උදා වී තිබුණේ අලුත් දවසකි. නමුත් තුසිතය වෙනදා සේ ඒ අලුත් දවස පිළිගන්නට ප්‍රබෝධයෙන් සූදානම් වූයේ නැත. පෙර දා රාත්‍රියේ නිදන්නට ගියේ හිත් වල විෂක් තියාගෙන නිසාදෝ, ඒ විෂ නින්දේදී වැඩි වර්ධනය වී හා සිරුරේ සෛල වලට වැඩි වැඩියෙන් උරාගෙන අප්‍රාණික බවක් ඇති වී තිබිණ. ඇතැම් විට කිසිවෙකු සුවදායී දීර්ඝ නින්දක් නො ලැබුවා විය හැක.
අස්විද ට ගෙන යාම සඳහා ආහාර පිසිත යුතු බව සිහිපත් වූවත් වජිරා ට ඇඳෙන් නැගිටගන්නටවත් හිතක් වූයේ නැත.
‘චූටි පුතාට අද කෑම එළියෙන් ගන්න කියනව’
කියා ඈ මිමිණුවේ සිවිලිම දෙස බලාගෙන කල්පනා කරන විජිත ට ඇසෙන නෑසෙන හඬිනි.
‘ලොකු පුතා ඇත්තටම මේ දාගත්ත ප්‍රශ්නෙ මොකද්ද අප්ප. නිලූකා වල්ගෙ පාගගෙනද… නැත්තං ඇත්තටම වෙන මුකුත් හුටපටයක්වත්ද…’
ජීවිතයෙහි අත්දැකීම් ලද පරිනත පුරුෂයෙකු ගේ නිවුණු කල්පනාබර බවකින් විජිත සුසුමක් හෙළුවේ ය.
‘ලොකු පුතා එහෙම දෙයක් කළත් පුදුම වෙන්න දෙයක් නෑ. මට පුදුම මීට හුඟක් කලින් ඒක නොවුණු එකගැන. නිලූකාට මං කොච්චර කියල තියෙනවද පවුල් ජීවිතයක් කියන්නෙ මොකද්ද කියල. කවදාවත් තේරුං ගන්න උත්සාහ කරපු ගෑනියෙක්ද… තමුන්ගෙ මතේමයි. ගෑනියෙක් වුණාම පිරිමියෙක්ට ඒ ගෑනි ළඟ රැඳෙන්න හේතුවක් වෙන විදිහට ජීවත් වෙන්න ඕනෙ. ඕන වෙලාවක දැලි කුණු පෙරාගෙන… මේ වයසක මංවත් එහෙම ඉන්නවද… කිව්වොත් කියන්නෙ අනේ අපිව දැං කවුරු බලන්නද කියල. ඇයි යකෝ තමුන්ට මිනිහෙක් ඉන්නෙ… වෙන කිසී දෙයක් ඕන නෑ ඕන වෙලාවක ෆෝන් එක කනේ ගහගෙන හත්මුතු පරම්පරාවත් එක්ක පැය ගණං ඕපදූප කියෝ කියෝ ඉන්න විතරයි ඕනෙ. මං උන්දැට කියල තිබ්බ… දවසක මිනිහ වෙන අතක් බැලුව දාට වැළපෙන්න එපා කියල. එතකොට කිව්වෙ අපෝ ඔය මනුස්සය ගෑනු දිහානං බලන්නෑ කියල. හුඟක් ගෑනු කරන්නෙ තමුන්ගෙ මනුස්සය එතනට තල්ලු වෙන විදිහට දිගින් දිගටම වැඩ කරල පස්සෙ මිනිහටම චෝදනා කරන එක. මන් දන්නෑ විජිත දැනටමත් මේව දුරදිග ගිහින්නං කොහොම විසඳගන්නද කියල. මොකද නිලූකා කියන්නෙ අන්තිම මුරංඩු ගෑනිනෙ. මේ පවුල් කැඩිල යන තැනට දේවල් සිද්ධ වුණොත්නං…’
‘ඔයා නිලූකා එක්ක පොඩ්ඩක් කතාකරන්න’
‘දේවල් සිද්ද වෙන්න කලිනුයි මං එයැයිට කතා කළේ. ඔහෙ වැඩක් නෑ’
කියමින් වජිරා යහනෙන් බැසගත්තා ය. ඇය මුළුතැන්ගෙට යන විට යසස්වි ගෙදර සියල්ලන් වෙනුවෙන් තේ පිළියෙල කරමින් සිටියා ය. නිලූකා ගේ කුස්සිය වැඩවරා තිබේ!
‘නිලූකා අක්ක ටිකක් රෙස්ට් කරපුදෙන්. සමහර වෙලාවට ටිකක් නතරවෙලා අපි අපි ගැනම හිතන එක හොඳයිනෙ ආන්ටි. අපි කරපු වැරදි අතපසුවීම් අත්වැරදි ඔක්කොම ගැන ආයෙ හිතල අලුතෙන් පටන්ගන්න පුළුවන්නෙ එතකොට’
යසස්වි බන්දේසිය මත තේ තබාගෙන සියල්ලන් ගේ කාමර වලට තට්ටු කළා ය. නිලූකා නිදාගෙන තිබුණේ නිලූපා ගේ කාමරයේයි!
‘මට නින්ද ගියෙ නෑ යසස්වි. තේ එකක් ඕන වෙලාමයි තිබුණෙ’
සනුක දොර ඇරි ගමන් කීවේ ය.
‘අනේ. අවුල් යන්නැතුව ඉන්න කොල්ල. කොච්චර ලොකු කුණාටු වුණත් ඉස්සරහට හමං යනව’
‘තමුසෙ මාර හයියක් ඕයි’
‘දිල්නුකගෙ තේ එකත් ගන්න’
අස්විද ගේ කාමරයේ දොර තිබුණේ විවර කොට ය. ඔහු ජනේලයෙන් පිටත බලාගෙන සිටියේ ය. ඒ සුළං සීනුව යසස්වි ගේ මුවට සිනහවක් ගෙන එන්නට සමත් විණි. ඇය දොරට කුඩා තට්ටුවක් දැමුවා ය. අස්විද හැරී බලා හෙමිහිට ඇය වෙතට ආවේ ය.
‘අද අම්මගෙ තේ එක වගේ රහ නැතුව ඇති. ගණං ගන්නෙපා ඉතිං’
‘මං ඊයෙ රෑ කියපු දේවල් වෙන කවුරුවත් දැනගන්න ඕන නෑ’
අස්විද අසීරුවෙන් කියාගත්තේ ය. පෙර දා රාත්‍රියෙහි ඔහු ට නින්දක් වූයේ ම නැත. අයියා ගේ රහස ගැන ඒ වෙලාවේ යසස්වි ට වුව පැවසූ එක හොඳදැයි ඔහු පසුතැවුණේ පසුව යි. නමුත් ඒ වෙලාවේ ඒ පීඩනය බෙදාගන්නට කවුරුන් හෝ උවමනා විය. නීතීඥවරයෙකු වශයෙන් කිසිවෙකු දැඩිව විශ්වාස නො කරන හිතක් ඇති අස්විද සූරියබණ්ඩාර, මේ ආගන්තුක පුංචි කෙල්ල කෙරේ එතරම් විශ්වාසයක් තැබුවේ ඇයි?
‘මං එහෙම කෙනෙක් කියලද හිතං ඉන්නෙ…’
යසස්වි දඟකාර බැල්මක් ද හුරතල් හඩක් ද ඇතිව කීවා ය.
උදයේත් නිලූකා බැණ වැදුණා ය. ඇනුම්පද කීවා ය. දෙස් තැබුවා ය. චේතිය එක වචනයක් හෝ කතා කරන්නට ගියේ නැත.
‘හොඳක්නං වෙන්නෙපා. ඔය යන එනකොට වාහනේකටවත් හැප්පිල යන්නෝනෙ කරපු දේට’
චේතිය ගෙදරින් නික්ම යත්දී නිලූකා සිය ආවේගය පිට කරගත්තේ එසේ ය. වජිරා ගේ පපුව රිදිණි. සිය කුසයෙන් බිහි කළ දරුවාට ඔහු ගේ බිරිඳ වුව එසේ ශාප කරනු අසන්නට අම්මා කෙනෙකු ගේ හදවත සූදානම් නැත.
‘කණ්ණාඩියක් ඉස්සරහට ගිහිං තමුං දිහා බලාගෙන කියන්න තියෙන දේවල් කියනව නිලූකා. මෙහෙම දවසක් එන්න පුළුවං කියල මං කියල තිබුන්නැද්ද…’
නිලූකා කටට එන හැම දේ ම කියමින් බැණ වැදුණා ය. නැන්දම්මාට ද බැන්නා ය.
සියල්ලන් ගෙදරින් පිටත් වී, විජිත ද වත්ත පහළට ගිය වෙලාවේ යසස්වි නිලූකා වෙත සමීප වූයේ පරිස්සමෙනි. උපාධිය සඳහා මනෝ විද්‍යාව හදාරන, උපදේශනය කොටසේදී පවුල් උපදේශනයට යොමු වන දේශීය අඹු සැමියන්ගේ ගැටළු වල ස්වභාවය ගැන යම් තරමකට හදාරා ඇති ඇය, නිලූකා ලවා ඇගේ හිත කතා කරවන්නට බලාපොරොත්තුවෙන් සිටියා ය. පෙර දා රාත්‍රියෙහි චේතිය යම් දෙයක් කීවානම් ඒ ඔහු ගේ පැත්ත සාධාරණීකරණය කරමින් බව ඇය දනී. මෙලොව ඕනෑ ම මිනිසෙකු එසේ ය. ගැටළුවකදී ඔහු දකින්නේත්, ඔහු කියන්නේත් අනිත් පස වැරදි ගැනයි. අප කිසිවෙකුට අපේ ම වැරදි හා සදොස් තැන් පෙනෙන්නේ නැත!
‘මං දැනටත් හිතන්නෑ අක්ක චේතිය අයිය අතින් වැරැද්දක් සිද්දවෙලා ඇති කියල. ඒ වුණාට සයිකොලොජි ඩිග්‍රි එකක් කරන… කවුන්සලර් කෙනෙක් එක්ක ඔය වගේ කේස් ස්ටඩි කරන කෙනෙක් විදිහට මං දැකල තියන හරිම සුලබ දෙයක් තියනව. අක්ක තමන්ගෙ වයිෆ් දිව්‍යාංගනාවක් වගේ ලස්සන වුණත්… මොන තරං උගත් වුණත්… කොච්චර හොඳ වුණත් වෙන සම්බන්දතා ඇතිකරගන්න පිරිමින්ගෙන් මේ ලෝකෙ පිරිල තියෙනව. මං මේ කියන්නෙ ඒක හරි කියල නෙවෙයි. මං මේ කියන්නෙ මේ ලෝකෙ සිද්ද වෙන දේ. ඒක නිසා මෙහෙම වෙලාවක අපි හරි පරිස්මෙන් ඉවසීමෙන් ප්‍රශ්නෙ දිහා බලන්නෝනෙ අක්ක’
යසස්වි ගේ ඒ එක ප්‍රකාශය ම නිලූකා ගේ පපුවේ වැදිණ. කටකාර ඇගේ මුව වැසී ගියා සේ ය.
‘අක්ක ඇයි අයිය කියන දේ පිළිගන්නෙ නැත්තෙ… ඒක ඇත්තටම ඔෆිස් එකෙන් අයින් වෙලා යන කෙනෙක්ට දෙන්න ගත්ත ප්‍රසන්ට් එකක් වෙන්න පුළුවන්නෙ’
‘එහෙනං බිල ඔහොම හංගං ඉන්නෙ මොකටද… නෑ. මං දන්නවනෙ ඔය මිනිහගෙ හැටි. ඇනිවසරි වලට බර්ත්ඩේ වලට මටත් ඔහොම තෑගි ගේන්න හදල තියනව. මං එපා කියල ඒ සල්ලි ඉල්ලගෙන තියනව’
‘මොකද්ද… ඇයි ඉතිං ඒ…’
‘මොන බොළඳ වැඩද යසස්වි… අපි දැං මේ බැඳපු මිනිස්සු. ඔය විකාර කරන්න පොඩි ළමයි නෙවෙයිනෙ. අනික මට ඕනතරං රත්තරං බඩු තියනව. හොරු හැමතැනම නිසා මං ඒව දාන්නෙත් නෑ’
‘අක්කා… බැන්ද කියල ජීවිතේ එක කොටසක් එතනිං ඉවර වෙන්නෑ. ඊට පස්සෙත් අපි ජීවත් වෙනව. ඊට පස්සෙත් මිනිස්සුන්ට ආසාවල් බලාපොරොත්තු තියනව. ජීවිතේ කියන්නෙ සතුටෙන් ගත කරන්න ඕන දෙයක්. එතකොට ඒකට ඔය වගේ පොඩි පොඩි කෑලි ගොඩක් එකතු වෙන්න ඕනෙ’
‘අනේ තව කොච්චර වැඩ තියනවද යසස්වි අපිට කරන්න…’
‘සතුටෙන් ජීවත් වෙන්න ජීවිතේ හැම ප්‍රශ්නයක්ම විසඳෙනකල් හිටියොත් අපිට කවදාවත් ඒක කරන්න වෙන්නෑ අක්ක. පුළුවං හැම වෙලේම අපිවයි අපිත් එක්ක ඉන්න අයවයි සතුටෙන් තියන ගමන් තමයි ජීවිතේ ඉස්සරහට යන්න ඕනෙ. මොකද අපි කොයි මොහොතක අපේ අන්තිම හුස්ම ගනීද කියන්න බෑ. ඒ වෙනකල් අපි ජීවත් වෙලා තියෙන්න ඕනෙ’
‘මං ඕව අනන්තවත් කියල තියනව දරුවො. මෙයා ඒව සත පහකට ගණං ගත්තෙ නෑ’
කියමින් වජිරා ඔවුන් අසලින් අසුන්ගත වූවා ය. නිලූකා ගස්සා ඉවත බැලුවා ය.
‘පල්ලෙහාට ගිහින් බලන්න. ලොකු පුතා හදපු ගේ. එයාට ඕන වුණේ බැඳල අලුත් ගෙදර පදිංචි වෙන්න. ඒත් මෙයා ඒකට ඉඩ දුන්නෙම නෑ. ඒ ගේ කුළියට දීල කුළිය අතට ගන්න කෑදර වුණා’
‘කෑදර වුණා කියන්නෙ… කෑදර නෙවෙයි. කොච්චර සල්ලි ඕනෙද වැඩ කරගන්න… ළමයි දෙන්නෙක්ට උගන්නනව. දිල්නුකව කැම්පස් එකට දැම්මෙ ලෝන් එකකුත් අරං කියල දන්නවනෙ’
නිලූකා වජිරා ගේ ඇඟට කඩන් පැන්නා ය.
‘අනික මෙතන සාගරයක් වගේ ගෙයක් තියෙද්දි අපි හිටියහම මොකද… ‘
‘තමුං එක්ක කතාකරල වැඩක් නෑ නිලූකා. පවුල් ප්‍රශ්න ඕන විදිහකට විසඳගත්තට කමක් නෑ මෙතන කෑකෝ ගහල අපිට ලැජ්ජ කරන්නෙපා. මං මුල ඉඳලම මේගොල්ලොන්ගෙ පවුලෙන් ඈත් වෙලා වෙනම දේවල් කරගත්තෙත් ඕකයි. ඒගොල්ලො පවුලක් විදිහට වෙනම හැදෙන්න ඕන නිසා. ඔයාට හැම දේටම වැඩිය ලොකු සල්ලි. මට තේරෙන්නෙ එච්චරයි’
කියමින් වජිරා අසුනෙන් නැගිට ඉක්මන් ගමනින් ගෙතුළට ගියා ය. යසස්වි ලොකු හුස්මක් හෙළුවා ය.
‘මෙයාට ඕනෙ අපිව එලෝගන්නමයි. මං නංගිව මෙහෙ තියංඉන්න එකටත් මෙයා පුපුරනව’
‘ඉතිං ඇත්තනෙ අක්ක’
යසස්වි කතා කළේ නිවීසැනසිල්ලේ ය. නිලූකා ඇස් මහත් කොට බැලුවා ය.
‘ඔයාලට ගෙයක් තියනවනං ඒකෙ ඉන්නනෙ තියෙන්නෙ. සල්ලි ඕනෙ තමයි. ඒත් ජීවිතේ නිදහස ඊට වැඩිය වටිනවනෙ අක්ක. ආන්ටිත් ආස ඇති එයාගෙ ගෙදර ඉඩකඩ ඇතුව නිදහසේ ඉන්න. ඔයත් ආස නැද්ද ඔයාගෙම ගෙයක් බලාගෙන ඒකෙ ලස්සනට ඉන්න…’
‘අනේ මේ පවුල් ජීවිතේ ගැන ඔයා මොනා දන්නවද යසස්වි’
කියමින් නිලූකා එවර යසස්වි ට ද සැර වූවා ය.
‘ගෙදර ගෑනු දැලි කුණු පෙරාගෙන සුමේ කරන්නෝනෙ. උන්දැල ඇඳල කරල ඔෆිස් යනව. ඔෆිස් වලත් ඉන්නවනෙ සක්කරවට්ටං. උන්ට ඉතිං පුළුවං ශෝක් එකට ඇඳල තොල් රතු කරගෙන නියපොතු උල් කරගෙන නාල සුවඳ ගගහ ඔෆිස් එන්න. අපේ මිනිස්සුන්ට උන් සුරංගනාවො වගේ පේනව ඇති. ගෙදර ගෑනුන්ට බෑනෙ ගෙවල්වල වැඩත් එක්ක ඔය ශෝක් බෝක් කරන්න’
යසස්වි ගේ මුවෙහි ඇඳුණේ මඳහසකි.
‘අක්කා ඔෆිස් වලට එහෙම ලස්සනට එන ගෑනුත් එන්නෙ සුරංගනා ලෝකෙන් නෙවෙයි. ගෙවල් වල ඉඳල. ඒ ගෑනු ගෙවල් වල වැඩත් කරල ලස්සනට ඔෆිස් ඇවිත් ආයෙ දුවන්නෙ ගෙදර වැඩ කරන්න. එහෙම ගෑනු කෙනෙක් වැඩකරන තරම හිතාගන්නත් බැරි තරමයි. ඇත්ත අක්ක. පිරිමි ඇස් ලස්සන ගෑනු රූප ළඟ නවතිනව. ඒක අපි කාටවත් නතර කරන්න බෑ කොච්චර රංඩු වුණත්. තමුන්ගෙ පිරිමියගෙ ඇසුයි හිතයි දෙකම පුළුවන් උපරිමෙන් තමන් ළඟ තියාගන්න තරං ගෑනු කෙනෙක් දක්ෂ වෙන්න ඕන ඒකයි’
නිලූකා සිය රෑ ගවුම දෙස බැලුවා ය. රෑ ගවුම වූවාට ඈ දවසේම ඇඳගෙන ඉන්නේ එයයි. ‘තව එකක් හෝදන්න ඕන්නෑ. මේක ඇඳගෙනම වැඩ ටික කරනව’ කියා සිතමින් ඇය වැඩ කරන්නේත් එය ඇඳගෙනයි. කුණු දුහුවිලි අල්ලා සිටීමෙන් එය අව පැහැති ය. නිතර ම දහදිය සැර ය.
‘නීති බැඳීමක් තියනව කියල කෙනෙක්ව එයාට සතුටක් නැති ප්‍රසන්න හැඟීමක් නැති කසාදයක් ඇතුළෙ හිර කරං ඉන්න බෑ. එහෙම හිටියත් හිතක් හිර කරල තියාගන්න බෑ. හිතක් නිතරම දුවන්නෙ තමං ආස තැන් වලට. තර්ක කරනවට වැඩිය බැඳපු ගෑනු කෙනෙක් ඔළුවෙන් කල්පනා කරල තමන්ගෙ ගෙදර තමන්ගෙ මහත්තයට ආස හිතෙන තැනක් කරගන්න තරං දක්ෂ වෙන්නෝනෙ අක්ක. සියුම් වෙන්න ඕනෙ. පිට යනව කියල දොස් කියනවට වැඩිය පිට යන්න තමන්ගෙන් වුණ අඩුපාඩු මොනාද කියල හිතල ඒව හදාගන්න ඕනෙ. ගෙදර මොන තත්වයක් තිබුණත් නම්බුව වෙනුවෙන් ළමයි වෙනුවෙන් ඒව කාගෙන ඉන්නෝනෙ කියල ගෑනු අපි කිව්වට පිරිමි එහෙම ඉන්නෑ. අන්න ඒකයි ඇත්ත. ඉන්දගන්න බැරිනං දුර්වලකම අපේ. ඒකට ලස්සනට ඔෆිස් එන ගෑනුන්ට දොස් කියල වැඩක් නෑ. මං බැඳල නෑ තමයි අක්ක. ඒත් මේ මගෙ සබ්ජෙක්ට් එක නිසා මං මේ ගැන ස්ටඩි කරල තියනව. එහෙම දන්න ටිකක් තමයි මං කිව්වෙ. පවුලෙන් පවුලට කෙනාගෙන් කෙනාට දේවල් වෙනස් වෙනව. මං තාමත් හිතන්නෙ අයිය වරදක් කරල නෑ කියලයි. වැරදි කරපු පිරිමි ඉන්න පවුල් පවා කතාබහ කරල ප්‍රශ්න විසඳගෙන ආයෙ එකට ජීවත් වෙනව. ඒක නිසා අක්ක මං කියන්නෙ ඉවසීමෙන් අයිය එක්ක කතා කරන්න කියලයි. මට පේන විදිහට ඔයා කැමති විදිහට ඔයා ගෙදර තීරණ හැම එකක්ම අරගෙන තියෙනව. අයිය යුතුකම් ඉෂ්ට කරල නෑ කියන්නත් බැරි තරං. ඉතින් අයියට ඔයාගෙන් මොකක්හරි අඩුපාඩුවක් වෙනවද කියලත් හෙමීට නිදහසේ හිතල එයා එක්ක කතාකරන්න. විජිත අංකල්ගෙ පුතාල දෙන්නම අංකල්ට වැඩිය නිශ්ශබ්දයි වගේනෙ. කටින් නොකිව්වත් තමන් ලං වෙච්ච පිරිමිය හිතින් හිතන්නෙ කොහොමද කියලත් චුට්ටක් සංවේදී වෙන්න. එයා කැමති විදිහට හැසිරෙන්න. අපි කවුරුත් පර්ෆෙක්ට් නෑ අක්ක. එහෙම වෙන්නෙත් නෑ එහෙම වෙන්න ඕනත් නෑ. විශේෂයෙන්ම මැරේජ් ලයිෆ් එකක් කියන්නෙ එක්කෙනෙක් නෙවෙයි. ඒක සාර්ථක වගේම අසාර්ථක වෙන්නත් දෙන්නම හේතු වෙනව. දෙන්නම කරන දේවල් බලපානව. ලොකු කොල්ලො දෙන්නෙක්නෙ ඉන්නෙ ඕගොල්ලොන්ට. ඒක නිසා නිවී සැනසිල්ලෙ හිතන්න. අයිය ගැන ඔයිට වැඩිය බලන්න. අක්කගෙ අකමැත්තක් නැත්තං මට අයිය එක්කත් කතාකරන්න පුළුවන්’
ඒ මොහොතේ හිතේ නැගි සියල්ල හැල්මේ කියවාගෙන ගිය යසස්වි නිලූකා දෙස බැලුවා ය. ඇය හිස් කඩදාසියක් බඳු හැඟීම් විරහිත මුහුණකින් යුතුව සිටියා ය. සැබවින් නිලූකා ට දැනෙමින් තිබුණේ ඇය හිස් වෙමින් යන බවකි.