ඔබෙ ආදරෙන් මා දැවේ – 5

0
3528

ජාන්වි උන්නේ ආයෙම මලිත් පැමිණ තමන්ව ගෙදර එක්කරගෙන යන තුරු මලිත්ගේ දෙපතුල් ලඟට යන්නේ නැතැයි කියා සිතමිනි.

“හිතාගෙන ඇති මං ආයෙ එයාගෙ කකුල් දෙක ලඟට වැඳ වැටීගෙන එයි කියලා. මං යන්නෙ නෑ මේ පාර නම්. එයාටත් මගේ අගේ තේරෙන්න ඕන නෙ. මං විතරක් මෙතන මේ එයාව මට නැතිවෙයි කියලා බයේ හැමතිස්සෙම එයාගෙ පැත්තෙ වැරදි තියාගෙනත් පස්සෙන් ගිය එකේ එයාට එකපාරක් හරි මං ගාවට එන්න පුලුවන් වෙන්න එපාය.

ටික දවසක් යන්නෙ කතාකරන්නෙ නැතුව උන්නම තේරෙන්නෙ නැතෑ ඔය තැන් තැන්වල හම්බුවෙන ගෑනු වගේ නෙවෙයි ගෙදර ගෑනි නැති උනාම කියලා. ඔය අතන මෙතන හුරතල් වෙන ගෑනු එන්නෙ නෑනෙ ගෙදර ගෑනි වගේ බලාගන්න කියලා තේරේවි එතකොට” කියා ජාන්වි තමන්ටම කියාගත්තේ මලිත්ට අලුත් පාඩමක් අලුත්ම විදියකට කියා දෙන්නම් කියා හිතාගෙන වගේය.

දවස් දෙක තුනක් ගේ අස්සටම වෙලා උන්න තෝන්තුව හන්දාම ජාන්වි හිතුවේ ටවුම පැත්තට ගිහින් ආවොත් හොඳයි කියාය. ඇඳ පැලඳගෙන එලියට එද්දි සාලේ අතුගාමින් උන් මනෝරමා පුදුම උනේ දවස් දෙක තුනක් කාමරෙන් එලියට එන්නෙ නැතුව ගේ අස්සටම වෙලා උන්න ගෑනි එකපාර ඇඳ පැලඳගෙන ගෙයින් එලියට යන්න ආව හන්දාය.

“ආහ් දැන් මේ ලෑස්ති උනේ ආපහු යන්නද?” කියාගෙන අම්මා අතුගාන එක නතර කර දමා කොස්ස ඇඟට හේත්තු කරගෙන, කම්මුලට අතක් තියාගෙන අහද්දී ජාන්වි හිනාවක් දැම්මේ නිකන් “අම්මට මුකුත් තේරෙන්නෙ නෑ” කියන්න වගේය.

“මං මේ ටවුමට යන්න. නැතුව ගෙදර යන්න නෙවෙයි” කියාගෙන ජාන්වි ගෙදරින් එලියට බහින්න හැදුවත් මනෝරමාගේ කටෙන් ඊලඟට පිටවෙච්ච ප්‍රශ්නාර්තෙ ජාන්විගේ ඒ ගමන නතර කර දැම්මාය.

“ගෙදර යන්න නෙවෙයි කියන්නේ? කොහේ යන්නද එහෙනම් ඔය ජැන්ඩි පහට ලෑස්ති වෙලා යන්න හදන්නේ?” 

“දැන් කිව්වෙ මං එකපාරක්. ටවුමට යන්න හදන්නෙ” කියාගෙන ජාන්වි අම්මාට උත්තර දුන්නේ නොරිස්සුමෙන් ය.

“ටවුමට? මොකටද ටවුමට යන්නේ?” 

“මට මේ ගේ අස්සටම වෙලා ඉන්න කියලද කියන්නේ?”

“යකෝ මේක හරි කතාවක්නෙ. උඹ හරියට කතාකරන්නෙ මේ අපි උඹව බලෙන් කාමරයක් අස්සෙ හිරකරගෙන ඉන්නවා වගේනේ ජාන්වියො. දෙමව්පියො වසයෙන් අපිට එහෙම කරන්න පුලුවන්කම තිබ්බ නම් බාගදා උඹලා අද මේ විඳින දුක් කන්දරාවල් අපිට දකින්නෙ නැතුව ඉන්න තිබ්බා.

අනේ මේ රට්ටු හිනස්සන්නෙ නැතුව ගෙදෙට්ට වෙලා ඉඳහන්. යනවා නම් කරුණාකරලා යන දේවාලෙක යන්න තමන්ගෙ ගෙදරට ගිහිල්ලා” කියාගෙන අම්මා දෝස්මුරේ දැම්මද ජාන්වි ඒ වෙද්දිත් උන්නේ ගෙදර වත්තේ ගේට්ටුව ලඟටත් කිට්ටු වීය. බුක් කරපු පික් මී එක එනකම් මෙතන උන්නොත් අම්මාගේ තව කතන්දර අහගන්න වෙන බව දන්න හන්දාම ජාන්වි පික් මී ඇප් එකේ රිය එන බව පෙන්වන පෙරමගට ගියේ දහසක් කල්පනාවන් එක්කය.

ටවුමට යනවා යැයි කියා ගෙයින් එලියට ආවද ඇත්තටම යන්නේ කොහෙද කියා හරි අදහසක් තිබ්බෙ නැති නිසාවෙන් ජාන්වි ඇණවුම් කල පික් මී වාහනයෙන්ම ටවුමට ගියේ යන අහක යනවා කියා හිතාගෙනය. කොහොමත් හිත තෝන්තුවෙන් තියෙන හන්දා ඔහේ යන තැනකට යන එක, ඒ යන ගමනේ කල්පනා කරමින් යන එක හිත පොඩ්ඩක් හරි සැහැල්ලු කරන්න හේතුවෙන බව ජාන්වි හිතුවාය. එහෙත් ගමන යද්දීත් ජාන්විත් කල්පනා උනේ තමන්ගේත් මලිත්ගේත් සම්බන්ධේ ගැනය. ඇත්තටම සම්බන්ධයක් දැයි කියන්නට නොතේරෙන අරුම පුදුම සම්බන්ධය ගැනය.

“ඔයා කොච්චර ඇහුවත් මම මැරේජ් එකකට නම් කැමති වෙන්නෙ නෑ ජාන්වි” කියා මලිත් සම්බන්ධයේ මුල සිටම කිව්වත් ජාන්විට මලිත්ව එසේ ටයිම් පාස් කරන, ලිවින් ටුගෙදර් ඉන්න කෙනෙක් ලෙස තමන්ගේ ළඟ තියාගන්න උවමනා උනේ නැත. ජාන්විට අනුව ආදරය වනාහී එක්තරා විදියක අයිතිකරගැනීමකි. තමන් ආදරය කරන පුද්ගලයාව ආදරයෙන්ද, නීතියෙන්ද, අනික් හැකි හැම විදියකින්මද ඇඳ බැඳ තබා ගන්නා බැඳීමකි. අනෙක් අතට මලිත් මංචනායක වනාහී කෙල්ලන් හිඟ අයෙකු නොවේ. ලංකාවේ ඕනම තැනකින් ඕනම තරාතිරමක කෙල්ලෙක්ව නම්මා ගැනීමට හැකි අන්දමේ පෙනුමක්ද, හඬක්ද, පෞරුෂයක්ද තිබුණු මලිත්ව විවාහ කර නොගෙන බැඳී සිටීම තමන්ගේ දෑතින් ඔහුව ගිලිහි යන්නට හේතුවක් වෙතැයි බියක් ඒ කාලයේ තමන්ගේ හිතේ තිබ්බ බව ජාන්විට අමතක නැත. 

“ඔයා එතකොට මට කියන්නෙ මේ ඔයා එක්ක ලිවින් ටුගෙදර් එන්න කියලද? ඔයා හොඳටම දන්නව මලිත් අපේ අම්මලා ඔයා ඔය හිතන තරම් රැඩිකලුත් නෑ ප්‍රොග්‍රසිව්නුත් නෑ. එහෙම එකේ මම මේ කසාදයක් කරගන්නෙ නැතුව පිරිමියෙක් එක්ක එක ගෙදරක ජීවත්වෙනවා කියලා දැනගත්තම අපේ අම්මලට හාට් ඇටෑක් එකක් හැදේවි. අනේ ප්ලීස් මැරෙන්න යන වයසෙ ඒ මිනිස්සුන්ට නිදහසේ ඉන්න දෙන්න”

“එතකොට ඔයා මේ ඔයාගෙ අම්මලගෙ නිදහස පරිස්සම් කරන්න මගෙ නිදහසට උගසට තියන්නද හදන්නෙ?”

“මට කියන්නකො මාව බැන්දම ඔයාගෙ නිදහස නැතිවෙන්නෙ කොහොමද කියලා? මෙච්චර කාලෙකට මම ඔයාට කිසිම දෙයක් කරන්න එපා කිව්වද?” කියා තමන් එදා මලිත් ගෙන් ඇසුවේ “බැන්දයින් පස්සේ ඕන මිනිහෙක් ගෑනි කියන දේ අහනවා” කියන සිතුවිල්ල නියතයක් බව හිතාගෙන බව ජාන්විට අමතක නැත.

එහෙත් වැරදුනේ කොතනද? වැරදුනේ කාටද කියා ජාන්විට තවමත් හිතාගන්නට නොහැකිය.

ආදරය වනාහී සමාව දීම යයි තමා කාලයක් තිස්සේ සිතාගෙන මලිත් විසින් ඔහුම කියන අන්දමට හැකි හැම අයුරින්ම ලයිෆ් එක එන්ජෝයි කරද්දී තමන් ඔහුට ඒ හැම අවස්තාවකම සමාව දුන් බවත්, එසේ කලේ ආදරය නිසාවෙන් බවත් ජාන්විට අමතක නැත. ඒත් නංගී කියන පරිද්දෙන් “අක්කා සමාව දුන්නා කියල හිතුවට මලිත් අයියගෙ පැත්තෙන් ගත්තොත් අයියා වරදක් නෙවි නේද කරන්නේ? ඒ මනුස්සයා එහෙම කෙනෙක් බව දැන දැනම අක්කම එයාව මැරේජ් එකකට අරගෙන ඇවිල්ලා ඒ මනුස්සය මුල ඉඳලම උන්නු විදියට, කිව්ව විදියට ඉන්න එකට සමාව දෙනවා කියලා කියන්න බෑ නේද අක්කේ?

සමහරවිට අක්කා ඔය සමාව දෙනවා කියල හිත හිත කරන්නෙ මලිත් අයියට සමාව දීමකට වඩා අක්කට මලිත් අයියව අක්ක ලඟ විතරක තියාගන්න හදන ප්ලෑන් එකක් ගහන එක වෙන්න පුලුවන්. එහෙම බැලුවොත් අක්කා විතරක් නෙවෙයි අක්කෙ මලිත් අයියත් පව් නේද? නිදහසෙ පියඹලා යන්න හදන මනුස්සයෙක්ව හිර කරන්න හදන අක්කා වගේම ඒ මනුස්සයත් පව්” කියන කතාව මතක් වෙද්දී තමන්ට මලිත්ව තේරුම් ගන්න බැරි වුණේ කොතනින්ද කියා ජාන්වි ආයෙ සිතුවාය.

ජාන්වි සිතුවිලි ගංගාවක් අස්සේ පීන පීන යද්දී පික් මී වාහනය තිබුනේ වාහන මැද්දෙන් පාර දිගේ ගමන් කරමින් ය. පාසල් වේලාව නිසාවෙන් දෝ තිබූ වාහන තදබදය අස්සේ තෙරපෙමින් රිය මදක් හෙමෙන් ඉදිරියට යන්නට වූයේත් සංසාරයේ කොහේ හෝ තැනක දැක පුරුදු මුහුණක් අද්දර ජාන්විගේ දෙනෙත් නතර වුණේත් එක තප්පර ගාණක වෙනසකිනි.

ඒ දෙනෙත් තමන්ට දැක පුරුදු සංසාරයේ කොහේ හෝ තැනක නොව තමන් විසින් ස්ව කැමැත්තෙන් අත හැර දමා ආ අතීත මතකයක බව මතක් වෙද්දී ජාන්වි තප්පර කිහිපයකට ගැස්සුණාය.

ඒ දෙනෙත් හිමි පුද්ගලයා ඒ අතීතයේ මතකයේ උන් පුද්ගලයාට වඩා මුහුණුවරෙන්ද වෙනස් වී තිබුණද ඒ දෙනෙත් අස්සේත්, ඒ මුහුණ අස්සේත් එදත් අදත් සැඟවී තිබුන වචනයෙන් කියන්නට බැරි දුකක සේයාව ජාන්විට ඔහුව නැවත නැවත මතක් කර දුන්නාය.

පාර අයිනේ සිඟන දරුවන් කිහිප දෙනෙකුට අසල තිබූ කඩයකින් බනිස් වගයක් අරන් දෙමින්, ඒ දරුවන් හා සිනාසෙමින් උන් ඔහු තමන්ව දැක්කේ නැති එකම ජාන්විට සැහැල්ලුවක් උනත් හිත තිබුනේ එතරම් සැහැල්ලුවක ගිලී නොවේ. “මට මේ පලදුන්නෙ මං කාට දුන්න ගින්දරක්ද?” කියා නංගිට කියූ වචන ආයෙ ආයෙ හිතට එද්දී මීට වසර ගණනාවකට පෙර දවසක, පාසල් වියේ කෙල්ලක විසින් කියන්නට යෙදුන හිත රිදෙන කතාවක් අසා,

“අනේ මට එහෙම කරන්න එපා මැණිකෙ” කියා හැඬූ පාසල් වියේ කොල්ලෙක්ව ජාන්විගේ හිත අස්සේ ඇඳී අනතුරුව මැකී ගියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here