ඔබෙ ආදරෙන් මා දැවේ – 6

0
1542

අතීතය ඇස් අස්සේ ඇඳී යද්දී ජාන්වි උන්නේ කරකියා ගන්නට දෙයක් නැතුවය. ඉස්කෝලේ යන කාලේ ප්‍රේම සබඳතා කීපයකම පැටලී උන්නු තමන් මනහාර එක්ක යාලු උනෙත් ආතල් එකට බව දැනගෙන උන්නේ ජාන්වි විතරමය.

“ඒකාව නම් උඹට අල්ලගන්න පුලුවන් වෙයි කියලා හිතන්න එපා ජාන්වි. උඹ ඔය මෙච්චර කල් ඇහැ කරකෝලා බලලා දාගත්ත අනික් කොල්ලෙ වගෙ නෙවෙයි පුතේ මේ යකා” කියා යාලුවො කියද්දී ජාන්වි කරේ හරිම සැහැල්ලුවෙන් ඒකට උත්තර දෙන එකය.

“ඇයි අනිත් කොල්ලන්ට වඩා මුගෙ තියෙන වෙනස මොකද? මොකද කෑල්ලක් අඩු ද?” කියා තමන් හයියෙන් හිනාවෙද්දිත් ඒ කාලෙත් හොඳම යාලුවෙක් වෙච්ච පාරි කරේ කට ඇද කරන එකය.

“නෑ කෑල්ලක් නම් අඩු නෑ. කෑල්ලක් අඩුද කියලා දන්නෙ නෑනෙ මං කොහොමත්. ඌ මේ එහෙම කෙල්ලොන්ට ලයින් දාන ජාතියෙ එකෙක් නෙවෙයි. ඌ ගමක ඉඳලා ආවට හෙන ලොකු සීන් කියලා මට උගෙ ඉස්කෝලේ අර මාත් එක ගෘප් ක්ලාස් එන මහේන් කිව්වෙ”

“මොකටද ඌ ලොකු සීන් දාන්නේ?”

“හෙන බ්‍රයිටාලු ඩයල් එක. මිනිහව ඩිබෙටින් ටීම් ලීඩර්ත් කරගෙන. නෙක්ස්ට් වීක් අපෙ ඉස්කෝලෙ එක්ක තියෙන ඩිබෙට් එකටත් ඩයල් එක එනවලු”

“අපෝ එහෙනම් නර්තනා කොහොමත් ලයින් එක දාවි. මෙච්චරකල් ඕකි එන එන ඩිබෙටින් ටීම් කැප්ටන්ට ඇහැ දැම්මා නෙ.නම නර්තනා එකේ ඒකි නටන්න යන්නෙ නැතුව ඩිබෙටින් වලට ආවෙ මොකද මන්දා?” කියා ජාන්වි කියද්දී ඇය ඔහොම කියන්නේ නර්තනා එක්ක තියෙන ඉරිසියාවට බව පාරිට නොතේරුනා නොවේ. 

“ඒකෙන් අපිට වැඩක් නෑ. කෝම උනත් උඹ නිකන් ඔය කොල්ලට ලයින් දාන්න ගිහිල්ලා චාටර් වෙන්නෙ නැතුව ඉඳපන්” පාරි තවදුරටත් කියද්දි ජාන්වි කලේ ආයම වතාවක් හිනාවෙන එකය.

“චාටර් වෙන්නෙ නෑනෙ. ඌ කරන්නෙ ආට්ස්, මං කරන්නෙ මැනේජ්මන්ට්. එහෙම එකේ අපි එකට ක්ලාසස් වලදිවත් සෙට් වෙන්නෙ නෑනෙ. ඒ හන්දා අවුලක් නැ. අනික මං එහෙම පස්සෙන් යන්නෙ නෑනෙ. මං කරන්නෙ මගේ පස්සෙන් උන්ව ගෙන්න ගන්න එක.උන් ආවොත් තමා මාත් කතාව කන්ටිනිව් කරන්නෙ” කියා ජාන්වි කියද්දි තවදුරටත් ඇයට දේවල් පහදා දෙන එක තේරුමක් නැති බව දන්න හන්දාම පාරි කටවහ ගත්තාය. 

ජාන්විට මනහාරව හම්බුනේ පාසල් දෙක අතර තිබුන අවසාන විවාද තරගයේදීය. ඒ විවාද තරගය අතරවාරයේ සහෝදර පාසල පිළිගනු පිණිස ගීත ගායනාවකට හා නර්තනයකට එක්වන්නට ජාන්විට අවස්තාව ලැබුනේ මනහර රූ සපුවත් දිගු කෙස් කළඹත් නිසාවෙනි. කොහොමත් මේක පාසල් ප්‍රේමයක් හන්දා ජාන්වි නැටුම් ගුරුවරියගෙන් අවසර අරගෙනම ආදරණීය වස්සානය සිහිනයේ සඳ පහන් රැයේ ගීතයත් නර්තනයත් කරන්න තෝරගත්තාය. 

“උඹ දැන් සඳ පහන් රැයේ ගත්තෙ මේක ආදරණීය වස්සානෙ කියලා හිතන්ද?” කියා පාරි අහද්දිත් ජාන්වි ඇය වෙත හෙලුවේ කෝල හිනාවකි.

“ඔව් ඇයි නරකද?”

“අනේ නෑ කිසිම නරකක් නෑ. උඹට කිසිම නරකක් උනේ නෑනෙ මෙච්චර කල් ඔය තිබ්බ කිසිම ආදරණීය වස්සානෙකින් නේද? අන්තිමේ ඉතින් ඔය වස්සානෙ ගිම්හානයක් වෙන්නෙ අර අසරණ කොල්ලට තමා. කතාවෙත් අන්තිමේ අඬ අඬ ඉන්න වෙන්නෙ කසුන්ටනෙ. චාපා ගෑනි කොහෙන්ද ඇවිල්ලා අහිංසක කොල්ලෙක්ගෙ ජිවිතේ විනාස කර එකනෙ කරේ”

“ඉතින් කසුන් මොකටද එච්චර නැහීගෙන චාපාට ලව් කරේ? ඉස්කෝලෙ යන කාලෙ කරන ලව් බඳින්න වෙන් නැ කියලා ඕන මොට්ටයෙක් දැනගන්න එපාය. මූත් එහෙම මෝඩයෙක්ද දන්නෙ නෑ නේද? මං හිතන්නෙ නෑ හැබැයි”

“කවුද?”

“මනහාර” කියා ජාන්වි කියද්දිත් පාරි කටවහගෙන උන්නේ කොච්චර කිව්වත් වැඩක් නැති බව දන්න හන්දාමය.

මිතුරියක් වුවත්, පාරිට ඇත්ත කිව යුතු බව හැඟී ගියේය. ජාන්වි නිතරම සිතෙන සිතෙන කොල්ලන් වෙත මනමාල බැල්ම හෙළන එක, ඒ කොල්ලන්ට පමණක් නොව, කවදා හෝ ජාන්විටත් ප්‍රශ්නයක් විය හැකි බව පාරි නොදැන සිටියා නොවේ. තමන්ගේ නොසැලකිලිමත්කම නිසා අන් අයගේ හදවත් රිදවීම ආදරයේ නාමයෙන් කරන බරපතළ වරදක් බව ඇය විශ්වාස කළාය. නීති පොතේ නොලියවූ මේ වරද, හදවත් පොතේ සදාකාලිකවම ලියවෙන බව ඇය දැන සිටියාය.

“ජාන්වි, ආදරේ කියන්නේ සෙල්ලමක් නෙවෙයි. ආදරේ හන්දා රැවටෙන්නෙ දුක්විඳින්නෙ කෙල්ලො විතරක්මත් නෙවෙයි. හැම මනුස්සයෙක්ටම තියෙන්නේ එක ජීවිතයක්. ඔයාට ඕන වෙලාවට විනෝද වෙන්න, ඕන වෙලාවට අතහරින්න පුළුවන් සෙල්ලම් බඩුවක් නෙවෙයි කොල්ලො කියන්නේ. ඔයා අද විහිළුවට කරන මේ දේවල්, හෙට ඔයාටත් කවදා හරි ආපහු එන්න පුළුවන්. එදාට ඔයා මේ අනිත් අයට කරපු දේ තේරුම් ගනීවි” පාරි අවසානයේ ඇයට කීවේ ඒ හන්දාමය.

මේ වදන් ජාන්විගේ හිතට තදින්ම දැනුණත්, ඇය පාරි දෙස බැලුවේ කෝපයෙන්ය.

“මට පාඩම් උගන්නන්න එන්න එපා පාරි. මම හැමදේම දන්නවා.” ‍යැයි කී ජාන්වි ස්ටේජ් එක පසුපසට ගොස් නොපෙනී ගියාය. එදා වේදිකාව මත සුන්දරව නර්තනයේත් ගායනයේත් යෙදුන කෙල්ලව මනහාරගේ ඇස ගැටුනද තුරුණු වියේ ආදරයක් ගැන කිසිසේත් හැඟීමක් නොතිබ්බ යෞවනයා ජාන්විව දුටුවේද තවත් එක් කෙල්ලක ලෙස පමණකි. එහෙත් ජාන්වි උන්නේ මනහාරගේ නෙත් තමන් වෙත යොමුවන හැම වාරයක් පාසාම අහිංසක මුහුණකින් ඔහු වෙත ආදරයේ නෙත් වර්ෂා වස්සවමිනි. මනහාර පැටලුනේ ආන් ඒ දැලේය.

ජාන්විගේ දෑස්වල තිබූ අහිංසකකම, සිනහවේ තිබූ මිහිරියාව, සහ ඇයගේ හැසිරීමේ තිබූ නිහතමානී බව මනහාරගේ සිතට තදින්ම දැනුණි. ඔහුට නොදැනීම, ඔහු ජාන්වි ගැන සිතන්නට පටන් ගත්තේය. ඇයගේ රුව, ඇගේ කටහඬ, ඇයගේ සිනහව ඔහුගේ සිහිනවලට පවා පිවිසියේය. කෙමෙන් කෙමෙන් මනහාරට තේරුම් ගියේ, ජාන්වි යනු තවත් එක් කෙල්ලක් නොව, ඔහුගේ හදවතේ අයිතිකාරිය බවය. ඒ වන විට, ජාන්විගේ ආදරයේ දැලට ඔහු හොඳින්ම හසුවී හමාරය.

කලා විෂයන් කරමින් සිටි ඔහු, මෙතෙක් කල් ගිය පන්තිවලින් ඉවත් වී ජාන්විට වාණිජ විෂයයන් උගන්වන පන්ති අසලින්ම කලා විෂයයන් සඳහා පන්ති සොයා ගත්තේ, ස්වකැමැත්තෙන් තවත් ගැඹුරට ඒ දැලට පැටලෙමිනි. ජාන්වි සිටියේ තාවකාලික වස්සානයක දැලක් එලමින් වුවද, ඒ දැල තමන්ට සදාකාලික ගිම්හානයක් ගෙන එනු ඇතැයි ඒ යෞවනයා දැන උන්නේ නැත. ආදරය යනු එසේමය. කෙනෙකුගේ වස්සානය තව කෙනෙකුට ගිම්හානයක් වන්නා සේම, තව කෙනෙකුගේ ගිම්හානය තවත් කෙනෙකුට වස්සානයක් ද වන්නට පුළුවන.

මනහාරට ජාන්විගේ සිනහව හිරු එළියක් බඳු විය. ඇගේ සෑම බැල්මක්ම ඔහුගේ හදවතේ මල් පිපෙව්වාය. තමාට නොදැනීම, ඔහු ජාන්වි වෙනුවෙන් ඔහුගේ මුළු ලෝකයම වෙනස් කරගන්නට පටන් ගත්තේය. මිතුරන් සමග ගත කළ කාලය, ක්‍රීඩා සහ විනෝදාංශ සියල්ලම ඔහු අතහැර දැමුවේය. ජාන්විගේ ලෝකය ඔහුගේ ලෝකය බවට පත් විය. ඇය සමඟ ගත කරන සෑම මොහොතක්ම ඔහුට සදාකාලික වසත් කාලයක් ලෙස දැනුණි. ඒ මොහොතේ ඔහු දැන සිටියේ එකම දෙයකි. 

ඒ, ජාන්වි යනු ඔහුට ලැබුණු ලෝකයේම වටිනාම තෑග්ග බවයි.

“උඹ පට්ටෙට වෙනස් වෙලා යකෝ, කෑල්ලක් සෙට් කරගත්තද?” කියා යාලුවන් අහද්දීත් “පිස්සු නටලා විභාගෙනම් අනාගන්න එපා රත්තරන් පුතේ,මුලු ඉස්කෝලෙම උඹ ගැන පට්ටෙට හෝප්ස් තියාගෙන ඉන්නෙ” කියා කියද්දි නමුත් මනහාර ඔවුන්ගේ වදන් ගණනකට ගත්තේ නැත. 

ජාන්විගේ සුන්දර සිනහව ඔහුට අනාගතය පිළිබඳ සුන්දර බලාපොරොත්තු ඇති කළේය. ඔහුට ඇය නැතුව ජීවත් වීම ගැන සිතන්නටවත් නොහැකි විය. 

නමුත් ජාන්විගේ සිතේ තිබුණේ වෙනත් අදහසක් බවට කිසිදු සිතුවිල්ලක් මනහාරට තිබුනේ නැත. ඇයට අවශ්‍ය වූයේ තාවකාලික ආදරයක් පමණක්‍ ය බව ඔහු දැන උන්නේ නැත. ඇය ආදරය  සෙල්ලමක් ලෙස සලකන බව ඔහු දැන උන්නේ නැත.

 ඒ බව නොදැන, මනහාර නම් වූ යෞවනයා, තමාට සදාකාලික වස්සානයක් ලැබෙනු ඇතැයි සිතා, ජාන්විගේ ආදර දැල අස්සේ සතුටින් පැටලී සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here