අරුමැති ආදරයක් – 53

0
2549

“පහුගිය දවස් ටිකේම පුෂ්පානන්ද මහත්තයා ඔයත් එක්ක ඩ්‍රින්ක් එකක් ගන්න ආවේ නෑ නේද..මං බලාගෙන ඒ ආපු දවස් දෙක තුනෙත් කලබලෙන් ආපහු ගියා..”

ශ්‍රියාමාලා විමසුවේ තම සැමියාගේ පිඟානට ඉඳිආප්පත්, කිරි මාළු හොදිත් බෙදමින්ය. ඔහු මුහුදු නොගියාට අදටත් මෙම නිවසෙහි මාළු වලින් අඩුවක් නොවේ. සැමියාගෙන් උදව් පදවු ලබාගන්නා හිත මිතුරු ධීවරයන් ඔහුගේ කොටස වෙන්කර එවන්නට අමතක කරන්නේ නැත. ඉන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් වෙන් වන්නේ සවස් යාමයේ පැවැත්වෙන මත්පැන් සාදයේ කට ගැස්ම සාදන්නටය. ඒ සාදයට විවිධ තරාතිරම්වල අය පැමිණේ. 

“උන් මං වෙනුවෙන් පණ උනත් දෙන්න ලෑස්ති වෙලා ඉන්න අය. අන්න එහෙම තමයි ශ්‍රියා  මිනිස්සුත් එක්ක හිතවත්කම් පවත්වන්නේ. වියදම් කලාට  පාඩු නෑ. ඒ වගේ තුන් හතර ගුණයකින් මට ඒවා ලැබෙනවා.”

ඒ මත්පැන් සාදය ගැන සැමියා පවසන්නේ ඒ අයුරින්ය. 

“මට තව පොල් සම්බෝල ටිකක් දානවාකෝ..”

ශ්‍රියාමාලාට පිළිතුරක් නොදුන් ඔහු යළිත් පිඟාන ඈ දෙසට දිගු කළාය.

“මිනිහ මාව මග අරිනවා..”

“ඔයා හිත රිදෙන්න මොනවා හරි කිව්වද..”

“හිත රිද්ද ගත්තද නැද්ද කියන්න දන්නෙ නෑ. කියන්න ඕන ටික මං කිව්වා. මේ නඩුවෙදි අපේ පැත්තටම බර දීලා නිකන් හිටියා මිසක්කා පුෂ්පානන්ද මහත්තයා කිසි දෙයක් කරන්න උත්සාහ කළේ නෑ. ලෝයර් කෙනෙකුට නඩුවක් බාර දුන්නහම දැන් අපි පරදිනවා කියලා කිය කිය ඉඳලා හරියන්නෙ නෑ. දිනන්න මොනවා හරි දෙයක් කරන්න ඕනේ. හොඳින් හරි නරකින් හරි වැඩේ ගොඩ දා ගන්න එක මිනිහගේ වගකීම”

“දිගටම අපේ වැඩවලට උදව් කලේ පුෂ්පානන්ද මහත්තයා තමයිි නේද..තරහ කරගෙනත් බෑනේ”

“ඒව මේ පොඩි පොඩි කේස්නේ ශ්‍රියා…මුල ඉඳලම පුෂ්පානන්ද මහත්තයා මේ කේස් එක ගැන ලොකු උවමනාවකින් වැඩ කළේ නෑ. ඔහොම ඒවද මිනිස්සු යට ගහලා තියෙන්නේ. අනිත් එක ඉතින් මේවා දෙන්නගෙ කැමැත්තෙන් වෙච්ච දේවල් මිසක්කා අපේ එකා ගිහිල්ලා ඒ ළමයා දූෂණය කරලා නෙමෙයිනේ. මේවා සාමාන්‍යයි. ඒකට මොනවමහරි කරන්න තිබුණා. මේක පැරදෙනවනම් පරදින්නේ පුෂ්පානන්දගෙ වරදින්ම තමයි”

“අපිට නොකිව්වට පුෂ්පානන්ද මහත්තයත් පුතාගේ පැත්තට අඳිනවද දන්නෙ නෑ..”

“ඒක වෙන්නත් බෑ. මං ටිකක් හොයලා බැලුවා. පුෂ්පානන්ද ගෑනිගෙන් වෙන් වෙලා ඇවිල්ලා සෑහෙන කාලයක් වෙනවා. ළමයා ගැන කියලා එහෙම දෙයක් කරල නෑ. ඌ මේ නඩුව බාර ගත්තෙත් තාත්තගෙන් පළිගන්න”

“අනේ මන්දා මේක අපෙත් නරක වෙලාවක් වෙන්න ඇති. ඔයා ඒ උනාට පුෂ්පානන්ද මහත්තයව තරහ කරගන්න එපා. අපේ සෑහෙන්න ප්‍රශ්නවලට උත්තර ඒ මනුස්සයා ළඟ තිබුණනේ. අනිත් එක අපිත් එක්ක වැඩ කරන්න පටන් අරගෙන දැන් අවුරුදු දහයකට දොළහකට වැඩියි. හෙට අනිද්දා අර බෝට්ටු ප්‍රශ්නෙත් එනවනේ”

“අන්න ඒ නිසා තමයි මමත් ඉවසන්නෙ ශ්‍රියා. වෙලාවකට මිනිහා කියන කතා වලට පිස්ටල් එක අරගෙන ඔළුව කුඩු වෙන්න වෙඩි තියන්න හිතෙනවා. දයාල්ගේ නොමිනේෂන් ප්‍රශ්නෙදි පුෂ්පානන්ද ඒ වෙනුවෙන් පෙනී හිටිනවා කියලා කිව්වා. ඒක කරන්න පුළුවනුත් මිනිහටම විතරයි. මිනිහා බොන්න හරි කෑදරයි ශ්‍රියා. හවසට කෝල් කරලා සේනක ගෙදරද කියල අහනකොටම මං දන්නවා මිනිහා අපේ ගෙදර එන්න තමයි ලෑස්ති වෙන්නේ කියලා. ඔය සතපහක් වියදම් කරලා බොන මිනිහෙක් නෙමෙයි. මේ දවස් ටිකේ මිනිහා මග ඇරපු එක තමයි මගේ හිතටත් අවුල.”

“හෙට නඩුවනේ..මං කන්දේ දේවාලෙට යනවා බාරයක් වෙන්න. ඔයා මේකෙන් පස්සේ පුතත් එක්ක කතා කරන්න. ඔය විදිහට තරහා වෙලා ඉන්න බැහැනේ..සමහර විට එයා තමන්ගෙ වැරදි වැඩ තේරුම් ගනියි.”

“ඌ මේ කරන වැඩ හරි නෑ. මේ වෙලාවේ මොනවා කළත් යන්නේ මගේ නම. මං හැමදාම ඌට කිව්වා තමන් තැනක් හදාගෙන ඊට පස්සේ කරන දෙයක් කරපන් කියලා. මිනිස්සු දැන් ඉස්සර වගේ නෙවෙයි ශ්‍රියා. වෙහෙස මහන්සි  වෙලා කෑ ගහලා තමන් පත්කර ගත්තු කෙනා එලවල දාන්නත් මිනිස්සු දැන් දෙපාරක් හිතන්නෙ නෑ. මුලින්ම ඒ විශ්වාස බිඳගත්තට පස්සේ ආයේ කිසි දෙයක් කරන්නත් බෑ. මගේ හිතේ පොඩි වැඩපිළිවෙලක් තියෙනවා. අපි බලමුකෝ…මූ ⁣ඇදගෙන නාන එකනේ ප්‍රශ්නේ”

සේනක කෑම මේසයෙන් නැගී සිටියේ එසේ පවසමින්ය. 

“ඔයා ඔය කාලා ඉවරද…..”

“මට ඇති…දයාල්ට කියන්න හෙට උසාවියට යන්න තියෙන හින්දා රෑට හොඳ සිහියෙන් ගෙදර එන්න කියලා.”

එපමණක් පවසා පඩිපෙළ බැස යන සැමියා දෙස ශ්‍රියාමාලා බලා සිටියේ ඉඳුල් පිඟානත් අත තබාගෙනය. මීට වසර කිහිපයකට එහා වැල්ලේ වූ ලෑලි නිවසක කාලය ගෙවූ අයුරු ඇයට අද මෙන් මතකය. එදවස සේනක විජයසිරි මුදලාලිගේ බෝට්ටුවක මුහුදු ගිය ධීවරයෙකු පමණි. දයාල් ඉපදුණු මුල් කාලයේ වැහි දිනවලදී ටකරන් කොළ අතරින් බේරී ආ වතුර බිඳුවලින් ඔහු රැක ගන්නට ගත් වෙහෙස අපමණය. සේනක මුහුදු ගිය බොහෝ දිනවල ශ්‍රියාමාලා ලෑලි නිවසේ තනිවම කාලය ගත කළාය. ඒ පුදුමාකාර අසීරු සමයකි. විජේසිරි මුදලාලිගේ බෝට්ටු වලින් මුහුදු ගිය පිරිස මෙහෙය වූයේ සේනකය. පිරිසක් මෙහෙයවීම එදා සිට ඔහුට වූයේ දක්ෂතාවයකි. පසු කලෙක වත්තේ පිහිටුවා ගත් කුඩා කුඩා සමිති සමාගම් වලින් ඔහු මිනිසුන්ගේ අයිතිවාසිකම් දිනා දෙන්නට උත්සහ කළේය. ඒ අනුව සේනක මුලින්ම ප්‍රාදේශීය සභා මැතිවරණයකට ඉදිරිපත් වූයේ වාමාංශික පෙරමුණකින්ය. 

ඔහුට දීර්ඝ දේශපාලන ගමනක් පවතින බව හඳහන පරීක්ෂා කළ දෛවඥයෙකු පවා පවසා තිබිණි. මුලදී ඔහුට උදව් කලේ විජේසිරි මුදලාලිය. පසු කලෙක සේනක පක්ෂයේ මාරුකළේ ඒ සඳහා සන්තෝෂම් ලෙස ලැබුණු විශාල මුදල් ප්‍රමාණයක්දද සමඟය. වැල්ල අතහැර මුලින්ම අලුත්ගම වූ කුලී නිවසකට පැමිණි අයුරුත් ඉන්පසු මේ තෙමහල් මන්දිරයට පැමිණි අයුරුත් ශ්‍රියා මාලා සිහි කළේ සතුටින්ය. මේ සියල්ල ඔහු නිසා ලැබූ ඒවාය. එනිසාම ඇගේ සිතෙහි ආදරයක්, බියක්, ගෞරවයක් සේම පක්ෂපාතීත්වයක්ද තම සැමියා වෙනුවෙන් විය. අදටත් ඔහු පවසන යමක් ශ්‍රියාමාලා හිස් මුදුනින් පිළිගන්නේ එනිසාය. සමාජයේ වැදගත් යැයි සම්මත බොහෝ දෙනකු සැමියා ඉදිරියේ හිස නවන ආකාරය ඇය දැක තිබුණාය. ඔහු සම්පූර්ණයෙන් නිවැරදි පුද්ගලයකු නොවූවත් ඇයට ඔහු රජෙකු හා සමානය. සැමියාගේ වැරදි ජීවන රටාව කනින් කොනින් සවන් වැකුණත් ශ්‍රියාමාලා ඒවා ගැන මායිම්කල ගැහැණියක නොවේ. තමාට ඇවැසි දේ පමණක් ලබාගත් ඕ සේනකගේ ජීවිතයට ඇඟිලි ගසන්නටවත් ඔහුව පාලනය කරන්නටවත් නොගියාය. ශ්‍රියාමාලාටත් ලැබෙන ගරු බුහුමන් ඒ හා සමානමය. මුලදී දැනුණු විචිකිච්චාව දැන් ඒ සිතෙහි නොවේ. ඉහළ පැලැන්තියේ ඕනෑම කෙනෙකු සමග සමසේ ගැලපෙන්නට දැන් ඇයට හැකියාව වේ. එනිසාම ඇයට සේනකගේ බලය අහිමි වනවාට බියය. 

වසර ගණනක් පුරාම තවත් දරුවෙකු බලාපොරොත්තුව සිටියත් දයාල්ගෙන් පසුව ඔවුනට දරුඵල වූයේ නැත. එනිසාම දයාල් හැදුනේත් වැඩුනේත් හුරතලයටය. ඔහුට නොලැබුණු දෙයක්යැයි පවසන්නට යමක් නොවූ තරම්ය. සේනකගේ සිතෙහි දයාල් ගැන වන්නේ විශාල බලාපොරොත්තුවකි. එහෙත් ඊයේ පෙරේදා සිට ඔහු දයාල් පිළිබඳව විසල් කලකිරීමක් දරණ බව විශ්වාසය. දයාල් නරක් වූයේ තමාගේ වරදින් යැයි සැමියා කිහිප වතාවක්ම තමාටම දොස් පවරා ගන්නා අයුරු ශ්‍රියාමාලාට ඇසිණ. දයාල් හා අවධාරණයෙන්ම  යමක් කතා කළ යුතු යැයි ඕ සිතුවේ ඒ නිසාය. හොඳින් හෝ නරකින් ඔහු නවතාගත යුතුමය.

                                  ****************

අමායාගේ නඩුව යළිත් විභාගයට ගැනෙන්නේ හෙට දිනයේය. එනිසාම ගෙවී ගිය කාලය යුගාශ්ට අවිවේකී එකක් විය. මුළු ලංකාවම ඒ දෙස බලා සිටින බව ඔහු දනී. සාධාරණය,  සාධාරණ ලෙසම ඉටුවිය යුතු අතර කොතැනකවත් වරදක් නොවිය යුතු බව ඔහු විශ්වාස කළේය.  එනිසාම සමහර තැන් ගැන යුගාශ්  දෙවරක් තුන්වරක්ම අධ්‍යයනය කළේය. නිවැරැදිම වූ සාක්ෂිය ගැන සොයා බැලුවේය. 

තමා සමග හෝ තීක්ෂණ සමඟ අම්මා අපූර්වා ගැන  කිසිවක්ම නොපැවසීම පුදුමයකි. ඇගේ ඇවතුම් පැවතුම් වල ද  වෙනසක් වී තිබුණේ නැත. සියල්ල සාමාන්‍යය.

“එනකල්ම  ලොකු නෝනා  කල්පනා කර කරමයි ආවේ. ඇවිල්ලත් ගොඩක් වෙලා යනකල් කල්පනා කළා සුදු මහත්තයා. වෙනද වගේ අපූර්වා මිස් ගැන කතා කලෙත් නෑ.”

යුගාශ් උදෑසන නන්දනීගෙන් ප්‍රශ්න කළේ බැරිම තැනය. අඩු තරමේ මවගේ වතෙහි තරහවක, කලකිරීමක සේයාවක්වත් වේදැයි සොයන්නට යුගාශ් වෙහෙස වූවේය. 

“මටත් හිතාගන්න බැරි ඒකනේ බං. සාමාන්‍යයෙන් අපේ අම්මට දෙයක් මගෙන් හංගගෙන ඉන්න හරි අමාරුයි. අපූර්වගේ ගේ හදන වැඩේට අම්ම මැදිහත් වුනේ ඒක තමන්ගේ වැඩක් කියලා හිතාගෙන. එහෙ ගිහිල්ලා ආපු හැම වතාවකම අම්මට කතා කරන්න ඕන තරම් දේවල් තිබුණා. ගෙයි වැඩ කොහොමද කියල මටත් අහන්න මොකක්ද වගේ බං”

තීක්ෂණ පවා ‘අම්මා කුමක් කීවාදැයි..’ අසද්දී යුගාෂ් ඔහුට පිළිතුරු දුන්නේ ඒ අයුරින්ය. 

“ඒ නිහඬකම කොයිවෙලාවක බෝම්බයක් වෙලා පිපිරෙයිද දන්නෙ නෑ බං.”

“ඒකම තමයි මටත් තියෙන බය..”

“ඒක නෙමෙයි බං අංකල් ඇයි මේ තරම් නිහඬ වෙලා ඉන්නේ..ඒ ලේසියෙන් පැරදෙන මනුස්සයෙක් නම් නෙමෙයි ඈ. ඒ නිහඬකම යට මොකක්දෝ අවුලක් තියෙනවා කියලා උඹට හිතෙන්නේ නැද්ද..මට නින්ද ගියෙත් නෑ ඒකම කල්පනා කරලා”

යුගාස් හිස වැනුවේ ‘ඔව්’ යැයි පවසමින්ය. ඔහු බලාපොරොත්තුවෙන් සිටියේත් මේ පිළිවෙල නොවේ. අප්පච්චී මේ සා ලෙහෙසියෙන් පරාජය භාර ගත්තා යැයි සිතන්නට හැකියාවක් ද ඔහුට නොවේ. විටෙක මේ නිහඬකම ඔහුගේ ජයග්‍රහනයේ සංකේතයක්දැයි යුගාශ්ට සිතිණ. නඩුවක් අවසන් වනතුරුම එය කුමන අතකට පෙරලේදැයි විනිශ්චය කිරීමේ හැකියාවක් නොවේ.

තමාට පහර දීමේ සිද්ධියට දයාල් පොලිසියට බාර වූවාට පසුව දැඩිව අවවාද කර මුදාහැර තිබුණේ ඇප මතය. එනිසාම ඔවුන් නිහඬවන්නට ඇතැයි සිතුනත් අප්පච්චී මේ සාම නිහඩ වීම පුදුමයකි. දන්නා තරමෙන් ඔහු ඉන්පසු අම්මාට කතා කර තිබුණේද ද නැත. 

යුගාෂ් පංචාලිට ඇමතුමක් ලබාගත්තේ තීක්ෂණ බලා සිටියදීමය.

“අම්මෝ මාව මතක් වෙලා තියෙන්නේ. මං හිතුවා මේ වෙද්දි කකුල් දෙකත් වතුර බේසමක දාගෙන වැඩ ඇති කියලා.”

“ඇයි ඒ..”

“ඇයි අනේ ඉතින්, හෙට නඩුව දිහා කී දෙනෙක් බලන් ඉන්නවද? අපිටත් ආඩම්බරයි ඉතින් අපේ යාළුවෙක් කියලා කියන්න. මගෙන් මොනවා හරි උදව්වක් ඕනෙද..”

“එහෙම නෑ පංචාලි මං අවශ්‍ය වුණොත් කියන්නම්. අප්පච්චි ඔෆිස් එකේ නැද්ද..”

“සර් රූම් එකේ ඉන්නවා. ඇයි…”

“අප්පච්චි මේ නඩුව ගැන මුකුත්ම කතා කළේ නැද්ද..”

“නෑ යුගාශ් හැබැයි මීට දවස් දෙකකට විතර කලින් සර් පුදුම කතාවක් කිව්වා. මං ඔයාට ඒක කියන්නත් හදලා මේ වෙලාවේ ඒක කියන එක හරි නෑ කියලා හිතුනා.”

“මොකක්ද……”

“සර්ගෙන් අහන්නේ නැතුව කිසිම නඩුවක් බාරගන්න එපා කිව්වා. සර් කතා කරන ඉඩම් නඩු කිහිපයකුත් කේශවටයි, ආදිත්‍යටයි,  මටයි පැවරුවා. මං ඒත් ඇහුවා සර් ටික කාලෙකට පිටරටකටවත් යන්නද හදන්නේ කියලා. හිනා වුනා විතරයි කිසිම උත්තරයක් දුන්නේ නෑ. අද කේශවත් කිව්වා සර් වෙනදට වඩා ගොඩක් කල්පනා කරනවා කියලා. හැමෝම හිතන් ඉන්නේ මේ නඩුවෙන් සර් අපහසුතාවයට පත් වෙච්ච නිසා සර්ගේ හිත රිදිලා කියලා.” 

“ඔයාට මොනවද ඒ ගැන හිතෙන්නේ…”

“මට හිතා ගන්න බෑ…ගෙවිච්ච මේ සති දෙක ඇතුළෙ සර් අසාමාන්‍ය විදිහට නිහඬ වුණා. ඒ මේ  නඩුව නිසාම කියලා හිතන්න අමාරුයි නේද යුගාශ්. ඕවා මේ ෆීල්ඩ් එකේ සාමාන්‍ය දේවල් . අනික  සර් එක තැනකින් නම නැති වෙද්දි තව තැනකින් නම ආරක්ෂා කරගන්න බැරි කෙනෙක් නෙමෙයි නේ. කොටින්ම හෙට තියෙන මේ නඩුව ගැන සර්ගේ හිතේ කිසිම උනන්දුවක් නෑ. අද හවස මමත් එක්ක ඩොකියුමන්ට්ස්  රෙඩි කලා. ඒ වෙලාවෙවත් කිසිම දෙයක් කතා කළේ නෑ. අනේ මන්දා..සර් වෙලාවකට අපිට කෑ ගහනවා, බනිනවා ඔෆිස් එක දෙවනත් වෙන්න. දැන් ඒ කිසිම දෙයක් නෑ යුගාශ්”

“දැන් අප්පච්චි ඉන්නව නේද……”

යුගාෂ නැගී සිටියේ දුරකථනය කන තබාගෙනමය. මේසය  මත වූ වාහනයේ  යතුර අතට ගත් ඔහු තීක්ෂණට දෙසට හැරුනේ ඇමතුමට සමු දෙමින්ය..

(යළිත් හමු වෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here