(අ) හිමි සිහින -196

මේ සියලු දේ එළියේ සිදුවෙමින් පවතින අතරතුර රෝහලේ සුධාරක ගේ තත්වය යහපත් වුණේ නැහැ.මේ වනවිට ඔහු බලන්නට කිසිවෙකුටත් අවසර නොදෙන ලෙස දිල්හානිත් පවුලේ අයත් බල කර සිටියා.ඒ නිසා සුධාරකගේම ආයතනයේ සේවය කළ අයෙකුට පවා ඔහු බලන්නට හැකියාවක් ලැබුණේ නැහැ.

සුධාරක නිරික්ෂණය කරමින් සිටි වෛද්‍යවරු මෙන්ම මා ඔහුට ප්‍රතිකාර කරන්නට කැමති කරවාගත් වෛද්‍යවරුන්ද සියලුදෙනා පැවසූවේ එකම කතාවක්.

“මේ තත්වයේ සිටින රෝගියෙකුගේ යථාතත්වයට පැමිණීම ගැන අපට කාලයක් කියන්නට බැහැ.සමහරවිට ඔහු සුවයට පත්වන්නට බොහෝ කාලයක් ගත වන්නට පුලුවන් ඒ කාලය ගැන අප කිසිවෙකුට කියන්නට බැහැ. නමුත් අපට ඔහුගේ මතකය අවදිකරවන්නට බොහෝ දේ කලහැකියි.මේ තත්වයේ සිටින රෝගියෙකු ඔහුගේ සමීපතමයන් ඔහු කැමති සංගීතය ඔහුගේ මතකය අවදිකරන දේවල් brain stimulate කලහැකි පුද්ගලයන් හා දේවල් සමග සිටින්නට සැලැස්වීමෙන් අපට ඔහුගේ මතකය යථා තත්වයට ගැනීම සඳහා උත්සාහයක් දරන්න පුලුවන්”

වෛද්‍ය මතය එය වුණත් සුධාරකගේ ඥාතීන් එසේ කරන්නට ඉඩ දුන්නේ නැහැ.ඔහු ඔහුගේ ආයතනික රෝහලේ සිටීම ඔවුන්ගේ ඒ කූඨ උපායන්ට අත්වැලක් වුනා.රජයේ රෝහලක ඔවුන් ට ලියුම් දිදී කෙරෙන කාර්යයන් වළකන්නට බැහැ.රෝගියෙකුට ප්‍රථිකාර අවශ්‍ය පරිදි කිරීමේ බලය රෝහලකට තිබෙනවා.අනුරාධපුරයේ සිටිද්දී ඔවුන් කළ බලපෑම් රෝහලේ කාර්ය මණ්ඩලය ගණන් ගත්තේ නැහැ.ඒ නිසාම වන්නට ඇති ඔවුන් සුධාරකව ආයතනික රෝහලට ම රැගෙන එන්නට සැලසුම් කරන්නට ඇත්තේ.

මේ කතාව කියවන ඔබ බොහෝ දෙනෙක් අම්මා වරු බව මා දන්නවා.මෙය ලියන මමත් අම්මා කෙනෙක්. ඒ නිසා අපි සියලුදෙනා දාරක ප්‍රේමය හොඳින් හඳුනනවා.මා මේ කතාවේ දකින පව්කාරම චරිතය සුධාරකගේ අම්මායි.දිල්හානි සුධාරකගෙන් පලිගන්නට එසේ කරනවා කියා හිතන්නට පුලුවන්. ඒත් සුධාරක ගේ අම්මා.?අම්මා කෙනෙකුට තම කුසින් වැදූ දරුවෙකුට මෙසේ කරන්න පුලුවන්ද? ඔබටත් මටත් එය අසීරු වුණාට මව් පදවියට නොගැළපෙන අම්මලා මේ ලෝකයේ ඉන්නවා.

සුධාරකගේ අම්මා ඇයගේ සැමියාට, දරුවන්ට ඔවුන් විවාහකරගත් අයට සහ ඇගේ මුණුබුරන්ට වත් සෙනෙහසක් ලැදියාවක් නොතිබූ ගැහැනියක්.සුධාරක සමග මහගෙදර සිටි කාලයේ ඇය රෑ ජාමයකදී මහා හයියෙන් බියවී කෑගසනවා.ඒ ඇයි දැයි ඇසූවිට ඈ මට පැවසූවේ තාත්තා සිහිනයෙන් පෙනී ඇගේ බෙල්ල මිරිකන බවක්.ඔවුන් ගේ පවුල් ජීවිතයේ තරම එයින් සිතාගන්නට මට හැකි වුණා.

රටක් ජාතියක් බේරාගන්නට ඉදිරියට ගිය විරුවෙකු තම පුතු වීම අම්මා කෙනෙකුට මොනතරම් ආඩම්බරයක් ද? තම මිය ගිය පුතුගේ නම සොය සොයා රණවිරු ස්මාරක සිය වෙව්ලන ඇඟිලි තුඩින් අතගා බලමින් කඳුලු වගුරන අම්මලා මම අනන්තවත් දැක තිබෙනවා.ඒත් රණවිරුවෙකු වූ තම පුතා මැරෙන්නට හැර සිතින් කූඨ සැලසුම් හදමින් සිටි මවක මා ඒ දැක්කාමයි.

ඔබට මා මේ කතාවේ මේ කාලය වනවිට පවසන්නේ අතිශයින් වැදගත් යැයි හිතෙන සිද්ධි සහ ඔබට යමක් සිතන්නට ඉඩ හසර ලබාදෙන සිද්ධි පමණයි.දවස ගාණේ මට මුහුණ දෙන්නට සිදුවූ කම්කටොලු ප්‍රශ්ණ හා මම පැය විසිහතරක් තුල කළ කී දෑ එකින් එක විස්තර කරන්නට අපට මේ කතාව තවත් වසර ගණනක් කියවන්නට සිදුවේවි.

මම සුධාරක වෙනුවෙන් දිනපතා පාන්දර 5 ට බුදුන්ට විශේෂ පහනක් දැල්වූවා. එක දිනක් මට නින්දගොස් එම වේලාව මග හැරී ගියනිසා මා එතැන් පටන් හැමදාම පාන්දර හතරට ඇහැරී ඒ වතාවත් කරන්නට සූදානම් වෙන්නට පටන්ගත්තා.ඇත්තටම මට මේගැන හිතන්නට හෝ කාලයක් තිබුනේ නැහැ. මගේ කුඩා දියණිය මගේ දෙමව්පියන් ලඟ සුවසේ සිටීම මට මහත් සහනයක් වුණා.ඇය හැමදාම දකින්නේ අම්මා අප්පච්චි බේරගන්න සටන්කරන හැටි.අම්මා අප්පච්චිටත් ඇයටත් පණ සේ ආදරේ බව ඇය දන්නවා.ඔවුන් දෙදෙනා මා බෙදාගෙන සිටි විදිහක් තිබුණා.

“අප්පච්චි ඉන්නෙ අම්මගෙ හාට් එකේ.මං ඉන්නෙ අම්මගේ බන්ඩියේ”

ඔහොම ඉන්න අතරතුර දිනක් සුධාරක ගේ බාලම සහෝදරිය මා අමතා පැවසූවේ අපුරු දෙයක්

“නංගී ඊයේ ගමේ ත්‍රීවීල් එකක් පදින මං දන්න මනුස්සයෙක් කතාකලා.එයා කිව්වා අපේ අම්මා එයා එක්ක ඒ පැත්තේ පන්සලකට ගියාලු.මමත් දන්නවා එතන හාමුදුරුවෝ හරිම සැරයි.එයා ගුරුකම් අතේ වැඩ වලට ප්‍රසිද්ධයි”

“ඒ ගෑණි මටයි සුධාරකටයි වස්කවි කියෙව්වා නං තව මොන කතාද අක්කා. දිල්හානිටත් වස්කවි කියෙව්වා. මටත් කියනවා.සුධාරක සනීප කරගන්න ඒ මනුස්සයට කිසි කැක්කුමක් නැහැ.සමහරවිට ආයේ වස්කවි කියවන්න යන්න ඇති”

“අනේ මන් දන්නෙ නැහැ.ඒත් හරි වැඩේ නේ වෙලා තියෙන්නෙ.ඒ පන්සල් තියෙන්නේ තරමක කන්දක් මුදුනේ.ත්‍රීවීල් එකෙන් අම්මා බැහැලා ගියාට පස්සේ ඒක පල්ලෙහාට ආවලු ටිකකින් අම්මා පන්සලෙන් එලියට ආවලු.පල්ලෙහාට යනකන්ම ඒ හාමුදුරුවෝ අම්මට තිත්ත කුණුහරුපෙන් බැන බැන එලෙව්වලු. ත්‍රීවීල් එකේ එක්කෙනා කිව්වා ටිකක් හොයලබලන්න කියලා”

“අනේ මට ඕවාට වෙලාවක් නැහැ අක්කා ඊට වඩා වැදගත් වැඩ මට තියෙනවා.මං මේ දැනුත් අදාල තැනකට ලියුමක් ලියනගමන් ඉන්නේ”

“නෑ නංගී කෝකටත් හොයලා බලන එක හොදයි.අයියට ගොඩ එන්න බැරිවෙන්න මොනවහරි කරනවද දන්නෙ නෑ”

එවිට නම් මගේ සිත චංචල වුණා.ඇත්තටම දිල්හානි සහ මේ පරපුරම කොඩිවින අනවින හදි හූනියම් ඉනා බේත් පසුපසම ගිය මිත්‍යාදෘෂ්ඨියෙන් අන්ධව සිටි අය නිසා මම ඒ සම්බන්ධයෙන් නැවත වතාවක් සිතන්නට සිතුවා.මම ඒ ස්වාමීන් වහන්සේ හමුවිය යුතු බවට අක්කාට යෝජනා කළා.

“අපෝ නංගී ඒ හාමුදුරුවෝ කෙනෙක් වුණාට හැමෝටම කතාකරන්නේ කුණුහරුපෙන්. හැමෝටම බනිනවා.මට නම් එන්න බෑ.”

අක්කා මාව ප්‍රතික්ෂේප කළා.

“බනින්නේ මිනිස්සුන්ගේ හැටියට නේ.මම උන්නාන්සේ හම්බවෙන්න .ඔයාට එන්න බැරිනම් මට තැන පෙන්නන්න ඒ ඇති”

මම ඊට පසුවදාම සුධාරකගේ නැගණිය සමග ඒ පන්සලට ගියා.

සාමණේර හිමි නමක් ඉදිරියට ආ හෙයින් උන්වහන්සේට නමස්කාර කළ මා”ලොකු හාමුදුරුවෝ වැඩ ඉන්නවාද” යි ඇසුවා.

“ඉන්නවා” යි කියු උන්වහස්සේ ආවාස ගෙය දෙසට වැඩියා.ඊටත් විනාඩි ගණනකට පසු උසමහත දේහධාරී භික්ෂූන් වහන්සේ නමක් කලබලයෙන් මෙන් අප දෙසට ආවා.භික්ෂුවකට හිමි ශාන්ත පෙනුමක් වෙනුවට ඒ මුහුණේ තිබුනේ කෝපය මුසු රෞද්‍ර බවක්.

“කවුද ඔහෙලා? මොකද අද ආවේ.දන්නැද්ද අද මං වැඩකරන දවසක් නෙවේ කියලා”උස් හඬින් සැර දමා උන්වහන්සේ අසන්නටත් කලින් අනුරාධා ඉස්සරහට දමා සුධාරකගේ නංගී ඇයට මුවා වුණා.

ඉතින් අනුරාධාට උන්වහන්සේ බැන එලවාගත්තා ද?ඒ ගැන අපි හෙට කතාකරමු

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles