ඔබෙ ආදරෙන් මා දැවේ – 11

0
774

මලිත් තමන්ගේ ප්‍රේක්ශකයන් සමග කොච්චර හොඳින් කතා බහ කර උන්නද මලිත්ට ධර්මවර්ධන පවුල සමග තිබුනේ දුරස්ථ සබඳතාවයක් බව නොකියා බැරිය. තමන්ගේ බිරිඳගේ පවුලේ අය වුවද මලිත් ධර්මවර්ධන පවුලේ සියලුම දෙනාව ඇසුරු කරේ එක්තරේ විදියක දුරකින් හිඳය. ඒ නිසාම නොසිතූ මොහොතක ආ අනිල් ධර්මවර්ධනගේ දුරකතන ඇමතුම මලිත් භාරගත්තේ “තවත් බාල්දියක්” විදියටය.

“ඔව් අංකල් කියන්න” කියා කියන ගමන් මලිත් අනිත් පැත්ත හැරී ඇඳ මත නිරුවතින් වැතිරී උන් මේධාංගනී දෙසට හැරී දෙනෙත් වලින් “මල වදයක්” කියා කියන්නට යෙදුණේය. මේධාංගනී උන්නේ ඒ සියල්ල දෙස බලාගෙන කට කොණකින් සිනාසෙමින් ය.

“පුතා මොකක් හරි වැඩකද ඉන්නේ?” කියා අනිල් ධර්මවර්ධන අහද්දී මලිත් හිස කසන අතරම එයට උත්තර දෙන්න කටයුතු කරේය.

“මම මේ පොඩි රෙකෝඩින් එකකට එළියට ඇවිල්ලා ඉන්නෙ අංකල්” කියා මලිත් කියද්දී මේධාංගනී කරේ එයට නිහඬව සිනා සෙන එකය. 

“පුතාට කරදර නම් මං ඕන නම් පස්සෙ වෙලාවක කතාකරන්නම්” කියා අනිල් ධර්මවර්ධන කියද්දී කියන දෙයක් දැන්ම කතා කර අවසන් කරන එක හොඳ බව මලිත් හිතුවේ ආයෙ වෙන දවසක කතා කරත් කතා කරන්නේ එකම දේ බව දන්න හන්දාය.

“නෑ අංකල් කියන්න, අවුලක් නෑ කතාකරන්න පුලුවන්” කියා මලිත් අවසරය දෙද්දී මේධාංගනී ඇඳෙන් නැගිට බාත්රූම් එක දිහාවට ඇවිද ගියේ මේ කතාව ඉතින් තව බොහෝ වෙලාවක් යනතුරු නවතින එකක් නැතැයි හිතමිනි. තමන්ට පිටුපා යන මේධාංගනී ගේ වියපත් වුණත් සුන්දර සිරුරේ නිරුවත් හැඩ තල දෙස බලාගෙනය.

“මං කතාකරේ මොකටද කියලා ඉතින් පුතාට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. දරුවන්ගෙ ප්‍රශ්න වලට විශේෂයෙන්ම දරුවො කසාද බන්දලා දුන්නයින් පස්සෙ දෙමව්පියො මැදිහත් වෙන එක වරදක් බව මම නොදන්නවා නෙවෙයි. ඒ උනාට පුතේ දරුවො දෙන්නා එක්කහු වෙලා මේ ප්‍රශ්නෙ විසඳගන්නෙ නැති බව පේන හන්දම තමයි මං ඇත්තටම මැදිහත් වෙලා කතා කරන්න හිතුවෙ” කියා අනිල් ධර්මවර්ධන කියද්දී මලිත් උන්නේ මේ ඇමතුම නතරකරගන්න විදියක් ගැන හිතාගන්න බැරුවය.

“මං හිතන්නෙ නෑ අංකල් ඕක අපි කතා කරලා තේරුමක් තියේවි කියලා” මලිත් කියද්දී අනිල් උන්නේ ඇත්තටම කියන්න ඕන දේ කුමක්ද කියා හිතාගන්න නොහැකිවය.

“ඇයි මලිත් එහෙම දෙයක් කිව්වෙ?”

“ජාන්වි මාව කසාද බඳිද්දිත් මං එයාට පැහැදිලිවම කිව්වා අංකල් මම මාර නිදහස්, අලුත් විදියට හිතන මනුස්සයෙක් කියලා. ඒක දැනගෙනම තමා එයා මාව කසාද බැන්දෙ. අංකල් සමහරවිට දන්නවත් ඇතිනෙ මම ඇත්තටම මැරි කරන්න කැමති උනෙත් නෑ. මොකෝ මගේ ලයිෆ් ස්ටයිල් එක කීයටවත් ලේසියෙන් දිරවගන්න බෑ කියල මම දැනගෙන උන්න හන්දා.

එහෙම දැනගෙනම තමයි අංකල් ජාන්වි මාව මැරි කරේ දැන් එයා ඔය මොන බයිලෙ ගැහුවත්” කියා මලිත් කියද්දී තමන්ගේ දරුවා කඳුලු බොමින් ඉන්න බව දන්න ධර්මවර්ධන මහත්තයට පොඩ්ඩක් විතර තරහ ගිය බවත් ඇත්තය.

“මොන බයිලෙ ගැහුවත් මලිත්, බඳින්න කලින් මොනවා කිව්වත් දැන් ඔය දෙන්නා කසාද බැඳලා ඉවරනෙ. එහෙම එකේ දැන් කරන්න ඕන බඳින්න කලින් කිව්ව කරපුව ගැන හිතන එක නෙවෙයි දැන් මේ වෙලා තියෙන ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න එකනෙ” 

“ඔය ප්‍රශ්නෙට ඉතින් තියෙන්නෙ උත්තර දෙකයිනෙ අංකල්. එක්කො ජාන්වි මං කවුද, මගේ හැටි මොකද්ද කියලා තේරුම් ගන්න ඕන. එහෙම නැත්තම් ඉතින්…” කියා මලිත් කතාව මගින් නතර කරද්දි ඒ වනාහී කුමනාකාරයේ කතාවක්ද කියා තේරුම්ගන්න බැරිකමක් ධර්මවර්ධනට තිබුනේ නැත. තමන්ගේ ඇස් දෙක වැනි දියණියන් දෙදෙනාගෙන් එක් අයකු දික්කසාද කර ගෙදර ගෙන්වා ගැනීම පියකුට දරාගැනීමට අපහසුම කාරණයකි. අතේ තියාගෙන තුරුළු කරගත් පුංචි දියණිය, ලොකු මහත් වී තවත් කෙනෙකුගේ ලෝකයක් වී සතුටින් සිටිනු දැකීම පියකුගේ එකම බලාපොරොත්තුවයි. එසේ සිටින දරුවකු, දවසක හඬාගෙන, හදවත කුඩු පට්ටම් වී ගෙදරට පැමිණෙන විට, ඒ වේදනාව කිසිදු පියකුට දරාගත නොහැක. අනිල් ධර්මවර්ධනද උන්නේ ඒ වේදනාව දරාගන්නට නොහැකිව නමුත් මේ වනාහී ඒ දුකට හදවතින් පිටපනින්නට ඉඩ නොදිය යුතු මොහොතක් බව ඔහු තේරුම්ගෙන උන්නේය.

“මේවා මේ මෙහෙම ෆෝන් එකෙන් කතා කරලා විසඳගන්න පුලුවන් ප්‍රශ්න නෙවෙයිනෙ පුතේ. ඒ හන්දා මං කියන්නෙ පුතා හෙට දිහාවට වගේ රෑ කෑමකට අපෙ දිහාව එන්න. අපි මෙක නිස්කලංකෙ කතා කරපු, මං කියන්නෙ නෑ අපේ දරුවගෙ උනත් හැසිරීම හරි කියලා. අපි හැමෝටම සාධාරණයක් වෙන විදියෙ උත්තරයක් ගැන කතාකරන්න පුතා හෙට දිහාවට එන්න” කියා අනිල් ධර්මවර්ධන ඇමතුම අවසන් කරද්දිත් මලිත් උන්නෙ උභතෝකෝටියක ගිලී යමිනි.

තමන්ගේ හිතේ කෙළවරක තවමත් ජාන්වි ගැන ආදරයක් නැතැයි කීම බොරුවකි. ජාන්වි එක්ක මුලින් කතාකරන්න පටන් ගත් කාලයේ තමන් ඇය ගැන වශි වූ බව ඇත්තක් නමුත් ඒ වශිය වනාහී තමන්ට එයට පෙරත් ඉන් පසුත් දකින ලස්සන, තමන්ට ආකර්ෂනය වෙන්න කෙල්ලන් ගැන තිබුන වශීවීමට එහා ගිය මහා අමුතු එකක් නොවන බව මලිත්ට විශ්වාසය. ඒ සම්බන්ධය කසාදෙකින් ඉවර කරගන්න ලොකුවටම උවමනාව තිබුනේ ජාන්විටය. අනික තමන් මොන වගේ මනුස්සයෙක්ද කියලා හොඳටම දැනගෙන තමන්ව කසාද බැන්ද ජාන්වි අද මේ කියන කතා තමන්ගේ පැත්තෙන් කොච්චර වැරදිද කියා පමණක් මලිත් ඒ වෙලාවේ හිතුවේය.

මේධාංගනී බාත් රූම් එකේ සිට ආයෙ කාමරයට එද්දි මලිත් උන්නේ ඔය සියල්ල ගැන කල්පනා කරන ගමන් ඇඳ මත වාඩි වී යට කලිසම පිටින් ය. 

“කවුද කතා කරේ ජාන්විද?” කියාගෙන එන ගමන්‍ ම කණ්ණාඩිය ඉදිරියේ වාඩි වී නෙත් කොනකින් මලිත් දෙස බලමිනි. මේධාංගනී දික්කසාද වූයේ මෙයට අවුරුදු හතර පහකට පෙරය. ජනප්‍රිය ගීත රචකයෙකු සමග විවාහ වී උන් මේධාංගනීට මයුරගෙන් සොයාගත් කන්ටැක්ට්ස් හමුවේ ලාංකේය කලා ලෝකයේ සෑම කෙලවරක්ම දිග් විජය කරන්නට හැකි වූ බව ඇත්තකි. මේධාංගනී තමන්ගේ නමින්ම රෙකෝඩ් ලේබල් එකක් පටන් ගත්තේත්, තරුණ ගායක ගායිකාවන්ට ක්ශේත්‍රයට ඇතුලු වීමට අත හිත දුන්නේත් මයුරගේ ඒ කන්ටැක්ට්ස් ඔස්සේය. ඒ කන්ටැක්ට්ස් ඔස්සේ වෙනත් කන්ටැක්ට්ස් හිත සමගත් ශරීරය සමගත් ඇතිවෙද්දී කොහොමත් කෙදිනත් බොහොම ගරුසර විදියට ජීවත් වුන මයුර මේධාංගනීගෙන් මිදුණේය. දික්කසාදය ගැහැනියකගේ කඩා වැටීමට හේතුවන්නට හැකි යැයි සිතු මිනිසුන් උන් ක්ශේත්‍රයක මේධාංගනී දික්කසාදය ෆීනික්ස් කිරිල්ලියක මෙන් නැගී සිටීමට ගිනු සිලුවක් කරගත්තාය. මලිත්ව මේධාංගනීගේ දැලට හසුවුනේ එලෙසිනි. මේධාංගනී සැබවින්ම ගමේ සිට ආ කොල්ලෙකු වූ මලිත් මංචනායක ලාංකේය යෞවනියන්ගේ සිහින කුමාරයෙක් මෙන්ම තරුණයන් අතර එල කොල්ලෙක් කරන්නට හේතු වූ බව ඇත්තකි. ලාංකේය සංගීත ක්ශේත්‍රයේ නොමැකෙන තරුවක් කරනු පිණිස මේධාංගනී මේ කරන්නෙ මලිත්ට ගුරුහරුකම් දීමකි. 

“එයාලගේ තාත්තා”

“ආහ් දැන් මාමණ්ඩි වැඩේට බැහැලද?”කියද්දිත් මේධාංගනී ගේ මුවේ ඇඳී තිබුනේ සමච්චල් සහගත හිනාවක් බව ඇදින්නද ඒ වනාහී මලිත්ව කෝප ගන්වන්නට හේතු වුන සිනාවක් නොවේ.

“එහෙ එන්නලු”

“ඇයි ඒ?”

“කතාකරන්න”

“මොකක් ගැනද?”

“මායි ජාන්වියි ගැන”

“ඔය දෙන්නා ගැනද එහෙම නැත්තම් ඩිවෝස් එක ගැනද?” කියා මේධාංගනී අහද්දීත් මලිත් කලබල උනේ නැතුව එහෙමම ඇඳ මත හාන්සි වී උන්නේ කල්පනා කරමිනි.

“ඇයි ඔයා එකපාර ඩිවෝස් එක ගැනද කියලා ඇහුවෙ? මං එහෙම දෙයක් ගැන කිව්වෙ නෑනෙ” කියා මලිත් අහද්දී මේධාංගනී එයට උත්තර දුන්නේ සිනාවකිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here