Breakup එකකට පස්සේ කරන්න හොඳ නැතිම දේවල් මොනවද?

සම්බන්ධතාවයක් ඉවර වුණාම හිතට දැනෙන වේදනාව කොච්චරද කියලා වචනවලින් කියන්න බැහැ. ඒත් ඒ වෙලාවේ අපි කරන සමහර දේවල් අපිට තවත් රිදවන්න පුළුවන්. සම්බන්ධතාවයක් නැති වුණාම හිතට  දුක, කේන්තිය, හිස් බව වගේ හැඟීම් ගොඩක් එන්න පුළුවන්. මේක හරිම සාමාන්‍යයි. හැබැයි මේ වෙලාවේ අපි ගන්න සමහර තීරණ අපේ මානසික සෞඛ්‍යයට හොඳ නැහැ. ඒ නිසා, අද අපි කතා කරමු breakup එකකින් පස්සේ ඔයා කවදාවත් කරන්න හොඳ නැති දේවල් මොනවද කියලා.

1. එයාව හැම තැනින්ම follow කරන එක

හිටපු සහකරු හෝ සහකාරියව හැම තැනින්ම follow කරන එක තමයි කරන්න පුළුවන් නරකම දේවලින් එකක් වෙන්නෙ. එයාගේ social media (ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක්) බලන එක, එයා කොහෙද යන්නේ එන්නේ කියලා හොයන එක, එයාගේ යාළුවන්ගෙන් විස්තර අහන එක… මේ ඔක්කොම කරන්නේ අපි එයාලට තවත් බැඳිලා ඉන්න නේ. 

එයා වෙන කෙනෙක් එක්ක ඉන්නවා දැක්කොත්? ඒක ඔයාට දරාගන්න බැරි වේදනාවක් වෙයි. එයාගේ ජීවිතේ දිහා බලලා දුක් වෙනවාට වඩා, ඔයාගේ ජීවිතේ හදාගන්න උත්සාහ කරන්න. එයාගේ social media බලන එක නවත්තන්න, ඕන නම් එයාව block කරන්න, නැත්නම් unfriend කරන්න. ටික කාලෙකට හරි ඔයාට ඒ නිදහස ඕන වෙනවා.

2. දුක නැති කරගන්න වෙන දේවල් පස්සේ යන එක

සමහර අය දුක නැති කරගන්න කියලා ඕනවට වඩා බිව්වම, නරක දේවල් පස්සේ ගියාම හිතට සහනයක් ලැබෙයි කියලා හිතනවා. ඒත් මේක හරිම භයානකයි. මොකද, ඒ වෙලාවට විතරක් සහනයක් ලැබුණාට, පස්සේ ඒක ඇබ්බැහියක් වෙන්න පුළුවන්. එතකොට ඔයාගේ ප්‍රශ්නය තවත් වැඩි වෙන එක තමා වෙන්නෙ. ඇඟටත් හොඳ නැහැ, හිතටත් හොඳ නැහැ. දුක දැනෙද්දි, ඒ දුක එක්ක ඉන්න පුරුදු වෙන්න. ඒක දරාගන්න බැරි නම් විශ්වාසවන්ත යාළුවෙක් එක්ක කතා කරන්න.

3. හැඟීම් හිර කරගෙන ඉන්න එක

දුක, කේන්තිය, කලකිරීම වගේ හැඟීම් හිර කරගෙන ඉන්න එපා. “මම ශක්තිමත්, මට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ” කියලා පෙන්නන්න ගියොත්, ඒක පස්සේ ලොකු මානසික අවුලකට හැරෙන්න පුළුවන්. අඬන්න ඕන නම් අඬන්න. කේන්ති ගන්න ඕන නම් කේන්ති ගන්න. ඔයාට විශ්වාසවන්ත යාළුවෙක්, පවුලේ කෙනෙක්, නැත්නම් වෘත්තිකයෙක් එක්ක කතා කරන්න. ඔයාගේ හැඟීම් එළියට දාන එක හිතට හරිම සැහැල්ලුවක් ගෙන එනවා.

4. පළිගන්න හදන එක

හිටපු කෙනාගෙන් පළිගන්න හදන එක හරිම බොළඳයි. ඒකෙන් ඔයාට ලැබෙන්නේ තාවකාලික සතුටක් විතරයි. එයාට රිදවන්න කියලා හදන හැම වෙලාවකම, ඔයා ඇත්තටම කරන්නේ ඔයාටම රිදවාගන්න එකයි. මේ වගේ දේවල් නිසා ඔයාගේ හොඳ නම පවා නැති වෙන්න පුළුවන්. පළිගන්න හිතෙන වෙලාවට, ඔයාගේ අනාගතය ගැන හිතන්න. ඊට වඩා හොඳ දේවල් කරන්න ඔයාට පුළුවන් බව මතක තියාගන්න.

5. ඉක්මනට අලුත් සම්බන්ධතාවයක් පටන් ගන්න එක

ඉක්මනටම අලුත් සම්බන්ධතාවයක් පටන් ගන්න එක කියන්නේ ‘rebound relationship’ එකක්. සමහරු හිතනවා, අලුත් කෙනෙක් එක්ක හිටියම පරණ දුක අමතක වෙයි කියලා. ඒත් ඇත්තටම වෙන්නේ ඔයාගේ දුක තව කෙනෙක් පිට පටවන එකයි. ඒ අලුත් සම්බන්ධතාවයත් සාර්ථක වෙන්නේ නැහැ. මොකද ඔයා තාම පරණ වේදනාවෙන් මිදිලා නැහැ. තනියම ඉන්න පුරුදු වෙන්න. ඔයාගේ හිත හදාගන්න කාලයක් දෙන්න.

6. වරද ඔයා පිටම පටවා ගන්න එක

Breakup එකේ වරද ඔයා පිටම පටවා ගන්න එක හරිම භයානකයි. “මම හොඳට හිටියා නම් එයා යන්නේ නැහැ,” ” හැම වැරැද්දක්ම මගේ” වගේ දේවල් හිතන්න එපා. සම්බන්ධතාවයක් කියන්නේ දෙන්නෙක්ගේ එකතුවීමක්. ඒක සාර්ථක වුණත්, නැති වුණත්, දෙන්නටම වගකීමක් තියෙනවා ඒ සම්බන්ධව. සමහර වෙලාවට ඒක දෙන්නටම හොඳ නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා හැමදේම ඔයාගේ පිටින් දාගන්න එපා.

7. හැම වෙලේම අතීතය ගැන කතා කරන එක

හැම වෙලේම අතීතය ගැන කතා කරන එක නැත්නම් අතීතයේ මතකයන් එක්කම ජීවත් වෙන එක ඔයාට ඉදිරියට යන්න දෙන්නේ නැහැ. “අනේ මට එහෙම නොකර ඉන්න තිබුනෙ” කියලා හැම වෙලේම පරණ දේවල් හිත හිතා ඉන්නවා නම්, ඔයාට අලුත් ජීවිතේ කොච්චර හොඳ දේවල් වුනත් ඒවා දකින්න බැරි වෙයි. මතකයන් අගය කරන්න, ඒත් ඒවයේ හිරවෙලා ඉන්න එපා.

breakup එකක් කියන්නේ ජීවිතේ අමාරුම අත්දැකීමක්. ඒකෙන් එළියට එන්න කාලයයි, ඉවසීමයි, අවබෝධයයි ඕන වෙනවා. වැරදි දේවල් වගේම තාවකාලික සහනයක් ලබා දෙන දේවල් නොකර, ඔයාගේ මානසික සෞඛ්‍යයට මුල් තැන දෙන්න. 

Related Articles

Don't Miss


Latest Articles