පෙඟුණු මල් පෙති 20

“සමහරුන්ට අනුව ආදරේ කියන්නෙ අරක්කුයි, බයිට් එකයි වගේ. අරක්කු විතරයි නම් තියෙන්නෙ බීලා නිකා ඉන්නවා.බයිට් එක විතරයිනම් තිබ්බෙ කාලා නිකා ඉන්නවා. දෙකම තියෙනම් කාලා බීලා නිකා ඉන්නවා. 

ඒත් මන් කැමතියි මගේ ආදරේ සිගරට් එකයි ගින්දරයි වගේ වෙනවට. පත්තු කරන්න බැරුව කොහොමද සිගරට් එකේ නියම ත්‍රිල් එක භුක්ති විඳින්නෙ? ඒ වගේම ආදරේ කියන්නෙත් එක්තරා විදියට දැවීමක්.

 සිගරට් එක පත්තු කරගෙන බොද්දි, බොන උන්ට දැනෙන ත්‍රිල් එකම, ආදරේ කරන්න පටන් ගත්ත කාලේ ඉන්න උන්ටත් තියෙනවා. එතන තියෙන්නෙ ගින්නක්.අත් පටලන් ඇවිදන් යන්න, හිමීට ලංවෙලා කනට කොඳුරන්න වගේම, සිරුරෙ හැම අහුමුල්ලක්ම ඇස් වලින් ස්පර්ෂයෙන් රස විඳින්න තියෙන හදිස්සියක්. 

දැවීමක්. ඒත් ඩිංග ඩිංග ගින්දර සිගරට් එක දවාගෙන එද්දි, ත්‍රිල් එක තව ඩිංගකින් අහවරයි කියල දැනෙද්දි සිගරට් බොන මිනිහෙක් ඉච්ඡාභංගත්වයට පත්වෙනවා ඇති. 

මොකද සමහරු සිගරට් බොන්නෙ, බොන්න ඕනකමටත් වඩා කාලේ මරන්න ක්‍රමයක් හැටියට.  ඒ කාලේ අහවර විගෙන යද්දි ඇතිවන කලකිරීමම, ආදරේ දැවීම අවසන් වෙච්ච තැන්වලදිත් එහෙම්ම දැනෙනවා.

ඒත් පළපුරුද්ද තියෙන මිනිහෙක් කීයටවත් සිගරට්  එකෙන් තමන්ගෙ මූණ පුච්ච ගන්නෙ නෑ. ඒත් පළපුරුදු වුනත්, කෝඩුකාරයෙක් වුනත් ආදරේ නිසා පිච්චෙන්නෙ නැද්ද?  පිච්චිලා නැද්ද?

මෙතනින් අන්තිමට එන්න පුළුවන් එක නිගමනයකට විතරයි. ගොඩක් පිරිමි හරියට සිගරට් බොන්න දන්නවා උනාට, පුච්චගන්නෙ නැතුව, පුච්චන්නෙ නැතිව ආදරේ කරන්න දන්නෙ නෑ.

“මම ඔහුට මාගේ හදවත දුන් අතර, ඔහු එය ගෙන මරණයට පත් කළේය. මිනිසුන්ට ඔවුන්ගේ හදවතින්ම දැනෙනවා, එලන්, ඔබ මගේ හදවත විනාශ කර ඇති නිසා, ඔබව මට නොදැනේ”

වදරිං හයිට්ස් හැමදාමත් මන් ආස කළ පොතක්.ආදරේ කටුක පැත්ත ගැන කථාකරපු පොතක්. 

ඒ කථාවෙ කොටසකින් මේ කථාව අහවර කරන්න මට හිතුනෙ එක හේතුවක් නිසා. ආදරේ කියන්න පැණිරස කවරයක් ඇතුළෙ හංගපු තිත්ත බේතක්.පොඩි කාලයක් යනකම් අර පැණිරස දිවට දැනෙන හන්දා අපි ආදරේ ආසාවෙන් රස විඳිනවා. ඒත් හීන් සැරේ පැණිරස අඩුවෙලා කටුක රස එළියට එද්දි, කට කාරන බෙහෙත් රස වගේම නාහෙ පුරවන ඒ බෙහෙත් ගඳ දරාගන්න අපි කොයිතරම් නම් අකමැතිද? 

මිනිස්සු හැමදාම ආසා කලේ, ආදරේ කලේ ලස්සන දේට, රසවත් දේට, චමත්කාරජනක දේට. එහෙම මිනිහෙක් ආදරේ කටුක පැත්තට ආදරේ කරාවි කියල හිතනවද?

පොත්වල අපි මොන තරම් කියවනවද ඇස් දිහා බලන් කතාකරන ප්‍රේමණීය චරිත. ඔෆිස් එකේ වැඩ අස්සෙ තමන් ආදරේ කරන කෙනා බලල යන්න එන හිතුවක්කාර ප්‍රේමවන්තයො, වැස්සෙ තෙමෙන ප්‍රේමවන්තයො මේ වගේ දාහක් චරිත පොත්වල මවන සුරංගනා හීන ඇත්ත ජීවිතේ හැබෑකරගන්න හරි අමාරුයි. ඇත්ත ජීවිතේ ආදරේ කියන්නෙ කටුක දෙයක්. මුළු ජීවිතේම කටුක දෙයක්.

කටු ගහක පිපිච්ච මලක් උනත් ලස්සනයි.පතොක් මලුත් හරි ලස්සනයි.ඒත් පිපෙන්න දරපු උත්සාහය, වතුර නැතුව ගහ විඳපු දුක, මලේ ලස්සන හැඩ තල වලින් කවදාවත් පෙනුනේ නෑ. 

ජීවිතේ කියන්නෙ පතොක් ගහක්. ආදරේ ඒ ගහේ පිපිච්ච ලස්සන මලක්. මල කැඩුවොත් පරවෙනෝ.සුවඳ බලන්න ලංවුනොත් කටු ඇනෙනෝ. 

මේ දෙකම අතෑරිය තැන අපි සංසාරෙන් නික්මෙනෝ”

ආදරය ගැන සුන්දරම, ඇත්ත මෙය යැයි සිතන අන්දමේ ලිපි ලියන, කවි ලියන අයෙකු ලෙස චරිත්‍රා මුහුණු පොතේ ප්‍රසිද්ධය.

ළහිරුගේ ආදර වියමනේ පැටලී හුන් පසුගිය දින කිහිපයේ මුහුණු පොතේ යමක් ලියන්නට ලැබුණු ඉඩකඩ ඉතාම සීමිතය. ඉතින් ප්‍රේමණීය රැයක් ගෙවා අවසන් වූ උදෑසනක පළමු රාජකාරිය ලෙස මේ වදන් මුහුණු පොතේ චරිත්‍රා මිහිසුරණි බණ්ඩාර යන පිටුවේ ලියා තබන්නට කටයුතු කලේ  සැබෑවටම ආදරය නිසා සිත ආතුරව තිබෙද්දීය.

ලිපිය ලියා පබ්ලිශ් කර පසුව දුරකතනය ඇඳ මතට අත හැර සයනයේ උඩුකුරුව වැතිරුණු චරිත්‍රා වමතේ රැඳී ඇති සුන්දර මුදුව සෙමෙන් පිරිමදින්නට වූයේ ගෙවුණු අනන්ත අප්‍රමාණ රාත්‍රීන්හි උණුසුම් හෝරාවන් ගෙවීමෙන් අනතුරුව ඇය ළහිරුගේ විසල් පපුව පිරිමැදි අයුරින්මය.

මිහික හා විවාහයේදි පැළඳි මංගල මුදුව තමා මුදු පළඳින්නට අකමැති බවත්, එය තමාට පහසු බවත් පවසමින් නොපැලඳ සිටි තමා ළහිරු විසින් පලඳවන ලද මේ මුදුවට මෙතරම්ම ආදරය කලේත්, කරන්නේත් ඇයිද යන්න චරිත්‍රට ගැටලුවක් නොවේ.

ඒ ආදරය නිසාවෙනි. ළහිරු වනාහී මිහික බඳු ඕනෑම ඉසව්වකින් සොයා ගත හැකි අන්දමේ තරුණයෙක් නොවේ. වෙනස් අයෙකි. වෙනස්ම අයෙකි. ඕනෑම තරුණියක් වසඟයට ගත හැකි වුවද තමා හා ආදරයෙන් බැඳෙන්නට ඉටා ගත් පුද්ගලයා ඉතින් තමාට විශේෂිත වීම වරදක්ද?

“මිහිරැතිම තැන්වලින් මිටක් ගෙන සරසන්න 

එත හැකිනම් නුඹට සවස් වල හමුවන්න 

මෙ ගෙවෙන දවස් වුව කමක් නැහැ විඳගන්න

 ආදරිය ආදරෙන් හෙටත් මා පුරවන්න”

ළහිරුගෙ රියේ නැගී ඊයේ රෑ නවාතැන අසලට එනතුරු ඇසුණු ගංගාදර ආදරය වදන්වලට පෙරලන අයුරුයි.

එය සැබෑවකි.

මිහිරැතිම තැන්වලින් නෙලා ගෙනා මල් මිටක් බඳු ආදරයෙන් හදවත සනසන්නටත්, සැඳෑවන් සරසන්නටත් ඉතින් ළහිරු තමා අසල රැඳී හිඳින බව චරිත්‍රාට ඉරක් සඳක් සේම විශ්වාසය.

මේ ප්‍රේමය අතැර ගත හැකි ප්‍රේමයක් නොවේ.

මිහික ගැන කවදාවත් නොසිතුන අන්දමේ ප්‍රේමණීය සිතුවිලි සිත තුලට කැඳවා ගෙනා මේ ප්‍රේමවන්තයා ඉතින් අතහැර ගන්නට හැකියාවක් හෝ අවශ්‍යාතාවයක් චරිත්‍රාට නැත.

ළහිරු මිහික ගැන නොදන්නා බව සැබෑවකි.

මිහික ළහිරු ගැන නොදන්නා බව සැබෑවකි.

ඉතින් මේ එක්පසක් තෝරාගත යුතු තීරණාත්මක නිමේශයක් බව චරිත්‍රා දනී.

ඒ තේරීම තෝරාගැනීමට අපහසු තේරීමක් නොවේ. කෙසේ හෝ මිහිකගේ කැමැත්ත රැගෙන ඔහුගෙන් වෙන් වීම කළ හැක. දරුණු, දරදඬු පුද්ගලයකු නොවන මිහික තමාගෙන් වෙන් වූද තමාට පසුකාලීනව ප්‍රශ්න ඇති කරන අන්දමේ පුද්ගලයකු නොවන බව චරිත්‍රා හොඳින් දනී.

ගැටලුව වන්නේ ළහිරු මේ පිළිබඳව දැන ගැනීමය.

ඔහුට දැන ගැනීමට නොහැකි වන ලෙස සඟවා තබාගන්නට කටයුතු කළ හැකි වුවත් එය කෙතරම් දුරට සාර්තක වේද යන්න ගැටලුවකි. අනෙක් අතට තමා නොකී දෙයක් පසුව ඔහුට දැන ගන්නට ලැබුන හොත් එයම ඒ ප්‍රේමණීය සබඳතාවයට විරාම ලකුණක් තබන්නට හේතුවක් විය හැක.

ඉතින් බොරුවත් නොවන ඇත්තත් නොවන යමක් පැවසීම වඩා උචිතය.

“කොහොමත් බුදු හාම්දුරුවොත් කිව්වෙ මැදුම් පිළිවෙත ඔක්කොටම වඩා හොඳයි කියලනේ”

චරිත්‍රා එසේ පැවසුවේ තමන්ගේ සිතටයි.

එහෙත් සියල්ලටම වඩා ගැටලුව වන්නේ මේ ගැටලුව විසඳා ලනු පිණිස මිහික හා කතා බස් කරන්නේ කෙසේද යන්නයි?

“මට ඩිවෝස් වෙන්න ඕන” යැයි පැවසූ පමණින් විවාහකයෙකුට දික්කසාදය ලබා ගන්නට නොහැක. එය දිගු කාලීන වැඩ පිළිවලකි. එකී කාල සීමාව තුල මේ සියල්ලම ළහිරුගෙන් සඟවා තබා ගත යුතු වේ. මිහික සහ ළහිරු එකිනෙකා කවදාවත් හමු නොවන හෙයින් “එයයි මමයි රෙජිස්ටර් වෙලා විතරයි හිටියෙ. එයා රටමයි හිටියෙ දිගටම. එයාට එහෙම මාව ගෙන්න ගන්න උවමනාවක් තිබුනෙත් නෑ. අපි දෙන්න කතා කරෙත් මාර කලාතුරකින්” යැයි පවසා මේ විවාහය අවසන් වූයේ කිසිදු මානසික හෝ ශාරීරික බැඳීමකින් තොරව බව ළහිරුට ඒත්තු ගන්වන්නට චරිත්‍රාට අපහසු නොවේ.

ඇය මේ සියල්ල සිතුවේ ඇමේසන් ප්‍රයිම් වෙත අලුතෙන් නිකුත් වූ Made In Heavan කතා මාලාව නරඹමිනි.

මේ එහි දෙවනි කතා මාලාවයි. Made In Heaven යනු ඉන්දියානු කතා මාලාවකි. ප්‍රයෝගයකින් ආදිල් කන්නා යන ධනවත් තරුණ ව්‍යාපාරිකයාව විවාපත් කරගන්නා තාරා විවාහයෙන් අනතුරුව Made In Heavan යන විවාහ මංගල සැලසුම්කරණ ආයතනය අරඹයි. මෙහි පළමු කතා මාලාවෙන් පෙන්නුම් කරේ තාරා විසින් ප්‍රයෝගයෙන් විවාහ කරගන්නා ලද ආදිල් තාරා ගේ හොඳම යෙහෙලිය සමග සබඳතාවයක් ඇති කරගැනීමෙනි. ඒ හේතු කරගෙන දික්කසාදය ඉල්ලන තාරා ආදිල් නිසා තමාගේ යෙහෙලිය ගැබ් ගෙන ඇති බව දැනගනී. එයම කෝපයට පත්වන්නට හේතුවක් කරගන්නා තාරා නවත වරක් ප්‍රයෝගයෙන් ආදිල් හා ශාරිරීකව එක්වී ආදිල් කන්නාගේ මහගෙදර දික්කසාදයෙන් අනතුරුව තම නමට හරවා ගන්නට සමත් වේ.

චරිත්‍රාට අනුව තාරා ඉතාම දක්ශ, නොබිය ගැහැණියකි. පිරිමියෙකු ප්‍රයෝගයෙන් හෝ තමා කියනා දෙයක් කරන තැනකට නම්ම ගන්නට හැකි ගැහැණියක යනු සැබෑවටම දක්ෂ අයෙකි. සිහින් උස් සිරුරක් හිමි තාරා මෙන් අඳින්නට පළඳින්නට චරිත්‍රා ආසා කරන්නෙ එබැවිනි.

චරිත්‍රාට අවශ්‍ය එවැනි මනස්කාන්ත, මගෑරිය නොහැකි අන්දමේ සුන්දර, දක්ශ තරුණියක වන්නටය. පිරිමි හිත් එකක නොව දහසක් තුල තාරකාවක් මෙන් දිදුලන්නටය.

තමාව හිමිකරගැනීමේ අභිප්‍රායෙන් මිනිසුන් එකිනෙකා හා සටන් කරගනු දකින්නටය.

මෙරු පහන් එළිය දැක දෑස් ගිණිකන වැටී පියඹා අවුදින් පිච්චී මියැදේ.

ගැහැණියක් යනු මෙරුවෙක් බඳුය.

ගැහැණුකම ඇති ගැහැණුන් දවාලන ආලෝකය නම් ආකර්ෂණයයි.

ඒ චරිත්‍රා නොදන්නා සත්‍යයකි.

ඇය දැන් මෙරුවෙකු මෙන් පියඹා යන්නේ එකී ආකර්ෂණය නම් ආලෝකය වෙත බවත්, ඒ ආකර්ෂණය ඇයව ඇයගෙන් විකර්ෂණය කිරීමට හේතුවක් විය හැකි බවත් චරිත්‍රා නොදනී.

නොඑසේනම් දන්නා නමුත් නොදන්නා සේ හිඳී.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles