ෂෙහාරා සුවය ලබා නිවසට පැමිණියාය.ආදිත්‍ය අත්‍යවශ්‍යම කාරණාවකට හැරුණු කොට ඇය සමග කතා කරන්නට ගියේ නැත. එහෙත් ඇය වෙනුවෙන් කළ හැකි සියලු යුතුකම් ඉටු කරමින් ආදිත්‍ය නිවසේම රැඳුනේය. ඒ නිවසේ සිට වැඩ කරන්නයි අභිමන් කියූ නිසාය.
” මේ වගේ ප්‍රශ්නෙක ඔලුව තියා ගෙන අයියට ඔෆිස් ඇවිල්ලා වැඩ කරන්න බැහැනේ. මං අයියගේ laptop එක එවන්නම්.අයියා ඔය තියෙන වැඩක් ගෙදර ඉඳලා කරන්න. මොකක් හරි urgent මීටින් එකක් තිබුණොත් මම අයියට කියන්නම් ”
අභිමන් උත්සාහ කලේ ආදිත්‍යව සුව පහසුවෙන් තැබීමටය. තම සහෝදරයා සූදානම් වන්නේ දික්කසාදයකටය. ඒ සඳහා ඔහු ඔහු ගේ මනස ද සූදානම් කර ගත යුතු බව අභිමන් සිතුවේය. ආදිත්‍ය සිත් තැවුලෙන් කාර්යාලයේ වැඩවල නියැලෙනු දකින්නට අභිමන්ට වුවමනා වූයේ නැත. ඒ වෙනුවට ඔහුට මේ මොහොතේ අවශ්‍ය වන්නේ මානසික සහ කායික විවේකය නිසා කාර්යාලයේ කටයුතු සියල්ල නෙහාරා සමග කළමනාකරණය කර ගැනීමට අභිමන් සැලසුම් කළේය.
පසු දින උදෑසන ආදිත්‍ය අවදි වන විට ෂෙහාරා කාමරයේ සිටියේ නැත.ඒ පිළිබඳව සිතන්නට නොනැවතුණු ආදිත්‍ය නීතිඥවරයා හමුවීම යාම සඳහා සූදානම් වූයේය. කණ්නාඩි මේසය ඉදිරිපිටට වී අත් දිග කමිසයේ අත් වැලමිට තෙක් නවා ආදිත්‍ය හිස කෙස් අතින් සකස් කර ගත්තේය. කෝපි කෝප්පයක් රැගෙන ෂෙහාරා නිදන කාමරයට ඇතුළු වූයේ ඒ මොහොතේය.
” ඔයා කොහේ හරි යන්න ද ආදිත්‍යය ? ”
ෂෙහාරා කෝපි කෝප්පය කණ්නාඩි මේසය මතින් තබන අතරේ ඇසුවාය.
” ඔව්. ලෝයර් හම්බ වෙන්න යනවා ”
ෂෙහාරාගේ මුහුණ දෙසවත් නොබලමින් ආදිත්‍ය පිළිතුරු දුන්නේය. ෂෙහාරා පුදුම වූවාය.ආදිත්‍ය මේ තරම් ඉක්මනින් දික්කසාදය සඳහා කටයුතු කරාවි යැයි ෂෙහාරා බලාපොරොත්තු වූයේ නැත.
” ආදිත්‍ය මං කියන්නේ ඔයාට තව පොඩ්ඩක් ඉවසන්න කියලා ”
ෂෙහාරා මිමිනුවාය. ඉන්පසුව කන්නාඩි මේසය මත තැබූ කෝපි කෝප්පය නැවත අතට ගෙන ආදිත්‍ය වෙත දිගු කළාය. ආදිත්‍ය ඒ පිළිබඳව නොතකා නිදන ඇඳ මත වූ මුදල් පසුම්බිය සහ දුරකථනය අතට ගෙන නැවත ෂෙහාරා දෙසට හැරුනේය.
” ඉවසන්න පුළුවන් තරම් මං ඉවසුවා ෂෙහාරා. ඒකෙන් ඔයා ඕනවටත් වඩා ප්‍රයෝජන ගත්තා.එහෙම අරගෙන කර ගත්ත හරිය පහුගිය ටිකේ දැක්කනේ. ඔයා සතුටු වෙන්න මං අදටත් මේ ගෙදර මෙහෙම ඉන්න එක ගැන.වෙන මනුස්සයෙක් වගේ නම් අඩුම ගානේ ඔයත් එක්ක එක ඇඳේ නිදා ගන්නෙවත් නැහැ ”
ආදිත්‍ය කාමරයෙන් පිට වූයේ ය. ෂෙහාරා එහෙමම නිදන ඇඳ මත වාඩි වී බලා උන්නාය. තමා දුර දිග නොසිතා සිදු කළ සියලු ක්‍රියාවන් වල ප්‍රතිඵල ඇස් පනාපිටම ලැබෙමින් පවතී.එහෙත් තමාට කළ හැකි කිසිවක් නැත. ආදිත්‍ය ගේ වාහනය පිටව යන හඬ ඇසුණු පසු ෂෙහාරා ඇඳේ වැතිරුණේ ශෝකයෙනි.
මෞර්යා කාර්යබහුල දිනයක් ගත කරමින් උන්නාය. ඇගේ අංශයේ ග්‍රැෆික් නිර්මාණකරුවෙකු හදිසියේ නිවාඩු ලබා ගැනීම නිසා ඔහුට අවසන් කිරීමට නියමිතව තිබූ නිර්මාණ කටයුත්තක් අවසන් කිරීමට මෞර්යාට පැවරී තිබිණි. ඇය ඉතා කැමැත්තෙන් එය බාර ගත් අතර දහවල් ආහාර ගැනීම පවා පසුවට තබමින් එය අවසන් කළාය. මෞර්යාගේ මේ කැපවීම කාර්යාලගේ කා අතරත් නොමද පැසසුමට ලක් වූයේ ඇය තවමත් කාර්යාලයට ආධුනිකයෙකු වූ නිසාවෙනි.
අභිමන් කාර්යාල කාමරයේ සිට බලා උන්නේ මෞර්යා දහවල් ආහාරය ගැනීම සඳහා කෑම කාමරය වෙත යනතුරුය. කාර්යාල කාමරයේ වීදුරු දොර අතරින් පෙනෙන කාර්යාලය දෙස අභිමන් තම විමසිලිමත් දෑස් යොමා ගෙන බලා සිටියේ කාර්යාලයේ කොනක ඇති කෑම කාමරයට යන අයෙක් යා යුත්තේ ඔහුගේ කාර්යාල කාමරයේ දොර පසු කරගෙන නිසාය.
දහවල් තුන පමණ වන විට මෞර්යා සන්සුන් ගමනින් කෑම කාමරය වෙත පියවර තබන ආකාරය දුටු අභිමන් අශිකා සූදානම් කර දුන් කෑම පාර්සලය රැගෙන අසුනින් නැගී සිටියේය. හිතා මතාම තවත් මොහොතක් දෙකක් පමා කර අභිමන් කෑම කාමරය වෙත බොහෝ සෙමෙන් පියමන්නේ තවත් පමා වීමටය.ඒ වනවිට මෞර්යා කෑම මේසයේ කොනක වාඩි වී තම බත් පත දිග හරිමින් උන්නාය.
” දැන් ද මෞර්යා ලන්ච් ගන්නෙ ? ”
අභිමන් ඇසුවේ අමුතුවෙන් පුදුමයට පත්වන අතරේය.ඔහුගේ හඬ ඇසී මෞර්යා අසුනින් නැගී සිටියේ ඔහු කෙරේ ගෞරවයෙනි.
” අයියෝ මාව දකින හැම තැනම නැගිටින්න ඕනෙ නෑ ළමයෝ.වාඩි වෙලා කන්න ”
මෞර්යා මදහසක් පා වාඩි වූ අතර අභිමන් ද අත සෝදා ගෙන මෞර්යාට එහා පසින් වාඩි වූයේය. මෞර්යා හිස පහත් කර ගෙන නිහඬවම ආහාර ගත්තේ අභිමන් තම ආසන්නයේම සිටින නිසා දැනෙමින් තිබුණු කුමක්දෝ අපහසුවක් මැඩ පවත්වා ගන්නා අතරේය.
” අද ඇයි ලන්ච් ගන්න මෙච්චර පරක්කු ? ”
අභිමන්ට වුවමනා වූයේ මෞර්යා සමග කතාවට වැටීමටය. ඒ ඇය තම සේවකයෙකු යැයි සිතා නොවේ. වචනයෙන් කිව නොහැකි තරමේ ළෙන්ගතුකමක් අභිමන් හට මෞර්යා කෙරෙහි දැනෙමින් තිබුනු නිසාය.
” සුනෙත් අද හදිසියේ ලීව් එකක් දාලනේ මිස්ටර් අභිමන්. එයාගේ ප්‍රොජෙක්ට් එකක් complete කරන්න තිබුණා.ඒක හදිසි එකක්. මං ඉතිං ඒක ඉවර කරලම ආවා ”
” අපේ අයියා එහෙම දැක්කනම් කවුරු හරි වැඩක් නිසා පරක්කු වෙලා ඇවිල්ල ලන්ච් ගන්නවා බැනුම් අහන්න වෙන්නේ. එයා කැමති නෑ කම්පනි එකේ කවුරුත් නොකා නොබී වැඩ කරනවට ”
අභිමන් එසේ කී අතර ආයතනයට තවත් ප්‍රධානියෙකු සිටින බව මෞර්යාට හදිසියේ සිහිපත් වූයේ ඒ මොහොතේය. තමා සේවයට පැමිණ දින කිහිපයක්ම ගතවී ඇති නමුත් තවමත් අනික් ප්‍රධානියාව මුණ ගැසුනේ නැත. ඔහුගේ බිරිඳ අනතුරකට ලක්වී ඇති බව සේවකයන් අතරේ කතාබහක් තිබුණද මෞර්යා එවැනි කතා බහ වලට සම්බන්ධ නොවී සිටියේම උවමනාවෙනි.
” මිස්ටර් අභිමන්ගේ අයියා කවදද ආපහු එන්නේ ? ”
මෞර්යා ඇසුවේ නිකමටය.
” ඇයි මෞර්යා එහෙම ඇහුවේ ? “
” නැහැ මට තාම මිස්ටර් අභිමන්ගේ අයියව හම්බ වුණේ නැහැ ”
” එයා තව දවස් කීපයකට එන එකක් නෑ මෞර්යා. එයාගේ වයිෆ් ඇක්සිඩන්ට් උනානේ. ඒ මදිවට එතන තව ප්‍රශ්න වගයක් තියෙනවා විසඳ ගන්න “
අභිමන්ගේ මුහුණෙහි කළු වලාකුලක සේයාවක් ඇඳුන බව මෞර්යා දුටුවේ අහම්බෙනි.
” ඇයි මිස්ටර් අභිමන් ? ”
” අයියා ඩිවෝස් වෙන්න යන්නේ මෞර්යා ”
අභිමන් කීවේ ශෝකයෙනි. මෞර්යා පුදුම වූවාය. ආයතනය පිළිබඳව සහ සේවකයන් පිළිබඳව ඒ තරම් සැලකිල්ලක් දක්වන පුද්ගලයෙකු ගේ පෞද්ගලික ජීවිතයේ දික්කසාද වීමට තරම් ගැටළුවක් තිබිය හැකි දැයි මෞර්යා කල්පනා කළාය.
” මම තමයි අයියට කිව්වේ ගෙදර ඉඳන් වැඩ කරන්න කියලා.මොකද මං දන්නවා office එකට ඇවිල්ල වැඩ කරන්න තරං එයා මෙන්ටලි ස්ටේබල් නැහැ කියලා ”
අභිමන් තව දුරටත් කීවේය. මෞර්යා නිහඬව අසා උන්නාය. තමා දන්නා හඳුනන අයෙකු දික්කසාද වීමට යන පුවතක් මෞර්යා මේ අසන්නේ ප්‍රථම වතාවටය. තමා තවමත් නොදුටු ප්‍රධානියා පිළිබඳව මෞර්යාට දැනුනේ කම්පාවකි. ඔහුද අභිමන් තරමටම යහපත් පුද්ගලයෙකු යැයි මෞර්යා අනුමාන කළාය.
” මේවා ඔෆිස් එකේ වෙන කවුරුවත් දන්නෙ නැහැ මෞර්යා ”
මෞර්යාගේ නිහඬ බව හමුවේ අභිමන් කියා සිටියේය. එහෙත් ඇය කාර්යාලයේ අන් අය සමග ඕනෑවට වඩා හිතවත්කම් පෑමෙන් වැළකී සිටින සහ නිකරුනේ කාලය නාස්ති නොකරන කෙනෙකු බව අභිමන් ඒ වන විටත් දැන උන්නේය.
” අනේ මං කාටවත් කියන්නේ නැහැ මිස්ටර් අභිමන් ”
මෞර්යා පිළිතුරු දුන්නේ යටහත් පහත්වය. කාර්ය බහුල බව නිසා ආදිත්‍ය පිළිබඳව එතරම් සිහිපත් නොවූවත් ඒ මොහොතේ අභිමන් හට තම එකම සහෝදරයා පිළිබඳව දැනෙමින් තිබුණේ අනුකම්පාව මුසු වූ ශෝකයකි.
” මං දන්නවා මෞර්යා.මං ඒක නිකමට කිව්වේ. ඔයා අනිත් අයත් එක්ක කියවන කෙනෙක් නෙමෙයි කියලා මම දන්නවා “
මෞර්යා කිසිවක් කීවේ නැත. එහෙත් මේ තරම් වත් පොහොසත් කම් , මිල මුදල් සහ තානාන්තර ඇති පවුලක වුවද ඇතිවිය හැකි ගැටලු පිළිබඳව මෞර්යා කල්පනා කළාය.
” අපේ අයිය හරි හොඳ කෙනෙක් මෞර්යා.ඔයාට එයාව හම්බ උනාම තේරෙයි. එයා මටත් වඩා අහිංසක කෙනෙක්. එයාගේ වයිෆ් එයාට චීට් කරපු එක දරා ගන්න බැරුව එයා ඉන්නේ. අපි කාටවත් කියන්නේ නැතුව එයා හුඟක් කල් හැමදේම ඉවසගෙන ඉඳලා ”
අභිමන් තම පෞද්ගලික කාරණාවක් පිළිබඳව කාර්යාලයේ සේවකයෙකු හා බෙදා ගත්තේ ප්‍රථම වතාවටය. එහෙත් අභිමන් හට ඒ පිළිබඳව කිසිදු වරදකාරී හැඟීමක් දැනුනේ නැත.
” හැමදේම හොඳ විදිහට විසඳෙයි මිස්ටර් අභිමන් ”
මෞර්යා පිළිතුරු දුන්නේ සන්සුන්වය. අභිමන් මොහොතකට කෑම නතර කර මෞර්යා දෙස බැලුවේය. ඇය සමග කතා කිරීමම හදවතට ගෙන දුන්නේ සැනසීමකි. එය තමා මින් පෙර විඳ නොමැති ආකාරයේ හැඟීමකි. අභිමන් කෑම ගැනීම නතර කර තමා දෙස බලා සිටින බව මෞර්යා දුටුවේ අහම්බෙනි.
” ඇයි මිස්ටර් අභිමන් ? “