පෝය දා ට ගමේ පන්සලේ සිල් සමාදන් වන සිල් ඇත්තන්ට හැන්දෑවේ ගිලන්පස පූජාව තුසිතයෙනි. වජිරා ඒ වෙනුවෙන් උදේ සිට ම ලක ලැහැස්ති වන්නී ය. ගිලන්පස වෙනුවෙන් ඉඟුරු කොත්තමල්ලි ද බෙලිමල් ද සීනි දැමූ තේ ද සීනි නො දැමූ තේ ද හකුරු ද සූදානම් කිරීම ඇගේ සිරිතයි. සනුක දවල්ට බයිසිකලයකින් ගොස් ලොකු ඇළුමිනියම් කේතල කිහිපය පන්සලෙන් රැගෙන එයි. ගිලන්පස සමගින් වජිරා ව පන්සලට කැටිව යාම අස්විද ගේ සිරිතයි.
ගිලන්පස ගෙන යන්නට පෙර වජිරා මල් කූඩයක් කඩාගෙන වන්දනාමාන කටයුතු සඳහා සූදානම් වන්නී ය. සාමාන්‍යයෙන් ඇය හැම පෝයට ම සිල් සමාදන් වන්නියක නොවේ. දරු පවුල් ඇති අම්මලා ට නිවන දුර යයි කතාවට කියයි. වජිරා පෝයට පන්සලට වී සිල් ගන්නවාට වැඩිය ගෙදර ඉන්නට කැමති චූටි පුතාත් ලොකු පුතාත් දෙදෙනා ම එදාට අනිවාර්යයෙන් ගෙදර බැවිනි. ඔවුන් ට කන්නට බොන්නට විශේෂ දෙයක් සකසමින් ද ඔවුන් සමග කතා බහ කරමින් හිත සැනසිල්ලේ ද ගෙවෙන දවසට, ඇය සිල් සමාදන් වීමට වැඩියෙන් කැමති ය. නමුත් වෙසක් පොසොන් වැනි විශේෂ පෝයකදී, වසරකට වරක්වත් ඇය සිල් ගනී.
‘නිතර සිල් නොගත්තට මං කරන පිං ඇති. අනිත් එක බෞද්ධයෙක් පන්සිල් කඩන්නැතුව ඉන්නවනං එච්චරයි. සිල් ගන්න පන්සල් දුවල බොරුවට එතන නිදි කිර කිර ඉඳල වැඩක් නෑ’
ඇගේ අදහස එයයි. පෝය දා ට ගිලන්පස පූජාකොට අහවර හිතේ හැටියට බෝධි පූජාවක් තබා වන්දනාමාන කරගැනීම ඇයට සාංඝික දානයක් දුන්නා බඳු සතුටක් ගෙනෙයි. ඒ පූජාවන් සැමියා හා අස්විද සමගින් ම සිදු කරන්නට හැකි වීම ගැන ඈ වඩාත් කැමති ය. මතු යම් භවයක එක ම දම් සභා මණ්ඩපයක ඔවුන් හැම දෙනාට ම නිර්වාණාවබෝධය ලබන්නට හැකි වේවායි ඇය ඉත සිතින් පතයි.
ගිලන්පස පූජාව සඳහා යසස්වි ද සම්මාදම් වූවා ය. විජිත සමග වත්ත පහළින් ඉඟුරු ගැලෙව්වේ ඇයයි. කොත්තමල්ලි සෝදා වියළි කබලේ බැද්දේ ඇයයි. සිල් ඇත්තන්ට ගිලන්පස බෙදීමටත් ඇය හවුල් වූවා ය. ඒ සියලු කටයුතු වලදී චිත්ත සමාදානය පවත්වාගන්නට ඇය වගබලා ගත්තා ය. නමුත් අළු යට ගිනි පුපුරු සේ, ගිනි කන්දක පපුව සේ, ඇතුළාන්තයේ හැම මොහොතක ම ගිනි මැළයක් විණි.
අස්විද සමගින් පොලීසියට ගොස් උදාර ට විරුද්ධව පැමිණිල්ලක් ගොනු කිරීමෙන් පසු පොලිස් නිලධාරියා ඒ වෙලාවේ ම ඔහු ට දුරකතන ඇමතුමක් ලබා දුන්නේ ය.
‘මේ යසස්වි කියන ගෑනු ළමය පැමිණිල්ලක් දාල තියෙනව තමන්ගෙන් එයාට තර්ජන තියනව කියල… එයාගෙ ආරක්ෂාව වෙනුවෙන්. මීට පස්සෙ එයාට මොකක්හරි වෙලා තිබුණොත් අපිට තමුන්ව අත්අඩංගුවට ගන්න සිද්දවෙයි. අපි මේ ගැන අනුරාධපුරේ පොලීසියටත් ඉන්ෆෝම් කරනව. කැම්පස් එක ළඟට ඇවිත් එයාට කිසීම බලපෑමක් කරල අහුවෙන්නෙපා’
‘ඔය මං බඳින්න ඉන්න එකී සර්. ඕකි කොළඹ ගිහින් වෙන එකෙක් එක්ක නටනව’
උදාර ගත් කටට ම කීවේ ය.
‘මේ මේ… තමුන්ල කසාද බැඳල නෑනෙ. එක පාර්ශවයක් ඒකට බෑ කියනවනං බලමත්කාරෙං තීරණ ගන්නවන්න බෑ. ලිඛිත පොරොන්දු තියනවනං තමුන්ට පුළුවන් පඅමිණිල්ලක් දාල නඩු මාර්ගෙට බහින්න. හැබැයි මේ ළමයට කරදරයක් වෙලා තිබුණොත් ඒකට තමුන් තමයි වැරදිකාරය වෙන්නෙ. අන්න ඒක මතක තියාගෙන වැඩ කළොත් හොඳයි’
උදාර මේ අනතුරු ඇඟවීමෙන් කිපී වෙහෙරගොඩ මුදලාලි සමගින් බහින්බස් වීමක් ඇති කරගත්තේ ය. වෙහෙරගොඩ මුදලාලි නයෙකු සේ කිපී විත් සිය බිරිඳ හමුවෙහි ලොකු අඩව්වක් ඇල්ලුවේ ය.
‘ඕකි කොහොමද එච්චර හිතුවක්කාර වෙන්නෙ ආ… ඒකිට හිතන්න තිබුණ මට නිදහසේ ප්‍රශ්න නැතුව මගෙ බිස්නස් එක කරං ඉන්නනං ඒකි ඔය කසාදෙ කරගන්න ඕනයි කියල. මගෙ මෝඩකම… මගෙ මෝඩකම… කැම්පස් එකේ පේමන්ට් එක එකපාර ගෙවපු එක. නැත්තං බලාගන්න තිබුණ කොහොමද කැම්පස් යන්නෙ කියල’
තාත්තා අඩි පොළොවේ ගැසූ හැටි යසස්වි දැනගත්තේ අම්මා දුරකතන ඇමතුමක් දී පැවසූ බැවිනි. මින් මනතට ඇයට ගෙදරට අඩිය ගැසිය නො හැකි බවත්, ඇය ඔහු ගේ දරුවෙකු සේ නෙි සලකන බවත් හෙතෙම තරයේ පවසා ඇත.
‘තාත්තගෙ කේන්තිය හෙමිහිට නිවෙයි. මං ඔයාගෙ වියදමට සල්ලි පොතට දාන්නං. තාත්ත ටිකක් නිවුණහම…පුළුවං වෙච්ච ගමං මං ඇවිත් යන්නත් එන්නංකො. එතකල් ඔයා පරිස්සමෙන් ඉන්න. උදාරව බඳින්න බෑ කියල නතර වෙන්නැතුව පොලීසි ගිහිං මේක කෙළවරක් කරගන්න ඔයාට තිබුණ හයිය ගැන මට සතුටුයි දුව’
අම්මා ගේ වදන් සිහි වී යසස්වි දිගු සුසුමක් හෙළුවා ය. තාත්තා රිදවන්නට ඇයට ඕනේ නැත. නමුත් ඉක්මනට නැතත් පමා වී හෝ ඔහු ඇයට සමාව දෙනු ඇතැයි යසස්වි හිත හදාගත්තා ය. ඇතැම් විට තාත්තා ට ඔහු කරන්නට ගිය වරදෙහි බරපතලකම දැනෙනුයේ ජීවිතය අග්ගිස්සෙහි දී වන්නට පිළිවන.
පන්සලේ දී කොලුනඩයට වැටී සිටියා කියා එනගමන් රියෙහි දී යසස්වි සනුක ගේ කන ඇඹරුවා ය.
‘මලක් පහනක් පූජකරල බෝධිය නෑව්වනං මොකද වෙන්නෙ… කොලු නඩේට වෙලා කෙල්ලොන්ට විහිළු කර කර හිටිය’
‘ඌයිය ඕයි… සිල්ගන්න තව කල් තියනව’
‘ආ… ඉස්සල්ලම කෙල්ලෙක් හොයාගන්න වෙන්නැති ඕනෙ’
‘ඒවත් ඉතිං කෙරෙන්නෙපැයි’
‘යසස්වි නැවත ද කන ඇඹරුවා ය.
‘හිතං ඉන්නෙ එච්චර ලොකු මිනිහෙක් කියලද…’
‘ඌයි… බලන්නකො ආච්ච’
‘අපිට තමයි ඔය සද්ද සනුක’
ඒ වෙලාවේ අස්විද එවැන්නක් කියාවියි යසස්වි සිතුවේ ම නැත.
‘උදාර දැක්කහම වෙව්ලනව’
රියෙහි පිටුපස අසුනේ උන් ඇයට අස්විද ගේ දෑස් ඉදිරි කැඩපතින් පෙනිණ. ඒ ඇස් කතාකරයි! මොහොතකට වචන හිඳී යනු යසස්වී ට දැනිණ.
‘ඔව්… බාප්පට තිබ්බෙ උදාරයට මෙයාව උස්සං යන්න දෙන්න’
‘දැං තාත්ත ගෙදරට වද්දගන්නෙත් නෑනෙ. මෙහෙං කොල්ලෙක් හොයාගන්න තමයි වෙන්නෙ’
‘ඉතිං කොල්ලෙක් ඉන්නෝ තමයි’
අස්විද ට රියෙහි තිරිංග පෑගෙන්නට ගියේ ය. සනුක පවා ඒ ඇත්තකට ගත්තේ ය.
‘අන්න අන්න තමුසෙ මට කිව්වෙත් නෑ හොඳේ’
‘කියන්නංකො හෙමීට. ඔක්කෝටම කලින් නඩු ගාස්තු ගෙවල ඒවයෙං නිදහස් වෙලා ඉන්න ඕනනෙ’
‘ඒක හරි පුතා. ණය තියාගන්න හොඳනෑ’
විජිත බොරුවටත් එක්ක සිනහ වුණේ අස්විද ගේ සිනහව තුනී වී යනු දුටු බැවිනි. ගෙදරට යනතුරුත් ඉන්පසු අස්විද කතා කළේ නැත. තේ බොන්නවත් එළියට නෑවිත් ඇඳ බදාගත්තේ ය. නමුත් ඔහු ට නින්ද ගියේ තව බෝ වෙලාවකට පසුයි.
ඔහු ගේ තේ එක සීතල වී ගොස් තිබුණෙන් යසස්වි එය රත් කරගෙන කාමරයට ගියේ අස්විද අවදි වී නැත්නම් කතා කරන්නට හිතාගෙන ය. එක අතක තේ කෝප්පය ද අනිත් අතේ සමපෝෂ ගුලියක් සහිත පීරිසිය ද වූයෙන් දොරට තට්ටු කරන්නට නිදහස් අතක් නොවිණි. ‘මං එනවා’ යි කියාගෙන ම ඇය ඇතුළු වන විටත් අස්විද සිටියේ දිය නාගෙන විත් සළුව ඇඳගත් ගමන් ය. යසස්වි ට කෑ ගැසෙන්නට ගියේත් අස්විද ‘ෂ්… කට කට’ කීවේත් ඇය ඇස් දෙක පියාගත්තේත් එකට ම ය.
‘ගෙදර මිනිස්සු බලයි කෑගහනකොට මං මෙයාට අතවරයක් කරලයි කියල’
ඔහු සැර වූයේ ය.
‘හරියට ඇඳුං ඇඳගෙන ඉන්නෙපැයි’
‘ඇඳුං නැතුව හිටියත් මගෙ රූම් එකේනෙ. මොකටද මේකට ආවෙ…’
‘ආවෙ පව් හින්ද තේ එක දෙන්න’ ඒ අතරවාරයේ අස්විද ඉක්මනින් බොටම් කලිසම හැඳගෙන තේ එක අතට ගත්තේ ය. යසස්වි යන්තමින් එක ඇහැක් පමණක් විවර කොට බැලූ බැලිල්ල ඔහු ගේ තොල් කොනේ සිනහවක් තවරන්නට සමත් විණි. ඇය දෑස් විවර කළේ බොරු නෝක්කාඩුවකිනි. හදවතෙහි අනවරත ගැස්මක් විය. අස්විද ගේ නග්න පිරිමි පපුව දෙස නො බලා සිටින්නට යසස්වි හැකි තරම් උත්සාහ කළා ය.
‘මං යනව’
ඇය හැරුණා පමණකි. අස්විද වහා අත් බාහුවෙන් අල්වා ඈ නතර කළේ ය. යසස්වි යළි හැරී තිබුණේ ඔහු ගේ සසල දෑස් මත්තෙහි යි.
‘එක්කො කමන්නෑ’
ඔහු ඈ අත්හැරියේ ය. පපුව පිච්චී යන සංවේදනයක් ඇය අත්වින්දා ය.
‘කියන්න’
‘මුකුත් නෑ’
ඇය ගස්සාගෙන යන්නට ගියා ය. තේ එකත් සමග අස්විද යහන මතින් හිඳගත්තේ අපේක්ෂා භංගත්වයක සුසුමක් සමගයි.
ඇය රෑ කෑම මේසයට පැමිණීම ප්‍රතික්ෂේප කරමින් ‘තාම බඩගිනි නෑ’ යි නිදහසට කාරණා කීවා ය. වජිරා සැක සිතිය හැකි නිසා, අස්විද හා විජිත කෑම ගෙන අවසාන වීමෙන් පසු බත් ස්වල්පයක් බෙදාගත්තා ය. සැබවින් ම ඇයට කන්නට බැරිකමක් දැනිණ. රාත්‍රියේ අස්විද ද සනුක ද මතුමහළට විත් අල්ලාප සල්ලාපයේ යෙදී සිටියහ. යසස්වි හිතා මතා ම ආලින්දයට නෑවිත් කාමරයට වී පරිගණකය දිගහැරගෙන සිටියා ය. සනුක කතා කළ විට ‘වැඩ වගයක් තියනව සනුක’ කියා මගහැරියා ය. අස්විද ටිකක් වෙලා සඳැල්ලෙහි පමා වූයේ ය. නමුත් ඇය සඳැල්ල දෙස බැලුවේවත් නැත.
ප්‍රශ්නය යළි ඇරඹුණේ පසු දා හැන්දෑවේ ය. අස්විද රිය පුහුණුවට යාමේ සූදානමින් සිටියත් යසස්වි එවැන්නක් අමතකයි වාගේ මතුමහලට වෟ සිටියා ය. අස්විද ට ඇය සොයා එන්නට සිදු විය.
‘මොකද්ද වෙලා තියෙන්නෙ…’
ඈ බඅලුවේ සිනහවක් නැති දෑස් කුඩා කරගෙනයි.
‘මොකද්ද…’
‘යන්නැද්ද…’
‘ම්හු’
‘ඇයි…’
‘ඕන්නෑ. කොහොමත් දැං තාත්ත කා එක අරං දෙන්නැති නිසා වැඩක් නෑ’
‘ඇයි අර කොල්ල අරං දෙයිනෙ’
රැලි ගැසුණු නළලෙන් යුතුව ඔහු වෙතට එක් බැල්මක් හෙලූ ඕ නැගිට රිය වෙත ගියා ය. අස්විද ගේ මුහුණ මත ජයග්‍රාහී හස රැල්ලක් සරැලි නැඟිණි.