ඇට්ටේරියා මල් සුවඳ වඩාගෙන ආ සුළඟෙන් යසස්වී වෙහෙරගොඩ පපුව පුරවාගත්තා ය. මේ රාත්‍රියේ, ලා සඳ එළිය තඹ පාටක් තවරමින් තුරු පත් මත පතිත වී තිබේ. යසස්වි සඳැල්ලේ ගරාදි වැටට බරවීගෙන පහළට එබුණා ය. ඇට්ටේරියා තුරු හිස සුදු පාට මල් වට්ටියක් සේ ය. මේ, රාත්‍රියට කෝටි ගණන් ඇට්ටේරියා මල් පිපෙන කාලයයි. උදේට තණ පලස මත සුදු මල් පෙති පාවාඩ එලන කාලයයි!
සඳ එළිය මළානික නිසා තරු කැල්ම ප්‍රබල ය. දෑස් ඉදිරියෙහි අඩ කවයක් සේ දිස් වන අහස් අගාධයෙහි ඈ නෙතු පා කොට හැරියා ය. ආලෝක වර්ෂ ගණනක් ඈතින් වන, ලංව පිහිටි තරු දෙකක් අතරේ පවා අනන්ත මන්දාකිණී සංඛ්‍යාවක් දිස් වන බව නූතන තාරකා විද්‍යාව ඡායාරූපගත කරගෙන තිබේ. ඒ එක ම මන්දාකිණියක හෝ, එක ම ග්‍රහ මණ්ඩලයක හෝ එක ම ග්‍රහ වස්තුවක හෝ පෘථිවියෙහි මිස ජීවයක් නො වන්නේ ද? නැතහොත් ජීවය පවත්නා කෝටි ගණනක් ග්‍රහ වස්තු ඔය චක්‍රාවාට අතරේ තිබෙනවා විය නො හැකි ද?
අපට අපවත් හරියට වටහාගත නො හැකි ව, ගවේෂණය කළ නො හැකි ව, වෙනත් මන්දාකිණී වල ජීවය ගැන හිතා ඵලක් වන්නේ දැයි එසැනෙන් ඇයට සිතිණ. ඒවා ගැන සොයා බලන්නට තරම් අපේ මේ ජීවිත කාලය කුඩා වැඩියි නොවේ ද?
යසස්වි ගේ මුව මත මන්දහාසයකි. සැබවින් ඇයට සැහැල්ලුවක් දැනේ. ටික කාලයක සිට හිත මත පැටවී තිබූ බරක් බිමින් තැබුවා සේ දැනේ. ඒ වෙලාවේ අස්විද ට උදාර ගැන කියන්නට ඇය බලාපොරොත්තුවෙන් සිටියා නොවේ. නමුත් මීට පෙර වතාවක් රිය පුහුණුවීම් අතරේ දී අස්විද පෙම්වතෙකු ගැන කී කතාව ඇය පහසුවෙන් මගහැර ගියා ය. රයන් ඍජුව ම ඒ ගැන කතා කරන්නට සූදානම් වූ වෙලාවේත් මුණිවත රකින්නට ඇයට සිදු විය. වරදකාර හැඟීමක් ඇය ට දැනෙමින් තිබිණ. උදාර ගැන ගෙදරින් ගෙනැවිත් ඇති යෝජනාව වූ කලී තුසිතයට රහසක් නොවේ. ඇය ඒ ගැන වජිරා සමග ද සනුක සමග ද කතා කොට තිබේ. නමුත් අස්විද ඒ ගැන නො දන්නා පාට ය. ඔහු ඒ ගැන දැනගත යුතු ම ය කියා එකක් නැත ද කතා කරන එක යුතුකමක් හෝ සිය වගකීමක් සේ දැනුණේ මන්දැයි ඇය හිත විමසන්නට නො ගියා ය. සමහර දේවල් එහෙම දැනෙණුයේ මන්දැයි හිතටත් රහසක් වෙන තරමට මිහිරි ය.
‘ඉඳගන්නකො ඔහොම…’
ඒ වෙලාවේ, ඇගේ මීදුම් කඳුළු දෑස් වලට එබීගෙන අස්විද මිමිණුවේ අස්විද සූරියබණ්ඩාර ලෙසින් ද? නැතහොත් ඔහු ගේ නීතීඥ වෘත්තියට ආරූඪ වෙමින් ද?
යසස්වි පැරණි සෝෆා කට්ටලයේ තනි අසුනක හිඳ, අත් වල නියපොතු කොනිති ගසමින් බිම බලාගත්තා ය. අස්විද ගේ දිවාකර දෑස් ඈ මතින් මුදුන් වී තිබුණේ යසස්වී ට හිස ඔසවාගන්නට බැරි තරම් රශ්මියක් විහිදුවමිනි.
‘ගෙදරින් ප්‍රපෝස් කරපු කෙනෙක්ද ඒ…’
ඇය බිම බලාගෙන ම හිස ඉහළ පහළ සැළුවා ය. අස්විද ගේ බැල්මෙහි රශ්මිය අඩු වෙමින් ද කාන්තිමත් වෙමින් ද තිබිණ. ඔහු නිසංසලේ හුරුබුහුටි ගෑනු ළමයා දෙස බලා සිටින්නට වූයේ ය. බිම අත්හැරුණු වීදුරු බඳුනක් සේ ඔහු ගේ සිත බිඳී විසිරී තිබිණි.
‘ඉතිං ගෙදරට හේතු දක්වල ඒකට ඔයාගෙ අකමැත්ත කියන්න පුළුවන්නෙ…’
‘අනේ කොච්චර කියල තියනවද… අහන්න ඔයාලගෙ අම්මගෙං… මං ආන්ටිටත් කියල තියෙන්නෙ. ඇත්තටම මං මේ කැම්පස් එකක් හොයං කොළඹ ආවෙත් ඒකෙන් ගැලවිලා ඉන්න මිසක් ඉගෙනගන්න ඕන කියල හිතුන නිසාම නෙවෙයි. හැබැයි දැන්නං මට තේරෙනව මං ඒ ගත්තෙ කොච්චර හොඳ තීරණයක්ද කියල. අඩු ගානෙ දැන් මට මොකක්හරි පාරක්වත් ඇරෙයි කියල හිතෙනව හැංගිල දුවන්න’
‘ඇයි ඉතිං හැංගිල දුවන්නෙ…’
අස්විද ඒ ප්‍රශ්නය ඇසුවේ තමන්ගෙන් ම සේ ය. ඒ තරම් හදවතින් ය. මහා බරට ඒ වචන හතර යසස්වි ගේ පපුවට කිඳා බැස්සේත් එබැවිනි. ඇගේ දෑස් වඩාත් රවුම් වී තිබිණි.
‘ප්‍රශ්නෙ ඒගොල්ලොංගෙනෙ. හැංගිල දුවන්නැතුව ෆේස් කරමු ඉතිං’
යසස්වි ට දැනුණේ උගුර කට වියළීමකි. අස්විද ඒ මු යන්න යොදා ගත්තේ, ෆේස් කරමු කියා කීවේ කවර නම් අදහසකින් විය හැකි ද? සාමාන්‍යයෙන් මු යන්නෙන් වාක්‍යයක් නිමා කරනුයේ උක්තය අපි වන විට ය. මෙතැනදීත් එහෙම ද? ඇගේ ප්‍රශ්නයෙහි ආඛ්‍යාතය මු වී ඇත්තේ එහි ඇය සමගින් ඔහු ද හිඳිමින් ‘අපි’ වී ඇති නිසා ද? නැතහොත් නිකං ම වචනයක් ලෙස ඔහු එය යොදාගත්තා විය නො හැකි ද?
‘ෆේස් කරන්න තමයි මාත් අහන්නෙ… මට මොනාද කරන්න පුළුවං කියල… මට නඩුවක් දාන්න පුළුවන්ද කියල…’
‘නිකං ම ලෝ පොයින්ට්ස් දෙන්න බෑ ඉතිං… චාජ් කරනව ඒවට’
ඔහු විහිළුවක් කොට සිනහවක් නගනා උත්සාහයක් ගත්තේ ය. නමුත් ඒ සිනහව තුළ කෙතරම් බරක් පැටවී තිබුණා ද කියා දන්නේ ඔහු ම පමණකි. අඩු තරමින් සිනහවකට වක්ත්‍ර පේශීන් ක්‍රියාකාරී වූවා වත් ද?
‘මෙහෙමයි ඉතිං… කෙනෙක් ඔයාට බලපෑම් කරනව කියල ඇක්ශන් එකක් ගන්න පුළුවන්. හැබැයි මේක ප්‍රපෝසල් එකක්නෙ. ඔයාට ඔයාගෙ තාත්ත ගෙනාපු ප්‍රපෝසල් එකක්නෙ. එතකොට ඔයා තාත්ත එක්කත් නීතියෙන් හැප්පෙන්නද… සමහර දේවල් තියනව යසස්වි… හැඟීමෙන් නෙවෙයි බුද්ධියෙන් තීරණය කරන්න ඕනෙ. ඒ වගේම සමහර දේවල් තියනව නීතියෙන් නෙවෙයි සදාචාරයෙන් මනුස්සකමෙන් තීන්දු තීරණ ගන්න ඕනෙ. මුලින්ම බලන්න ඕනෙ අපිට ළඟම තැනින් ප්‍රශ්නෙ විසඳගන්න. ඔයා… තාත්තත් එක්ක පැහැදිලිව කතාකරල ඉන්න නේද…’
‘ඉතිං අනේ මං කොච්චර කිව්වත් ඒගොල්ලො තේරුං ගන්නෑනෙ. මදැයි ලෝයර් කෙනෙක්ට කිව්ව. ඔයත් ඉතිං මට කියන්නෙ අර කිඹුලගෙ කටට පනින්න කියලද…’
අනපේක්ෂිත ලෙස යසස්වී මහ හඬින් හඬන්නට පටන් ගත්තා ය. අස්විද කලබල වූයේ එහඬින් අම්මා හෝ තාත්තා අවදි වනු ඇත කියා ය. කෙටි සන්ධ්‍යා නින්ද කියන්නේ ගැඹුරු වූවක් නොවේ. කුඩා හඬකින් පවා බිඳිය හැකි වූවකි. කවුරුවත් නැතිව තනිපංගලමේ යසස්වි සමග කතා කරමින් සිටියදී ඇය මේ විදිහට හඬ නඟා හැඬීම ගැන පහළ මහලේ සිටින අය වුව කෙසේ සිතන්නට බැරි ද?
‘හ… හරි… හරි මං කල්පනා කරල කියන්නංකො අපිට මොකද්ද කරන්න පුළුවන් කියල. හරිද… ඩෝන්ට් වොරි. අපි මොකක්හරි කරමු’
කියමින් ඔහු නො සන්සුන් ලෙස නැගිට පියගැට පෙළ බැස ගියේ ය. ඒ වෙලාවේ යසස්වි ගේ මුහුණට වැඩි සිනහව මේ දැනුත් ඒ විදිහට ම පිපී තිබේ.
අස්විද සිටියේ හිස මත බරක් පටවාගෙනයි. සැබවින් ඒ යසස්වි සිය හිස මතින් බිම තැබූ බර විය හැක. මේ වන තුරු නීතීඥ අස්විද සූරියබණ්ඩාර විසින් භාර ගෙන ඇති නඩු ගණන සංඛ්‍යාත්මකව ඔහු ට මතක නැත. ඉන් වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කොට සේවාදායකයන්ට යුක්තිය ඉටු කොට දෙන්නට ඔහු සමත් විය. නමුත් ඒ එකදු නඩුවක්වත් ඔහු ට සිය හදවතේ ප්‍රශ්නයක් වී නැත. හිත රිදවනා, නුහුරු දැවුමක් දනවනා, අතුණුබහන් කළඹණා ප්‍රශ්නයක් වී නැත. බෝ රෑ වන තුරුත් හෙතෙම කාමරයේ ඔබ මොබ සක්මන් කරමින් කල්පනා කළේ ය. උදේ අවදි වන විට ද හිත තිබුණේ බරවීගෙනයි!
තුසිතයෙහි සිදු වන කිසිවක් ගැන වගක් නො දැනෙන තරමට උදේ ඔහු කල්පනාබර ව සිටියේ ය. යසස්වි ට විහිළුවක් වුව කරන්නට නො හිතෙනා විදිහේ බරපතල බවක් ඒ කල්පනාබර පෙනුමෙහි විය.
ඒ සිදුවීම වූයේ එදින දහවල ය. යසස්වි විශ්ව විද්‍යාලයේ දේශන නිමා වී එහි ප්‍රධාන ද්වාරයෙන් පිටතට පැමිණෙමින් සිටියා ය. ඇය ඒ දර්ශනය දුටුවේ හදිසියේ ය. විශ්ව විද්‍යාලය අභියස මාර්ගය අයිනේ රිය නතරකොට, ඊට පිට දී මාර්ගය දෙස බලා සිටියේ උදාර යි. ඒ ඔහු බව මොළය විසින් හඳුනාගනු ලැබූ ප්‍රථම නිමේශයෙහි ඈ වහා අඩියක් පසුපසට ගත්තා ය. ඈ අභියස වන්නේ විසල් වීදුරු බිත්තිය බව සිහි වූ ගමන් අඩියක් දෙකක් හැරී විත් මුවහ වූවා ය. යසස්වී ගේ හද ගැස්ම තීව්‍ර වී තිබිණ. ඊළඟ නිමේෂයෙහි කුමක් කළ යුතු ද කියා ඇයට නිශ්චිත වූයේ නැත. මේ විදිහට දැනුම් නොදී ම උදාර එතැනට පැමිණියේ නිකං වන්නට බැරි බව යසස්වි දනී. පහුගිය ටිකේ ම ඇය ඔහු ගේ දුරකතන ඇමතුම් මගහැරියා ය. එදා ගෙදර ගොස් පසු දා ම ඇය ආපසු පැමිණියේ ඔහු ට කියන්නේ හෝ නැතිව ය. උදාර ඒ ගැන කේන්තියෙන් පසු වූයේ ය.
‘තමුසෙට ඔච්චරම මාව මගඅරින්න හේතුව මොකද්ද කියල මං හොයාගන්නංකො’
කියමින් අවසාන වශයෙන් තතා කළ වෙලාවේ ඔහු තර්ජනය කළේ ය. නමුත් මෙහෙම දෙයක් සිදු විය හැකි යයි යසස්වි සිතුවේ නැත. සිය නො සැලකිලිමත් බව ගැන මේ මොහොතේ ඇය තමන්ට ම දොස් කියාගත්තා ය.
ඉතා ඉක්මනින් යමක් කළ යුතුව තිබිණ. උදාර කියන්නේ මැරයෙක් වාගේ මිනිසෙකි. විශ්ව විද්‍යාලය තුළ දී ලැජ්ජා වෙන්නට සිදු වනු ඇතැයි යසස්වී ට බියක් දැනිණ. දහදිය දමාගෙන වෙව්ලමින් වාගේ සේදුම් කාමරයට ගිය ඕ දුරකතනය ගෙන අස්විද ගේ අංකය සෙව්වා ය. මෝටර් රථයෙහි තිබී දිනක් ඔහු ගේ කාඩ් පතකින් ඒ අංකය සිය දුරකතනයෙහි ගබඩා කරගත්තාට මීට පෙර එක් වතාවක් හෝ ඇය ඔහු ට දුරකතන ඇමතුමක් දී තිබුණේ නැත.
අස්විද උසාවි සංකීර්ණයෙන් පිටතට එමින් සිටියේ සිය කාර්යාලය වෙත යාමටයි. නමක් නැති දුරකතන අංකය ගැන හැඟීමක් නැතිව ම ඔහු ‘හෙලොව්’ කීවේ ය.
‘අනේ අයිය ලොකු ප්‍රශ්නයක්. උදාර කැම්පස් එක ඉස්සරහට ඇවිත්. හොඳ වෙලාවට මාව දැක්කෙ නෑ. අනේ මට බයයි. මාව දැක්කොත් වාහනේට නග්ගගෙන ඉන්න තැන බලාගන්න තුසිතෙටත් එනව. අනේ මං මොකද්ද කරන්නෙ… ටැක්සි එකක් දාගන්නත් බයයි එළියට එද්දි මේ මනුස්සය මාව අල්ලගනී කියල’
‘හරි මං එන්නං. ඔහොම ඇතුළෙංම ඉන්න’
ඔහු ස්ථිර පිළිතුරක් දුන්නේ ඊලඟට කළ යුතු යමක් ගැන හාංකවිසියක අදහසක් නැතිව යි. නමුත් කුමක් හෝ කළ යුතු බව පමණක් හෙතෙම දැන සිටියේ ය.
ඒ වෙලාවේ පාරේ වාහන තදබදයක් නොවීම සැනසිල්ලක් විය. අස්විද රිය පැදවූයේ රොකට්ටුවක් සේ ය.
‘පෙරේද යන්න තිබුණ ගමනක් යනවද ඕයි’ කියමින් ත්‍රිරෝද රථ රියැදුරෙකු රියෙන් එබී කෑගැසුවේ ය. නමුත් අස්විද එවැන්නක් දන්නේවත් නැත!
‘මං රිසෙප්ශන් එක ළඟට එන්නං. ඔයා එතනට එන්න’
ආසන්නයේ දී ඔහු ඇමතුමක් ගෙන යසස්වී ට කීවේ ය. රිය තුළ වූ අව් කණ්ණාඩියත්, මාස්ක් එකත් අතින් ගෙන ඔහු ඉන් බැසගත්තේ ය. පිළිගැනීමේ අංශයෙන් නවක සිසුන් ඇතුළත්කිරීම සඳහා විස්තර පත්‍රිකාවක් ලබාගත හැකි විය. යසස්වී ඒ අව්කණ්ණාඩි ද මුහුණු ආවරණය ද පැළඳ, මුහුණ සේදුවොත් පිසින්නට බෑග් එකෙහි තබාගෙන සිටි දුහුල් ශෝල් එකකින් හිස ආවරණය කරගෙන පැමිණියා ය. උදාර විශ්ව විද්‍යාලයීය ප්‍රවේශය දෙස බලාගෙන ම සිටියේ ය. කොයි මොහොතක හෝ යසස්වී ඉන් පිට වන තුරු ඔහු වෙත වූයේ නො ඉවසිල්ලකි.
ගොඩනැගිල්ලේ සිට පාර දෙසට වන පියගැට පෙළ බසිත්දී යසස්වි අස්විද ගේ අතක වැලමිට සන්ධියෙන් අල්වාගත්තා ය. ඇගේ හදවත මැද වූයේ බිත්තර කිහිපයක් එකවර තැම්බිය හැකි ගින්දරකි. ඒ බිය කෙතරම් ද යත් හදවත ගැහෙනා හඬ පිටතට වුව ඇසෙනා තරම් විය. අස්විද ගේ අත අල්වාගත් විට ආරක්ෂාව ගැන හැඟීමක් දැනුණු බව විශ්වාස ය.
අනාරාධිතව සිය වැලමිට සන්ධියෙහි වෙළුණු සිනිඳු අත දෙස අස්විද එක් බැල්මක් හෙළුවේ ය. ඊලඟට මෝටර් රථය දෙසට ඉක්මන් අඩි තැබුවේ ය. උදාර ගේ ඇස් විජාතික හැඩැති යුවතිය වෙත එල්ල වී තිබිණ.