිබිණි. වෙහෙරගොඩ මුදලාලි වඩාත් ම සතුටු වූයේ බැංකු වල ඔහු ගේ ගිනුම් ශේෂයන් ඉහළ යත්දී ය. ඔහු හැම හුස්මක් ගානේ ම වෙහෙස වූයේ ඒ සන්තුෂ්ටිය අත්පත් කරගන්නටයි. එතැන්හිදී ඔහු ට දරුවන් හා බිරිඳ අත්හැරිණි. බිරිඳ යනු සිය අණසකට යටත්ව සිටිත යුතු වහළියක සේ ඔහු සැලකුවේ ය. ආදරය කියන්නේ දරුවන්ට අවශ්‍ය දෙයක් සේ නො සිතූ හෙතෙම, සිය ධනයේ හා බලයේ සීමාවන් පුළුල් කරගනු වස් ඕනෑ ම මොහොතක දරුවන් ද පාවිච්චි කිරීමේ සූදානමක සිටියේ ය. ජීවත් වීමට අවැසි වන්නේ මුදල් හදල් පමණක් යයි අදහාගෙන සිටියේ ය. ඔහු ට කවදාවත් සිය දරුවන් ගේ උපන්දිනයක් සිහියේ නො තිබිණි. නමුත් දරුවන් ඉල්ලන තරම් මුදල් දීම ආදරය යයි ඔහු සිතුවේ ය. අනුරාධපුරයේ සිය පියාගේ මන්දිරය ඇතුළේ, තුසිතයෙහි වන අමුතු සැනසිල්ල යසස්වි ට කවදාවත් දැනී නැත.

‘ඊයෙ මතක් වුණානං අපිත් ගිෆ්ට් එකක් ගෙනත් තියනව නේ…’

නිලූකා සිය සොයුරියට ඉඟියක් දුන්නා ය.

‘ඔන්න අපිට කේක් ඕනෙ හොඳේ’

කවුරුත් කිරිබත් මේසය ඉඳුල් කරත්දී යසස්වි හුරතල් ස්වරයකින් සිහිපත් කළා ය. මේසයේ  ඇයට ප්‍රතිවිරුද්ධ පස හිඳ සිටි අස්විද, නළල රැලි නංවා ඇස් කුඩා කොට බැලුවේ ය. යසස්වී මලක් පිපෙනවා සේ සිනහ වූවා ය. රිය පැදීම පුහුණු කරත්දී කෙතරම් දොඩමළු වී ද ගෙදර දී අස්විද ඒ විදිහට යසස්වි ට දොඩමළුවක් පෙන්වන්නේ නැත. බලයෙන් ඇය විමසන යමකට වුව කෙටි පිළිතුරක් දෙනවා පමණකි.

‘ඔව් ඔව් බාප්පෙ හොඳේ’

සනුක අනුබල දුන්නේ ය. අස්විද ගේ දෙතොල් අතරට සිනහවක් ආවේ ය. නමුත් ඔහු ඊට නිදහසේ පිපෙන්නට නොදී පාලනය කරගෙන සිටියේ ය. එහෙම හිනාවෙනකොට ඔහු ලස්සනයි කියා යසස්වි ට ක්ෂණික ව සිතිණි.

‘කේක් ගේන එකනං මහ බොරු වැඩක්. කෑමක්ද අප්ප’

ඒ නිලූපා ය. අස්විද ගේ සිනහව පුළුල් විය.

‘අන්න දැක්කනෙ…’

‘හරි ඉතිං කේක් නැත්තං අපිට මොනාහරිම හම්බ වෙයිනෙ. නේ සනුක…’

‘අපෝ ඔව් බාප්පෙ. ආච්චි පාන්දර නැගිටගෙන කිරිබත් උයපු නිසාවත් පාටි එකක් දෙන්න ඕනෙ’

එක එක්කෙනා කියනා එක එක කතා අසාගෙන අස්විද කිරිබත් කා මේසයෙන් නැගිට ගියේ ය. යසස්වී ට එදා විශ්ව විද්‍යාලයේ දේශන තිබුණේ නැත. ඇය නුගේගොඩ සාප්පු අතරේ දැවටෙමින් අස්විද වෙනුවෙන් තිළිණයක් සෙව්වා ය. හුරුබුහුටි කුඩා සුළං සීනුවක් ඇගේ හිත ගති. ඇය ඒ ගෙනැවිත් ඔහු ගේ කාමරයේ දොර හැඬලයෙහි එය එල්ලා තැබුවා ය.

අස්විද වෙනදාට වැඩිය කලින් ගෙදර ආවේ ය. ඔහු කේක් ගෙනාවේ නැත. ගෙනාවේ වී නම් ඒ යසස්වි ගේ ඉල්ලීම නිසා කියා ගෙදර අය සිතනු ඇතැයි ඔහු තුළ දෙගිඩියාවක් විය.

දොර ට අත තබත්දී එය හඬ නැඟිණි. අස්විද දොර විවර නො කර ම ඒ කුඩා සීනුව පිරිමැද බැලුවේ ය. එය ඔහු කැමති විදිහේ එකකි. ගෑනු ළමයා පසෙක සිට දෙතොල් තද කරගත් සිනහවකින් බලා සිටියා ය. ඒ සිනහව නො කියා කීවේ එය එතැන එල්ලුවේ ඇය බවයි.

යසස්වී කේක් හලකට මාර්ගගත ඇනවුමක් ලබා දී කේක් එකක් ගෙන්වූවා ය.

‘ඔයා කේක් ගෙන්නුවද…’

ඈ එය මේසය මතින් තබත්දී නිලූකා ගේ මූණ නො හොඳ විය.

‘ඇයි අප්ප ඉතිං උදේ අච්චර කේක් ඉල්ලලත් ගෙනත් දුන්නෑනෙ බර්ත් ඩේ බෝයි. ඉතිං අපිවත් ගෙනාව’

‘මල්ලි ඔය බොළඳ වැඩ වලට කැමති නෑ’

කේක් කැපුවේත් ඒවා ගෙදර අයට බෙදා දුන්නේත් යසස්වි ය. අස්විද කේක් කැබැල්ල ගත්දී නම් සිනහ වී ‘තෑන්ක් යූ’ කීවේ ය. පුංචි පුංචි සැමරුම් පවා ජීවිතයට නැවුම් ඇරඹුමක් ලබා දෙන බව මේ දවස තුළ ඔහු වරින් වර වටහා ගනිමින් සිටියේ ය.

‘තෑන්ක් කරල විතරක්නං බෑ ඔන්න අපිට පාටි එකක් ඕනෙ. අපිට අයිති එක දවසක්වත් අත්ඇරගෙන අපතේ යවන්න හොඳ නෑ අප්ප. අපරාදෙ. ආයෙ ඒ දවස එන්නෑනෙ. ඊළඟ බර්ත් ඩේ එක වෙද්දි මං මෙහේ ඉඳියිද දන්නෙත් නෑනෙ’

‘ඔච්චර ඉල්ලද්දි ඔන්න ඔය හිඟන කෙල්ලට කන්න මොනාහරි අරං දෙන්න බාප්පෙ’

‘උපන් දිනයක් කියන්නෙ කාල බීල ජොලි කරන දවසක් නෙවෙයි බං. දැං මං මේ බයේ ඉන්නෙ වේගෙං වයස යන එක ගැන. ඒක නතර කරගන්න පුළුවං විදිහක් තියනවනං කියහං. අන්න එදාට මං ලොකු පාටි එකක් දෙන්නං’

‘ඕව කියල හරියන්නෑ.පීට්සා හට් යං නේ සනුක…’

‘අයියෝ පීට්සානං මොනාද… හොඳ ඩිනර් අවුට් එකකට යං අස්විද. හරි මං ගානෙ ඩිනර් දෙන්නංකො. යං’  

නිලූපා අවසාන තුරුම්පුව ද ගසා බැලුවා ය.

‘අම්මෝ බෑ’

යි කියමින් අස්විද නැගිට කාමරයට ගියේ ය. ඔහු වූ කලී තවමත් ගවේෂණය නොකළ පෞරාණික අභිරහස් ගුහාවක් වාගේ යයි යසස්වි ට සිතිණ. හිතේ වන කිසිවක් කිසිවෙකු හට දැනගන්නට ඔහු ඉඩක් තබන්නේ නැත. නිලූපා ගේ සේ ම යසස්වි ගේ ද ඉල්ලීම් ඔහු විසින් නො සලකා හරිනු ලැබුවේ ඉතා සරල ලෙසයි. නො කියවූ පොතක් වන් මේ මිනිසාව කොහොම කියවන්න ද?

‘දවසක් දෙකක් ගතවුණාට පස්සෙ හරි එයා උපන් දිනේ වෙනුවෙන් දානයක් දෙනව. ළමා නිවාසෙකට… වැඩිහිටි නිවාසෙකට… කැන්සර් හොස්පිට්ල් එකට වගේ. හැබැයි ඔය පාටි දාන ඒවනං කීයටවත් කරන්නෑ’

වජිරා පසුව යසස්වී ට අස්විද ගේ ස්වභාවය මඳක් පැහැදිලි කිරීමේ උත්සාහයක් ගත්තා ය. ඒ ඔවුන් දෙදෙනා පමණක් වැරැන්ඩාවේ පුටු දෙකක හිඳ කතා කරමින් සිටියදී ය.

‘එක අතකට අස්විද අයිය හරි නේද ආන්ටි… මේ ජීවිතේ මොකද්ද කියන එක එයා හරියට තේරුං අරං ඇති. බැඳීම් ගැන වුණත් එයාට ලොකු විශ්වාසයක් නැති නිසා වෙන්නැති බඳින්නැතුව ඉන්නෙ’

‘හරි හරි ඔහොම ඉස්සරහට එන්න. වම් පැත්තෙ තියන කළු ගේට් එක ළඟ මං ඉන්නව’

දුරකතනයෙන් එසේ පවසමින් අස්විද ඔවුන් පසු කරගෙන මිදුලට ගියේ ඒ වෙලාවේ ය. යළි ඔහු ගෙතුළට පැමිණියේ පීට්සා කිහිපයක් ද සමගයි. වජිරා අතට ඒවා දුන්නා මිස ඔහු යසස්වි දෙස බැලුවේවත් නැත. නමුත් ඇගේ පපු කුහරය තුළින් හුම්මානයක් සේ හැඟුම් සමුදායක් ඉහළ නැගී ආවේ ය. ඇය ඒ හැඟුමෙක හැඩයක් හෝ හැඳිනීමේ උත්සාහයක් නො ගත්තා ය. ඒ වෙනුවට, සීතල වී වාගේ ද හිරිවැටී වාගේ ද රිදෙනවා වාගේ ද දැනෙනා දෙපා හොලවාගැනීමට පවා නො හැකි ව එහෙම ම පාෂාණිභූත වී සිටියා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here