කදෝකිමි ඇස් – 05

0
4577
කදෝකිමි ඇස්

“එයාගේ නම මේඝ සේනාධීර..”

මේකලා එසේ පවසා ඉකිය මඳකට නවතාලූ අතර ජාලිය ඈ දෙස බලා සිටියේ ඉවසීමෙනි.

“ඒ ෆොටෝ එකත් මහේන් තරුණ කාලේ වගේමයි..”

මේකලාගේ හඬ බිඳි බිඳී යයි.පවුලේ අය රැස් වී කතාබහක සිටි එක්වරම තමන් ඉදිරිපිට පාදුර්භූත වී “මාව බඳිනවාදැයි” ඇසූ දා ද ඇගේ හඬ ඔවැනි ස්වරයක් ගත් බව ඔහුට මතක ය.එදා ද ඇය සිටියේ මහේන් ගැන හද උතුරවාගත් ප්‍රේමයකිනි.තවම ඈ එහෙම බව ඔහු නොදන්නවා නොවේ.

“මහේන්ගේ පුතා වෙන්න ඇති ඒ..”

ජාලිය හීන්සීරුවේ කියා ගත්තේ ය.මේකලා කදුළු වාවාගනිමින් මොහොතක් සිටියා ය.ජාලිය ඒ අතරේ කතා කරන්නට පටන් ගත්තේ ය.ඔහු වැඩි කතාබහ ඇති මිනිසෙකු නොවේ.නමුත් මේ මොහොතේ නිහඬව හිඳීම ඔහුට ප්‍රිය නොවන්නකි.

“සුදු මැණික ඔය මේඝ කියන ළමය එක්ක හිතවත්ද?”

ඔහු අසන්නේ ප්‍රහේලිකාව පුරවා ගැනීම වෙනුවෙනි.මේකලා ආරණ්‍යාගේ කතාව අකුරක් නෑර ඔහුට පැවසුවා ය.ජාලිය උස් සිනාවක් නැඟී ය.ඔහු එහෙම හිනැහෙන්නේ පවා කලාතුරකිනි.

“මැණිකේ,ඒ නිකන් අහම්බයක්.අපේ කෙල්ල ඉන්නේ පාරෙ තොටේදි ලස්සන කොල්ලෙක් දැක්කම හැරී හැරී බලන වයසෙ.ඒ ළමයා කැම්පස් එකේ
කෙනෙක් වුණානම් අඩුම තරමේ ෆේස්බුක් එකේ යාලුවෙක් හරි වුණානම් පොඩ්ඩක් හෝදිසි කරන්න තිබ්බා.ඇඳුමක් ගන්න ගිය ටිකට කොල්ලෙක් ලිෆ්ට් එකේ දැකල එයා ගැන ඇවිත් කීවට අපි කොහොමද මැණිකේ කෙල්ලට නීති දාන්නේ..”

ජාලිය හීන් සීරුවේ කියයි.තමන් කලබල වූවා වැඩි බව මේකලාට ද සිතිණ.මහේන්ගේ සෙවණැල්ලට ද බියපත් ඈ මේ කලබල කිරීම ගැන ලැජ්ජා වූවා ය.දියණියට නියෝගයක් නිකුත් කිරීම ගැන ඇයට දැන් දැනෙන්නේ ලැජ්ජාවකි.

මේකලා උදෑසන අවදි වී අහර පිසින දවස් තිබුණේම නැති තරම් ය.ඇය රෑ මැදියම ද ලියමනේ යෙදෙද්දී උදෑසන අවදි වීම තරමක් නොව හොඳටම අසීරු බව ජාලිය වටහාගෙන සිටියේ ය.ඔහු අවදිව ආහාර පිසින්නට ගත්තේ දොස් නොනඟා ය.

“මේ කෙල්ල කිසිම විදියකට තමන් කසාද ගෑනියෙක් කියල හිතන් නෑ..” එසේ පරල වූයේ මේකලාගේ නැන්දම්මා නොවේ.අම්මා ය.තමන්ගේ දියණිය පවුලක වගකීම අමතක කර දමා පස්සට එළිය වැටෙන තුරු ඇඳ බදා නිදද්දී අම්මා බොහෝ කෝප වූවා ය.නමුත් ජාලිය කෝප නොවූයේ ය.

“එයාට ඕන කසාදේ වුණානම් එහෙම හිතන්නත් තිබ්බා අම්මා..”

ඔහු එසේ පැවසූ දවසේ මේකලාගේ අම්මාට කියන්නට දෙයක් නොතිබිණ.ඇය දුක්බරව බොහෝ වෙලා කල්පනා කරමින් සිටි අන්දම ජාලියගේ සිත අදටත් කම්පා කරන මතකයකි.

එදින මේකලා ඒ සිරිත ඉවතට දමා උදෑසනම අවදි වූවා ය.ඉනික්බිතිව ඇය පහළ මාලයට ගියේ නිවසේ අත්උදව් දෙන්නිය වූ සෝමම්මාට උදව් පිණිසම නොවේ.ඇගේ අදහස සාර්ථක ය.උදෑසන දිය නා කාමරයට එද්දී අම්මා කිරි කෝප්පය රැගෙන කාමරයේ හිඳීම ආරණ්‍යා පුදුම කළා ය.වෙනදා උදෑසන කිරි හදන්නේ අප්පච්චි ය.

“අද මොකෝ ලොකු මැඩම්..”

පෙරදා රාත්‍රියේ සිදුවීම අමතක කර දමමින් ආරණ්‍යා අසන්නේ අම්මා වැළඳ ගනිමිනි.දියණියගේ සීතල වත සිරුරට තද කරගත් මේකලා මොහොතක් එලෙසම සිටියා ය.ඈ උස්මහත් වූ තරම අදහන්නට නොහැකි තරම් ය.

“ඊයේ ඔයාට මොකුත් ගත්තෙ නැද්ද මැණික..”

අල්මාරිය විවර කරගෙන ඇඳුම් තෝරන ආරණ්‍යා අම්මා වෙත හැරී හිනැහුණා ය.අම්මා තවම ඇඳුම් කඩය අමතක කර නැති පාට ය.

“නෑ අම්මා.අද මට වෙලාවක් නෑ නිසා අපේ මොට්ටයට තෑග්ගක් ගන්නනෙ ගියේ.මට පස්සෙ ගන්නව.ඔන්ලයින් ඕඩර්ස් ටිකක් දාලා තියෙන්නෙ.ආවම බිල ගෙවන්න.මම දැක්කා ඔයාගේ කණාමැදිරියා අලෙවි වාර්තා තියනව කියලා නාලක අංකල් ෆේස්බුක් එකේ පුරාජේරු හෑල්ලක් ලියල..”

ආරණ්‍යා ඇඟටපතට නොදැනී කියන්නී ය.මේකලාට අතීතයේ හුන් දඟකාර යුවතියක සිහිපත් විණ.හැම මාසයකම විසි පස්වෙනිදාට ඇය තාත්තාට දඩ ගැසුවේ ද මෙහෙම ය.ආරණ්‍යා කරන්නේ නාලක උයන්වත්තගේ ෆේස්බුක් ගිණුමට ඇහැ ගසා සිටීම ය.යුවතියක කාලයේ පටන් තමන්ගේ ප්‍රකාශන සමාගම හා එක්ව සිටි ලේඛිකාව ගැන නාලක ලියන සටහන් වලින් ආරණ්‍යා සැබෑවටම ප්‍රමෝදයට පත් වන්නී ය.නමුත් නාලකගේ ගණුදෙනු ගැන ද විමසිලිමත් වන්නී ය.

“එදා ඉතින් කොල්ලො බල බල ඉඳලනෙ..”

අම්මා වෙනත් කතාවක් කියද්දී ආරණ්‍යා අම්මාට තද කරගත් දෙතොල් ඇතිව රැවුමක් පා කළා ය.අම්මා ඒ කතාව ඕනෑවට වඩා හිතට අරගෙන ඇති බව ඇයට වැටහේ.

“අයියෝ අම්මා..මං ඔයාට කීවනෙ.ඒ බෝයි මට මතක තිබ්බෙ මේඝ කෙනෙක් නිසා.මේඝ කෙනෙක් නොවුණනම් එයත් මට නිකම්ම නිකං පාරේ හම්බ වුණු කොල්ලෙක්.අනිත් එක ඒ ළමයා ලේඩීස් ෆ්ලෝ එකට ගියේ.ෂුව එකටම කෙල්ලට ඇඳුම් ගන්න කියල මම හිතුවා.හා අම්මම හිතන්න මම මේ කේක් ඕඩර් කර කර ගිෆ්ට් තෝර තෝර නැටුවට අපේ මොට්ටස් මගේ බර්ත්ඩේ එකට මොනවද කරන්නෙ..ඒ වගෙ තමා.මේඝත් යන්න ඇත්තෙ කෙල්ලට ඇඳුමක් ගන්න.එයාගේ ප්‍රොෆයිල් එකේ ඒ කෙල්ල වෙළිලා ඉන්න ෆොටෝත් තිබ්බා අම්මෙ.”

ආරණ්‍යා එසේ කියද්දී අම්මා දුන්නේ අමුතුම පිළිතුරකි.ආරණ්‍යා පුදුම වූයේ ඒ කතාවට ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here