(අ)හිමි සිහින -118

පුතු සෙනේ මස්‌ නහර හම සිඳ

ඇට සොයා ගොස්‌ ඇට තුළට වැද

ඇට මිදුලු මත රඳා සිට දුක්‌ දෙයි නිබන්දා”

එදිරිවීර සරච්චන්ද්‍රයන් ලියූ සිංහබාහු නාට්‍යයේ එන ඒ පද පෙළ මම සැබෑ ජීවිතය තුළ අත් දුටුවේ මගේ සුධාරක නිසා.ඔහු සතුටින් ඉන්නා වග හඟවමින් සිටියාට ඔහු විඳි අසීමිත මානසික පීඩාවක් මම හොඳින්ම අත් දුටු නිසා.

දරුවන් තිදෙනා ඔහුට නොදන්වාම විදේශයකට පිටත්ව යාම සුධාරක දරා හුන්නේ බොහොම වේදනාවකින්.දරුවන් මේ දූපතෙන් පිටව දියුණු රටක ජීවත් වීම දෙමාපියන්ට සතුටක් තමයි.ඒ මෙහිදී ලැබුණාට වඩා හොඳ ජීවිතයක් ඔවුන්ට එහිදී උරුම වෙන නිසා.නමුත් ඒ දරුවන්ට එසේ වූයේ නැහැ.ඔවුන් එහි ජීවත් වූයේ සරණාගත කඳවුරක.එවැන්නක ජීවත් වීම දරුවන්ට මොන අන්දමේ මානසික පීඩාවක් වේදැයි සුධාරක නිරන්තරයෙන්ම බියට පත් වුණා.ඒ ගැන කිසිවෙකුටත් නොකියා තැවෙන්නට වුණා.

ඔහුගේ එක් දරුවෙකු නිතරම රස කෑම සෙවූ දරුවෙක්.රසට සහ තමන්ගේ විදියට නැතිනම් කෑම නොකන ඒ දරුවා ගැන සුධාරක නිතරම විස්සෝපයෙන් ජීවත් වුණා.

“පොඩීට කන්න හම්බෙනවද දන්නෙ නෑ.කාල බීලාවත් ඉන්නවා නම් ඒ ඇති.”

ඔහු එසේ පැවසූ දවස් ඕනෑතරම්.ඔහු ඒ දරුවන් ගැන එතරම් තැවුණත් ඒ දරුවන් තාත්තාට දුරකථන ඇමතුමක් තබා ලිපියක් හෝ එවන්නට උනන්දු වූයේ නෑ.ඔවුන් සරණාගත කඳවුරට කියා තිබුණේ තාත්තා ඔවුන්ට අඩන්තේට්ටම් කරන බව වීමත් එයට හේතු වන්නට ඇති.නමුත් ඔවුන් තමන් හොඳින් ජීවත් වෙන බවට එකම ලිපියක් හෝ එවන්නට වග බලා ගත්තානම් සුධාරකට සැනසීම උරුම වන්නට තිබුණා.

පුතු සෙනේ පිතු හද තුළම මිස

නැත පුතුන් හද තුළ රඳන්නේ

ඇට තුළට වැද ඇට මිදුළු මත

සදා කල් නැත දුක් දෙවන්නේ

එය එසේ වන්නට ඇතැයි මම සිතනවා.නමුත් ඒ දැඩි මානසික පීඩාව සුධාරකට කළ දරුණු හානිය ගැන ඉදිරියේදී මම ඔබ සමඟ බෙදා ගන්නම්.

දරු දුකින් පීඩිත වූ සුධාරකගේ ජීවිතයට මල් වැස්සක් වී ඇද හැළුණේ මගේ පුංචි සුරංගනාවියයි.ඇයට අප්පච්චි ඇගේ ලෝකයම බවට පත්ව තිබුණා.අම්මා සමඟ යම් නෝක්කාඩුවක් ඇති කරගත් විට හඬමින් අප්පච්චිට ඇමතුම් දීම ඇගේ පුරුද්දක් වුණා.

“අප්පච්චි,අම්මා මට චොකලට් කන්න දෙන්නේ නෑ.අප්පච්චි මට ගෙනත් දෙන්න.අම්මා ගෙනාපුවා මට එපා.”

අප්පච්චි සහ සුදු දූ අතර එවැනි එකඟතා ගිවිසුම් නිර්මාණය වුණා. මට කිසිම දිනක රැවුමකින් හෝ පීඩා නොකළ සුධාරක දෙවතාවක් නොසිතා මට සැරෙන් බැන වදින්නට පටන් ගත්තේ මා දියණියට දඬුවම් කරන විටයි.

“නපුරු ගෑනියක් වෙන්න එපා මැණිකෙ.දරුවට ආදරෙන් සලකන්න.”

ඔහු මට එවැනි මොහොතක සැර වී එහෙත් ආදරය පිරුණු හඬකින් කියන්නට පුරුදු වූවා.

එක් දිනක් සුධාරක අසනීප වී නිදා සිටින විට මගේ දියණිය බැරි බැරි ගාතේ වතුර ජෝගුවක් ඔසවාගෙන ගොස් ඔහුට වතුර බොන්නට දුන්නා.අප්පච්චිට බෙහෙත් බොන්නට තමන්ගේ අත් උදව් නැතිව අසීරු වග ඇය සිතා සිටියා.ඒ සුන්දර හුරතලය විඳ ගත් සුධාරක මා දෙස බැලුවේ ආදරය පුරවා ගත් දෑසකින්.

“මැණිකේ,ඔයා මං ළඟ හිටියේ නැති දවසක් ආවත් මට බැරි කාලෙක සුදු බේබි මට වතුර උගුරක් හරි දෙයි.මගේ දරුවා මට හරිම ආදරෙයි.”

ඒ පිය දියණි බැඳීම තරමට සංසාරගත බැඳීමක සුන්දරත්වය මම අත් විඳ නැහැ.මේ මොහොතේ වුවත් මගේ දියණිය අප්පච්චිට කරන ආදරය මට සැනසෙන්නට ඇති එකම දෙය වග නොකියාම බැහැ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles