කාජල් සහ අජේ දික්කසාද වෙයි?

කාජල් සහ අජේ දේව්ගන් කියන්නේ අතිශය ජනප්‍රිය තාරකා දෙකක් වග අමුතුවෙන් කියන්න උවමනා නෑ. 1999 විවාහ වූ ඔවුන් මේ ගෙන යන්නේ විසි හතරවැනි වසර. සාමාන්‍යයෙන් ඔවුන්ගේ විවාහය ගැන කටකතා නිර්මාණය වූයේම නැති තරම්.

“කාජල් ගැළපෙන්නේ ෂාරුක්ට”

කියන ප්‍රේක්ෂක මතය ඇරෙන්න කාජල් කිසිම පිරිමියෙක්ව තමන්ගේ නමට ඈඳා නොගන්න ප්‍රවේසම් වුණා. සමානකම් වලට වඩා අසමානකම් ඇති යුවලක් කියලා බොලිවුඩය ඔවුන් හඳුන්වා දෙනවා. ඒත් ඔවුන්ට සුරංගනා කතාවක් වගේ ආදර කතාවක් හිමි බවත් හැම කෙනෙක්ම දන්නා කාරණාවක්

“මම හිතන්නේ අපේ සම්බන්ධය පවතින හේතුව මම ගොඩක් කතා කරන නිසා සහ ඔහු නිහඬව සවන් දෙන නිසා. ඉතින් අපේ ප්‍රීතිමත් විවාහ ජීවිතයේ රහස තමයි අජේ වැඩි දෙයක් නොකියන එක.”

කාජල් ඔවුන්ගේ සම්බන්ධතාවය ගැන නිතරම පැවසුවේ එහෙම කතාවක්. ඔවුන් ඔවුන්ගේ තාලයට ගමනක යෙදුණු බවත් වෘත්තිය පවා සාර්ථක ලෙස කළ බවත් හැම කෙනෙක්ම දන්නා කාරණාවක්. කොෆී විත් කරන් වැඩසටහනේදී ඔවුන් දෙදෙනා ඔවුන්ගේ සම්බන්ධතාවය මෙතරම් කාලයක් පවතින්නට හේතු හෙළි කරනවා.ඔවුන් එකිනෙකාට දක්වන අවබෝධය ද ඔවුන් එහිදී හෙළි කරනවා. ඒ ලිපිය මෙතැනින් කියවන්න 

මීට පෙර වතාවක අජේ සහ තාබු අතර පවතින සම්බන්ධතාවයක් ගැන ඉන්දීය ගොසිප් වෙබ් අඩවි වාර්තා කළා. එය ලැව් ගින්නක් සේ පැතිර යද්දී ඔවුන් තිදෙනාගෙන් කිසිවෙකුත් ඒ ගැන කිසිවක්ම ප්‍රකාශ කළේ නෑ. ඒ නිසා එය සත්‍යයක් ද අසත්‍යයක් ද යන්නවත් අදටත් කිසිවෙක් දන්නේ නෑ.

“කාජල් අජේගෙන් ඩිවෝස් වෙන්න යනවා.”

ඉන්දීය වෙබ් අඩවි මේ වෙද්දී මෙහෙම කතාවක් ප්‍රචාරය කරමින් හිඳිනවා. එය සත්‍යයක් බවට දේව්ගන් යුවල තවම කිසිවක්ම පවසා නැහැ. ඒ වගේම පුදුමයට කාරණාව නම් මේ දරුණු කටකතාවක් බව පවසා ඔවුන් ඒ වෙබ් අඩවිවලට විරුද්ධව පියවරක් ගෙන නැහැ.ඒ නිසා මේ කතාව අත්තටු ලබමින් පියඹා යාම අරඹා තිබෙනවා. අජේ සහ කංගනා රනෞට් අතර වෙන සම්බන්ධයක් මේ දික්කසාදයට හේතුව බවත් කටකතා වෙබ් අඩවි ප්‍රකාශ කර සිටිනවා. සෑම කෙනෙකුටම හොඳවායින් අමතන්නට පසුබට නොවන කංගනාත් මේ කතාවට කිසිවක්ම පවසා නැහැ.

කාජල් සහ අජේ අතර කිසිම රසායනයක් නැති බව ජනප්‍රිය කතාවක්. ඔවුන් දෙදෙනා එකිනෙකාව නොසලකා හරින බව පෙන්වන වීඩියෝ පට කීපයක් ද වෙබ් අඩවි සහ සමාජ ජාලා මත වේගයෙන් සංසරණය වෙනවා. එසේ වීමට ද හේතුව මේ කරලියට පැමිණ ඇති දික්කසාද කතාවයි.

සියල්ල අතර කාජල් මේ දිනවල ඉතා ජනප්‍රිය වී සිටින්නේ The Trail ඉන්දියන් ටෙලි නාට්‍ය මාලාව හරහා. මෙය නීතිය පදනම් කරගත් ටෙලි කතා මාලාවක්. එය නිෂ්පාදනය කරන කණ්ඩායම අතර අජේ දේව්ගන් ද සිටිනවා. මෙහි ප්‍රචාරණය වෙනුවෙන් කාජල්, අජේ සම්බන්ධයෙන් පෞද්ගලික කතාවක් පැවසූ බවත් එය දික්කසාද වීමක් ලෙස තටු සලා ඉගිල යන කටකතාවක් වී ඇති බවත් පැවසෙනවා.

කොහොම වුණත් ඉන්දියාවේ පිළිගත හැකි මාධ්‍යකින් හෝ බොලිවුඩ් පුවත් ප්‍රචාරණ වෙබ් අඩවිවලින් මේ ගැන කිසිවක්ම ප්‍රකාශ කර නෑ ඇත්තටම මෙය ටෙලි නාට්‍ය මාලාවේ ප්‍රවර්ධන වැඩ පිළිවෙලක් ද එසේ නැතිනම් කංගනා සම්බන්ධයෙන් ඇති ඕපාදූපයේ දිග හැරුමක් ද යන්න පැහැදිලි නෑ.

එය සත්‍යයක් ද අසත්‍යයක් ද යන්න ඉදිරියේදී හෙළිදරව් වේවි. නමුත් ඔවුන් දික්කසාද වෙනවානම් එය නිර්භය තීරණයක් බව නොකියාම බැහැ. විවාහයෙන් වසර ගණනක් ගෙවුණු පසු නොගැළපීම් හෝ එකිනෙකා අතින් සිදු වන වැරදි සිදු වන්නට ඉඩ හැර සියල්ල දරා ගැනීම බොහෝ කාන්තාවන්ගේ සිරිතක්. ඔවුන් ඇවිදින මළමිනියක් බවට පත් වන්නේ නිතැතින්මයි.  නමුත් ජීවිතය නොවිඳවා එවැනි තීරණයක් ගන්නට ඔවුන් තීරණය කර ඇත්නම් එය ඉතා නිර්භය තීරණයක්.

කාජල් සහ අජේට යුවළක් ලෙස ආදරය කරන රසිකයන්ගේ එකම පැතුම වන්නේ මෙය අසත්‍ය කැත ඕපාදූපයක් වේවා යන්නයි. දීපිකා සහ රන්වීර් ගැන ද මෑත දිනවල ඔවැනිම ඕපාදූප පළ වුවත් ඔවුන්ද පුරුදු ආදරයෙන් වෙසෙන බව දක්නට ලැබෙනවා. අනෙක් අතට කංගනාගේ නම ඈඳා ගනිමින් මේ කතා දිගටම පැතිරෙන්නට පටන් ගතහොත් ඕපාදූප වෙබ් අඩවිවලට කංගනා සමඟ පහසු වන එකක් ද නැහැ.

මේ කතාවේ අවසානය කොහොමදැයි බොලිවුඩයේ රසික ප්‍රජාව මහත් උනන්දුවකින් බලා සිටිනවා.

Related Articles

Don't Miss


Latest Articles