හදිසියේ වුණත් යොදාගත් ඒ මධු පාණ හෝරාව, හුස්ම හිර වී තිබූ තුසිතයට මඳ සැහැල්ලුවක් ගෙන දෙන්නට හේතු විය. තාත්තාත් පුතාලා දෙන්නාත් ඔවුන් ගේ මිතුරාත් එක්ව බීර වීදුරවක් බීවා කියා එහි කිසිදු අශෝභනයක් වූයේ නැත. අස්විද කීවා සේ ම ඔවුන් වැඩිපුර දොඩමළු වී සිටිනු දැකිය හැකි විය. ටික කාලයක් හදවත් වල ගල් ගැසී තිබූ පිරිමි සිතිවිලි නිදහසේ කලඑළි බැස්සේ ය. ඔවුන් ට කතා කරන්නට බොහෝ මාතෘකා තිබිණ. ඒවා ගැන නො කඩවා කතා කරන්නට තරම් කරුණු කාරණා ද වූයේ ය.
වජිරා විටෙක මිදුලට කරපොවා පේන නො පෙනෙන සිනහවකින් ගෙට එන හැටි යසස්වි තුළ තරමක විමතියක් ඇති නොකළා නොවේ. බොහෝ ස්ත්‍රීන්, විශේෂයෙන් ම විවාහක ස්ත්‍රීන් මධු සාද වලට විරුද්ධ බව ඇය දනී. පවුල් උපදේශනයට යොමු වන කාන්තාවන් අතරේ, පුරුෂයන්ගේ ඇල්කොහොල් ඇබ්බැහිය නිසා විඳවන අය බොහෝ ය.
‘ආන්ටි අකමැති නැද්ද අංකල් ඩ්‍රිංක්ස් ගන්න එකට…’
වජිරා ගේ ඉසිහින් සිනහව පුළුල් වූයේ ය.
‘අනේ ඉතිං මහ බීමක් බොනව නෙවෙයිනෙ. ඔය හදිස්සියෙ… චුට්ටක් විනෝදෙට වගේ ගත්තයි කියල එයාටවත් මටවත් වෙන කාටවත් ඒකෙන් හිරිහැරයක් නෑ කියල මං දන්නවනෙ. පුතාල වුණත් බේබද්දො වගේ බොනව නෙවෙයිනෙ… හදිස්සියෙ මේ වගේ…එයාලට කියලත් හිත් නිදහස් කරගන්න පොඩි වෙලාවක් ඕන ඇතිනෙ…’
‘ආන්ටි වගේ හිතන අයනං අඩුයි’
‘ගෑනුයි පිරිමියි කියන්නෙ දෙගොල්ලෙක්නෙ පුතේ. සමහර වෙලාවල් තියනව… අපිට අපේ ගෑනු යාළුවො එක්ක එකතු වෙලා කතා බහ කරල විනෝද වෙන්න ඕන කියල හිතෙන. පිරිමින්ටත් එහෙමම තමයි. කසාද බැඳපු ජෝඩුවකට හස්බන්ට වයිෆුයි වයිෆ්ට හස්බනුයි හිටියම ඇති කියල එකක් නෑ. යාළු මිත්‍ර සම්බන්දකං වුණත් ජීවිතේට ඕනෙ. අපිව සැහැල්ලු කරන්නෙ ඒ වගේ රංචු ගැහිල්ලක් තමයි. අනික යසස්වි දුව… පිරිමි කතාකරන්න වැඩිපුර ආස මාතෘකා තියනව. ඔය පොලිටික්ස්…ස්පෝට්ස්… වෙහිකල්ස් වගේ දේවල්. ගෑනු අපි ඒවට ආස නැති වුණාට ගෑනු කතා කියල දේවල් තියනවනෙ. අපි ඒවට ආසනෙ. ඉතිං අපේ ඒ ඒ රුචි අරුචිකම් දැනගෙන පවුල් ජීවිතයක් ගතකරන එකේ තමයි සාර්ථකත්වය තියෙන්නෙ. සමහර ගෑනු ළමයි බැන්දට පස්සෙ මනුස්සයට යාළුවොත් එක්ක ටිකක් විනෝද වෙන්න දෙන්නෑ. ට්‍රිප් එකක් යන්න දෙන්නෑ. ඩ්‍රිංක් එකක් ගන්න දෙන්නෑ. එතකොට ඒගොල්ලොන්ට ඒක ප්‍රෙශර් එකක්. ඊට පස්සෙ නිදහස හොයන්න ගිහිං තමයි පිරිමි නරක් වෙන්නෙ. බේබද්දො වගේ බොන්න ගන්නෙ’
චේතිය ද අවිවාහක සමයෙහි තුසිතය තුසිත දෙව්ලොවක් වාගේ තියෙන්නට ඇතැයි යසස්වී ට සිතිණ. මිනිසුන් මානසික ව නිදහස් වූ කල ඔවුන් සුජීවත් වන පරිසරය නිදහස් කලාපයක් බවට පත් වේ. ඒ කලාපය තුළ වැරදි කරන්නට හේතු ඇති නොවේ. මිනිස් හැඟුම් වලට ද බුද්ධියට ද සාධාරණ ඉඩක් සැලසේ.
‘ආන්ටි හිතන විදිහට මං හරි කැමතියි. ආන්ටි හිතන්නෙ හරිම අප්ඩේටඩ් තරුණ හිතකින්’
‘අපි කවුරුත් තරුණ කාලයක් ගෙවපු මිනිස්සුනෙ දුව. ශරීරය වයසට ගියත් හිත වයසට නොයා තියාගන්න අපි දැනගන්න ඕනෙ. හැබැයි හුඟක් ගෑනු ළමයි කසාද බැඳපු ගමන් හිතෙන් මහ අම්මණ්ඩිල වෙනව’
ඒ ඉවසිලිවන්ත ස්ත්‍රීත්වයට යසස්වි වහවැටුණා සේ ය. වැඩියෙන් ම ආදරය කරන කෙනෙකු හෝ කිහිප දෙනෙකු වෙනුවෙන් එක් වේලක් කුසගින්න ඉවසාගැනීම වූ කලී සාපරාධයක් නොවේ. ආදරයේ මහා පොදු සාධකය ඉවසීමෙන් ද විශ්වාසයෙන් ද නිර්මිත වන බැවිනි.
තරුණයන් සිව් දෙනා ගෙතුළට පැමිණියේ බීර වල සුවඳ පමණක් ඉතිරි වන තුරු වල් පල් දෙඩීමෙන් පසුව යි. නිලූකා චේතිය ට බත් බෙදුවේ හෝ නැත. ‘එයාට ඉතිං අම්මගෙ කෑම වලට වැඩිය රසක් නෑනෙ’ ඇය හැමදාමත් නිදහසට කියන කාරණය එයයි. වජිරා ට සිය පුතුන් දෙදෙනා ලොකු වැඩි නැත. නමුත් චේතිය ගේ පවුලට වෙනම වැඩෙන්නට ඉඩ දෙන්නට ඇය නිතර ම උත්සුක වූවා ය. අම්මා නිසා ඒ පවුල තුළ ප්‍රශ්න ඇති නොවන සේ අතේ දුරින් ඉන්නට වගබලා ගත්තා ය. තවමත් ඇගේ සැමියා ද අවිවාහක පුතු ද ඇය සමගින් වන නිසා වජිරා ට චේතිය ගේ පවුලට අත පොවා ලබන්නට යමක් කොහොමත් නොවිණි. ‘අපේ චේතිය ඉතිං අම්මගෙ තේ එකටනෙ කැමති… එයාට අම්මගෙ හොද්ද වගේ රහ නෑනෙ අපි උයන ඒව’ යයි කියමින්,පහසුව හා වාසිය තකා සැමියා වෙනුවෙන් යුතුකම් ඉටු කිරීම මගහැරියේ නිලූකා යි.
කෑම මේසය සැරසූයේ යසස්වි ය. ඇය බත් දීසියේ කොනක තක්කාලි ගෙඩියකින් රෝස මලක් තනා, ලූනූ මල් හා කරපිංචා ඉති වලින් එය වඩාත් හැඩ කළා ය. පපඩම් සමග වියළි මිරිස් කැබලි ටිකක් බැද කටට රසය වැඩි කළා ය.
කෑම මේසයෙහි ඔවුන් සය දෙනා වෙනුවෙන් ම අසුන් පැනවිණි.
‘ආන්ටිල ඇයි බඩගින්නෙ බලං හිටියෙ… කන්න තිබුණනෙ’
රයන් මේසයට වාඩි වූයේ එසේ කියාගෙන ය. අස්විදගේ මුවත් එසේ කියන්නට නළියමින් තිබිණ. නමුත් ඔහු ගේ හිතේ ඒ බලාසිටීම ගැන කැමැත්තක් ද නොවූවා නොවේ. අම්මා කෙසේ වතුදු යසස්වි ඔවුන් වෙනුවෙන් කුසගිනි ඉහිළීම ඔහු ගේ හිතට බරට දැනිණි.
‘දෙහි ගාන්න ඕන්නැද්ද ඕගොල්ලොන්ගෙ ඔළු වල…’
යසස්වි බත් බෙදාගත්තේ ඒ සරදමෙනි.
‘ආ… ඔයා හිතන්නෙ බියර් එකක් බිව්වහම අපිට වෙරි කියලද…නංගි දන්නෑ අපි ගැන…’
රයන් විහිළුවට විහිළුවක් ම කළේ ය.
‘පිරිමි ඩ්‍රිංක් එකක් අරං චුට්ටක් ලේට් වෙලා කන්න එනකොට ගෑනු දෙහි ගානව නෙවෙයි නංගි… දෙහි කපනව. අම්මෝහ්… මතක් කරනකොටත් බයයි’
යසස්වී හිචිස් ගා සිනහවෙන යුරු අස්විද ඇස් කොනෙන් බලා සිටියේ ය.
‘ඒක නෙවේ ආන්ටි… ඕගොල්ලො මේ පොඩි ලේලිව ගේන්න තියන වෙලාවෙ… දුවෙක් ගෙනත් නේ…’
රයන් ගේ කතාව මේ වටමේසය මැද අස්විද ගේ හිතට තිගැස්මක් සේ ම රසයක් ද නො ගෙනාවා නොවේ. කෙසේ ප්‍රතිචාර දැක්විය යුතු ද කියා යසස්වි ට වැටහුණේත් නැත. ඇය බත් පිඬ මුවෙහි තිබියදී ම වජිරා වෙතට අවිනිශ්චිත බැල්මක් යොමු කළා ය. වජිරා ගේ මුව මඬලෙහි සිනහවක් පිපිණි.
‘ඔයා කියන්නකො ඉතිං යාළුවට… දැංවත් ගෑනු ළමයෙක්ව තෝරගන්න කියල’
‘ආන්ටි බයවෙන්නෙපා. ඒක ඉක්මනට වෙයි’
අස්විද රයන් ගේ කකුලට පයින් පහරක් ගැසුවේ ය.
‘මූ මේ කියන්නෙපා කියල මට ගහනව ආන්ටි’
‘කියන්නැතුව ඉන්නෙ මොකෝ පොඩි ළමයෙක්යැ දැන්… එයා කැමති කෙනෙක්ට අපි අකමැති වෙන්නෑ පුතා. අපිටත් ඕනෙ මේව ඉක්මනට ඉවර කරල නිදහස් වෙන්න’
‘ඒකනෙ… ඒ මිනිස්සුන්ට නිදහසේ දඹදිව ගිහිං එන්නවත් ඕක කියල ඉවරයක් කරපංකො අසා’
‘අනේ මේ හිර කරගන්නැතුව කාපං. බොරු අම්මෙ මූගෙ’
අස්විද වඩාත් කලබල වූයේ යසස්වි ඔහු ගැන වැරදියට සිතනු ඇත කියා ය. ඇය නිසංසලේ දෑස් පහළට හරවාගෙන කෑම කමින් සිටියා ය.
‘බොරුද කියල බලන්නකො ආන්ටි ළඟදිම…’
‘උඹට වෙරිද…’
‘වෙරි නෙවේ. මං හොඳ සිහියෙන් කතාකරන්නෙ. හරි මං මේ වෙරිවෙලා දොඩෝනවද කියල ආන්ටිට දැනගන්න පුළුවන් වෙයි… ඔහොම ටික දවසක් බලං ඉන්නකො…’
පහුගිය දිනෙක තුසිතය අතැර ගිය සැහැල්ලුවක් හා සතුටක් යළි හදිසියේ එහි වැඩම කළා මෙනි. උස් පිරිමි සිනහවන් කෑම ශාලාවේ පිරී තුසිතය පුරා ඉහිර ගියේ ය. චේතිය පවා සතුටෙන් සිටියේ ය. නමුත් යසස්වි ඒ සිනහ කවටකම් වලට එක් වූයේ පරිස්සමෙනි. රයන් ඇය අපහසුවට පත් වෙන විහිළුවක් හෝ නො කරන්නට ද වගබලා ගත්තේ ය.
‘ඔය කාල ඉවරද…’
අස්විද බත් පතින් අඩක් අවසන් කොට කෑම ගැනීම නතර කර ඇති බව යසස්වී ට දැනිණි.
‘ඇති’
අස්විද වතුර උගුරක් බීවේ ය.
‘මේ බලන්න ආන්ටි. බත් එකෙන් බාගයයි කාල තියෙන්නෙ. ගොටුකොළ ටිකත් ඉතුරු කරල’
ඒ වූ කලී පෙර පාසල් දරුවෙකු වෙනුවෙන් අම්මා කෙනෙකු නැගූ චෝදනාවක් වාගේ එකකි.
‘බත් කන්නැත්තං කොළ ටිකයි බෝංචි ටිකයි හරි කන්න’
‘කෑව අප්ප’
‘ගොටුකොළ ටිකක් කෑවට වැඩි වෙන්නෑ. මේ ටික ඔක්කොම කන්න කියන්න ආන්ටි’
වජිරා ට යමක් කියන්නට ඉඩ තැබුණේ නැත. අස්විද ගොටුකොළ සම්බල අහුර ම අතැඟිලි වලින් ගෙන මුවෙහි ලාගත්තේ ය. රයන් නළල රැලි නැංවූයේ චේතිය දෙස බලමිනි. චේතිය සිය සිනහව සැඟවෙන සෙයින් මුහුණ බත් පත දෙසට හරවාගත්තේ ය.
රයන් නික්ම ගියාට පස්සේ අස්විද හෙමි හෙමිහිය මතු මහළට පිවිසියේ ය. විජිත හා වජිරා සුපුරුදු කෙටි සන්ධ්‍යා නින්දට එළඹ සිටියහ. යසස්වි සිටියේ සිය කාමරයෙහි යහනට වැටී ය. කුඩා ආලින්ද කොටසට, දොර විවර වූ ඒ කාමරය පෙනේ. එතැන පසු කොට අම්මලා ගේ කාමරය දෙසට යත්දී, යන්තම් එසවුණු කෙටි ගවුමෙන් නිරාවරණය වූ පාද ඇතිව යහනේ වැතිර සිටින යුවතිය ඔහු දුටුවේ ය. යසස්වි වහා ගවුම පහළට ඇද්දේත්, අස්විද ඇස් ඉස්සරහාට හරවා ගත්තේත් එකටමයි. වජිරා ගේ කාමරයට එබී ඔහු ආපසු හැරෙනා විට යසස්වි ආලින්දයෙහි වූවා ය.
‘අම්මල නිදි නේ…’
‘ටිකක් නින්ද යන්නැති’
‘මං නිකං ආවෙ. ඔයා නිදාගන්න’
‘නිදිමතක් නෑ’
මීට මඳ වෙලාවකට පෙර යහනට වැටුණේ තද නිදිමතක් දැනී බව ඇයට අමතක ව යමින් තිබිණ. නිවී සැනසිල්ලේ ඇයට සම්මුඛ ව යසස්වි දෙස බැලූ අස්විද ගේ දෑස් මත තරු කැල්මක් දිස්න දුනි. ඒ කාන්තිය ආලෝක වර්ෂ ගණනාවක මතකයක් හදවතෙහි අවදි කරන්නා සේ ඇයට දැනෙමින් තිබිණ. යන්තමින් හිස කේ අවුල් වූ, බීර සුවඳක ශේෂයක් දනවන, දිළිසෙන පිරිමි ඇස් දෙකක් පාමුල, හදවත ගැස්ම අඩු කරගන්නා හැටියක් ඈ දැන සිටියේ නැත.
‘මං අහන්නමයි හිටියෙ’
ගණදෙවි නුවණ පහළ නොවී නම්, ඒ දෑස් හිරු මඬල අභියස හිම පියල්ලක් සේ ඈ දිය වී යන්නට තිබිණ. අස්විද ගේ නළල යන්තම් රැලි නැගුණේ ය.
‘මට නඩුවක් දාන්නෝනෙ’
‘නඩුවක්…’
‘කෙනෙක් අකමැතිනං බලෙං බන්දන්න පුළුවන්ද… බෑ කියද්දිත් එහෙම බැඳගන්න පුළුවන්ද…’
ප්‍රශ්නය අරඹත්දී වූ දාංගලය තුනී වී, ඇගේ දෑස් කඳුළු මීදුම් පටලයකින් වැසී යමින් තිබිණ. අස්විද කුඩා කරගත් දෑසින් වඩාත් ඇය වෙතට ලං ව, ඒ දෙඇස් පොකුණු වල කිමිදීගත්තේ ය. ඔහු ම නො දන්නා හේතුවක් මත ඔහු ගේ හද ගැස්ම වඩාත් වේගවත් වී තිබිණ.