“දැන් ඇත්තටම ඔය දෙන්නගෙ තීරණේ මොකද්ද?” කියා අනිල් ධර්මවර්ධන ඇහුවේ කෑමෙන් පස්සේ පවුලේ සියල්ලන්ටම සාලෙට එකතුවෙන්නට ඉඩ හැරය. මලිත් වාඩි වී උන්න සෙටියේ කෙලවරකම ජාන්වි වාඩි වූ උන්නාය. එහෙත් දෙදෙනා එක බැල්මකින්වත් කිසිම දෙයක් බෙදාගත්තේ නැති බව ඇත්තකි.
එතැන පැවතියේ මහා නිහඬතාවකි. බිත්තියේ තිබූ ඔරලෝසුවේ ‘ටික් ටික්’ ශබ්දය පවා හයියෙන් ඇසෙන තරමට එම පරිසරය නිහඬ වී තිබුණි. අනිල් ධර්මවර්ධන විසින් අසන්නට යෙදුණ ප්‍රශ්නය සැමදෙනාගේම සිත් තුළ රැව්දෙමින් තිබුණද එයට දෙන්නට පිළිතුරක් කිසිවෙකුට තිබුණේ නැත. නොඑසේනම් කිසිවෙකු ඒ ප්‍රශ්නයට උත්තර දෙන්නට තරම් එඩිතර වූයේ නැත. ජාන්වි බිම බලාගෙන සිටියේ, ඇයගේ දෙනෙතින් ගලන කඳුළු පිටතට නොපෙන්වා සිටීමට උත්සහ කරමිනි. මලිත් හිටියේ ජනේලයෙන් එළියේ අඳුර දෙස බලාගෙනය. ඔහුගේ සිතේ තිබුණේ කුමක්ද කියා අනුමාන කරන්නට කිසිවකුටත් නොහැකි විය. ආන්‍යාත්, නිසලුත්, මනෝරමාත් මේ දෙදෙනා දෙස බලාගෙන සිටියේ, දැන් දැන් මලිතුත් ජාන්විත් මේ ප්‍රශ්නයට පිළිතුරු දෙනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි. එහෙත් කිසිවකුගේ කටින් වචනයක්වත් පිට නොවූ අතර, ඒ නිහඬතාව වඩා වේදනාකාරී විය.
“මලිත් පුතා,” අනිල් ධර්මවර්ධගේ හඬ නිහඬතාව බිඳ දමමින් නැගුණේ ඒ නිහඬතාවය තවදුරටත් කිසිවෙකුට දරාගන්න බැරි මට්ටමකට එද්දීය. “මට මේ වෙච්ච හැමදේම ගැන කණගාටුයි. මම හිතන්නේ අපිට මේ ගැන කතා කරන්න වෙනවා. මේ කසාදෙ සිද්ද වුනේ අපි කතාබස් කරලා නොවෙන බව ඇත්ත. හැබැයි ප්‍රශ්නයක් උනාම, ළමයි දෙන්නෙක් විදියට ඔයාලා දෙන්නට කතා බස් කරලා මේ ප්‍රශ්නෙ විසඳගන්න අමාරු නම් අපි දෙමව්පියො විදියට මේකට මැදිහත් වෙන්න වෙනවා නේ නේද? අනික මම මේ දෙමව්පියො කියලා කිව්වේ ජාන්වි විතරයි අපෙ ළමයා කියල හිතලා නෙවෙයි පුතේ. අපෙ දරුවන්ව කසාද බැඳපු ඔයාලාත් අපෙ දරුවොම තමයි. ඔයාලට උනත් දුකක් කරදරයක් උනාම අපෙ දරුවෙක්ට කරදරයක් උනා කියල තමයි අපි භාරගන්නෙ”
“මං ඇත්තටම හිතන්නෙ නෑ අංකල් ජාන්වි මං ගැන හිතාගෙන ඉන්න විදිය වෙනස් වෙනකම්, එයා මගෙ ලයිෆ් ස්ටයිල් එක ඇක්සෙප්ට් කරන කම් මං හිතන්නෙ නෑ අපේ මේ ප්‍රශ්නෙට කිසිම උත්තරයක් ලැබේවි කියලා”
“ඇක්සෙප්ට් කරන කම්? ඔයා හිතගෙන ඉන්න ඒව නම් කවදාවත් වේවි කියල හිතන්න එපා මලිත්. ඇක්සෙප්ට් කරන්න? ඔයාගෙ ලයිෆ් ස්ටයිල් එක මම? අනේ මේ මලිත් ඉන්ඩස්ට්‍රි එකේ උඩට යන්න, කනෙක්ශන්ස් හදාගන්න කියලා ඔයා මෙතන මේ එක එකා එක්ක ලැගලා එනකම් මම කට වහන් බලන් ඉන්න ඕන කියලද ඔයා හිතන්නෙ?” කියා ජාන්වි මලිත්ගේ කතාවට කෝපයෙන් පිළිතුරු දෙද්දි මනෝරමාත්, අනිලුත් ඉන්නේ කරකියා ගන්න දෙයක් නැතුවය.
“මොකද්ද ළමයො ඔය කතා කරන විදිය? ඔහොමද තමන්ගෙ කසාද පුරුශයට කතා කරන්නෙ?” කියා මනෝරානි ඇත්තටම කතාව මැද්දට පැන්නේ ජාන්වි මලිත් ට කතා කරපු විදිය නොහොබිනා බව ඇයගේ හිත කිව්ව නිසාවෙනි.
“කතා කරන විදියෙ කිසි වරදක් නෑ අම්මේ, වෙන කොහොමද කතා කරන්නේ? මෙයා හිතාගෙන ඉන්නෙ මෙතන මේ මෙයා ඉන්නෙ මේ රටේ ඉන්න හැම ගෑනි එක්කම බුදිය ගන්න කියලනෙ” කියා කියද්දී මනෝරමා එතනින් නැගිට ගියේ තවත් මේ වචන අහගෙන ඉන්න බැරි තැනය. මනෝරමා පස්සෙන් ආන්‍යාත් නිසලුත් ගියේ මෙතනින් එහාට කතාව තමන්ට වැදගත් නොවන බව දන්න හන්දාය.
“දරුවො දරුවො ඔය දෙන්න විතරක් දැනගෙන ඉන්න ඕන දේවල් මෙතන මේ අපි ඉස්සරහවත් කියන්න උවමනාවක් නෑ. මොක උනත් පුතේ මේ ඔයාගෙ කසාද මනුස්සයනෙ. එහෙම එකේ තමන්ගෙ මව් දෙමව්පියො ඉස්සරහවත් එහෙම ඒ මනුස්සයට ලැජ්ජ කරන එක හොඳ ගෑනියෙක්ගෙ ගතිගුණයක් නෙවෙයි” කියා තාත්තා කියද්දීවත් ජාන්වි උන්නේ මෙතෙක් දවස් හිත අස්සේ විස පතුරුවන්නට හේතු වුන මලිත් ගැන කෝපයෙන් මිදෙන්නට බැරුවය.
ආදරය වනාහී වෙලාවකට හලාහල විසක් වන්නට හැකි බව ඇත්තක් නමුත් ඒ විස පිරවූ කුසලානය අතෙන් ගෙන මුව හලාගන්නට උවමනාමද කියන පැනය ඕනම කෙනෙකුගෙන් අසන්නට අපිට හැක.
ජාන්විටත් සිදු වූයේ එයමය. මලිත්ගේ හැසිරීම ඇයට වේදනාවක් වුවද, ඒ වේදනාවට ප්‍රතිචාර වශයෙන් ඇය මලිත් සමඟ කෝපයෙන් හැසිරුණේ ඇගේම සිතට තව තවත් විෂ එකතු කරගනිමිනි. මේ මොහොතේ තාත්තා කියූ වචන ඇගේ කන් වලට ඇසුනද, ඒ වචන ඇයගේ සිතට කා වැදුණේ නැත. ඇයගේ සිත පිරී තිබුණේ මලිත් කෙරෙහි වූ කෝපයෙනි. ජාන්වි සිතුවේ තමන් විඳින වේදනාව මලිත්ටත් දැනෙන්නට සැලැස්විය යුතු බවය. කෝපය කියන්නේ ගිනිදැල්ලක් වැනිය. ඒ ගින්නෙන් අපිට අනිත් කෙනාව පුච්චන්නට පුළුවන් වුණත්, අපිවමද නොදැනුවත්වම ඒ ගින්නෙන් පිච්චී යන්නට පුළුවන් බව අපි තේරුම් ගන්නට උවමනා බව කිව යුතුමය. ජාන්විට මේ මොහොතේ සිදුවෙමින් තිබුණේද එයයි. මලිත්ගේ ආදරය නැති වීම තමන්ට තමන්ව මෙන්ම තමන්ගේ සතුටද නැති වෙන්නට හේතු වන බව ජාන්වි සිතුවාය. ජාන්වි වඩා ලොබ බැන්දැඑ සැබෑවටම මලිත් සතු වූ ඒ තාරකා ගුණයටය. දිළිසීමටය. ජනාදරයටය. මලිත් නැතිවීම ඒ සියල්ල නැතිවෙන්නට හේතු වන බව ඇය දැන උන්නාය. අනිත් කෙනෙක්ගේ වැරැද්දකට අපිට දඬුවම් දෙන්නට පුළුවන් වුණත්, ඒ දඬුවම අපේම ජීවිතයටත් බලපාන බව අපි අමතක කරන්නට හොඳ නැත. සමහර වෙලාවට අපි දෙන දඬුවම් අපිටම බූමරංගයක් වෙන්නට පුළුවන් බව අප අමතක කරන්නට හොඳ නැත.
ජාන්වි නැවතත් බිම බලා ගත්තේ වේදනාවටය. කඳුලු තිබුණු ඕනවටත් වඩා ගලා හැලෙමිනි. අනෙක් අතට මලිත් උන්නේ සියල්ලන්ම ඉදිරිපිට ජාන්වි කල චෝදනාවලින් ලැජ්ජාවේ අන්තයටම කඩා වැටෙමිනි.
“අංකල් මේ දැන් මෙතන ඉන්න මගෙයි මෙයා පස්සෙන් ආපු මගෙයි කිසි වෙනසක් තිබ්බෙ නෑ. එහෙම තියෙන්නෙත් නෑ. මෙයා ඒ කාලෙත් දැනගෙන උන්නා අංකල් මං මොන වගේ මනුස්සයෙක්ද කියන එක. මං ඇත්තටම මැරේජ් එකකට කැමති උනෙත් නෑ. මෙයා හැමදේම දැනගෙන මාත් එක්ක යාලු උනෙත්, කසාද බැන්දෙත්.
එහෙම දැනගෙන “අනේ මට කමක් නැ, ඔයා මොනවා කරත් මං ඔයාට ආදරෙයිනෙ” කියලා මාව කසාද බැන්ද ගෑනි දැන් තමන්ගෙ පාට වෙනස් කරාට මට කරන්න දෙයක් නෑ අංකල් මං මගේ පාට එහෙම කවුරුවත් හන්දා වෙනස් කරගන්න මනුස්සයෙක් නෙවෙයි. අනික මං කාටවත් මගේ මේ නැති දෙයක් මවා පාපු මිනිහෙකුත් නෙවෙයි. එහෙම එකේ මෙතන මෙයා මේ සම්පූර්ණ වරද මගෙ පිට දාලා නිකන් හෙනම හොඳ ගෑනි වගේ කතා කරන්න එද්දි මට නෙවෙයි අංකල් ඕනම කෙනෙක්ට මෙයා එක්ක ඉන්න එපා වෙනවා.
තරහා වෙන්න එපා අංකල්ගෙ හිතට අමාරු ඇති මං මෙහෙම කියන එක, ඒ උනාට ඒක තමයි ඇත්ත. මං කියන්නෙ බොරු නෙවෙයි නේද? ඔයා දැනන් උන්නනෙ ජාන්වි මම කොයි වගෙ මනුස්සයෙක්ද කියන එක නේද?’ කියා මලිත් අහද්දී කියන්න දෙයක් ජාන්විට තිබ්බේ නැත.
ඒ හැමදේම ඇත්තක් වෙන්නට පුලුවන.
එහෙත් ආදරේ කරන ගැහැනිය වෙනුවෙන් පිරිමියෙකුට කසාදය ඇතුලේ තමන්ව වෙනස් කරගන්න පුලුවන්කමක් නැද්ද?
ජාන්වි උන්නේ ඒ ප්‍රශ්නය මලිත්ගෙන් අහන්න කට හදමින්, වචන හොයමින් උනත් මලිත්ට කියන්නට වෙන කතාවක් තිබුණේය.
“මං ඇත්තටම ආවෙ ජාන්වි මං කියන දේ තේරුම්ගන්න කැමති නම් මාත් එක්ක යන්න පුලුවන් කියලා කියන්න.
හැබැයි…