මතක දිගහැරුම 111 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය එකොළොස් වන දිගහැරුම ,

අම්මාගේ උපන් දිනය නිමිත්තෙන් ඇය ජීවත්ව සිටී 2007 වසරේ අප සිටවූ සල් පැලය අප නිවස ඉදිරිපිට ඉතා හොඳින් වැඩෙමින් තිබුණි.2018 වසර වනතුරුත් එහි මල් පිපී තිබුණේ නැත .සල් ගසෙහි පහළ කොටසේ අතු වියනක් මෙන් වැවී තිබූ නිසා සල් ගස වැඩිදුර උස නොයාමට එහි මුදුනින් කප්පාදු කිරීමට මා අදහස් කරගෙන සිටියෙමි. අපගේ නිවසට යාමට තිබෙන මාර්ගයට පිවිසෙන විටම අපගේ නිවස පෙනෙන අතර දිනක් සවස මා නිවසට එන විට හෂාන්ගේ දෙමව්පියන්ගේ නිවසේ සේවකයකු සහ තාත්තා සල් ගස අසල සිටිනු මා දුටුවෙමි.ඒ සමගම මා දුටුවේ සල් ගසේ එක් පැත්තක් සම්පූර්ණයෙන්ම කපා දමා ඇති ආකාරයත් එම අතු බිම විසිරී ඇති ආකාරයත් ය.මා අදහස් කරගෙන සිටි ආකාරයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකට ගස කප්පාදු කර තිබූ නිසා මා අතිශය කම්පාවට පත් වුණෙමි.

” මේ මොකද තාත්ති මේ ගහ කැපුවේ? “

මා එකවරම තාත්තා ගෙන් විමසුවෙමි

” නෑ මේ ලයිට් වයර් වලට යන නිසා මම මෙයාට කිව්ව මේ අතු ටික කපලා දාන්න කියලා “

” අනේ තාත්ති මගෙන් ඇහුවේ නැහැනේ . මම එනකම් පොඩ්ඩක් ඉන්න තිබුණනේ මේ ගහේ අතු ටික කපන්න “

මා එසේ කීවේ තාත්තාගේ සිත නොරිදෙන ලෙස ය.එවිට තාත්තා කිසිවක් නොපවසා නිහඬව සිටියේය.

” මගේ හිත කියනව මේ අතු කපපු විදිහ එච්චර හොඳ නෑ කියලා.ඒක එච්චර හොඳ වෙන්නෑ අපිට “

ඒ වදන් පෙළ මා හට කියැවුණේ නිරායාසයෙන්මය.සල් ගසෙහි දේවතාවුන් වහන්සේලා වැඩ සිටින බවට මා විශ්වාස කළෙමි.එම නිසා සෑම රාත්‍රියකම අප සල්ගස ඉදිරිපිට පහනක්ද දැල්වූයෙමු. කෙසේ වෙතත් සල් ගස කපා තිබූ ආකාරය නිසා අප හට යම් නපුරක් වේ දැයි මගේ සිතට කිසියම් බියක් දැනෙන්නට විය.නමුත් ඒ වන විට ගසේ අතු කපා අවසාන නිසා මා ගේ තුළට ආවෙමි.තාත්තා පසු වන්නේ තරමක හිත නොහොඳින් බව ඒ අවස්ථාවේදී මට වැටහුණු නිසා මා ඊට වඩා යමක් තාත්තාට කියන්නට ගියේ නැත.

සිදුවීමෙන් දින දෙකකට පසු එනම් ,ජූලි මස 13 වන දින හෂාන්ගේ නැන්දා ගේ උපන්දිනය යෙදී තිබුණි.එදින රාත්‍රි ආහාරය සඳහා පැමිණෙන ලෙසට අප ඇතුළු සියලුම නෑයන් හට ආරාධනා කර තිබුණි.සවස පහේ සිට තාත්තා ඒ සඳහා සූදානම් වූයේය.මා මුළුතැන්ගෙයි කිසියම් වැඩක නිරත වී සිටින විට ඉතා හොඳින් හැඳ පැළඳ සූදානම් වූ තාත්තා මුළුතැන්ගෙයට පැමිණියේය.

” ලොකූ මම යනවා නැන්දලාගේ ගෙදර “

” ආ. මේ දැන්මම ? “

තාත්තා වේලාවටත් කලින් සූදානම් වී සිටිනු දැක මා හට සිනහ පහළ විය.පෙම්වතිය බලන්නට යනවා යැයි අප ඔහුට විහිළු කරන නිසා මා ඒ මොහොතේ ද සිනාසී තාත්තා යන දෙස බලා සිටියෙමි.තාත්තා ගිය පසු අප සියලු දෙනා ද සූදානම් වී නැන්දාගේ උපන්දිනය වෙනුවෙන් ඇයගේ නිවසේ සූදානම් කර තිබූ රාත්‍රී ආහාරය සඳහා සහභාගි වූයෙමි.සියලු දෙනාම ඉතාම සතුටෙන් ආගිය තොරතුරු කතා බහ කරමින් කාලය ගත කළහ.

ඉන්පසු දින , එනම් ජූලි මස 14 වන දින හෂාන් ගේ උපන් දිනය යෙදී තිබුණි.එම දිනවල හෂාන් ඉතාම කාර්යබහුල වී සිටියේ වයස අවුරුදු දහ නමයෙන් පහල ක්‍රිකට් කණ්ඩායමට වෙනත් රටක ක්‍රිකට් කණ්ඩායමක් සමග තරගාවලියක් යෙදී තිබූ නිසාය.එම නිසා ඔහුගේ උපන්දිනය වෙනුවෙන් සාදයක් පැවැත්වීමට අපට හැකි වූයේ නැත.හෂාන් එදින නිවසට පැමිණියේ බොහෝ රෑ බෝ වී ය .නමුත් අප ඔහුගේ උපන් දිනය නිමිත්තෙන් අපගේ පවුලේ අය සහ හෂාන්ගේ දෙමව්පියන් ඇතුළු පිරිස වෙනුවෙන් රාත්‍රී ආහාර වේලක් සූදානම් කළෙමු.එදින රාත්‍රිය ද අප සියළු දෙනාම ගත කළේ අතිශය සතුටින්ය.

කෙසේ හෝ පසු දිනයේ දී වයස අවුරුදු දහ නමයෙන් පහළ ක්‍රිකට් කණ්ඩායමේ රැස්වීමක් යෙදී තිබුණු අතර එයට එම දරුවන්ගේ දෙමව්පියන් ද සහභාගි වීමට නියමිතව තිබුණි.එහිදී හෂාන් හට කතාවක් පැවැත්වීමට ද නියමිත ව තිබුනු නිසා එම අවස්ථාවට සහභාගිවීම සඳහා හෂාන් ඔහුගේ දෙමව්පියන්ට ද ආරාධනා කළේය.ඔවුන් සමග යාමට මම සහ අපගේ බාල පුතු ද සූදානම් වූයෙමු.තාත්තා සමග නිවසේ නතර වූයේ අපගේ දෙවන පුතු වන රවිඳු පමණි.ඔවුන් දෙදෙනාට අමතරව නිවසේ සේවකයන් ද සිටියහ .අදාල රැස්වීම පැවැත්වූයේ ක්‍රිකට් ආයතනයේ නිසා අප නිවසින් පිටත් වූයේ දහවල් 12ට පමණය.පිටත් වන අවස්ථාවේදී මා සිරිත් පරිදි අපගේ නිදන කාමරයේ යතුර තාත්තාට භාරදුන්නේ සේවකයන් ලවා එය පිරිසුදු කරවීම සඳහා ය.

කෙසේ හෝ වැඩසටහන අවසාන වූ අවස්ථාවේ දී ක්‍රිකට් ආයතනයේ ආරක්ෂක අංශයේ අයෙකු කලබලයෙන් මෙන් මා වෙතට පැමිණ ඉතා ඉක්මනින් නිවසට ඇමතුමක් ගන්නා ලෙස පණිවිඩයක් ලැබුණු බවට පැවසීය.වැඩසටහන අතරතුර දී මා මගේ දුරකථනය නිහඬ කර මගේ අත්බෑගයේ දමා තිබූ නිසා මා ඒ සැණින් මගේ දුරකථනය අතට ගෙන පරික්ෂා කළෙමි. එවිට මා හට දැකගන්නට ලැබුණේ අපගේ රියදුරුගෙන් සහ දෙවන පුතුගෙන් මා හට මගහැරුනු ඇමතුම් රාශියක් ඇති බවයි.සිදුවී ඇත්තේ කුමක්දැයි සිතා ගත නොහැකිව මා ඒ මොහොතේදීම අපගේ රියැදුරු වෙත දුරකථන ඇමතුමක් ගත්තෙමි

” ඇයි ප්‍රේමදාස ? “

” නෝනා ලොකු මහත්තයාට හොඳටම අමාරුයි “

දුරකථනය ඔස්සේ ප්‍රේමදාසගේ කලබලකාරී හඬ ඇසෙන විට මම ද කලබලයට පත් වුණෙමි

” මොන ලොකු මහත්තයාට ද ? “

මා හට එකවරම කියවිණි

” ලොකු සර් ට “

ඔහු ඒ පවසන්නේ මගේ තාත්තා ගැන බැව් මා හට වැටහුණි.එවිට මා තාත්තා ගේ අසනීපය කුමක්දැයි ඇසීමටවත් පමා නොවුණි

” අසනීප නම් ඉක්මනට වාහනයේ දාගෙන ලංකා හොස්පිට්ල් එකට අරගෙන එන්න.මම ඔතනට ඇවිල්ලා ආපහු එන්න ගියොත් පරක්කු වෙනවා නේ .මම එන්නම් ලංකා හොස්පිටල් එකට ඔයාලා ඉක්මනට එන්න “

මාගේ කීමට අවනත වූ කලබල වී සිටි ප්‍රේමදාස දුරකථන ඇමතුම විසන්ධි කළේය.විනාඩි දෙකකට පමණ පසුව තාත්තාගේ අසනීපය කුමක්දැයි අසා දැන ගැනීමට මා නැවතත් ප්‍රේමදාසට ඇමතුමක් ගත්තෙමි

” අනේ මැඩම් වෙරි සොරි ,ලොකු මහත්තයා අන්ත්‍රා වුණා “

දුරකථනය ඔස්සේ ගලා ආ ප්‍රේමදාසගේ හඬ ඇසෙන විට මගේ හදවත නතර වූවා සේ මට දැනුනි.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles