සන්තාන සුසුම් සර – 16

0
5352

බස් රථය කොළොම් පුරයට ළඟා වූ කල යසස්වි ට දැනුණේ උපන් දා පටන් දිවි ගෙවූ ගමට පැමිණියා වන් සැනසිලිදායක හැඟීමකි. දෙඋරහිස් හි එල්ලාගත් බැක් බැක් එක ද අතකින් ගත් රෙදි මල්ල ද සහිත ව මග අයිනට වී, ඕ වට පිට බැලුවා ය. පිටකොටුව ඇවිස්සුණ කුහුඹු රැළක් සේ ජනාකීර්ණ ය. කලබල ය. මේ ඇය මෙබඳු අවස්ථාවකට තනිව මුහුණ දුන්නා ම ය. තුසිතයේ සිට අනුරාධපුරයට යත්දී ඕ ටැක්සි රියක් ගෙන්වාගත්තා ය. එය බස් නැවතුමෙහි ම නතර කරගත හැකි වූයෙන්, වටක් පිටක් නො බලා ම අනුරාධපුර බසයට ගොඩ විය හැකි විය. නමුත් මෙහෙම තට්ට තනිව ම පිටකොටුව මැද්දේ බසයෙන් බැසගත් විට කරකවා අත්හැරියා සේ ය. හිත සවිමත් කරගත් ඕ ත්‍රීරෝද රියකට අත දමා නවතාගත්තා ය.

ඇය ඊයේ ගෙදර ගියේ අද මේ ලෙස යළි එන්නට නොවේ. නමුත් උපන් දා පටන් ජීවත් වූ ගෙදර එක රැයක් පහන් කරගන්නට කෙතරම් අසීරු විණි ද? හිත ඒ තරම් නො ඉවසිලිමත් හා කැළඹිලි සහගත වූයේ ඇයිදැයි ඇය දන්නේ නැත. කවදාවත් නැතිව ඇය තාත්තා එක්කත් එකට එක කීවේ දැනුණා වූ නො රිස්සුම නිසා ම ය. පසු දා දවල්ට අනුරාධපුරයෙන් පිටත් වෙන බසයෙන් කොළඹ යන්නට ඒ රාත්‍රියේ දී ම තීරණය කළත් ඇය ඒ බවක් මව් පියන්ට දැනුම් දුන්නේ නැත. එසේ කළේ වී නම් තාත්තා උදාර සමගින් ඈ කොළඹ යවන්නට කටයුතු සූදානම් කරනු ඇත!

ගෙදර අය හිතුවේ උදාර සම්බන්ධයෙන් ඇති කරගත් මත ගැටුම නිසා ඇය කොළඹ යාම ඉක්මන් කළ බවයි. නමුත් එවැන්නක් නොවුණත් ඇයට තවත් දින දෙකක් ගෙදර සිටිය නො හැකි කඩි කුලප්පුවක් හැදී ඇති බව දැන සිටියේ යසස්වි පමණකි.

ඇයට කණගාටු අම්මා ගැන පමණකි.

‘අනේ ආ එකේ ඔය දවස් දෙකත් ඉඳල යන්නකො මැණිකෙ’

කියා ඇය කිහිප වරක් බැගෑපත් වූවා ය. මේ මහා ගෙදර අම්මා ට වන එක ම සතුට ඇය බව යසස්වි නො දන්නවා නොවේ. නමුත් ඇයට ඕනෑ වූයේ හැකි ඉක්මනින් කොළඹ දුවන්නටයි.

වෙහෙරගොඩ මන්දිරය විශාල නිවසකි. තුසිතයට වැඩිය ඒ බෙහෙවින් විසල් ය. නමුත් ඉන්නට හිතෙනා පිළිවෙළක් කවදත් එහි වූයේ නැත. හැම තැනක ම බඩු ගොඩවල් ය. වී ගෝණි ය. ලොරි වල පරණ ටයර් ගොඩවල් ය. වාහන වලින් ගැලවූ කොටස් ය. ගෝණි පඩංගු ය. ගේ වටකොට පිහිටි බරාඳය තනිකර ම අඩුම කුඩුම වලින් පිරී ය. පුටු මත ද බඩු ය. ආලින්දය කියා ද වෙනසක් නැති ය. ගත් බඩුව ගත් තැන ය. තාත්තා ද අයියා ද කිසිදාක පිළිවෙළක් ගැන සැලකිලිමත් වූ මිනිසුන් නොවන බව යසස්වි දනී. ඔවුන්ගේ ලෝකය මුදල් පමණකි.

‘අපේ ගෙදර අපිට ඕන විදිහට නිදහසේ ඉන්න පුළුවන් වෙන්න ඕනෙ. එහෙම ඉන්න තමයි අපි මේ ගේ හදාගත්තෙ’

ඔවුන් ගේ අපිළිවෙල ගැන චෝදනා කරනු ලැබූ අවස්ථා ගණනාවක දී ම යසස්වී ට ලැබුණු පිළිතුර එයයි. එබැවින් ඕ ඒ නිවස පිළිවෙලට තබා ගැනීම ගැන ආශාව මරා දැමුවා ය. තුසිතයේ දී ඇය යළි ඉපදී තිබේ!

 අනුරාධපුරයෙන් කිසිත් ගෙන එන්නටත් නො හැකි වූ නිසා යසස්වී ත්‍රීරෝද රිය නවතාගෙන සුපිරි වෙළෙඳ සැලකට ගොස් ආහාර පාණ ටිකක් මිල දී ගත්තා ය. ඒ පොදුවේ ගෙදරට ය. වජිරාටත් විජිතටත් ඊට වැඩිය විශේෂ වූ යමක් ගෙන යා යුතු යයි හිත කීවේ ය. ඔවුන් දෙදෙනා ඇය වෙත පානා දයාව මිල කළ නො හැකි තරමි. ඇයට ඒ ගෙදර තමන්ගේ ගෙදර සේ දැනෙන ලෙස ජීවත් වන්නට අසීමිත අවස්ථාවක් හා නිදහසක් ලබා දුන්නේ ඔවුන් දෙදෙනායි. ඇගේ අසීමිත දඟකාරකම් ඉවසා වදාරන්නට තරම් විසල් මව්වත් හදවත් ඔවුන්ට තිබූ බැවිනි.

ඇය වජිරා ට ගෙතුළට පැළඳීම සඳහා, විදේශයකින් ආනයනය කරනා ලද සුවපහසු පාවහන් යුගළක් මිල දී ගත්තා ය. විජිත වෙනුවෙන් ටී බැනියමක් හා කොට කලිසමකි. එය ඇගේ නෙතු ගැටුණේ අහම්බෙනි. මෝටර් රථයක ඉදිරියේ එල්ලිය හැකි, බකමූණෙකු ගේ රුවක් සහිත කුඩා සුළං සීනුවක්!

ඒ අපරභාගයේ තුසිතය තුළ යසස්වි ව දකින්නට වජිරා සිතා සිටියේ ම නැත. යුවතිය මතු මහළට නැගෙනා විට ඇය සිටියේ මෘදු සන්ධ්‍යා නින්දෙහි ය. විජිත නම් පුවත්පතක් කියවමින් කුඩා ආලින්ද කොටසෙහි අසුන්ගත ව සිටියේ ය. යසස්වි දුටු ඔහු ගේ මුව මත ඇඳුනේ අනපේක්ෂිත ප්‍රීතියකි.

‘මෙන්න බොලේ ඇවිත්. එනව කිව්වෙ අනිද්දට නේද…’

දිළිසෙන දෑස් වලින් හිනැහීගෙන හෙතෙම පත්තරය පසෙක තබා නැගී සිටියේ ය.

‘අනේ අර මිනිහ නිසා ගෙදර මට අපායක් වගේ අංකල්’

කියමින් බෑග් දෙක පුටුවක් මත අත්හළ ඕ විජිත ව බදා වැළඳගත්තා ය. ඇගේ හදවත පීතෘ ස්නේහයේ අවශ්‍යතාවයක හිඳිනට ඇත. මේ මොහොතේ එහෙම වැළඳගැනීමක් ඇතුළාන්තයෙන් ම ඉල්ලා සිටින්නට ඇත.

‘මොකද දුවේ වුණේ… ගෙදරත් එක්ක ගෝරියක් දාගත්තද…’

‘රෑ උදාර ඇවිත් කියවන්න ගත්ත. ඒ මනුස්සය මගෙ ඔළුවට මාර වදයක් දෙන්නෙ අංකල්. අපේ තාත්තට මාව තේරෙන්නැත්තෙ ඇයි…’

‘හැම දේම හෙමිහිට විසඳගමු පුතේ. කලබල වෙලා කොරොස් කටෙත් අත දාගන්න බෑනෙ. ම්.. වජිරා… මේ දුව ඇවිත්… ඔයා නිදිද… වජිරා…’

කාලයකට පස්සේ සිය දියණිය දකිනා පියෙකු ගේ හදිසි සතුට විජිත ගේ කලබල කටහඬ තුළ මැනවින් කැළතී තිබිණ.

යසස්වි ගේ හදිසි නො දන්වා පැමිණීම තුසිතයට වසන්තය ගෙනැවිත් තිබිණ. එතෙක් මලානික ව තිබූ සියල්ල පොද වැස්සකින් අලුත් ප්‍රාණයක් ලැබුවා සේ ය. තෑගි ගෙන ඒම ගැන වජිරා දොස් කීව ද එයින් ඇගේ හිත සතුටට පත් වී තිබිණ. ගිය පයින් ඇය ආපසු පැමිණීම ගැන සැකයක් ගිනි පුපුරක් සේ නිලූකා ගේ හිතේ නම් දැල්විණි.

‘මහ ජෝඩුවටත් ගාණක් නෑ මේ පොඩි කෙල්ලෙක් නේද කියල. බොරු හුරතල්   පෙන්නල අර බැඳල ඒ වයසෙ ළමයි ඉන්න ඕන එකාට ලං කරන්න හදන්නෙ. එයත් දෙකට ගනින්න බෑ වගේ හිටියට මේ නොදැරිවිට මනමාලකං කරන්න අරංද කොහෙද… නැත්තං එදා යසස්වි ඉල්ලපු නිසා පීසා ගෙනාවෙ මොකටද…’

නිලූකා තනිව සිතුවා ය.

අස්විද ආවේ වෙනදාට වැඩිය මඳක් පමා වී ය. වැඩ නිමා වූවත් ගෙදර පැමිණෙන උනන්දුවක් හිතේ වූයේ නැත. රයන් හමු වීමට යාමට සිතාත් යළි ගෙදර ආවේ, දැනෙනා වූ කෙඩෙත්තු බව නිසා ඇඳට වැටෙන්නට හිතාගෙනයි.

රිය නැවතෙන විට යසස්වී ඉස්සරහාට ආවා ය. බරාඳයට ගොඩ වෙන විට ඔහු දුටුවේ ඒ සුසුදු සිනහ මුහුණයි. ඒ ඇත්තක් ද නැත්නම් අක්ෂි මායාවක් දැයි ඔහු ට ක්ෂණිකව වෙන් කර හැඳිනගත නො හැකි වූ තරමි. යසස්වී දිගට ම සිනහ වීගෙන බලා හිඳී. ඒ බැල්ම වඩාත් දඟකාර ය. මායාවක් නොව ඒ ඇය ම බව ප්‍රත්‍යක්ෂ වූ ගමන් අස්විද ආලින්දය හරහා කාමරය දෙසට ගියේ ඇයට එක සිනහ පොදක් හෝ  පෙරලා නො දෙමිනි. යසස්වි දෙතොල් උල් කොට, පිටුපා යන ඔහු ට ඔච්චම් කළා ය.

දිය නාගෙන ඇඳුම් මාරු කළා මිස වෙනදා වාගේ අස්විද රිය පුහුණුවට යාම සඳහා සූදානමක් නො පෙන්වූයේ ය. තේ    බොත්දීවත් ඔහු ඒ ගැන මතක් කළේවත් නැත.

‘දැං යනව නේ… මං ලෑස්ති වෙන්නද…’

යසස්වි උදක් ම විමසා සිටියා ය. ඇගේ දෑස් විනිවිද බැලූ ඔහු, පිළිතුරක් නොදී යළිත් කාමරයට ගියේ ය. මඳ වෙලාවකින් ඇය කාමරයේ දොරකඩ පෙනී සිටියා ය. කොට කලිසමක් හා බැගී ටී කමිසයක් හැඳ කොණ්ඩා කරල් දෙකක් ගොතාගෙන සිටින ඇය කාටූන් එකක චරිතයක් වාගේ කියා ඔහු ට සිතිණි.

‘යංද… හරි හරි ඉතිං සොරි. සොරි කිව්වට පස්සෙ ඒක ඉවරයිනෙ. ෆොගිව් ඇන්ඩ් ෆොගෙට්. ප්ලීස් ප්ලීස්… ආයෙ එහෙම කරන්නෑ. අදට විතරක් සමාව දෙනවනෙ ඉතිං. යංකො. හාද…’

අස්විද මේසය මත වූ රියෙහි දුරස්ථ පාලක යතුර අතට ගත්තේ ය.

‘තැන්කූ හොඳේ. මං ටක්ලාල ලෑස්ති වෙලා එනෝ’

කියමින් යසස්වි මතු මහළට දිව්වා ය. ඔහු ගේ දෙතොල් අතරේ සිනහවක් සරැලි නැගුවේ ය. දවස තිස්සේ ම තිබූ, ගෙදර එත්දී දරුණුවට දැනුණු කෙඩෙත්තු ගතියට කුමක් වී ද? දිය නාගත් පසු එය සේදී යන්නට ඇතැයි ඔහු සිතුවේ ය.

අස්විද හා යසස්වී රියට නැගෙනු විජිත සඳැල්ලෙහි සිට බලාගෙන ය. වජිරා ඔහු වෙත පැමිණියේ සතුටක් හිත දරාගෙනයි.

‘මේ කෙල්ල අපේ එකාව කණපිට හරවයිද කියලයි මං මේ හිතුවෙ’

විජිත ඉලන්දාරියෙක් වාගේ තරමක් හඬ නැගෙන සේ සිනහ වූයේ ය. වජිරා ගේ දෑස් රිය වෙත යොමු වී තිබිණ.

‘ඊයෙ යකා වගෙයි ඒ දරුවට කෑගැහුවෙ. ඩ්‍රයිවින් උගන්නන්න යන්න එයා ඉක්මනට ආවය… යන්නැත්තං කියන්න එපාය කියල…’

‘මැළවිල හිටියෙ ඊයෙ හවස’

‘මේ ළමය තකහනියෙ දුවං ආවෙ බැන්න නිසාද මන්ද…’

‘කවුරුවත් බැන්නට බය වෙන කෙල්ලෙක් නෙවෙයි ඒ. බැන්නොත් බනී. බැන්නට දුවං ආවනං ඒ කැමැත්තෙං එන එවිල්ලක්’

‘එහෙම දෙයක් නෑ අනේ’

‘ඒ කෙල්ලගෙ නැතත් අපේ ගල් බමුණනං හෙල්ලිලා ගිහිල්ලයි ඉන්නෙ වජිරා. මං හූන කිව්ව වගේ කියන්නං’

‘අනේ මන්දා. ඒ ළමයට ගෙදරින් මගුල් ජෝඩු කරලලුනෙ’

‘මගුල්නං ඉතිං තියෙන්නත් පුළුවං කැඩෙන්නත් පුළුවන්නෙ වජිරා’

‘මටනං මහ අමුතු බයකුත් දැනෙනව වගේ’

‘මගෙ කොල්ල ඌට ඕන දෙයක් තියනවනං ඒක ඌගෙ කරගෙන මිසක් නවතින්නෑ’

‘තාත්ත වගේ නැතෑ ඉතිං’

විජිත නැවත ද කොක් හඬලෑවේ ය. සැනසිල්ලක් ද දෙගිඩියාවක් ද එක විට දැනෙත්දී ඇතුළාන්තයෙහි ගිනි සිසිලක් මැවේ. හුස්මෙහි ද වජිරා ට ඒ දැනිණි.

රියට නැගුණු ගමන් යසස්වි ඒ සුළං සීනුව ඉදිරි කැඩපතෙහි එල්ලුවා ය. බකමූණා පැද්දෙමින් කුඩා සීනු වල ඉසිහින් හඬ ඉහිරෙව්වේ ය. යසස්වී ගේ දෑස් දිළිසිණි. දෙතොල් මඳහසින් සැරසිණි.

‘හරියට ම ගැලපෙන එක දැන් තමයි හම්බුණෙ’

ඇය හුරතල්  හඬකින් කීවා ය. අස්විද බැලුවේ ඇය කී කතාව තේරුණේ නැතිවා වන් බැල්මකිනි.

‘බක මූණා’

එසේ කියත්දී ‘බකස්’ ගා සිනහව එළියට පැන්නේ ය. ඇය දෝතෙහි මුහුණ සඟවාගත්තා ය. අස්විද සිටියේ ඇස් පිය නො ගසා බලාගෙනයි. ඈ වූ කලී සතුටු පෙති බෝතලයකි. ඉන්නා තැන සතුටු සිනහ බිඳු ඉහිරේ. ඉර එළිය වාගේ එළිය විහිදුවයි. සඳ කිරණ වාගේ මෘදු සිසිලසක් දනවයි. එතෙක් හිර කරගෙන උන් සිනහව අස්විද ගේ දෙඅදර අතරෙහි පුංචි දඟයක් කළේ ය. ඔහු ගේ අතැඟිලි ඇගේ කන් පෙත්තක් රිදෙන්නට මිරිකන ආසාවක හිටි මුත් අස්විද ඊට ඉඩ දුන්නේ නැත.

‘මං ගෙදරනෙ ගියේ’

සිනහවේ කෙළවර ඇය සන්සුන් සරකින් මිමිණුවා ය.

‘ඉතිං මට මොකෝ…’

අස්විද බොරු තරහක් මවාගත්තේ ය. යසස්වී නෙත් කොනෙන් බැලුවා ය.

‘එහෙනං බැන්නෙ…’

‘ඒ වෙලාවෙ කරගන්න තිබුණ මගෙ වැඩ පාඩු වුණ හින්ද. නැතුව මේ…’

‘එහෙනං දැම්ම කියල තියන්නංකො. ඊළඟ වීක් එන්ඩ් එකේ ගිහිං මං දවස් තුන හතරක්     ඉඳල එන්නෙ’

‘ඇයි කොල්ල කිව්වද එහෙම කරන්න කියල…’

අතුණුබහන් වල පෙරළීමක් සිදු වනු යසස්වී ට දැනිණ. අස්විද ගේ මුහුණෙහි වූයේ අඩ බැල්මකි. ඔහු එය කීවේ නිකමට වී ද, ඇයට එතැන සරල ලෙස මගහැර යා නො හැකි විණි. නොතේරෙන රිදුමක් උගුර පාමුල වූයේ ය. ඈ නෙත් පියන්පත් බිමට හරවාගත්තා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here