ආදර සැලසුම් – 31

0
1603

කාලය ඉකුත් වූයේය. ෂෙහාරා සහ ආදිත්‍ය එකම වහලක් යට ආගන්තුකයන් සේ ජීවත් වූ අතර ෂෙහාරා යහපත් බිරිඳක වන්නට උත්සාහ දරමින් පසු වූවාය.එහෙත් ඒ කිසිවකට ඇය කළ වංචාව ආදිත්‍ය ගේ හිතෙන් මකා දැමීමට හැකි වූයේ නැත. ආදිත්‍ය කිසිසේත්ම ඔහුගේ තීරණය වෙනස් නොකළ අතර දික්කසාදයේ පළමු නඩු වාරය සඳහා ඒ වන විටත් ෂෙහාරාට කැඳවීම් ලැබී තිබුණි. ඒ අතරතුර පවා ආදිත්‍ය ගේ සිත වෙනස් කරවා ගැනීම සඳහා ෂෙහාරා නිශ්ඵල උත්සාහයක යෙදෙමින් උන්නාය.

මෞර්යා සාමාන්‍ය පරිදි දිනපතා රැකියාවට පැමිණි අතර ඇය පලවන වැටුපෙන් කාර්යාල සගයන් හට කුඩා සංග්‍රහයක්ද ලබා දුන්නාය. ආදිත්‍ය මෙන්ම අභිමන්ද ඒ සංග්‍රහය සඳහා සහභාගි වූ අතර මෞර්යා සහ ආදිත්‍යය අතර වූ දැන හැඳුනුම්කම කාර්යාලයේ අන් අයට නොහැගෙන සේ ක්‍රියා කරන්නට සෑම මොහොතකදීම මෞර්යා මෙන්ම ආදිත්‍යද වග බලා ගත්හ. 

ආදිත්‍ය සහ මෞර්යා ඉද හිටක හෝ චේතනාන්විතව මුණ ගැසුනේ ඇවිදින මං තීරුව අසලදීය. ඕනෑම හැඟීමක් මෞර්යා සමග බෙදා ගන්නට ආදිත්‍ය දෙවරක් නොසිතූ නමුත් පමණට වඩා ඇය හා ලෙන්ගතුකමක් පවත්වා නොගැනීමට ආදිත්‍ය සිතා මතාම  ප්‍රවේසම් වූයේ තමා තවමත් විවාහකයෙකු යන හැඟීම මතය.

අභිමන් සෑම මොහොතකදීම මෞර්යා කෙරෙහි උනන්දුවෙන් පසු වූ අතර තමා තුල මෞර්යා පිළිබඳව විශේෂ වූ හැඟීමක් දළුලා වැඩෙන බව ආදිත්‍ය හට කීමට කල් බලමින් උන්නේය. එයට අවස්ථාවක් සලසා ගැනීම උදෙසා අභිමන් කාර්යාලගේ සියලු දෙනා සමඟම විනෝද චාරිකාවක් සැලසුම් කළේය. එයට කාර්යාලයේ සියලුම සේවකයන් එකඟත්වය පළ කළ අතර සියලු දෙනාම එම ගමන පිළිබඳව උන්නේ නොඉවසිල්ලෙනි.

” ඔයා එක දවසක් වත් ගෙදරින් පිට ඉඳලා නැහැනේ මෞර්යා. ඒ නිසා ගෙදරට වෙලා ඉන්න ” 

නුවරඑළියේ දින දෙකක චාරිකාව සඳහා නිල්මිණි එක හෙලාම විරුද්ධත්වය පළ කළ අතර චන්දික දැරුවේ එයට හාත්පසින්ම වෙනස් අදහසකි.

” හැම දේකටම පළවෙනි වතාවක් තියෙනවනේ නිල්මිණි.අනිත් එක මෞර්යා දැන් පොඩි ළමයෙක් නෙමෙයි.පරිස්සම් වෙන්න ඕන විදිහ එයා හොඳටම දන්නවා. අනිත් එක අවුරුදු විසිපහක ළමයෙක් ගේ අස්සෙ දාගෙන නෙමෙයි හදන්න ඕනේ.එයාට මේ ලෝකේ දකින්න ඉඩ දෙන්න ඕනේ. ඒකෙන් තමයි එයා ඉගෙන ගන්නේ මේ ලෝකේ ඇත්තටම මොන වගේද කියල ” 

චන්දික කීවේ රාත්‍රී ආහාරය ගන්නා අතරේය. විනෝද චාරිකාව සඳහා මෞර්යා හට අවසර ලැබුණේ ඒ අනුවය. මෞර්යා උන්නේ ඒ පිළිබඳව බොහෝ සතුටෙනි. පසුදින කාර්යාලයට ගිය මෞර්යා තමා විනෝද චාරිකාවට සහභාගී වන බව නෙහාරාට දැනුම් දුන්නාය. මෞර්යා විනෝද චාරිකාවට සහභාගී වන බව අභිමන් දැන ගත්තේ ඉන් පසුව වූ අතර එයින් ඔහු බොහෝ සතුටට පත් වූයේය.

කාර්යාලයේ සියලු දෙනාම චාරිකාව සඳහා සහභාගී වීමට නොඉවසිල්ලෙන් පසු වූහ. ආදිත්‍ය සහ අභිමන් එක්ව ඒ සඳහා සියල්ල සැලසුම් කරමින් සිටි අතර සෙනසුරාදා දින කොළඹින් පිටත්වී නුවරඑළියේ එක රැයක් ගත කර ඉරිදා දින රාත්‍රියේ දී නැවත කොළඹට පැමිණීමට සැලසුම් කෙරුනේ සඳුදා දිනයේ දී පෝය නිවාඩුවක් යෙදුණු බැවිනි. සඳුදා දිනයේ විවේක ගෙන අඟහරුවාදා දින රැකියාවට පැමිණීමට හැකි නිසා සියලුම සේවක සේවිකාවන් චාරිකාවට එක් වීමට කැමැත්ත පළ කර සිටියහ. 

සියලුම වියදම් ආයතනය මගින් දරන්නට කටයුතු සූදානම් කෙරුණු අතර අශිකා ද ඒ සඳහා සහභාගී වීමට  සූදානම් වන බව අභිමන් සහ ආදිත්‍ය විසින් සේවක සේවිකාවන්ට දැනුම් දුන්නේ චාරිකාවට පෙර දිනයේය. ඒ පුවතින් සියලු දෙනාම සතුටට පත් වූයේ අශිකා යනු ඉතාම කරුණාවන්ත කාන්තාවක් වූ නිසාත් , ඇය කාර්යාලයට පැමිණෙන්නේ අලුත් අවුරුදු දිනයට පමණක් වූ නිසාත්ය. 

සතියක් ගෙවී ගොස් අවසානයේදී සෙනසුරාදා අලුයම එළඹියේය. අළුයම හතරයි තිහ වන විට සියලු දෙනාටම කාර්යාල පරිශ්‍රයට පැමිණීමට නෙහාරා විසින් දැනුම් දී තිබුණේ අළුයම පහ වන විට බස් රථය කාර්යාලයෙන් පිටත් වීමට සැලසුම් කර තිබුණු නිසාය. අලුයම තුනට අවදි වූ මෞර්යා ස්නානය කර සූදානම් වූවාය. තද නිල් පැහැ ඩෙනිම් කලිසමට කළු පැහැ සැහැල්ලු ටී ෂර්ට් එකක් හැඳ ගත් මෞර්යා සුදු පැහැ සපත්තු යුවළක් පැළඳ ගත්තාය. හිස කෙස් මුදා හැර සුදු පැහැ කැප් තොප්පියක් දමා ගෙන මෞර්යා ලා පැහැ ගත් ලිප්ස්ටික් ස්වල්පයක්ද ආලේප කර ගෙන නැවත වරක් කන්නාඩිය ඉදිරිපිට කැරකී හැඩ බැලුවාය.

පෙරදින රාත්‍රියේ සූදානම් කරගත් ගමන් මල්ලද ගෙන මෞර්යා තරප්පු පේළිය බැස්සේ ඒ වන විටත් චන්දික සූදානම් වී බලා හුන් නිසාය. නිල්මිණි සකස් කර දුන් කෝපි කෝප්පය පානය කිරීමෙන් අනතුරුව මෞර්යා නිල්මිණීට වැන්දාය.

” පරිස්සමෙන් ගිහින් එන්න මෞර්යා. තාත්තා කියපු නිසා යවනවා මිසක් ඔයාව මෙහෙම යවන්න මගේ කිසි කැමැත්තක් නැහැ ” 

” අයියෝ බයවෙන්න එපා අම්මා. මං වගේ ගෑණු ළමයි කීප දෙනෙක්ම තව යනවා ” 

නිල්මිනීව වැළඳගෙන ඇයව සැනසූ මෞර්යා චන්දික ගේ වාහනයට නැඟුණේ ඇයව කාර්යාලය වෙත ඇරලවීම සඳහා චන්දික පැමිණෙන බව පෙර සිටම තීරණය කර තිබුණු නිසාය. 

අලුයම හතරයි පහළොව වන විට මෞර්යා චන්දික සමඟින් කාර්යාල පරිශ්‍රයට පැමිණියාය. ඒ වන විටත් කාර්යාල සගයන් බොහෝ දෙනෙකු පැමිණ තිබුණු අතර චාරිකාව සඳහා වෙන් කෙරුණු බස් රථයද කාර්යාල පරිශ්‍රය අසල නවත්වා තිබුණි. 

” මගේ දුව එහෙනම් පරිස්සමෙන් ගිහිල්ලා එන්න. පුළුවන් වෙලාවට කෝල් කරන්න හරිද ? දන්නවනේ අම්මා කලබල වෙනවා කියලා “

මෞර්යා චන්දිකට වැඳ ඔහුව වැළඳ ගත්තාය. ජීවිතයේ ප්‍රථම වතාවට නිවසින් පිට රාත්‍රියක් ගත කරන්නට යාම පිළිබඳව මෞර්යා තුළ යම් චකිතයක් වුවත් ඇය ඒ පිළිබඳව වැඩිදුර සිතන්නට ගියේ නැත. මෞර්යා කාර්යාල සගයන් සමග එකතු වූ පසුව චන්දික නැවත නිවසට යාමට වාහනයට නැගුණු අතර අභිමන් , ආදිත්‍ය සහ අශිකා සමග පැමිණියේද ඒ මොහොතේමය.

සියලු දෙනාම අශිකාව ඉතා උණුසුම් ආකාරයට පිළිගත් අතර ඉන් පසුව සියලු දෙනාම ගමන පිටත් වීම සඳහා ගමන් මලු ඇතුළු අනෙකුත් සියලුම බඩු බාහිරාදිය ද බස් රථයට පැටවීම සඳහා යුහුසුළු වූහ. 

අහම්බයකින්වත් වසර තිස් ගණනාවක් පුරාවට තම දෑස් ඉදිරියට නොපැමිණි රුවක් තමන්ට මදක් නුදුරින් සිටින ආකාරය චන්දික වාහනය තුළට වී බලා උන්නේ ගැහෙන හදවතිනි. හෙමින් සීරුවේ වාහනයේ දොර හැර ඉන් බැස ගත්  චන්දික එම රුව වඩාත් පැහැදිලිව දැක ගන්නට සිතා පියවර කිහිපයක් ඉදිරියට පැමිණියේය. 

කුඩා ළදරියක සේ තමා ඇසුරේ ආදරය විඳි ඇය බොහෝ පරිණතව ඉන්නේය. එහෙත් ඇගේ වත තවමත් පෙර සේම බැබලෙන්නේය. විශාල පිරිසක් ඉදිරියේ වුවද ඇය සඳක් සේ එළියව හිඳින්නේය. ලා කහ පාට සැහැල්ලු කලිසමකට නිල් පැහැ සැහැල්ලු බ්ලවුසයක් හැඳ සිටි අශිකා තවමත් තරුණ යැයි චන්දිකට සිතුනේ ඒ නිසාය.

නිවසට යාමට පිටත් වූ තම පියා තවමත් වාහනය අසලට වී පිරිස දෙස බලා සිටින ආකාරය දුටු මෞර්යාට තම පියා පිළිබඳව දැනුනේ දුකකි. චාරිකාව යාමට අවසර ලබා දුන්නද ඔහු තමාව දමා යන්නට බැරි කමකින් සිටිනවා විය හැකි යැයි සිතා සියල්ලෝම බස් රථයට නගින අතරවාරයේදී මෞර්යා චන්දික අසලට දිව ආවාය.

” ඔයා තාම මෙතන ඇයි තාත්තා ? ” 

මෞර්යා තමා අසලට දිව එන බව දුටුවද චන්දික උන්නේ අශිකා වෙත දෑස් අලවා ගෙනය. තම පියා බලා ඉන්නේ තමා දෙස නොව වෙනත් අයෙක් දෙස බව දුටු මෞර්යා ද නැවත පිරිස දෙස හැරී බැලුවාය.

” තාත්තා “

චන්දික ගේ දැහැන බිඳුනේ එවිටය. තම එකම දියණිය තමා දෙස කුතුහලයෙන් බලා සිටින බව චන්දික දුටුවේය.

” අර ලේඩි කවුද ? ” 

චන්දිකට සැබවින්ම දැන ගැනීමට වුවමනා වූයේ මෞර්යා සේවය කරන ආයතනයේම අශිකාද සේවය කරනවාද යන්න දැන ගැනීමටය.

” කවුද ? “

මෞර්යා පිරිස දෙස නැවත හැරී බලමින් ඇසුවාය. ඒ වනවිට බොහෝ දෙනෙක් බසයට නැග සිටි අතර ඉතිරිව සිටියේ තවත් කිහිප දෙනෙකු පමණි.

” අර ඩාක් බ්ලූ බ්ලව්ස් එකක් ඇඳලා ඉන්නේ ? ” 

” ආ.. ඒ මගේ බොස්ලා දෙන්නගේ අම්මා ” 

චන්දික පුදුමයෙන් මෞර්යා දෙස බැලුවේය. එසේ නම් තම දියණිය සේවය කරන්නේ අශිකා ගේ පුත්‍රයන්ගේ ආයතනයේය. මෞර්යා ඔවුන් දෙදෙනා පිළිබඳව බොහෝ විස්තර පවසා ඇති අතර ඔවුන් ඉතා ගුණ යහපත් සහ කරුණාවන්ත ප්‍රධානීන් බව මෞර්යා බොහෝ වතාවක් පවසා ඇත.

” තාත්තා එයාව දන්නවද ? “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here