හූනියම.

“මම කොච්චර කිව්වද ළමයගෙ කේන්දරේ බලවන්න කියලා..”

කුසුමා එහෙම කියලා පුතාටත් ලේලිටත් පොදු රැවුමක් පා කරේ හිතේ කේන්තිය නිවා ගන්න.මේ වුණු දේ ගැන වැඩියෙන්ම හිතේ අමාරුව කුසුමාට.ලේලිට නම් ඕවගේ වැඩි ගාණකුත් නෑ.”ඔය වයසෙ හැටි” කියලත් පුතාට කියනව කුසුමාට නෑහුණා නෙවෙයි.

“කේන්දරේ නෙවෙයිනෙ අපිට බලන්න තිබ්බෙ.ෆෝන් එක..”

කුසුමාගේ පුතා, නාලක මහ සද්දෙට එහෙම කියලා කාමරය පැත්තට සැර බැල්මක් පා කළා.නෙත්මිගේ ඉකි ගැහිල්ල තව වැඩි වුණේ ඒ සද්දේ නිසා.නෙත්මිගේ අම්මා සමන්තිට නම් කියන්න හිතෙන හැමදේම කියා ගන්න අමාරුයි.නෙත්මි මෙහෙම වෙන්න හේතු අතර කුසුමාත් ඉහළින්ම ඉන්න බව සමන්ති හොඳාකාරවම දන්නවා.

“කෙල්ල මං වගේමයි.” අවුරුදු දාසයකට කලින් නෙත්මි ඉපදුණු දවසේ කුසුමා නෙත්මිව තුරුලට ගත්තේ එහෙම කියාගෙන.”ඔයා වගේ දුවෙක්” කියලා නර්ස් නෝනා අතට දුන්නු දූ පොඩ්ඩ නැන්දම්මා තමන්ගේ භුක්තියට ලියා ගැනීම ගැන සමන්තිට මුලින්ම කේන්ති ගියේ ඒ වෙලාවේ.

“අර කුමාරිහාමිට උඩින්‍ යන්න මගේ කෙලි පොඩ්ඩ හදා ගන්නව මං දවසක..”එදා කුසුමා එහෙම පාරම් බානකොට සමන්ති ඇස් උඩ තියාගෙන බලාගෙන හිටියා.කුසුමා කුමාරිහාමි කියන්නේ තමන්ගේ බාල සහෝදරයා වුණු කිත්සිරිගේ එකම දූ උත්පලාට.උත්පලාගේ රූපෙත් ඉගෙනීමට තියන දක්ෂකමත් පරම්පරාවට ආඩම්බරයක් කර නොගෙන ඉරිසියාවක් කර ගන්න කුසුමලාට හිතුණු හේතුව සමන්ති දීග ආපු දවස්වල ඉඳන් කල්පනා කරා.
උත්පලාට ඉහළින් යන්න නෙත්මි හදන්න කුසුමා හිතුවට නෙත්මි ඉපදුණේ උත්පලා මහා ඉහළින් සාමාන්‍ය පෙළ සමත් වුණු අවුරුද්දේ.නෙත්මිට ආදරේ විතරක්ම දෙන උත්පලාට ඉරිසියා කරන්න සමන්ති නම් කිසිම වෙලාවක හිතුවේ නෑ.ඒත් කුසුමා මූනිච්චාවට උත්පලාව අත ගගා කරේ මහ නොහොබිනා දේවල් කියලා සමන්ති නොදන්නවා නෙවෙයි.

“මොනවද අම්මේ ඔය..”

එක දවසක් මහ පාන්දර කුසුමා දෙහි ගෙඩි ටිකකුත් අරන් එළියට බහිනකොට සමන්ති ඇහුවේ පුදුමයෙන්.නෙත්මි කුසුමාගේ දුව නිසා සමන්ති ඒ කාලේ දෙවැනි පාරටත් ගැබ් අරගෙන හිටියේ.නෙත්මි කුසුමාට අයිති නම් මේ දරුවාවත් තමන්ගේ කර ගන්න තීරණේක හිටිය නිසා සමන්ති ඒ දවස්වල කුසුමා දිහා නිතරම බැලුවේ බයෙන් සහ සැකයෙන්.

“කරන්න ඕනෑ වැඩක්.”

එහෙම කියලා ගිය කුසුමා ආපහු ආවේ හරි සතුටකින්.ඒ සතුටට හේතුව හොයමින් ඉන්නකොට සමන්තිට අම්මගෙත් පුතාගෙත් කතාවක් කන වැකුණේ අහම්බෙකින් වගේ.

“මං අර දෙහි ඔක්කොම වත්ත මායිමේ වැළලුවා.බලමුකො දෝණියැන්දැ දොස්තර වෙන හැටි..”

සමන්ති හීතල වෙලා ගියත් ඒ කතාව කිත්සිරිටවත් මාලිනිටවත් කියා ගන්න සමන්තිට ඉඩක් ලැබුණේ නෑ.සිත්මි ලැබෙන්න රෝහලට යන්න වුණේ ඒ මොහොතෙම වගේ.නෙත්මි කුසුමා අයිති කරගත්තට සිත්මි යන්තම් සමන්තිගේ වුණු නිසා ඊටපස්සේ දෙහි කතාව සමන්තිටත් අමතක වුණා.

“උත්පලාට සනීප නෑලු..”

කුසුමා ඇස් දිලිසි දිලිසි එහෙම කියනකොට සමන්තිට ආයේ දෙහි කතාව මතක් වුණේ යටි පතුල් සීතල වෙනකොට.පන්සලේ රිංගා ගෙන හතර පෝයටම සිල් ගනිද්දී මේ වගේ යන්තර මන්තර ගුරුකම් කර කර අනිත් මිනිස්සුන්ගේ ජීවිතේ එක්ක සෙල්ලම් කරන්න කුසුමාට හිතෙන්නේ කොහොමද කියලා ඇත්තටම සමන්තිට පැහැදිලි නෑ.

නෙළුම් මලක් වගේ ලස්සන උත්පලා ඇදිලා යනකොට ඉස්කෝලේ වැඩ පාඩු වෙනකොට ඒ තමන්ගේ හූනියම සාර්ථක වෙලා කියලා කුසුමා සන්තෝස වුණා.අත්තම්මාගේ මිනිබිරී වුණු නෙත්මි මොන්ටිසෝරියේ අනිත් ළමයි ගැන ටීචට කේලම් කියනකොට කුසුමාගේ ඒ සන්තෝසෙ සිය දහස් ගුණයකින් වැඩි වුණා.

“තමන්ට අයිති දේවල් අනුන්ට දෙන්න එපා මැණිකෙ.කාටවත් තමන්ට වඩා ඉහළට යන්න දෙන්නත් එපා..”

ඒ වගේ කතා කිය කියා නෙත්මිව උස්මහත් කරන කුසුමාගෙන් නෙත්මි ගලවාගන්න අපහසු වෙනකොට සමන්තිට තිබුණු එකම සැනසීම සිත්මි.සිත්මි නම් හැදුණේ පුංචි සුරංගනාවියක් ගාණට.

කාලය මොනතරම් දේවල් කරනවද? අසනීප සනීප වුණාට කවදාවත් දොස්තර වෙන්න බැරි වුණු උත්පලා නීති පීඨයට ඇතුළු වුණා.රාජ කුමාරයෙක් කැන්දන් යයි කියලා කුසුමා දේවාල ගාණේ ගිය හින්දාද මන්දා උත්පලා කසාද බැන්දේ බොහොම සාමාන්‍ය කොල්ලෙක්ව.ඒ වුණාට උත්පලාත් හිමාෂත් කොළඹට නුදුරු පළාතක ගෙයක් හදමින් ඉන්න බව සමන්ති දැන ගත්තේ මාලිනි නැන්දගෙන්.

“අනේ ඔය දේවාල ගාණේ යන්න එපා අම්මෙ.උත්පලා කියන්නෙත් අම්මලගෙම ලේ තියන දරුවෙක්නෙ..”

සමන්ති එහෙම කීවේ උත්පලා පිරිමි දරුවෙකුගේ අම්මා වීම වළක්වලා සදාකාලික වඳ ගෑනියෙක් කරන්න හිතාගෙන දේවාලෙට යන කුසුමා දිහා බලන් ඉඳලා ඇති වෙලා.

ඒත් හූනියම ක්‍රියාත්මක වෙලා තිබුණා.අමතර පන්ති නොයා චිත්‍රපටි ශාලාවක හිටිය නෙත්මිටත් නෙත්මිගේ ළාබාල පෙම්වතාටත් නාලක හොඳටම ගහපු දවසේ සමන්තිට එහෙම හිතුණා.නෙත්මිගේ ඔලුවට කුසුමා දාපු සමහර දේවල්, උද්දච්චකම්,වයසට නොගැළපෙන සිතුවිලි නිසා මේවා මෙහෙම වුණා කියලා හිතන්න සමන්තිට හිතෙනවා.

පන්සල් යන නැන්දම්මා දිට්ඨධම්ම වේදනීය කර්මය අමතක කරාට හවසට හරි හදිස්සියේ බුදු පහන තියන සමන්තිට ඒ ගැන මතක් වෙන්න පටන් ගත්තා.

“උත්පලා පුංචි ඇවිල්ලා..”

සිත්මි එහෙම කියලා සාලෙට දිව්වේ මහා විනාසකාරී නිශ්ශබ්දතාවක් තිබුණු දවසක රෑ කරුවල වැටෙනකොට.උත්පලාට උසාවි වැඩ කිය කියා ගමට නෑවිත් හිටිය තව හේතුවක් හැන්දෑ අඳුර මැද්දෙන් සමන්තිට පෙනෙන්න පටන් ගත්තා.

“අනේ නංගියේ..මාලිනි නැන්දා කිව්වෙත් නෑනෙ.මාස කීයද?”

තමන් විවාහ වෙලා එනකොට යන්තන් වැඩිවියට පත් වුණු පුංචි උත්පලා මතක් කරගන්න ගමන්ම සමන්ති උත්පලාව වැළඳ ගත්තා.

“කලින් පාරකුත් මාස තුන පනින්න කලින් එයා ගියානෙ අක්කෙ.මං ඒකයි අම්මට කීවේ කාටවත් කියන්නෙපා කියල.”

සිලි සිලි ගගා දුව පැන්න කෙල්ලගෙ මුහුණේ ඇඳෙන පින් පාට දිහා බලාගෙන සමන්ති ගේ ඇතුළ බැලුවා.කුසුමා ඔය කතාව ඇහුවානම් මාලිනි ෆොන්සේකාත් පරාද වෙන තරමට රඟපාමින් උත්පලා ඉස්සරහ හඬන බව සමන්ති දන්නවා.
ඊටපස්සෙ උත්පලාට යන්න ඇරලා සුසිලා කෝට්ටගේ වගේ හිනාවෙවී හූනියම් ගුරුන්නාසේගේ අගය කියන බව සමන්තිට සහතිකයි.

තේ හදන්න කුස්සියට ගිය අතරේ සමන්ති නෙත්මිගේ පලහිලව්ව උත්පලාට එළිදරව් කළා.

“වෙලාවවත් බලවන්න ඕන නංගි.හෙනහුරු අපල කතාවකුත් කියනවනෙ.”

සමන්ති එහෙම කියනකොට උත්පලා ලස්සන හිනාවක් තොල් අතරට ගත්තා.

“අනේ අක්කේ.දුවව පොඩ්ඩක් උපදේශනයට අරන් යන්නකො.දැන් ඔය සම්බන්දෙ කැඩුණු ලැජ්ජාවටයි ඔයාලා එක්ක තරහටයි ආවේගෙන් ඉන්නෙ.එතකොට ඔය අපලෙ නෙවේ කරන්න ඕන ඒවා කරමු..”

ඒත් ඒ කතා බොරු වෙන්නත් බෑ කියලා සමන්ති කිව්වේ උත්පලාගේ මුහුණ දිහා බලාගෙන.උත්පලාට වුණු දේවලුත් එක්ක ඕවා නෑ කියන්නම බෑ කියලා සමන්ති ඇස් හංගා ගත්තා.

“අම්මා නම් කියන්නෙ කවුරුම හරි නංගිට හූනියමක් කරා කියලා.ඇයි අප්පෙ දොස්තර වෙන්න හිටිය කෙල්ලනෙ..”

උත්පලා උස් හඬින් හිනා වෙනකොට උත්පලා සේරම ඇත්ත දන්නවා ඇති කියලා සමන්තිට බයක් දැනුණා.

“මටත් තිබුණේ නෙතූට වගේම හූනියමක් අක්කෙ.මටත් ඉස්කෝලෙ කාලෙ සම්බන්ධයක් තිබුණා ඔයාලා නොදන්නවට.අම්මල තාත්තල නම් මොකුත් කීවේ නෑ.ඒත් එයා වෙන ගෑනු ළමයෙක් හොයා ගත්තා.විරහ වේදනාව තමා ඉතින් මගෙ හූනියම..”

කුසුමා දේවාලෙට පූජා කරපු සල්ලි ගොඩ මතක් වෙනකොට හූනියම් දෙයියෝ බැලුවේ කා දිහාද කියලා සමන්තිට හිතෙන්න පටන් ගත්තා.

“විශාදය කියන්නෙත් හූනියමක් තමා අක්කෙ.මගෙ හූනියම ඒක.ඒ නැතුව අපේ ඉඩමේ හිටි ගමන් තිබුණු රතු කුකුල් සායං ගෑවුණු දෙහි නෙවෙයි.ඔය මිථ්‍යා විශ්වාස කරන්න එපා.අනිත් එක එහෙම වුණත් එව්වා ඔයාගෙ දරුවන්ට ලැබෙන් නෑ.කරපු අය අරන් යයි.ඊළඟ ආත්මෙට..”

දොර රෙද්ද අස්සෙන් වැටුණු හෙවණැල්ල කුසුමාගේ බව සමන්ති දන්නවා.කුසුමා තවත් ආවේගයෙන් මොනවා හරි කරනවා මිසක් හැදෙන්නේ නැති බවත් සමන්ති දන්නවා.

“නංගි කන්න ආස දෙයක් කියන්නකො.මං වෑංජනයක් ඒදලා ගෙනල්ලා දෙන්නං..”

හිතේ සාංකා මකා ගන්න එහෙම කියන ගමන් සමන්ති දර කෑල්ලක් ඇවිලෙන ලිපට ළං කළා.

More Stories

Don't Miss





Latest Articles

හසරැලි වැස්සේ -36

"මෝඩ විදියට හැසිරුණු කාලේ නම් හැදෙයිද කියලා අපි ඉවසගන බලාගෙන හිටිය.ඒ උනාට දැන් වැඩ කරන්නේ මහම මහ ගොබ්බ විදියට.."

(අ)හිමි සිහින -19

සංසාරගත බැඳීමක් බව සිතූ ප්‍රේමය හැරදා පැමිණි පසු මම අසංකට ආදරය කළාද කියලා ඔයාලාට හිතෙනවා ඇති.අම්මට තාත්තට අසංක සැලකීම ගැන ඇතිවෙන්න තරම්...

සඳ කත් මිණි ඇස් 15

සූර්යා දැන් භුක්ති විඳිනා නිදහස ඇගේ යෞවනයේ දී නො ලැබුණ එකකි. ඇය දෙමව්පියන් ගේ දැඩි නීති රීති හා පාලනය යටතේ හැදුණ වැඩුණ...

හසරැලි වැස්සේ – 35

"මම්මේ…."රෝහල් කාමරයේ ඇත්තේ පාළු ස්වභාවයකි.මට මම්මා සමග එක්වී අතීතය දිග ඇවිද යාමට සිත් විය.මා වෙනුවෙන් තේ සාදමින් සිටි...

(අ)හිමි සිහින -18

යුද්ධය නිසා ජීවිතය අහිමි විය හැකි, ආබාධිතයකු බවට පත් විය හැකි, තමන්ගෙ මහන්සියෙන් උපයා ගත් දෙයක් මිසක ඒ තරමට දේපල නැති සුදාරක...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content