මේ කතාව පටන් ගත්තෙ ගංගාවකින්.
ගංගාවක් සහ මිනිස් ජීවිතයක් අතර පුදුමාකාර සමානකමක් තියෙනවා. ගඟක් පටන් ගන්නේ කඳු මුදුනක පොඩි දිය දහරාවක් විදියට. ඒ වගේම අපේ ජීවිතයත් පොඩි කාලේ පටන් ගන්නේ බොහොම සුන්දර විදියකට. ටිකෙන් ටික ගඟ විශාල වෙනකොට, ඒක ගල්පර අස්සෙන්, නොසන්සුන් විදියට ගලාගෙන යනවා. ඒ වගේම අපේ ජීවිතවලත් යෞවන කාලේදී බාධක සහ අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා.
ඒත් මේ හැම ගඟක්ම, තමන්ගේම ගමනක් යනවා.
මේ කතාවෙ කියවෙන ග්‍රීන් ගඟත් ඒ වගේමයි.
1980 ගණන්වල මුල් භාගයේදී, වොෂින්ටන් ප්‍රාන්තයේ සියැටල් නගරයෙන් පිටත පිහිටලා තිබිච්ච ග්‍රීන් ගඟේ ජලය, පාසි බැඳුණු ගස් සහ ගල්පර අතරින් නිහඬව ගලාගෙන ගියා. නමුත් ඒ නිස්කලංක මතුපිට යටින් තිබුණේ භයානක රහසක්. තරුණ කාන්තාවන්ගේ, සමහර අය යන්තම් යෞවනියො. එයාලගෙ සිරුරු ගඟ දිගේ ගොඩගහන්න පටන් ගත්තා. එකකට පස්සෙ තවත් එකක්, ඊට පස්සෙ තව කීපයක්. මේ හැමෝම අතුරුදහන් වුණා කියලා වාර්තා වෙලා තිබ්බ කාන්තාවන්. එයාලගෙන් වැඩි දෙනෙක් හිටියේ සමාජයේ පහළ ස්ථරයේ ලිංගික ශ්‍රමිකයන්, පැනලා ආව අය, ජීවත් වෙන්න එක එක විදියෙ යුද්ධ කරන්න වෙච්ච ගෑනු අය.
මේ විදියට ගඟ දිගේ ගොඩගහන්න ගත්ත මිනී සංඛ්‍යාව වැඩි වෙනකොට, පරීක්ෂකයෝ සහ මාධ්‍යවේදීන් මේ නොදන්නා ඝාතකයාට “ග්‍රීන් රිවර් ඝාතකයා” (The Green River Killer) කියලා නම දැම්මා. එයාලා ඒ වෙලාවේ දැනගෙන හිටියේ නෑ, මේ අපරාධ පිටිපස්සේ හිටිය ගැරී ලියොන් රිජ්වේ කියන මිනිහා, හැමෝටම පේන්න, සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක් කියලා. එයා දේව මෙහෙයට යන, තාත්තා කෙනෙක්, රෙන්ටන් වල ට්‍රක් ෆැක්ටරියක ස්ප්‍රේ පේන්ටර් කෙනෙක් කියන එක ඒ වෙලාවෙ නම් කාටත් රහසක් උනා.
අන්තිමට 2001 දී රිජ්වේ අත්අඩංගුවට ගන්නකොට, එයා කාන්තාවන් 71 දෙනෙක් ඝාතනය කරා කියන එක පිළිගත්තා. ඝාතන 49කට වරදකරු වුණා. ඒ අනුව තමයි එයා ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසයේ වැඩිම වින්දිතයන් සංඛ්‍යාවක් ඉන්න දාමඝාතක ඉතිහාසයේ භයානකම ඝාතකයා වෙන්නෙ.
කම්පන සහගත ළමා කාලයක්
ගැරී රිජ්වේ 1949 පෙබරවාරි 18 වෙනිදා යූටා ප්‍රාන්තයේ, සෝල්ට් ලේක් සිටි වලදී තමයි උපන්නෙ. එයා ප්රශ්නකාරී පවුලක මද්දුමයා. එයාගේ තාත්තා බස් ඩ්‍රයිවර් කෙනෙක්. එයා බස් එකේ යනකොට පාරේ දකින ලිංගික ශ්‍රමිකයන් ගැන නිතරම තරහෙන් කතා කරපු එක පුංචි ගැරීට මතක තිබ්බා. එයාගෙ අම්මා හරිම ටොක්සික්, දරුණු කෙනෙක්. රිජ්වේ පස්සේ මනෝවිද්‍යාඥයන්ට කිව්වේ, එයාගෙ මුල්ම විකෘති ලිංගික ආශාවන් ඇති වුණේ අම්මා ගැන කියලා. එයා ඇය ගැන තරහෙන් හිතුවා වගේම අම්මා ගැන ලිංගික ෆැන්ටසිත් දෙකම විඳලා තිබුණා. අම්මා නිතරම එයාට පහර දීලා තිබුණා.
එයා ඩිස්ලෙක්සියා රෝගයෙනුත් පීඩා විඳලා තියෙනවා. ඒ නිසාම එයාට ඉස්කෝලෙදි ඉගෙනගන්න අපහසුතා තිබිලා තියෙනවා වගේම එයාගෙ IQ එක 80 ගණන්වල පහළ මට්ටමේ තමයි තිබිලා තියෙන්නෙ. පන්තියේ යාළුවෝ සහ අසල්වාසීන් පස්සේ කිව්වේ ගැරී හරිම නිහඬ, ඒත් අමුතු කෙනෙක් කියලා. වයස 16දී, එයා අවුරුදු හයේ කොල්ලෙක්ව කැලේට අරන් ගිහින් ඒ ළමයගේ ඉළ ඇටවලට පිහියෙන් ඇනලා තියෙනවා. පුදුමයකට වගේ ඒ ළමයා බේරෙනවා. ඒ සිදුවීම වැඩි අවධානයට ලක් වුණේ නෑ. ගැරීත්, ලෝකයත් ඒක අමතක කරලා ඉස්සරහට යනවා.
බොරුව මත ගොඩනැගුණු ජීවිතයක්
පාසලෙන් පස්සේ, ගැරී ඇමරිකානු නාවික හමුදාවට බැඳෙනවා. වියට්නාමයට යවලා හිටපු කාලේ, එයා නිතරම ලිංගික ශ්‍රමිකයන්ගේ සේවය ලබා ගෙන, ගොනෝරියා කියන ලිංගික රෝගය හදාගන්නවා. ආපහු රටට ආවට පස්සේ එයාගෙ පළමු විවාහය කැඩෙනවා. දෙවැනි විවාහයත් ඒ වගේම කැඩිලා යනවා. කතාවලට අනුව එයා ලිංගිකත්වය ගැන උමතු වුණු කෙනෙක්. එයාගේ හිටපු බිරින්දෑවරු සහ පෙම්වතියන් කිව්වේ, එයා දවසට කීප සැරයක්ම ලිංගිකව එකතුවෙන්න ඉල්ලපු බවත්, ඒ වගේම කැලේ හරි කාර් එක ඇතුළේ වගේ අමුතු තැන්වලදී ඒක කරන්න ඕන කියලා ඉල්ලුවා කියන එකත්.
ඒත් මේ මනුස්සයා ආගමික කටයුතුවලට හරිම ලැදි කෙනෙක්. එයාගේ දෙවැනි විවාහය කාලේ, එයා දැඩි ආගමික භක්තිකයෙක් බවට පත් වෙනවා. ගෙදරදී බයිබලය හඬ නඟා කියවමින්, දේශනාවලදී අඬමින්, ගෙයින් ගෙට ගිහින් ආගම ගැන කතා කරනවා. එයා ජීවත් වුණේ එකිනෙකට පරස්පර විරෝධී විදිහට: උදේට දේව වචනය දේශනා කරපු මිනිහම රෑට කාන්තාවන් ඝාතනය කරනවා..
මිනීමැරුම්
රිජ්වේ 1982 දී තමයි මේ ඝාතන පටන් ගත්තෙ. එයා විශේෂයෙන්ම ඉලක්ක කළේ සමාජයේ පහළ මට්ටමේ හිටපු තරුණ කාන්තාවන්. ඒ අයගෙන් වැඩි දෙනෙක් ලිංගික ශ්‍රමිකයන්, නිවාස නැති, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු, නැත්නම් හිංසනයෙන් මිදෙන්න ගෙවල් වලින් පැන ආපු අය. මෙයා එක එක කතාකියලා ඒ කාන්තාවන්ව රවට්ට ගන්නවා. සමහර වෙලාවට විශ්වාසය දිනාගන්න තමන්ගෙ පුතාගේ ෆොටෝ එකක් පෙන්නනවා. කාන්තාවන්ව ට්‍රක් එක ඇතුළට ගත්තාට පස්සේ, එයාලා එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වනවා. ඊට පස්සේ තමන්ගෙ අත් දෙකෙන් එයාලගෙ බෙල්ල මිරිකලා මරලා දානවා. එයා මිනීමැරුම් කළේ තමන්ගෙ ගෙදරදී, ට්‍රක් එක ඇතුළේදී, නැත්නම් කැලේදී. එහෙම මරන කාන්තාවන්ගෙ සිරුරු ගිහින් දැම්මේ ග්‍රීන් ගඟ අයිනේ, සියැටල්-ටැකෝමා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වටේට, සහ වනාන්තර උද්‍යානවල. ගොඩක් වෙලාවට එයා දින කීපයකට, නැත්නම් සති කීපයකට පස්සේ නැවතත් ඒ ස්ථානයට ගිහින් දිරාපත් වෙමින් තිබුණු සිරුරු එක්ක ලිංගිකව හැසිරෙනවා. ඇයි එහෙම කළේ කියලා ඇහුවම, රිජ්වේ කිව්වේ “තවත් වින්දිතයෙක්ව හොයන්න ඕන නැති නිසා සහ අහුවෙන අවස්ථාව අඩු වෙන නිසා” කියලා.
සමහර සිරුරු ඇඳුම් නැතුව දාලා ගිහින් තිබුණා. අනිත් ඒවා විවිධ ඉරියව්වලට තියලා තිබුණා. සමහර වෙලාවට එයා අනිත් අයගේ බඩු ඒ කිව්වෙ චුයින්ගම්, සිගරට්, බඩු බාහිරාදිය ඒ තැන්වල දාලා පරීක්ෂකයන්ව නොමඟ යවන්නත් කටයුතු කරලා තියෙනවා. සමහර වෙලාවට මළසිරුරු ප්‍රාන්ත මායිම් පවා පහුකරලා ඔරිගන් වලට අරන් ගිහින් පවා තියෙනවා.
1982ත් 1984ත් අතර කාලේ තමයි ඝාතන වැඩිම ප්‍රමාණයක් කරලා තියෙන්නෙ. කාන්තාවන් දුසිම් ගාණක් අතුරුදහන් වෙනවා. ඒ හැමෝවම “ග්‍රීන් රිවර් ඝාතකයා” කියන නම යටතට ගොඩ ගැහෙනවා.
අතුරුදහන් වෙච්ච හෝඩුවාවන්
පොලිසිය එයාව අල්ලගන්න පුලුවන් උපරිමේ ළඟටම ඇවිල්ලා තියෙනවා. 1983 දී, 18 හැවිරිදි මාරි මල්වර්ගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් රිජ්වේ සැකකරුවෙක් විදියට හඳුනාගන්නවා. එයාගෙ පෙම්වතා සැක කටයුතු ට්‍රක් එකක් පස්සේ රිජ්වේගේ ගෙදරට යනකම්ම පස්සෙන් ගිහින් තිබුණා. පොලිසිය ඒ අනුව මෙයාගෙන් ඒ ගැන ප්‍රශ්න කරනවා. එයා ඒ හැමදෙයක්ම ප්‍රතික්ෂේප කරා විතරක් නෙවෙයි පොලිග්රාෆ් පරීක්ෂණයෙනුත් සමත් වෙනවා.
ලිංගික ශ්‍රමිකයන්ගේ සේවය ලබා ගැනීම සම්බන්ධයෙන් එයා අවස්ථා කීපයකදීම අත්අඩංගුවට පත් වුණා. එයා සැක සහිත පුද්ගලයෙක් විදියට හිටියත්, විරුද්ධව සාක්ෂි විදියට DNA තිබ්බේ නෑ, සාක්ෂිකාරයෝ හිටියේ නෑ.
මේ අතර, 1988 දී රිජ්වේ ජුඩිත් මොසන් එක්ක තුන්වැනි වතාවටත් විවාහ වුණා. ජුඩිත් කිව්වේ තමන් එයාගෙ රහස් ජීවිතය ගැන කිසිවක් දැනගෙන හිටියේ නෑ කියලා. “මං එයාගේ බිරිඳ වෙලා හිටපු නිසා මං ජීවිත බේරුවා කියලා මට හිතෙනවා,” කියලා ජුඩිත් අවුරුදු ගාණකට පස්සේ කිව්වා. එයා ඒක කිව්වේ රිජ්වේ විවාහ වෙලා හිටපු කාලේදී ඝාතනය කරලා තිබුණේ කාන්තාවන් තුන් දෙනෙක් විතරක් නිසා.
හැරවුම් ලක්ෂය
2001 දී හැමදේම වෙනස් වුණා. පරීක්ෂකයෝ අවුරුදු ගාණකට කලින් – විශේෂයෙන්ම 1987 දී – රිජ්වේගෙන් ගත්ත කෙළ සහ හිසකෙස් සාම්පල නැවතත් පරීක්ෂා කළා. DNA තාක්ෂණය දියුණු වෙලා තිබුණා. ඒකෙන් හරි ගිය සාම්පල guiding light එකක් වගේ එකින් එක පත්තුවෙන්න ගන්නවා. මුලින්ම එකක්. ඊට පස්සේ හතරක්. ඊට පස්සේ හතක්.
2001 නොවැම්බර් 30 වෙනිදා, රිජ්වේව එයාගේ වැඩපළේදී අත්අඩංගුවට ගත්තා. එයා වහාම අපරාධය පිළිගත්තා. දුසිම් ගාණක මිනීමැරුම් පිළිගත්තා. මරණ දඬුවමෙන් බේරෙන්න, රිජ්වේ සිරුරු හංගපු තැන් පෙන්නන්නත්, ඝාතන ගැන විස්තර දෙන්නත් එකඟ වුණා.
2003 දී එයා මිනීමැරුම් 48කට වැරදිකරු බව පිළිගත්තා. උසාවියේදී එයා කිසිම අවුලක් පෙන්නුවේ නෑ. “මං ගොඩක් ගෑනුන්ව මැරුවා. ඒ හින්දා මට එයාලව මතක තියාගන්න අමාරුයි,” එයා කිව්වා. රිජ්වේට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් 48ක් නියම වුණා. පස්සේ ඒක 49ක් දක්වා වැඩි කරලා, සාක්ෂි විකෘති කිරීම සම්බන්ධයෙන් තවත් අවුරුදු 480ක් එකතු කළා.
තවත් ඇටසැකිලි, තවත් සත්‍යයන්
එයාට දඬුවම් දුන්නට පස්සේත්, බිහිසුණු දේවල් මතුවෙන එක ඉවර වුණේ නෑ. 2005 දී කැලේ ගිය අයෙකුට 19 හැවිරිදි ට්‍රේසි වින්ස්ටන්ගේ හිස්කබල හම්බ වුණා. එයා 1983 දී අතුරුදහන් වෙච්ච කෙනෙක්. 2023 දී 1985 දී හම්බ වුණු ඇටසැකිල්ලක් 15 හැවිරිදි ලෝරි ඈන් රසොප්නික්ගේ කියලා හඳුනාගත්තා. 2024 දී, අවුරුදු 13ත් 24ත් අතර වයසක තවත් “හඳුනා නොගත් සිරුරක්” DNA වලින් ලයිල්ස් කියලා නම් කළා. මේ සෑම සොයාගැනීමක්ම තවත් ජීවිතයක බිහිසුණු ඇත්තක් එලිදරව් කරා.
වින්දිතයන්ගෙන් සමහරු අවුරුදු 14 වගේ පොඩි වයස්වල පවා හිටිය අය. වෙන්ඩි ස්ටීවන්ස්ව දශක ගාණක් වැරදි විදියට identify කරගෙන තිබුණා.
අදටත්, රිජ්වේ වොෂින්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයේ සිරගතව ඉන්නවා.
ග්‍රීන් රිවර් ඝාතකයා කියන්නේ සීරියල් කිලර් චිත්‍රපටවල වගේ වෙස් මූණක් දාගෙන හිටපු කෙනෙක් නෙවෙයි. එයා ඔයාගෙ ළඟම උන්න කෙනෙක්. සමහරවිට ඒක තමයි මේ හැමදේටම වඩා භයානකම ඇත්ත වෙන්නෙ. අපේ විනාසෙ තිබිලා තියෙන්නෙ අපි ළඟමයි.