ආදර සැලසුම් – 32

0
44

” ඒ වගේම මගේ යාලුවෙක් හිටියා “
කියා මෞර්යා ඇසූ පැනයට පිළිතුරු දී ඇයව පිටත් කර හැර නිවසට එන්නට පිටත් වුවද චන්දික උන්නේ නොසන්සුන්වය. ඒ සිටියේ අශිකා බවට සැකයක් නැත. ඇයව දුටුවේ වසර තිස් ගණනාවකට පසුවය. හරියටම බැලුවහොත් වසර තිස් පහකට පසුවය. සුළු සුළු වෙනස්කම් කිහිපයක් හැරුණු කොට අශිකා තවමත් ඒ විදිහමය. ඇය ජීවත් වන්නේ අවට පළාතක නම් මෙතෙක් කාලයක් ඇයව අහම්බයකින් වත් මුණ නොගැසුනේ මන්දැයි චන්දික කල්පනා කළේය.
නිවසට පැමිණි පසුවද චන්දික ගේ සිතේ තිබූ නොසන්සුන් බව පහව ගියේ නැත.වාහනයෙන් බැස නිවස දෙසට සෙමෙන් පියවර තබමින් පැමිණි චන්දික සෝෆා වෙන් වාඩි වූයේය.
” ඇයි චන්දික ඔයා නිකං අවුලෙන් වගේ ? “
නිහඬවම සෝෆාවේ වාඩිවී ඔහේ බලා සිටින චන්දික දෙස බලමින් නිල්මිණි සාලයට පැමිණියේ එසේ අසන අතරවාරේ ය.
” මොකුත් නෑ නිල්මිණි “
චන්දික පිළිතුරු දුන්නේ නිල්මිණි දෙස නොබලාමය. නිල්මිණී පැමිණ චන්දිකට පස්සෙකින් වාඩි වූයේ ඔහු දෙස සැලකිල්ලෙන් බලමිනි.
” ළමයාව යැව්වට ඔයාටත් දැන් හිතට මොකක්ද වගේද ? අනේ මන්දා මට අද රෑට නින්ද යයිද කියලත් බයයි “
චන්දික එය එසේ වග කියන්නට හිස සලමින් සෝෆාවෙන් නැගී සිට තරප්පුව නැග්ගේය. නිල්මිණි ඔහු යන දෙස බලා සිටියේ අමුතුවටය.
සුඛෝපභෝගී බස් රථයකින් නුවරඑළිය බලා යමින් සිටි ” Advertz ” හී සේවක සේවිකාවන් විනෝද චාරිකාව උපරිමයෙන්ම විඳිමින් හුන් අතර අභිමන් මෙන්ම ආදිත්‍යද තනතුරු පසෙකලා ඒ විනෝදයට එක්ව සිටියහ. අවසන් අසුන් කිහිපය අතර සිටි පිරිස සමග මෞර්යා ද නෙහාරා සමග ගී ගායනයට එක් වී සිටි අතර අභිමන් මෞර්යාට මදක් නුදුරින් සිට ඒ ගී ගායනයට අත් වැල අල්ලමින් උන්නේය.
බස් රථයේ මැද හරියේ අසුන් ගෙන අන් අය හා ගායනයට එක් වෙමින් ආදිත්‍ය බලා උන්නේ මෞර්යා දෙසය. ඇය සැහැල්ලුවෙන් හඬ නගා සිනාසෙන්නීය. ඒ දෙස ඕනෑ තරමක් වේලා බලා ඉන්නට හැකිය. බොහෝ කාලයකට පසුව නිවසින් පිටතට පැමිණ විනෝද වන්නට ලැබුණු අවස්ථාව අශිකාද සිත් සේ විඳිමින් උන්නාය.
” පුතා “
ආදිත්‍ය අසල වාඩි වී සිටි අශිකා ආදිත්‍ය ගේ පිටට අත තබා ඔහු ඇමතුවේ බස් රථය තුළ සියලු දෙනාගේම ගී ගායනය ඉතා උස්ව ඇසෙන බැවිනි.
” ඇයි අම්මා ? බඩගිනිද ඔයාට ? “
” නෑ නෑ. අර සුදු පාට කැප් එක දාල ඉන්න ගර්ල් අලුත් එක්කෙනෙක්ද ? “
අශිකා ඇසුවේ මෞර්යාව පෙන්වමිනි.
” ඔව් අම්මා. එයා වැඩට ඇවිල්ලා දැන් මාසයක් විතර .ඇයි ? “
” එයාගේ මූණුවර හොඳට හුරුයි වගේ මට. හරි ෂෝක් කෙල්ලෙක් “
අශිකා කීවේ මදහසක් පාන අතරේය. මග තොටේදී පවා හුරුබුහුටි තරුණියන් දුටු විට අශිකා එසේ පවසන්නේ ඇයට සිටින්නේ පුතුන් දෙදෙනෙක් පමණක් නිසාය. ඒ නිසාම ඇය තරුණියකව වර්ණනා කිරීම ආදිත්‍ය හට අමුතු දෙයක් නොවීය.
ආදිත්‍ය සහ අභිමන් සැලසුම් කළ පරිදි උදෑසන අට පමණ වන විට කුඩා හෝටලයක් අසල බස් රථය නතර කළේ උදෑසන ආහාරය සඳහාය. මෞර්යා බසයෙන් බැස විත් අවට සිරි නරඹමින් පරිසරයේ අසිරිය තම ජංගම දුරකථනයේ කැමරා කාචයට හසුකර ගනිමින් උන්නාය. සේවක සේවිකාවන් එකා දෙන්නා හෝටලය තුළට ඇදෙන විට බලා හුන් අභිමන් හෝටලයෙන් පිටතට පැමිණ බැලුවේ පැමිණි සේවක සේවිකාවන් අතර මෞර්යා නොවූ නිසාය.
මෞර්යා උන්නේ පහළින් පෙනෙන දොළ පාරක් කැමරා කාචයට හසු කර ගනිමිනි.ඒ දෙස මොහොතක් බලා උන් අභිමන් පියවර තබමින් මෞර්යා අබියසට පැමිණියේ මුහුණේ සිනහවක් ද රඳවා ගෙනය.
” ළමයා ලොකු වැඩක් වගේ “
මෞර්යා තිගැස්සුනේ අභිමන් ගේ හඬටය. කළු පැහැ කොට කලිසමකට නිල් පැහැ ටී ෂර්ට් එකක් හැඳ , කළු පැහැති කැප් තොප්පියක් ද පැළඳ සුදු පැහැති සපත්තු දමා සිටිය අභිමන් වෙතින් දිස් වූයේ වෙනදා නොවූ විරූ තරමේ කඩවසම් බවකි.
” මං ෆොටෝස් ටිකක් ගත්තා මිස්ටර් අභිමන් “
මෞර්යා ජංගම දුරකථනයේ වූ ඡායාරූප එහා මෙහා කරමින් අභිමන්ට පෙන්වූ අතර ඔවුන් දෙදෙනා අතර වූයේ ඉතාම කුඩා දුරස්තභාවයකි.
” ඔයාට හොඳ ඇහැක් තියෙනවනේ මෞර්යා.හරි ලස්සනට කැප්චර් කරලා. මට ඔය ෆොටෝස් ටික whatsapp කරනවද ? “
” අ.. මං ගාව මිස්ටර් අභිමන් ගේ පර්සනල් නම්බර් එක නැහැනේ “
ලද අවසරයෙන් අභිමන් මෞර්යාගේ අතේ තිබූ ජංගම දුරකථනය ගෙන ඔහුගේ අංකය සටහන් කර නැවත දුරකථනය මෞර්යා අතට ලබා දුන්නේය.මෞර්යා එම අංකය අභිමන්ගේ නම සහිතව සටහන් කර ගත්තාය.
” මං මේ ටික එවන්නම් “
” ඉතින් දැන් එවන්නකො “
අභිමන් මෞර්යාගේ ලගම මිතුරෙකු සේ හැසිරෙමින් ඇයට ඇවිටිලි කළ අතර මෞර්යා ද සිනාසෙමින් ඒ මොහොතේම ඡායාරූප සියල්ලම අභිමන්ගේ අංකය වෙත යොමු කලාය.
” අපිට මේ ට්‍රිප් එක එන්න තිබුනේ කලින්. බලන්නකෝ හැමෝම කොච්චර ෆන් එකේ ඉන්නවද කියල”
අභිමන් කීවේ සේවක සේවිකාවන් හෝටලයෙන් පිටත තබා ඇති කුඩා බංකු වෙත පැමිණ අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සිනහසෙමින් උදෑසන ආහාරය ලබා ගන්නා දෙස බලමිනි.
” ඇත්තටම මේ අයිඩියා එක කාගේද මිස්ටර් අභිමන්? “
” ට්‍රිප් එකක් යන්න ඕනේ කියලනං කිව්වේ අයියා. හැබැයි ඒක ස්ටාෆ් ට්‍රිප් එකක් කර ගෙන මෙච්චර ඉක්මනට ලෑස්ති කර ගත්තේ නම් මම. ඒ නිසා මේ ට්‍රිප් එකේ වැඩිපුර credit යන්න ඕනේ මට හොඳද ? “
අභිමන් සැහැල්ලුවෙන් සිනාසනු අතර මෞර්යා ද ඒ සිනහවට එකතු වූවාය.
ඉඳිආප්ප කිහිපයකට අල ව්‍යංජන ස්වල්පයකුත් , කුකුළු මස් කැබැල්ලකුත් , පොල් රොටියක් සහ ලුණු මිරිස් ස්වල්පයකුත් පිඟානකට දමා ගත් ආදිත්‍ය හෝටලයෙන් පිටතට පැමිණ වට පිට බැලුවේ කෑම බෙදා ගන්නා අය අතර මෞර්යා සිටිනු නොදුටු නිසාය. හෝටලය අසලම ගලා යන දොළ පහරට උඩින් ඇති කුඩා පාලම උඩ එකිනෙකාට ලංවී සිනාසෙමින් සිටින මෞර්යා සහ අභිමන්ව ආදිත්‍ය දුටුවේ ඉන් පසුවය.
හදවත උඩින් සියුම් රිදුමක් ක්ෂණිකව එහා මෙහා ගොස් නතර වුනු ආකාරයක් ආදිත්‍ය හට දැනුනේ මෞර්යා අභිමන් දෙස බලා සිටිනා අතරතුරය. මෞර්යා වෙනත් තරුණයකු හා සමීපව සිටිනවා තමා මේ දකින්නේ ප්‍රථම වතාවටය. එහෙත් එය හදවතට රිදුමක් ගෙන ආවේ ඇයි දැයි ආදිත්‍ය කල්පනා කළේය. මෞර්යා සමග සිටින්නේ තම එකම සහෝදරයාය. එහි තමා හට රිදවා ගන්නට කාරණාවක් නැත. එහෙත් හදවත රිදේ. ආදිත්‍යය තවදුරටත් ඔහේ බලා උන්නේය.
” පරක්කු වෙයි මෞර්යා.යමුද බ්‍රෙක්ෆස්ට් ගන්න ? “
අභිමන් එසේ කී පසුව මෞර්යා උදෑසන ආහාරය ගනු පිණිස අභිමන් සමග හෝටලය වෙත පියමැන්නාය. තමන් දෙසට ඇවිද එන අභිමන් සහ මෞර්යා බලාගෙනම ආදිත්‍ය තවදුරටත් නැවතී උන්නේය.
” අයියා? මොකද මෙතන ? කන්නේ නැද්ද ? “
අභිමන් ඇසුවේ ආදිත්‍ය කෑම පිඟානද අතැතිව බලා සිටින නිසාය. ආදිත්‍යගේ කල්පනා ලොව බිඳ වැටුණේ ඒ මොහොතේදීය.
” මං ඔයා එනකන් හිටියේ මල්ලි “
දෙන්නට පිළිතුරක් නැති තැන ආදිත්‍ය කීවේ වරදකාරී හැඟීමෙනි.
” මේ මෞර්යා ලස්සන ෆොටෝස් වගයක් අරන් තිබුණා අයියා. මෙයාට හොඳ ඇහැක් තියෙනවා. අපි ඒ ගැන කතා කර කර හිටියේ. මං අයියටත් එවන්නම් ඒ ෆොටෝස් ටික “
මෞර්යා වට්සැප් හරහා එවන ලද ඡායාරූප නැවතත් එහා මෙහා කරන අතරේ අභිමන් කීවේ ඉතා ආසාවෙනි. හිත නරක් කර ගැනීමට හේතුවක් තමාට නැති බවත් ,තමා විවාහකයෙකු බවත් ආදිත්‍ය නැවතත් සිහිපත් කර ගත්තේය.
” මං කෑම බෙදා ගෙන එන්නම් අයියා “
අභිමන් හෝටලය තුළට පියවර තැබූ අතර මෞර්යා නැවතී බලා උන්නාය. ඒ ආදිත්‍ය ගේ මුහුණේ කළු වලාවක සේයාවක් දකින්නට තිබූ බැවිනි.
” ඔයාගේ මූණ හරි නෑ ආදිත්‍යය ? මොකක් හරි අවුලකද ඉන්නේ? “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here