අලුත විවාපත් වූ නිශ්ශංකගේ පුතාත් පොඩි ලේලියත් යළිත් මහ ගෙදරට පැමිණියේ සොල්දර ගෙදර ජීවත්වීම අසීරු යැයි පවසමින්ය. නිවස තුළ නිතර විවිධාකාරයේ ශබ්ද ඇසෙන බවත් කිසිවෙකු එහා මෙහා යන හඬ ඇසෙන බවත් කල්පනා තම සැමියා සමග නිතර පවසන්නට විය. පසු කලෙක ඈ කාමරයෙන් එළියට බසින්නට පවා බිය විය. ඈ තම මවගේ නිවසට ගොස් සමහර දිනවල නැවත පැමිණෙන්නේ නැත. එනිසාම සදිල් දින කිහිපයක්ම සිය කාර්යාලයට නොයා බිරිඳ සමඟ කාලය ගත කළාය.
පසුගිය දිනක කිසිවෙකු වත්තේ ඇවිදි බව පවසමින් කෑ ගසාගෙන දිව ආ කල්පනා සිහි නැතුව ඇද වැටුණේ ආලින්දයේමය. නූල් දැමීම් සෙත් ශාන්ති වැනි වැඩ කටයුතු කිහිපයක් කළත් කුඩා ශබ්දයටත් ඇය බියට පත්වීමත් හිටිහැටියේ කෑ ගැසීමත් නතර වූයේ නැත.
මහ ගෙදර විසූ ලොකු පුතාත්, බිරිඳත් සහෝදරයාගේ ආගමනයට කැමැත්තක් දැක්වූයේ නැත. එදා සිටම සහෝදරයන් තිදෙනා අතර එතරම් ඇයි හොඳයියක් වූයේද නැත.
“මේගොල්ලෝ ආපහු සොල්දර ගෙදර පදිංචියට යන එකක් නැතිවෙයි නේද මහත්තයා.”
නන්දනී පැවසූයේ ආලින්දයට වී පුවත්පත බලමින් උන් තම සැමියා අසලට යමින්ය. නිවස තුළ නිතර ඇසෙන රණ්ඩු සරුවල් දැන් ඇයට වදයක්ය. ලේලියන් දෙදෙනාම ඉවසා සිටින්නට දන්නේ නැත. හෙට අනිද්දාම අයියා මලෝ අතර ගැටුමක් ඇති වේ යැයි නන්දනී සිටියේ බියපත්වය.
“සොල්දර ගෙදර හොල්මන් තියෙන කතාව දැන් ගම පුරාම පැතිරිලා. ඉස්සර වගේ හොරෙන් දර අත්තක් කපා ගන්න, පොල් ගෙඩියක් ඇහිඳගන්නවත් මනුස්සයෙක් එන්නෙ නැති තරම්. ඒ අස්සේ මේ ළමයි ඔතනට යවලා කරදරයක් වුණොත් එහෙම.”
“නරකද හොඳ කට්ටඩියෙක් ගෙනල්ලා ඔය ගේයි වත්තයි ආරක්ෂා කලානම්.”
“සෑහෙන ගානක් වියදම් කරලා ඒවා කරානේ. පිරිත් කිව්වා, දාන දුන්නා. මං කිව්වේ එක කුස උපන් සහෝදරයා උනත් ඕකා ඇවිත් තියෙන්නේ මාව නැති කරගෙනම යන්න කියලා”
“මේ එක්කෙනෙක්වත් යන පාටක් නෑ. පොඩි පුතා මාරුවක් හදාගෙන ආවහම මේ දෙන්නට මෙහේ ඉන්න ලැබෙන්නේ නෑනේ. ඒත් මට කනෙන් කොනෙන් ඇහෙනවා ඒගොල්ලෝ මේ මහ ගෙදරට අයිතිවාසිකම් කියා ගන්නවා. නරකද සොල්දර ගෙදර විකුණලා දාලා හරි මේ දෙන්නව පිළිවෙලක් කරන්න බැලුවනම්.”
“ඒ අදහසම තමයි මගේ හිතේ තියෙන්නෙත්. මේ හොල්මන් කතාව ආරන්ච් වෙච්ච හින්දා ඒක අපිට අවාසි දායකයි. මං ග්‍රාම සේවක මහත්තයටත් කිව්වා. ග්‍රාම සේවක මහත්තයා කියන්නේ හදිසි වෙන්නේ නැතුව ඉන්න මේක හොඳ ගානකට සුද්දෙක්ගේ ඇඟේ ගහන්න පුළුවන් කියලා.”
“ග්‍රාම සේවකගෙත් කයිවාරුව විතරයි. මේ ගෙවල් වල ප්‍රශ්න පිටට ආරංචි වෙන්න ගත්තහම මිනිස්සු අපිට හිනාවෙයි මහත්තයා. ඔක්කොමත් හරි ඔයාලගේ අම්මට මේවා ආරංචි වෙන එක තමයි මට දරාගන්න බැරි. ඉල්ලන ගානක් දීලා හරි කමක් නෑ කට්ටඩියෙක් කතා කරගෙන ඕගොල්ලන්ගේ අයියව හිර කරලා දාන්න. එතකොට ප්‍රශ්නේ ඉවරයිනේ. නැත්නම් මෙතන එකෙක් මරාගෙන නතර වෙන්නේ”
නන්දනී ගෙතුළට ගියේ එසේ පවසමින්ය. ඊයේ පෙරේදා නිමේෂ් ටවුමට යන අතරතුරදී දේපළ ගැන කතා කළ බවක් ඔහු බිරිඳ හා පැවසූයේ නැත. නිමේෂ් පවසන්නේ මහ ගෙදර ඔහුට ලබා දිය යුතු බවයි. එසේ නොමැති වුවහොත් ඔහු තමාත්, බිරිඳත්, සහෝදරයනුත් සමග වන නෑකම් අමතක කර දමන බව ඔහු පැවසූයේ තර්ජනාත්මක ස්වරූපයෙන්ය.
බැංකු සේවකයෙකු වූ දෙවෙනියාට මාරුවීමක් සාදා දෙන්නට කිහිප වතාවක්ම උත්සාහ කලත් ඔහු එයට එකඟ වූයේ නැත. ඊට හේතුව සොයා බැලිය යුතුයැයි නිශ්ශංකට සිතුනේ ඊයේ පෙරේදාය. තමා සේම බිරිඳත් හිත් තැවුලෙන් කාලය ගත කරන බව නිශ්ශංක දැන සිටියේය. සොල්දර ගෙදර ඉඩමට පය තැබූ දිනක් මතකයේ නොවේ. දෑසින් නොදුටුවත් පොඩි පුතාත්, ලේලියත් පැවසූ දෑ අසා ඔහු උන්නේ බියපත්වය. නිවස ආරක්ෂා කරන්නට පැමිණි කට්ටඩියා පැවසූයේත් ඉඩමට බැල්ම හෙළා ගත් මළගිය ප්‍රාණ කාරයෙකු සිටින බවය. ඒ මළගිය ප්‍රාණ කාරයා තම සොහොයුරායැයි නිශ්ශංක දැඩිව විශ්වාස කළේය.
ගෙවී ගිය සති දෙකේදීම අපූර්වා අම්මා බලන්නට ගියේ හේෂානි සමගින්ය. යුගාෂ් සිටියේ අවිවේකීවය. ඒ දින දෙකෙහිදීම රෝහල වෙත යන ගමන සඳහා යුගාශ් වාහනයක් එවූයේ මැදි වියේ රියදුරු මහතෙකු සමගින්ය.
“උඹට තේරෙනවද අම්මගේ ලොකු වෙනසක් තියෙනවා බං. අපරාදේ අපිට කලින්ම අර ඩොක්ටර් කියපු වෙලාවෙ අම්මව මෙහේ නතර කරන්න තිබුණා.”
හේෂානි පවා කාන්ති දුටුවාට පසුව පැවසූයේ ඒ අයුරින්ය. ඇගේ මුහුණ කට පවා වෙනදාට වඩා පිරී තිබිණ. රෝඟී බවක ලක්ෂණ කෙමෙන් කෙමෙන් එම සිරුරෙන් පහව යනවායැයි අපූර්වාට දැනෙන්නට විය. ඒ දෑත් වලින් අල්ලා කතා කරද්දී කාන්ති අපූර්වාගේ මුහුණ දෙස බලා උන්නේ පුදුමයකින් සේය. අම්මා යමක් මතක් කරන්නට වෙහෙස වනවායැයි ඇයට සිතුනේ එනිසාය.
“ඔයාට පුළුවන් නම් ඊළඟ දවසේ එද්දි ඔයාගේ පවුලෙ අය ඉන්න ෆොටෝ එකක් අපිට ගෙනත් දෙන්න. තාත්තා නැති එකක් උනොත් වඩා හොඳයි. තාත්තා ගැන මතකය අපි එයාගේ හිතට දෙන්න ඕනේ බොහොම පරිස්සමට. මුලින්ම ජීවත් වෙලා ඉන්න ඔයාලා ගැන තමයි අපි එයා එක්ක කතා කරන්න ඕනේ. ලබන සතියේ අපි එයාව වෙන වාට්ටුවකට මාරු කරනවා. මොකද දැන් ඔයාගේ අම්මගේ ඉන්ජෙක්ෂන් කෝස් එක ඉවරයි. මේ වෙද්දි එයා මෙතැනට ආවට වඩා සුවපත් තත්ත්වයකයි ඉන්නේ. ඒ වාට්ටුවෙදි අම්මට කරන්න ක්‍රියාකාරකම් ගොඩක් තියෙනවා. තව ටික කාලයක් යයි. අපි ඉවසීමෙන් බලාගෙන ඉමු.”
තරුණ වෛද්‍යවරයෙකු අපූර්වාටත් හේෂානිටත් පැහැදිලි කලේ ඉවසීමෙන්ය. ඒ අතරම ඔහු වෛද්‍ය පරීක්‍ෂණ කිහිපයක ප්‍රගතිය අපූර්වා වෙත පැහැදිලි කළේ මහත් වූ සංයමයකින්ය.
ඇයට යළිත් වෛද්‍යවරයාගෙන් කැඳවීමක් ලැබුණේ අම්මා සමග දෙහෝරාවක් පමණ කාලය ගත කරමින් සිටියදීය. ඇය කතා නොකලත් අපූර්වා කතා කළාය. ඒ දෑත්වලින් අල්ලාගෙන සිටියාය. සිප ගත්තාය.
“තව ටිකකින් අපේ ලොකු ඩොක්ටර් එනවා. ඩොක්ටර් කිව්වා ඔයාට කතා කරන්න ඕන කියලා. මෙතනින් වාඩි වෙලා ඉන්න…”
ගතව ගිය විනාඩි කිහිපයකට පසුව වාට්ටුව බාරව උන් දොස්තර මහතා පැමිණියේ දුර සිටම අපූර්වා සමග සිනහසී ගෙනය. යුගාශ් සමඟ ගොස් ඔහු හමු වූ අවස්ථාවේදී ඒ පැවති ලෙන්ගතුකම ඒ ආකාරයෙන්ම මෙවේලහිත් ලබාදීම පුදුමයක් විය.
“එන්න දරුවෝ…”
ඔහු අසුන් ගත්තේ ඉදිරිපස වූ ආසනය සිය දකුණතින් අපූර්වා වෙත පෙන්නමින්ය.
“යුගාෂ් මට උදෙත් කෝල් කලා. පහුගිය දවස්වල පොඩි කරදරයකුත් උනා නේද. රාජකාරිය වගේම තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්නත් උත්සාහ කරන්න ඕන. දැන් මොනවද හිතෙන්නේ ඔයාට අම්මා දැක්කහම.”
“මට හරි සතුටුයි ඩොක්ටර් අම්ම සනීප වෙනවා කියලා මට දැනෙනවා . ඒක පැත්තකින් විතරක් නෙමෙයි. හැම පැත්තකින්ම අම්මගේ වෙනසක් තියෙනවා. එයා හිනා වෙනවා ඩොක්ටර්..ඉස්සර වගේම නිහඬයි.”
“ඔව් ඇත්තටම..අපි හිතුවට වඩා වැඩි වේගයකින් අම්මගේ තත්වය වෙනස් වෙනවා. සමහර විට දරුවෝ, අපිට මුලදිම නිසි ප්‍රතිකාරයක් කර ගන්න පුළුවන්කම තිබුනනම් මෙච්චරටම මේ ප්‍රශ්නේ බරපතල නොවෙන්න තිබුණා. කොහොම උනත් කමක් නෑ අපි තව ටිකක් ඉවසීමෙන් බලාගෙන ඉමු. දුවට පැහැදිලි කිරීමක් කරන්න ඇතිනේ අනිත් ඩොක්ටර්. නමුත් බයවෙන්න කාරණයක් නෑ. වෝඩ් එක මාරු කළත් මම අම්මා ගැන සම්පූර්ණ අවධානයෙන් ඉන්නේ. මොනවා හරි ගැටලුවක් තිබුනොත් දුව පුතාට කියන්න.”
අපූර්වා හිස වැනුවේ වෛද්‍යවරයාට එකඟවය. මේ සියල්ල ලැබුණේ ඔහු නිසාය. මේ මිනිසුන් වෙසින් පෙනී සිටිනා දෙවියන්ය.
යුවතියගේ දෑස් වලින් කඳුලක් කඩා වැටුණේ අම්මාගෙන් සමු ගනිද්දීය. මේ ඈ බැලීමට පැමිණ යන සෑම වතාවකම සිදුවන දෙයකි. වෙනදා නිසොල්මනේ බලා සිට හැරී ගියත් කාන්ති එදිනේ තම ඇඟිලි තුඩක් දිගු කර ඇගේ කඳුළ පිස දැමුවාය.අපූර්වාට ඉකි ගැසුණේ එනිසාය.
“අනේ අම්මේ…..”
අවසන අපූර්වා මිමිනූයේ ඒ ඉකිය අතරින්මය.
“අ…ම්…මා…”
කාන්ති එයම යළිත් උච්චාරණය කළේ අපූර්වා දෙස බලාගෙනය.
අපූර්වා අසලට ගිය හේෂානි ඇගේ උරහිසකින් අල්ලා ගත්තාය. මේ යලිත් පණ ගැහෙමින් තිබෙන්නේ මියැදුණු ජීවිතයක්ය. ඈ යුගාශ්ට දුරකථන ඇමතුමක් ලබාගත්තේ රෝහලෙන් පිටතට පැමිණි හැටියේමය.
“ඔයා අඬනවද අපූර්වා….මං ඔයාට කියලා තියනවා මං ලඟදි ඇරෙන්න වෙන කිසිම තැනකදී අඬන්න එපා කියලා. ඇයි මේ…”
එහා පසින් මදක් දැඩි හඬක් ඇසුණත් ඒ වචනවල තැවරී ඇති ආදරය හඳුනා ගන්නට යුවතියට අපහසු වූයේ නැත.
“අඬන් නැතුව කියන්නකො. මොකද උනේ…”
“ඔයාට පින් සිද්ධ වෙනවා. ගොඩක් පින් සිද්ධ වෙනවා.”
“තමන්ගේ අය වෙනුවෙන් යුතුකම් කරන්නේ පින් බලාපොරොත්තුවෙන් නෙමෙයි කියලා මං ඔයාට දවසකුත් කිව්වා. ඔයා අම්ම වෙනුවෙන් කරන හැම යුතුකමක්ම මගේත් යුතුකමක් අපූර්වා. අඩන්නේ නැතුව කියන්නකෝ මොකද උනේ?…”
“අම්මා දැන් වෙනස් ගොඩක් වෙනස් සර්…අද මගේ කඳුළුත් පිහ දැම්මා. අම්මා කියලත් කිව්වා…අනේ එයා හොඳ වෙනවා. මට ඒක දැනෙනවා”
“අපි තව චූටි දවසක් ඉවසමු හොඳද…ඊළඟ පාර ඔයත් එක්ක අම්මා බලන්න යන්න මමත් එනවානේ. දැන් දෙන්නත් එක්ක දවල්ට කාලා පරිස්සමට එන්න. ගෙදර ඇවිත් මට කෝල් එකක් දෙන්න අපූර්වා.”
යුගාශ් දුරකතනය විසන්ධි කලේ හේෂානිටත් ස්තුතිවන්ත වූවාට පසුවය. තවමත් ඔහුගේ පැමිණීම මේ ජීවිතයට පුදුමයක් පමණක් විය. මේ සා ආදරය කරන්නට දන්නා මිනිසුන් සිටිනවාදැයි ඕ සිතුවේ නිහඬවය. බොහෝ දුරක් පැමිණෙන තුරුම ඈ සිටියේ යුගාශ් ගැන සිතමින්ය. තමා සමග පැමිණි යෙහෙළිව ඇයට සිහිවූයේත් මදත් ප්‍රමාදය.
“අනේ සොරි හේෂානි….ඔහේ තනියෙන් කල්පනා කර කර ආවා මිසක්කා මට ඔයා ඉන්න බවත් අමතක උනා”
“ඔයාට තනියෙන් හිතන්න දීලා මං සද්ද නැතුව හිටියා. හරි සතුටුයි මට. ඇත්තටම ගිය සතියේ දැක්කට වඩා අම්මගේ ලොකු වෙනසක් තියෙනවා.”
“ඩොක්ටර් කලින්ම කිව්වා ඉන්ජෙක්ෂන් කෝස් එක ඉවර වෙද්දි අම්මගේ ලොකු වෙනසක් තියෙයි කියලා. මට මේ හැම දේකටම ශක්තිය දුන්නේ යුගාශ් සර්. මං මේ මුළු ජීවිතෙන්ම එයාට ණය ගැතියි.”
“සමහර මිනිස්සු අපේ ජීවිතවලට මුණ ගැහෙන්නේ අපි කරපු පව් ගෙවෙන කාලෙට. ඒ මිනිස්සුන්ගෙන් නරකක් මිසක් හොඳක් වෙන්නෙ නෑ. ඒ පව් ගෙවලා ඉවර වුණහම අපිට හම්බවෙන මිනිස්සු අපේ ජීවිත වලට ආශිර්වාදයක් වෙනවා. කවදටද ලෙචර්ස් පටන් ගන්නේ.”
“මේ සෙනසුරාදා ඉඳලා…”
“පාන්දර පහේ බස් එකේවත් යන්න වෙයි නේද.”
“ඔව් නවයට පටන් ගන්නවා. ඉවර වෙන්නේ හතරට. සතියට දවස් තුනක් තියෙනවා.”
“කමක් නෑ කෙල්ලේ..ලොකු කාලයක් නෙමෙයිනේ අවුරුදු තුනක්නේ. මේ එකින් එක හැබෑවෙන්නේ උඹේ හිතේ තිබුණු බලාපොරොත්තු. දැන් ගෙයි වැඩත් ගොඩක් දුරට ඉවරයි නේද..”
“ඔව් ජනෙල් උළුවහු හදන්න දුන්නා කියලා කිව්වා.”
“ඒ මැඩම්නම් මාරම හොඳ මනුස්සයෙක්.”
“ඔව් ඊයේ කියනවා මම ඉගෙනගෙන ඉවර වෙනකල් ගෙදර වියදම මැඩම් බලාගන්නම් කියලා.”
“ඔහොමම උඹ හයර් දුවන එකත් නවත්තපන් කෙල්ලේ…”
“කොහොමද එහෙම කරන්නේ.. පුංචි පුංචි අඩුපාඩුත් මැඩම්ගෙන් ඉල්ලන්න බැහැනේ. ලොකු හාමුදුරුවෝ කිව්වා පන්සලේ පන්තියක් පටන් ගන්න කියලා. ඒ උනාට අපේ ගමේ ඉන්න හැමෝම හරි අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු. එහෙම මිනිස්සුන්ගේ දරුවන්ට උගන්වලා සල්ලි ගන්නෙ කොහොමද…”
අපි බලමු කාලය හොඳම විදිහට හැම ප්‍රශ්නයක්ම විසඳලා දෙයි.
එවර හේෂානි පැවසූයේ යුවතියගේ දකුණතෙහි ඇතැඟිලි තම අතැඟිලිවල පටලවා ගනිමින්ය. මේ සිය ජීවිතයේ ඇයට මුලින්ම හමු වූ යෙහෙළියයි. අදත් නොවෙනස් වූ එකම මිතුදමයි.
( යළිත් හමුවෙමු ආදරනේ)