මුතු බෙලි හදවත 32 වන කොටස

දුර්වල ව දියාරු ව වැගිරෙනා ගැහැනියක නො වන්නට ආදිත්‍යා හිත තද කර ගත්තා ය. විකුම් ඇයට ගෙදර යන්න කතා කරන්නේ ආදරයකට නො වන බව ඇය දනී. අවුරුදු තුන හතරක යුග දිවිය, ඔහු ට ආදරය කියන දේ ගැන තිබෙන්නා වූ අදහස ගැන ඇය ට කදිම පාඩම් කියා දෙන්නට සමත් වී තිබේ. රෑ වැටුණ වළේ දවාලේත් නො වැටෙන්නට තරම් දැන් ආදිත්‍යා පරිනත ය.

කලබල නො වන්නට විකුම් සිතා ගත්තේ ය. දැන් ආදිත්‍යා ඉන්නේ ඔහු ගේ හඬ ටිකක් උස් වූ පළියට ඔහු කියනා ඕන ම දෙයක් කරන්න ට සූදානම් තත්වයක නොවේ.

“ආදි. මේව රට්ටු හිනස්සන වැඩ. හරි…අපි අතරෙ ප්‍රශ්නයක් තියෙනව තමයි. ඒක මේ…මින්දුල සම්බන්ධ එකක්නෙ. ඒ මිසක්…අපි දෙන්නට වෙන ප්‍රශ්නයක් තිබිල නෑනෙ…නේද…”

ආදිත්‍යා හිත යටින් සිනහ වූවා ය. ඔවුන් සිතන්නේ ගෙදරින් පිට තවත් ස්ත්‍රීන් කී දෙනෙකු සමග සම්බන්ධතා පැවැත්වූවත් ගෙදර බිරිඳට ඒ ගැන ගැටළුවක නැත කියා ය. කන්නට බොන්නට අඳින්නට ලැබෙනවා නම් ඒ ගැන කතා කරන්නට හෝ ඔවුන් ට අයිතියක් නැත කියා ය. ආදිත්‍යා ට සිය නැගණිය මේ ගැන පැවසූ යම් යම් කාරණා සිහි විය. විකුම් ඇත්තට ම ශිරෝෂි ට පෙම් කරනවා වෙන්නට බැරිද?

“විකුම්”

ආදිත්‍යා ඉතාමත් නිවුණු පහළ ස්වරයකින් ඔහු ඇමතුවා ය.

“ඔයා ශිරෝෂි ට ඇත්තටම ආදරේ ද..”

මේ වගේ වෙලාවක ඒ වගේ ප්‍රශ්නයක් ඔහු කිසි සේත් ආදිත්‍යා ගෙන් බලාපොරොත්තු වූයේ නැත. මේ වගේ මොහොත වලදී විවෘත නොවී ඉන්නා හැටි පිරිමි දනිති. ඔවුහු සිය හදවත කිසි සේත් නීත්‍යානුකූල බිරිඳ ට වුව විවර නො කරති.

“වැඩක් නැති කතානෙ ඕව”

ඔහු නො සැලකිලිමත් ලෙස කීවේ ය. නමුත් ආදිත්‍යා ගේ ඇස් අන්වීක්ෂ සේ ඔහු ගේ සුළු වෙනසක් පවා නිරීක්ෂණය කරනා සූදානමේ සිටියේ ය.

“ආදි. ඔයා මගෙ වයිෆ්. මේ මුළු ලෝකෙම පිළිගන්න දේ ඒක. අනිත් සේරම ගණං ගත යුතු නැති පුංචි පුංචි කාරණා. අපි සාමාන්‍ය මිනිස්සු නෙවෙයි. අපි මේ ලෝකෙට උත්තර බඳින්න ඕන. ඔය මනස්ගාත අත්ඇරල දාල ගෙදර යන්න එන්න”

“,ලෝකෙම පිළිගන්න දේ ඔයා පිළිගන්නෙ නැත්තං..ඒක මගෙ හදවතට දැනෙන්නෙත් නැත්තං ඇති වැඩේ මොනද්ද විකුම්…එක්කෙනෙකුට පුළුවන් වුණාට එකපාර දෙතුන් දෙනෙක් එක්ක සම්බන්ධකං තියා ගන්න…ඒ දෙතුන් දෙනාගෙං එක්කෙනෙකුට හරි ඕන නැත්තං ඒ වගේ සම්බන්ධ කමක් ඇතුළෙ ඉන්න…එයාට යන්න දෙන්න වෙනව විකුම්”

ආදිත්‍යා තියුණු බැල්මකින් යුතු ව කීවා ය. ඒ බැල්ම එක එල්ලේ විඳ ගන්නට විකුම් සමත් වූයේ නැත.

“ඒ කියන්නෙ ඔයාට යන්න ඕනයි කියන එකද…”

“මට මං අකමැති තැනක තවත් ඉන්න ඕන නෑ කියන එක”

විකුම් සුසුමක් හෙළුවේ ය. දැන් ආදිත්‍යා ඉන්නේ නම්මා ගත හැකි තැන් පසු කර ගොසිනි. නමුත් කෑ කෝ ගසන්නට හෝ අත පය පාවිච්චි කරන්නට යාමේ මෝඩ කම නො කරන්නට ඔහු හිතා ගෙන ටික වෙලාවකි.

“හරි. අපි ගෙදර යමුකො. ඔයා කැමති විදිහකට ඉන්න. මං කිසි දේකට ඇඟිලි ගහන්න එන්නෙ නෑ. හැබැයි මේ ඉලෙක්ෂන් එක වෙනකල්වත්….”

නො කිව යුතු වූ වචනය විකුම් ගෙන් පිට විය. ආදිත්‍යා අවඥා සහගත සිනහවක් පෑවා ය.

“මට තේරෙනව. ඔයාට කසාදයක් වුණත් ඕන චන්දෙකදි ආරක්ෂිත කටුවක් විදිහට විතරයි”

“අයියෝ…එහෙම නෙවෙයි. පොඩ්ඩක් තේරුං ගන්න ආදි. මාත් මනුස්සයෙක්. ඔයා මේ මින්දුල ගෙ ප්‍රශ්නෙං පස්සෙ පුදුම විදිහට හිතුවක්කාර වෙලා”

“හරි. එක කොන්දේසියක් උඩ මං ඕනනං ඔයාට එක අවස්ථාවක් දෙන්නං”

“යකෝ…කසාද මිනිහ ළඟට එන්න ගෑනි කොන්දේසි දානව. හරි හරි මොකද්ද දැං ඔය කොන්දේසිය..”

“ඒ ගෙදරට මං එන්නෙ නෑ. ඔයාට මාවයි පුතාවයි එක්ක යන්න ඕනනං වෙන ගෙයක් ගන්න”

සියතට හසු වූ පාටකූරු පෙට්ටියක් විකුම් පොළොවේ ගැසුවේ ය.

“පිස්සුද ඕයි”

ඒ සමග ම ඔහු කෑගැසුවේ ය. ආදිත්‍යා බිඳකුදු බිය වූයේ මින්දුල කලබල වෙතැයි සිතා පමණකි.

“නැත්තං මට සිද්ද වෙයි මගෙං අහන පත්තරකාරයන්ට කියන්න…මගෙ මාමණ්ඩිගෙං මට කරදරයි කියල”

“බොරු කතා හදන්නෙපා හරිද…බොරු කතා”

ගිනි ගත් දෑසින් ටික වෙලාවක් ආදිත්‍යා දෙස බලා උන් විකුම් නික්ම ගියේ ය.

මින්දුල නිදි කොට තබා දරුවන් ගේ පොත් බලන්නට ගත් ආදිත්‍යා දුමාල් ට දුරකතන ඇමතුමක් ගත්තා ය. ඔවුන් දෙදෙනා ව විකුම් ගේ අතට ම හසු වන්නට ගියයුරු කියත්දී ඇගේ සිරුරේ හීගඩු පිපී තිබිණි.

“වැරදි නොකරම වැරදිකාරියක් වෙන්න මට බෑ දුමාල්. ටික දවසකට ඔයා මෙහෙ එන්නෙපා”

ඈ ඒ වචන ටික කටින් පිට කර ගත්තේ අසීරුවෙනි. ඔහු ගේ හදවත දෙදරා ගියත් තත්වය තේරුම් ගන්නට දුමාල් ට හැකි වූයේ ය.

“අපි බලමු මොකද්ද වෙන්නෙ කියල. මට පේන විදිහට විකුම් ඩිවෝස් එකකට ලෑස්ති නෑ වගේ”

“එයාට කසාදයක්වත් දික්කසාදයක්වත් වැදගත් නෑ. ඒ ඔක්කොම රටට පෙන්නන්න අටෝගත්ත දේවල් විතරයි. මට ඕනෙ ඔයා පරිස්සං වෙන්න. ඔයා පරිස්සං වෙන්න දුමාල්…මගෙ පුතා වෙනුවෙං”

“බය වෙන්න එපා. මං පරිස්සං වෙන්නං”

ඒ වචන ආදිත්‍යා තුළ මොහොතක සැනසීමක් දැනවූවත්, හැම හුස්මක් ගානේ ම ඈ හිටියේ දෙගිඩියාවේ ය. පෙර පාසල වෙත එක සන්ධ්‍යාවක පැමිණි ජයලත්, ආදිත්‍යා ව යළි මහ ගෙදර කැටුව ගියේ ය.

“අම්ම තාත්තා ඉද්දි නැන්දම්මගෙං රැකවරණෙ ලබන්න තරං උඹ අසරණ වෙන්න ඕන නෑ ලොකූ. අපිට සමා වෙලා උඹ ගෙදර යමං”

ආදිත්‍යා ට තාත්තා ගේ ඉල්ලීම නො සලකා හළ නො හැකි විය. අනිත් අතට මේ වෙලාවේ හොඳ ම දේ එය බව ද ඇය දැන සිටියා ය. සඳසීලී ද ඊට එකඟ වූයෙන් ආදිත්‍යා යළිත් මහ ගෙදර ගියා ය.

“අපි ලෝයර් මහත්තයෙක් අල්ලල දික්කසාද නඩුවක් දාමු”

ශරීර ශක්තියෙන් දුර්වල වී සිටිය ද හිතින් දුර්වල නැති ජයලත් ඒ තීන්දුවට එළඹියේ මේ දින කිහිපයේ ම කල් ගෙන කල්පනා කීරීමෙන් පසු ය.

“හරියට හරි තාත්තෙ. අපි එක අඩියක් හරි ඉස්සල්ල තියන එක අපිට වාසියි. ඔක්කෝම අසාධාරණකං වෙලා තියෙන්නෙ අපේ අක්කටනං…අපි ඇයි නිකං බලං ඉන්නෙ…දික්කසාදෙ ඉල්ලන්න ඕනෙ අක්කට කරපු අපහාසෙට වන්දියකුත් එක්කමයි”

ආදිත්‍යා ට වඩා ඒ තීන්දුව නිසා කුලමත් වූයේ ආමන්තා ය. නමුත් ලලිතා ගේ මුහුණේ නම් ඒ හැටි හොඳක් වූයේ නැත. ඈ සිතුවේ විජයවික්‍රම ලා ගේ බල පුළුවන්කාරකම් ගැන ය. ඉතා ම සාමාන්‍ය පවුලකට අයත් තමන්, ඔවුන් සමග හැප්පෙන්නේ කෙසේ දැයි ඇය තැති ගෙන උන්නා ය.

“මට බය තාත්තල දුවල කළු ගල් වල ඔළුව හප්ප ගන්න හදන එක ගැන. විකුම් ඇවිත් ගෙදර යන්නත් කතා කළ එකේ…එයා දික්කසාදෙ දෙයිද එහෙම…අපි මොනා විකුණල නඩු කියන්නද ජයේ…”

“ගොඩ ඉඳගෙන පීනන්න බෑනෙ ලලිතො. වතුරට බැහැල බලමු මොකද වෙන්නෙ කියල”

ආදිත්‍යා ට මහත් සැනසීමක් දැනිණ. ඒ, තාත්තා යෝධ හයියක් දනවමින් මේ ප්‍රශ්නය ට මැදිහත් වූ හින්දා ය. ඈ සිය යෞවනයේ දී  දුටු එක ම පිරිමියා තාත්තා ය. විකුම් සේ ම සේනක ද ජයලත් වාගේ පිරිමින් නොවේ. ඔවුන් ගේ හැසිරීම් දකිත්දී ඈ තැති ගත්තේ ඒක ය. ‘හැම පිරිමියා ම එක වගේ’ යයි කියන්නට කටට එන හැම වතාවක ම ඇය ට සිහි වූයේ තාත්තා ය. දැන් දුමාල් ද ඒ ගොඩට ඇතුළත් ව තිබේ!

ටික දිනකින් දුමාල් ට ආදිත්‍යා ව හෝ මින්දුල ව දකින්නට නො ලැබිණ. ඔහු  සාංකා සිතිවිල්ලකින් පෙළුණේ ය. කිහිප වතාවක් ම කතා කොට ඔහු ආදිත්‍යා හමු වන්නට විමසුම් කළ මුත් ඈ අනුබල නොදී හිටියා ය.

“මං දන්නව දැං කොයි වෙලේ හරි දුමාල් අයිය එනව නර්සරි එකට”

ආමන්තා සිනහ වෙවී කීවේත් පෙර පාසලේ ඉගැන්වීම් හමාර වෙන හෝරාවේ ය. ඔහු එහෙව් හිතුවක්කාර කමක් කළ නො හැකි පුද්ගලයකු නො වන බව ආදිත්‍යා ද දැන සිටියා ය. මේ ටික වුව මෙල්ල වී හිඳිනුයේ ආදිත්‍යා ගේ වචනයට ය.

“ඇයි ඔයාට කිව්වද එහෙම දෙයක්…”

“නෑ…මගෙං ඇහුව කොහෙ හරි යන්ද කියල. පව් හලෝ”

ආදරය කියන්නේ හංගා ගෙන සිටිත හැකි හැඟීමක් නොවන බව ඇත්ත ය. නමුත් ගින්දරත් එක්ක සෙල්ලම් කරත යුත්තේ පිච්චෙන්නට හැකි බව දැන ගෙන ය.

“දැං ඔයත් එක්ක පුතාගෙ තෙරපි වලට යන්නත් අම්ම එන නිසා මිනිහට ඔයාව දකින්නත් නෑනෙ. ඔයා කියලනෙ නර්සරි එකට එන්නත් එපා කියල”

“එයාගෙ පරිස්සමටමයි මං එහෙම කිව්වෙ. අන්තිමට අර තාත්තගෙයි පුතාගෙයි ඔක්කෝම වැරදි පැත්තක තියෙද්දි දුමාල් වැරදිකාරය වෙන්න පුළුවන්. වැරදිකාරය වෙලා විතරක් නිකං ඉන්නද…කොයි විදිහට වන්දි ගෙවන්න වෙයිද කියන්න බෑ”

“මං කියන්නද ඔයා හා කිව්ව කියල..”

“මොනාටද…”

ආදිත්‍යා නැගණිය දෙස බැලුවේ තිගැස්සීගෙන ය.

“කොහෙ හරි යන්න අනේ. මොකද්ද අප්ප…පනිෂ්මන්ට් කියල මෙහෙමත් පනිෂ්මන්ට් දෙනවද කොල්ලෙක්ට…”

ආදිත්‍යා කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.ඒ වෙනුවට ඕ ආමන්තා සමග දුමාල් වැඩ කරනා බැංකු ශාකාව වෙත ගියා ය. ඔහු ගේ මේසය ඉදිරියේ පාරිභෝගිකයෙකු සිටියේ ය. ආදිත්‍යා ව දුටු දුමාල් ගේ ඇස් දිළිසිණි. නමුත් ඒ මුව මතට සිනහවක් ආවේ නැත. ගනු දෙනු කරු නික්ම ගිය පසු ආදිත්‍යා මින්දුල සමගින් දුමාල් ඉදිරියේ වන අසුන වෙත ගියා ය.

“මොකද මැඩම්…අකවුන්ට් එකක් ඕපන් කරන්නද…”

නො මනාපය හඟවන්නට ඔහුට ඕනෑ විය. නමුත් ආදිත්‍යා ගේ සිනහව ඊට ඉඩ දුන්නේ ද නැත.

“ඔයාට පුතාව බලන්න ඕන ඇති කියල ආවෙ ඉතිං”

ඇය දඟකාර ආදරකින් කීවා ය. ඔහු අසුනේ හරි බරි ගැහී පසු පසට වී හිඳ ගත්තේ ය. ඒ ඉරියව්වේ ආඩම්බරයක් විය.

“එපානං ඉතිං අපි යමු නේ පුතා…”

දුමාල් මේසය වෙත නැඹුරු වූයේ ය. සුදු අත් දිග කමිසය හැඳ අළු පාට ටයි පටියක් පැළඳ සිටි ඔහු ස්ත්‍රී ඇස් පැහැර ගන්නා පෞරුෂයක් යයි ආදිත්‍යා ට සිතිණ.

“ගණං උස්සල ඉවරද දැං…”

ඔහු ඇසුවේ ඉතාමත් හෙමිහිට ය.

“කවුද අනේ ගණං ඉස්සුවෙ…”

ඇය හුරතල් වූවා ය.

“මේ..මෙතන කතා කරන්න බෑ. ඔයා එළියෙං ඉන්න. මං ලීව් එකක් දාල එන්නං”

ඔහු අසුනෙන් නැගී හිටියේ ඇය ප්‍රතිචාර දක්වන්නටත් පෙර ය. ඒ නිසා ආදි ට විරෝධය පෑමේ හැකියාවක් වූයේ නැත. දුමාල් ගේ රියට නැගීම ආමන්තා ප්‍රතික්ෂේප කළත් ඔහු ඊට ඉඩ දුන්නේ නැත.

“පිස්සු නැතුව නගිනව. අපි හනිමූන් යද්දිත් ඔයාව එක්කං යන්නෙ. පුතා බලා ගන්න”

දුමාල් ගේ විහිළුවට ආදිත්‍යා රතු වූවත් ආමන්තා රියට නැගුණේ ඔහු ගේ කොණ්ඩයෙන් ඇද ගෙන ය. ඔහු රිය පැදවූයේ දියත උයන පරිශ්‍රය වෙත ය.

“මැනේජර් ඇහුව ගෑනු ළමයෙක් පොඩි බබෙක් එක්ක ඇවිත් කුටු කුටු ගාපු ගමං උඹ කොහෙද ශෝට් ලීව් දාල යන්න හදන්නෙ…කෙල්ලෙක්ව අමාරුවෙ දාලද ඉන්නෙ කියල”

“නියමයි. ඉතිං…”

ආමන්තා අත්පුඩියක් ද ගැසුවා ය.

“වෙන මොනා කියන්නද…මං කිව්ව අඹු සම්පතුයි දරු සම්පතුයි දෙක ම එක පාර ගන්නයි යන්නෙ කියල”

ආදිත්‍යා සිනහ වෙන්නද හඬන්නද කියා නො දැන වීදුරු කවුළුවෙන් පිටත බලා ගත්තා ය. කෙසේ වෙතත් අද දුමාල් ඉන්නේ වෙන කිසි දා ක නොවූ සතුටකින් බව ආදිත්‍යා ට දැනිණි.

“මේ…ඕගොල්ලො ඇවිදල ප්ලේ ඒරියා එකේ ඉන්නකො. මං මල් පැළ ටිකක් අරං එහෙම ඒ පැත්තට එන්නං”

ආමන්තා රියෙන් බැස්සේ ම එහෙම කියමිනි. දුමාල් හා ආදිත්‍යා මින්දුල ගේ අත් දෙකෙන් අල්ලා ගෙන පදික මං තීරුව දිගේ ඇවිද ගියහ. ආදිත්‍යා ගේ හදවතෙහි වාං දමමින් තිබි හැඟුමන් සමුදාය ගැන කියා ගන්නට ඇය ම නොදැන සිටියා ය. ජීවිතය කියන්නේ මේ තරම් සුවදායී හැඟීමක් දනවන තැනක් නොවේ ද? මෙතෙක් කල් ඈ ජීවිතය කියා වැළඳ ගෙන සිටියේ කවරක් ද?

ඇවිදින ගමන් ම නතර වී මින්දුල ව වඩා ගත් දුමාල්, සිය වමත ආදිත්‍යා ගේ බඳ වටා යවා ඇය ව ඔහු වෙත වඩාත් ලං කර ගත්තේ ය. ඈ සිය දෑස් උස්සා ඔහු දෙස බැලුවේ හැඟීම් සහසක් කැටි වූ බැල්මකිනි.

“තෙල්ලං…කරනවද…”

මින්දුල දුමාල් ගේ මුහුණ සිය සිඟිති අත් දෙකෙන් අල්ලා ගෙන කීවේ ය.

“සෙල්ලං කරමු පුතේ.පුතා ආසයි නේද සෙල්ලං කරන්න…”

දුමාල් දරුවා ට සිඟිති බසින් කතා කළේ ය. ආදිත්‍යා දුමාල් ගේ සිරුරෙහි සිය හිස ගසා ගත්තා ය.

SmartLady.lk ලිපියක් ඇසුරින් අසන මෙම සරල ප්‍රශ්ණයට නිවැරදිව පිළිතුරු දීමෙන් වටිනා තෑගි දිනා ගැනීමට දැන් ඔබටත් අවස්තාව. මේ මාසයේ Cooking Recipes ඇසුරින් පැනයක් ඔබට ලැබෙනවා.


Cooking Recipes මේ ලින්ක් එකෙන් මේ මාසයේ ප්‍රශ්නයට පිළිතුරු පහසුවෙන් සොයා ගන්න පුලුවන්.


ප්‍රශ්ණය - මුරුංගා තේ සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද?

අනෙක් කොටස්

More Stories

Don't Miss




Latest Articles

සැරිසරන්නී -16

මගේ වත මතට සිනහවක් එන්නටත් ඒ සිනහව වියැකී යන්නටත් ඒ හැටි වෙලාවක් ගියේ නැත. ඒ කාලය පුරා රවීන් මදෙස ම බලා සිටියේ...

අතීත සුළඟ.

බිනරි බොහෝ වෙලාවක් තමන්ගේ ඔන්ලයින් බිස්නස් පේජ් එකට ආව මැසේජ් එකක් දිහා බලාගෙන හිටියා.ඒ පණිවිඩය නාවානම් කියලා ඇය දෙසිය වෙනි පාරටත් හිතන්න...

මතක දිගහැරුම 103 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය තුන්වන දිගහැරුම ,කොළඹ ප්‍රදේශය පුරාම හෂාන් නොගිය තැනක් නැති තරම් විය.විශාල වශයෙන් ඡන්ද රැස්වීම් පැවැත්වුණු අතර ඇතැම්...

ගැබ් ගැනීමෙන් තොරව ලිංගිකව එක් වීමට සුදුසු දින යෝනි ශ්‍රාව ඇසුරෙන් හඳුනා ගනිමු.

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් සරු දින ඇසුරෙන් හඳුනාගෙන, ඒවා මග හැර...

නිලැසි -24

" බබා එහෙනම් ලෑස්ති වෙන්න ගෙදර යන්න.."තිසරු එසේ පැවසුවේ රාත්‍රී ආහාර ගන්නා අතර ය.හදිසියේ හටගත් රණ්ඩුවක නිමාව එසේ...