ආදර සැලසුම් – 27

ෂෙහාරා සැහැල්ලු දිග කමිසයකට ටී ශර්ට් එකක් හැඳ යන්තමින් හිස පීරාගෙන නිවසින් පිටතට පැමිණියාය. ඌබර් කාර් රථය පැමිණීමට තවත් විනාඩි දෙකක් ඉතිරිව තිබේ. තමා මේ යන ගමනින් හොඳක් වේවා යයි ෂෙහාරා ඒ විනාඩි දෙක අතරතුර ප්‍රාර්ථනා කළාය. 

ආදිත්‍ය මේ අවස්ථාවේ දී තමාට ඇහුම්කන් නොදුන්නත් අනිවාර්යෙන්ම අශිකාට අවනත වන බව ෂෙහාරා සිතුවාය.ආදිත්‍ය ගේ මහ ගෙදර අසලින් වාහනයෙන් බැස ගන්නා විටත් ෂෙහාරා කලේ නිවසින් පිටවන විටත් සිදුකළ ප්‍රාර්ථනාවමය.

ෂෙහාරා ගේට්ටුවේ සීනුව නාද කලේ දෙගිඩියාවෙනි. තමා රෝහල් ගත වී සිටින විට අශිකා දුරකථන ඇමතුම් කිහිපයක් පමණක් ලබා දුන්නත් ඇය රෝහලට ආවේ නැත.සමහරවිට ඒ ආදිත්‍යය ගේ කීම නිසා විය හැකිය. මේ මොහොතේ තමාව දුටු විට අශිකා ගේ ප්‍රතිචාරය කුමක් වනු ඇති දැයි සිතමින් ගේට්ටුව විවර වන තුරු ෂෙහාරා බලා උන්නාය. විවාහයෙන් පසුව තමා හය හත් වරකට වැඩිය මේ නිවසට පැමිණ නැත. එහෙත් අෂිකා අනිවාර්යෙන්ම මසකට දෙවරක් වත් තමා හා ආදිත්‍ය බැලීමට නොවරදීම පැමිණියාය. අඩුම තරමේ තමාට අශිකා සමග හොඳ බැඳීමක්වත් පවත්වා ගත හැකිව තිබුණා නම් ආදිත්‍ය ගේ සිට වෙනස් කර ගැනීමට හැකියාව තිබුණි.ඒ පිළිබඳව ෂෙහාරාට දැනෙමින් තිබුණේ පසුතැවිල්ලකි.

අශිකා නිවසේ ගේට්ටු විවෘත කර එය ඉදිරියේ පෙනී සිටි ෂෙහාරාව දැක පුදුම වූවාය.ඒ, මෙවන් වේලාවක ෂෙහාරාව බලාපොරොත්තු නොවූ නිසාය. 

” එන්න දුව ඇතුලට ” 

අශිකා ෂෙහාරාට කිසිදු වෙනසක් නොපෙන්වා ඇයව නිවස තුළට කැටුව විත් වාඩි වන්නට ආරාධනා කළාය. සෝෆාවට මදක් එපිටින් බිත්තියේ එල්ලා තිබූ ඡායාරූප කිහිපය අතර එල්ලා තිබූ ආදිත්‍යගේත් ෂෙහාරා ගේත් මංගල ඡායාරූපය දෙස ෂෙහාරා මොහොතක් බලා උන්නේ සංවේගයෙනි.

” ඇයි ෂෙහාරා හදිසියේම ? “

මේ සිටින්නේ අවසන් වරට තම පුතුගේ නිවසට ගිය විට සිටි ෂෙහාරා නොවේ. සාමාන්‍යයෙන් ෂෙහාරා නිවසින් පිටතට එන විට ඉතා පිළිවෙලට හැඳ පැළඳ මේකප් දමා යන තැනැත්තියක වුවද මේ මොහොතේ ෂෙහාරා හැඳ සිටින්නේද පොඩි වී ගිය ඇඳුමකි. අඩුම තරමේ ඇය හිස කෙස්වත් නිසි ආකාරයෙන් පීරා නොසිටියාය.

” මං ආවේ ආන්ටි එක්ක කතා කරන්න ” 

ෂෙහාරා මිමිනුවාය. ඇය පැමිණි කාරණාව තේරුම් ගැනීමට අශිකාට නොහැකි වූයේ නැත. එහෙත් ෂෙහාරා අතින් තම පුතුට සිදුවී ඇත්තේ විශාල වරදකි.ඊටත් වඩා එය වංචාවකි. 

” මොන හරි බීලා ඉන්නවද පුතේ ? ” 

” එපා ආන්ටි.මං කොෆී එකක් බීලා ආවේ ” 

ෂෙහාරා කීවේ කටට ආවාටය. තමා උදෑසන සිට වතුර උගුරක් වත් බී නැත. ආදිත්‍ය වෙනදාටත් වඩා උනන්දුවෙන් සූදානම් වී කාර්යාලයට යාම ෂෙහාරා ගේ සිට තව තවත් ශෝකයට පත් කර තිබුණේ තමාගෙන් දික් කසාද වීමට ගත් තීරණයෙන් පසුව ඔහු වඩාත් සැහැල්ලුවෙන් ජීවත් වනවා යැයි සිතුනු නිසාය.

” මොනාද දැන් මාත් එක්ක කතා කරන්න තියෙන්නේ ? ” 

අෂිකා ඇසුවේ කරුණාවෙනි. කුමන ආකාරයේ වරදක් කළත් තවමත් මේ තමාගේ ලේලියය. 

” ආන්ටි දන්නවනේ ආදිත්‍ය ඩිවෝස් එක දාන්න හදන්නේ කියලා ” 

” ඔව්. එයා ඊයේ ලෝයර් හම්බ වෙන්න ගිහින් තිබ්බනෙ ” 

” ඔව් ආන්ටි. ඒත් , මේ ගත්ත තීරණය ගැන එයා තව පාරක් හිතන්න ඕනේ නේද ? “

ෂෙහාරා අහිංසක වීමට උත්සාහයක නියැලුනාය. විවාහක බව සඟවා තවත් තරුණයකු සමග සම්බන්ධතාවයක් පැවැත්වූ ලේලිය මේ සූදානම් වන්නේ ඒ වරද අමතක කර තම පුතු හා නැවතත් පෙරසේ ජීවත් වීමටය. එහෙත් වීදුරු බඳුනක් පළුදු වූ එය නැවත යථා තත්ත්වයට පත් කළ නොහැක.

” මං කියන්නේ ආන්ටි , මං ලෑස්තියි මේ වෙච්ච හැම වැරැද්දක්ම හදාගෙන හොඳින් ජීවත් වෙන්න. වෙන රටකට ගිහින් හරි කමක් නැහැ ” 

ෂෙහාරා තව දුරටත් කීවාය. 

” මං ඔයාට කලිනුත් කිව්වා නේද පුතේ ඔය දෙන්නගෙ පවුල් ජීවිතේ ගැන ටිකක් හිතන්න කියලා. මේ ටික මේ විදිහට නැතත් මොන විදිහකින් හරි වෙයි කියලා මට දැනිච්ච නිසා තමයි මං ඇවිල්ල එදා ඔයත් එක්ක කතා කරේ. අඩුම ගානේ එදාවත් ඔයා මේ ගැන හිතුව නම් අද ඔයාට මේ විදිහට මාව හම්බ වෙන්න එන්නෙ නෑනේ පුතේ “

” ආන්ටිට බැරිද ආදිත්‍යය තව එක පාරක් කතා කරන්න ? මං වෙනුවෙන් ?  “

ෂෙහාරා ඇසුවේ හඬ බාල කරය. කෙසේ හෝ අශිකාව තමා වෙත නම්මා ගත යුතුය. එසේ කළහොත් ඇය ලවා අනිවාර්යෙන්ම ආදිත්‍යය ගේ තීරණය ද වෙනස් කර ගත හැක.

” මං මොනවා කතා කරන්නද ෂෙහාරා ? ආදිත්‍යය ඉන්නේ හොඳටම හිත රිදිලා. එයාට මුල ඉඳලම ඕන උනේ හොඳ පවුල් ජීවිතයක් ගෙවන්න. මේ ගෙදර වෙච්ච දේවල් හොඳටම දන්න ඔයා ඒ වගේම දුකක් එයාට දීපු එක සාධාරණයිද ? මට ඔයාට සමාව දෙන්න පුළුවන්. ඒත් මං හිතන්නේ නෑ ආදිත්‍යය මේ ගත්ත තීරණය ආපහු වෙනස් කරයි කියලා ” 

අශිකා කියා ගෙන ගියාය. සම්පූර්ණ වරද තමාගේ අතේය. ඒ නිසා ආදිත්‍ය ගේ හිත වෙනස් කිරීමට හැකියාවක් තිබුණත් අශිකා එසේ නොකරන බව ෂෙහාරා සිතුවාය.

” මං කියන්නේ ආන්ටි ,අපි දෙන්නා ඩිවෝස් උනා කියමුකෝ.ඊට පස්සේ මිනිස්සුන්ට මොනවද කියන්නේ? යාලුවන්ට මොනවද කියන්නේ? අපි දෙන්නටම කොච්චර ලැජ්ජාවක්ද වෙන්න යන්නේ කියලා පොඩ්ඩක් හිතන්නකෝ ආන්ටි.ඔයාලා උනත් නෑදෑයන්ට මුහුණ දෙන්නෙ කොහොමද? අපි දෙන්නා මොකක් නිසා ඩිවෝස් කියලද කියන්නේ? “

” මේ හැමදේම ඔයාට හිතන්න තිබුනේ ඔයා ඒ වැරැද්ද කරන්න කලින් නේද ෂෙහාරා ? නිකමට හරි ඔයාව ඒ කොල්ලා එක්ක කවුරුහරි කොහෙදි හරි දැක්කනම් , අපේ නෑ කෙනෙක්ට හරි යාළුවෙක්ට හරි මේ දේ ආරංචි වුණා නම් මොකක්ද වෙන්නෙ ? එතකොටත් වෙන්නේ ඔයා දැන් මේ කියන ලැජ්ජාවම නේද? වැරදි කරනකොට ඒවා හරිම සුන්දරයි වගේ දැනුනට ඒවායේ ප්‍රතිඵල එනකොට එහෙම නෑ ෂෙහාරා. ආදිත්‍යගේ තාත්තා උනත් එයාට කැමති තීරණයක් ගන්න ඉඩ දුන්නේ ඔයා ඇත්තටම දුරදිග හිතන්නෙ නැතුව ආදිත්‍යය ව රවට්ටපු නිසා. ඇත්තටම මෙතනදි මට කරන්න කිසිම දෙයක් නෑ පුතේ ” 

තමා වෙනුවට වෙනත් අයෙකු මෙතන සිටියා නම් ෂෙහාරා හට මේ තරම් හොඳින් කරුණු පැහැදිලි කර දෙන්නේ නැත. රැවටී ඇත්තේ තම වැඩිමහල් පුත්‍රයාය. මෙවන් දරදඬු තීරණයක් ගැනීමට පවා හේතු වී ඇත්තේ ඔහුට මුහුණ දීමට සිදුවී ඇති ඒ දරුණු හිත් වේදනාවය.ඒ නිසා දැන් ෂෙහාරා කුමක් කළත්, කුමක් කීවත් පළක් නැත.

” මං දන්නවා මං වැරැද්දක් කරා කියලා. ඒත් ඒ වැරැද්ද හදා ගන්නවත් මට අවස්ථාවක් දෙන්න බැරි ද ආන්ටි ? ” 

ෂෙහාරා බැගෑපත් වූවාය.තමා සහ අශිකා හැරුණු කොට මේ නිවසේ මේ මොහොතේ කිසිවෙකු නැති නිසා එසේ බැගෑපත් වූවාට කම් නැත.විය යුත්තේ කෙසේ හෝ ,කවුරුන් ලවා හෝ ආදිත්‍ය ගෙන ඇති තීරණය වෙනස් කර ගැනීම පමණි.

” සමාව දෙන්න පුළුවන් වැරදිත් තියෙනවා බැරි වැරදිත් තියෙනවා ෂෙහාරා. මේක සමාව දෙන්න බැරි වැරැද්දක් නේද කියලා ඔයාම හිතල බලන්න. ආදිත්‍ය කියන්නේ හරි අහිංසක දරුවෙක්.එයාට ජීවිතේ ගැන ලොකු ලොකු බලාපොරොත්තු තිබුණෙ නැහැ. හැබැයි එයා ආසාවෙන් හිටියා ලස්සන පවුල් ජීවිතයක් ගෙවන්න. ඔයා කොහොමද ෂෙහාරා ඒ වගේ දරුවෙක්ට මේ වගේ වංචාවක් කරේ ? ” 

අශිකා ඇසුවාය. එයට දීමට පිළිතුරක් ෂෙහාරා සතුව තිබුණේ නැත. තමා වරදේ බැඳුනේ දුර දිග සිතා නොවේ. එහෙත් එහි ප්‍රතිඵලය බොහෝ දුර දිග ගොස් ඇත. දැන් තමා වැරදි නොකරන්නට සිතා ගත්තත් ,කළ වරද නිවැරදි කර ගන්නට උත්සාහ ගත්තත් පලක් නැත. සියල්ල සිදු වන්නේ තමාට එරෙහිවය. තමා ගේ අවාසියටය.

” ඔයා මෙහෙම හිතන්න ෂෙහාරා. ඔයා ආදිත්‍යයට කරපු වැරැද්ද , ආදිත්‍ය ඔයාට කළා නම් ? ඔයා සමාව දෙනවද ? ” 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles