අරුමැති ආදරයක් – 55

0
527

දයාල් සිටියේ මිතුරෙකුට අයිති වූ සමුද්‍රාසන්න අවන්හලකය. හෙට දිනයේ තමාට පරාජයක් මිස ජයග්‍රහණයක් අත් නොවන ඔහු විශ්වාසයෙන්ම දැන සිටියේය. තාත්තා සේම පුෂ්පානන්ද පවසන්නේත් ඒ පරාජය බාර ගත යුතු එකක් බවය. එහෙත් දයාල්ට එසේ කරන්නට තරම් සිතක් වූයේ නැත. පැරදී පුරුද්දක් වූ⁣යේද නැත.

“ඔහුගේ ජංගම දුරකථනය නාද  වූයේ සේනකගේ අංකය සටහන් කරමින්ය.” 

“මචං… තාත්තා.”

“ගනින් දැන් උඹ නහයෙන් අඬ අඬනෙ හිටියේ තාත්තා උඹ  එක්ක කතා කරන්නේ නෑ කියලා.” 

දයාල් ජංගම දුරකථනය කන තබා ගත්තේ මිතුරා එසේ පවසා නිම වනවාත් සමගමය. 

“උඹ කොහෙද ඉන්නේ?”

එහා පසින් ඇසුණේ රළු හඬකි.

“රනිල්ගේ හොටෙල් එකේ. ඇයි..”

“මම දැන් ඔතනට එනවා දයාසිරිත් එක්ක. උඹ හොඳ සිහියෙන් වෙන්න ඇතිනේ ඇත්තේ.”

“මං බීලා නෑ. දයාසිරිව මොකටද  එක්කන් එන්නේ. උන් තමයි මාව නැත්තට නැති කලේ.”

“මෙතනින් එහාට මං කියන විදිහට වැඩකරහං. නැත්තං උඹව අතෑරලා දැම්මොත් අත අතෑරලා දැම්මම තමයි.” 

ශ්‍රියාමාලාගෙන් දුරකථන ඇමතුමක් පැමිණියේ  සේනක දුරකථනය විසන්ධි කරද්දීමය. 

“ඒ පාර ඔයා මොකක්ද කියන්න හදන්නේ?.”

“දැන් තාත්තා එයි. මමයි තාත්තට කිව්වේ ඔයා ඔතන ඉන්නවා කියලා. පින් සිද්ධවෙයි තාත්තා කියන විදිහට වැඩ කරන්න. තාත්තා හදන්නේ ඔයාව බේරගන්න. ඉවසීමෙන් වැඩ කරන්න පුතා මටත් දැන් ඔයාට කියලා කියලා ඇතිවෙලා.”

“අර දයාසිරියාව එක්කන් එනවා කිව්වේ මොකටද?”

“තාත්තා කියන විදිහට වැඩ කරපන්. නැත්තං උඹට නොමිනේෂන් ගන්න හම්බවෙන්නේ නෑ. උඹ  හොඳට මතක තියාගනින් තාත්තා මේ තරමින් හරි උඹ ගැන බලන්නේ මගේ කටේ බලේට. එහෙම නොවුනනම් උඹව  අතෑරලා දාලා ගොඩක් කල්. දැන්වත් මොලේ පාවිච්චි කරලා වැඩ කරපන්. හරකෙක් නොවී.”

දයාල් දුරකථනය විසන්ධි කළේ ඈ අවසන් වදන් කිහිපය පවසද්දීය. කවුරුන් කුමක් කීවත් යුගාශ්ගෙන්, අමායාගෙන් පළිගන්නා තුරු ඔහුට නිවනක් වූයේ නැත. පුෂ්පානන්ද කෙරෙහිත් ඒ  සිතෙහි වූයේ ඒ සාම කෝපයකි. ඔහු අවසන පුතාගේ පාර්ශවය ගෙන තමාව අතහැර දැමුවායැයි දයාල්ට සිතුනේ අද ඊයේක සිට නොවේ. එසේ නොවීනම් ඔහු ඇත්ත බොරුව කරන්නටත් බොරුව ඇත්ත කරන්නටත් හපනෙකි.

සේනකත් දයාසිරිත් රැගත් බෙන්ස් වර්ගයේ කාරය හෝටල් භූමියේ නතර වූයේ එවේලෙහිය. 

“අන්න අංකල් එනවා. උඹ ඉවසීමෙන් වැඩ කරහන්. මං කියන්නෙත් නොමිනේෂන් ගන්නකල් අන්කල් කියන විදිහට වැඩ කරපන් කියලා.”

“ඔව්… ඊට පස්සේ බලාගමුකෝ..”

“ඒව කරන්න ක්‍රම තියෙනවා බං. උඹ  ඔය වැඩේ කරගනින්කෝ. අපි දෙන්න කතාවෙච්ච සෑහෙන දේවල් තියෙනවනේ. ඕක තමයි බං සල්ලි උල්පත. එතනට ගියාට පස්සේ ආයෙ ඇඟිලි දික් කරන්න කවුරුවත් නෑ. මැෂින් එකෙන් සල්ලි අදින්න තමයි තියෙන්නෙ.” 

මිතුරා නැගී සිටියේ දයාල්ගේ පිටට තට්ටුවක් ද යොදමින්ය. ඔහු හා සම්බන්ධ වී ආරම්භ කරන්නට නියමිත ව්‍යාපාර ගැන මිතුරන් දෙදෙනා සැලසුම් කලේ බොහෝ කාලයක සිටය. ඒ සියල්ලටම දයාල් පාර්ලිමේන්තුවට යාම ඉතා වැදගත්ය. 

සේනක සුවපහසු අසුනක අසුන් ගත්තේ දයාල්ගේ මුහුණවත් නොබලමින්ය. සැබවින්ම ඔහු සිටියේ අප්‍රමාණ කළකිරීමක් දරාගෙනය. දරුවන් දහ පහළොස් දෙනෙකු නොවේ. එනිසාම මේ සියල්ලම ඔහු වෙනුවෙන්ය. වයස අවුරුදු තිහක් පමණ වූවාට  ඒවා රැක ගන්නට ඔහු අදටත් අපොහොසත්ය.

“දයාල් මහත්තයා මේ අහන්නකෝ..හැම වෙලාවකම අපිට උවමනා දේවල්ම  වෙන්නෙ නෑ. අනිත් මිනිස්සුන්ට වගේ නෙමෙයි. දයාල් මහත්තයලට වැරදි නිවැරදි කරන්නත්  ඒවා ලෝකෙන් හංග ගන්නත් ඕන තරම් ක්‍රම තියෙනවා. සිද්ධ වෙච්ච දේ සිද්ධ උනා. ආපස්සට හරවලා ගන්න බැරි දේවල් වලට අපි ජීවිතේ  ඉස්සරහ කාලෙ නාස්ති කරගන්න ඕනේ නෑ.” 

“අනේ.. තමුසෙගේ බණ නවත්ත ගන්නවා…” යැයි කෑ ගසා පවසන්නට සිතුනත් දයාල් එසේ නොකළේය. අමායා සම්බන්ධ ප්‍රශ්නයේදීත් තාත්තා කුමක් හෝ කරාවියැයි විශ්වාසයක් දයාල්ගේ සිතෙහි විය. මෙතුවක්  කල් සෑම ප්‍රශ්නයක්ම විසඳුනේත් ඒ අයුරින්ය. ඔහු කෝප ගෙන සිටියේ අමායාගේ ප්‍රශ්නය මේ සා දුර දිග යාම පිළිබඳවය. 

“හෙට හවස දයාල් මහත්තයාට මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා. ඔතනදි අපි හොඳට බොන්න දෙන්න ඕනේ, හොඳට කන්න දෙන්න ඕනේ. ඊට පස්සේ දයාල් මහත්තයා අතේ තමයි වැඩේ තියෙන්නේ.”

“උන් කාල බීලා ගිහිල්ලත් අනිත් පැත්තටනේ බං ලිව්වේ..”

“ඒක තමයි ප්‍රවෘත්තිමය වටිනාකම කියලා කියන්නේ. මේක ඊට වඩා වටිනාකමක් දෙන නිවුස් එකක් වෙයි. කොටින්ම කිව්වොත් දයාල් මහත්තයා මේ කරන්නේ පාපොච්චාරණයක්. ඒ වෙලාවට කඳුළු ඉස්සර වෙන්න ඕනේ. ග්ලිසරින් ටිකක් දාලා හරි කඳුලක් ගන්න ඕනේ.” 

“තමුසෙ මට මොකක්ද කරන්නේ කියලා කියන්නේ..උන් ඉස්සරහ අඬා වැටෙි කියලද..”

“වචන දහයක් පහළොවක් ඔය කටින් එළියට දාන එක විතරයි දයාල් මහත්තයා. මෙහෙම තැන් ද අපි එකතුවෙලා ගොඩ දැම්මේ.. නේද සේනක මහත්තයා.”

“හරි තමුසෙ කියනවකෝ…”

“මෙන්න මෙච්චරයි….දයාල් මහත්තයා ඔය අමාය කියන ගෑණු ළමයත් එක්ක සම්බන්ධයක් ඇති කරගත්තේ අතාරින්න බලාපොරොත්තුවෙන් නෙමෙයි. අසරණ බව දැන දැනම දුප්පත්කම දැන දැනම ඒ අහිංසක කමත් එක්ක තමන්ට හයියක් වෙයි කියලා හිතාගෙන. සම්බන්ධතාවය දුරදිග ගියේ දෙන්නගෙම කැමැත්තෙන්. ඒක උසාවියෙන් පවා ඔප්පු වෙලා තියෙනවනේ දයාල් මහත්තයා. කාලයක් යද්දි තේරුණා තමන් බලාපොරොත්තු වෙච්ච අහිංසක චරිතය නෙමෙයි මේ කියලා. අනවශ්‍ය විදිහට තමන්ගේ වැඩවලට ඇඟිලි ගහන්න, පාලනය කරන්න, තීරණ වලට මැදිහත් වෙන්න පටන් ගත්තා. අන්න එතනදි දයාල් මහත්තයා තේරුම් ගතපු දෙයක් තමයි තමන් යන්න සූදානම් වන මේ දේශපාලන ගමන තමන්ට පිරිසිදුව යන්න ලැබෙන්නේ නෑ කියලා. මොකද එයා දුප්පත් කෙනෙක් හින්දා සල්ලි වලට ලොකු කෑදරකමක් එයාගේ ළඟ තිබුණා. ඒ විතරක් නෙමෙයි  යම් දවසක තමන්ව ඇස් දෙක වගේ බලා හදාගත්ත අම්ම තාත්ත පවා අහිමි වෙයි කියලා බයක් දැනුනා..අන්න එතනදි තමයි දයාල් මහත්තයා අර මං කියපු කඳුල වැටෙන්න ඕනේ. ඒ නිසා මේ සම්බන්ධය නතර කරමු කියන ඉල්ලීම ඔබතුමා බොහොම යටහත් පහත්ව කළා. අමායත් ඒකට කැමති වුණා. හැබැයි එයාගේ හිත යට මෙහෙම පළිගැනීමේ බලාපොරොත්තුවක් තිබුණා කියලා ඔබතුමා කීයටවත් හිතුවේ නෑ. උසාවියේදී කියපු හැමදේම ඇත්ත. සම්බන්ධතාවයක් තිබුණා. ඒක අතරමග නවත්තන්න හිතපු සම්බන්ධතාවයක් නෙමෙයි. ඒ නිසා මේ සම්බන්ධතාවය දුරදිග ගියා. හැබැයි උසාවියට මට මගේ නිර්දෝෂීකම ඔප්පු කරගන්න බැරි වුණා. මොකද උසාවිය තීරණ ගන්නේ සාක්ෂි මත මිසක් හැඟීම් මත නෙමෙයි. මේ නිසාම මං තීරණය කළා මගේ ජීවිතයට ටික කාලයක් යනකං කිසිම කෙනෙක් සම්බන්ධ කරගන්නේ නෑ කියලා. ඒක ලොකු වේදනාවක් උනා මට. මේ වෙලාවේ ඉඳලා  මම මිනිස්සු වෙනුවෙන්, නිවැරදි දේශපාලන ගමනක් වෙනුවෙන් පෙනී හිටිනවා. අන්න ඒ ටික ටිකක් ආවේගෙන් කියන්න ඕනේ දයාල් මහත්තයා….මේක මගේ ජීවිතේට ලොකු පාඩමක් වෙයි. තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න කෙනා ගැන මතුපිටින් බලලා තීරණ ගන්න එපා කියන එක මම මගේ ආදරණීය තරුණ තරුණියන්ට උගන්නපු පාඩමක් වෙයි. සමහර විට අපිට ඔප්පු කරගන්න සාක්ෂි නැති වුණාට අමායා පිටිපස්සේ හිටියේ මගේ විරුද්ධවාදියෙක් වෙන්නත් පුළුවන්. මොකද ඇය සල්ලි වලට ඕනම දෙයක් කරන කෙනෙක් කියලා මම දැන ගෙන හිටියා. යම් දවසක ඒ හිතෙත් පසුතැවීමක් ඇතිවෙයි. කමක් නෑ….මගේ තාත්තා හැමදාම කියන දෙයක් තමයි මල් පාවඩ උඩින් ගියපු මිනිස්සු නෙමෙයි ජීවිතය දිනුවෙ කියලා. ගල් මුල් මතින් ඇවිදගෙන ගිහිල්ලා මඩ ප්‍රහාර විඳ ගත්තට පස්සේ තමයි මිනිහෙක්ට තවත් මිනිහෙක්ගෙ දුක තේරෙන්නේ කියලා…අන්න ඒ තැන මං අද ඉන්නවා….

ඔන්න ඔච්චරයි…..මේක ගලපල කරලා ලුණු ඇඹුල් පදමට එකතු කරලා රහ කරලා කඳුළක් දෙකක් වට්ටලා ඇඬෙන්න දෙන්න තියෙන්නේ.”

දයාල් තම පියා දෙස බැලුවේ ජයග්‍රාහී සිනහවක් මුව මත තබාගෙනය. ඔහු නිලය අල්ලා පහර දීමට දක්ෂයෙකි. මේ එවන් ක්‍රියාවක් බව විශ්වාසය. 

                                 ***************

අපූර්වා දෙතුන් වතාවක් යුගාශ්ගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගත්තත් ඔහු ඊට පිළිතුරු ලබා දුන්නේ නැත. මේ ගෙවී යන්නේ අවිවේකී දිනයක් වුවත් යුවතියගේ සිතට දැනෙමින් තිබුනේ රිදුමකි.

I’ll call you later…

යන කෙටි පණිවිඩය පමණක් ඒ දෙතුන් වරම ඔහුගේ ජංගම දුරකථනයෙන් පැමිණෙද්දී අපූර්වාගේ සිතෙහි ඇති වූයේ බියකි. ඔහුගේ රාජකාරී ජීවිතය අවදානම් පිරි එකක් බව විශ්වාසය. 

“මේ අර සේනක මන්ත්‍රීතුමාගේ පුතාගේ අතින් අනාථ වෙච්ච ගෑණු ළමයාගේ නඩුව කතා කරන ලෝයර් මහත්තයා නේද. මං හැමදාම උඹට කියපු එක දෙයක් තමයි උඹ මෙතන ඉන්න ඕන කෙල්ලෙක් නෙමෙයි කියලා. ඒ වාසනා ගුණේ උඹ අත මිට මොලචවගෙනම තමයි බං ඉපදිලා තියෙන්නේ. අර කීමටත් කියනවනේ ගෑනිගේ පින කුණු  මුල්ලෙ කියලා..උඹ මහත්තයා කියන විදිහට හොඳට ඉදහන්. ආරංචි කරලා බලපු විදිහට ඒ රත්තරන් මනුස්සයෙක් බං. තවත් ගෑනියෙක්ගේ ගෞරවයක් ගැන කතා කරන පිරිමියෙක්ගේ අතින් කවදාවත් උඹේ ගෞරවයට හානියක් වෙන්නේ නෑ…”

සවස චින්තන පවා පැවසූයේ ඒ අයුරින්ය. ඔහු මේ ජීවිතයට පෑයූ ඉරකි. මදකට හෝ සිත සසල වන්නේ ඔහුගේත් තමාගේත් උස්මිටිකම් අභියස බව විශ්වාසය. ඇඟපත සෝදා ගෙන පැමිණි අපූර්වා පියසීලි සාදා දුන් තේ කෝප්පයත් ගෙන අලුතින් ඉදිවන  නිවස තුළට ගියාය. නැකැත් සාදා තිබූ පරිදි වහල ගැසීමේ කටයුත්ත සිදුවන්නේ හෙට උදෑසනය. පෙරේදා සිට තමාරා හට දුරකතන ඇමතුම් ලබා ගත්තත් පිළිතුරු සැපයූවේ සේවිකාව විසිනි. ඈ පැවසූයේ තමාරා  මද අසනීප තත්ත්වයකින් පසුවන බවයි. එහෙත් මින් හෝරාවකට පමණ ප්‍රථමව කතා කළ තමාරා පැවසූයේ නිවසේ ඉදිරි වැඩ කටයුතු සඳහා ඉදිකිරීම් සමාගමට මුදල් ගෙවා ඇති බැවින් ඒ වැඩ කටයුතු පමා නොවන බවය. වෙහෙසකාරී බව නිසාම තමා මඳක් අසනීපව ඇති බවත් ඈ පැවසීය. 

“ළමයෝ මෙන්න මේ ෆෝන් එක කෑ ගහනවා..”

අපූර්වා අඩියට දෙකට කාමරය තුළට ගියේ චාර්ජ්  වෙන්නට දමා තිබූ ජංගම දුරකථනය රැගෙන එන්නටය. ඈ අපේක්ෂා කළ පරිද්දෙන්ම ඇමතුම යුගාශ්ගෙන්ය.

“ඔෆිස් එකේ හිටියේ අපූර්වා  පොඩි වැඩ වගයක් තිබුණා. ඔක්කොම වැඩ කරද්දි මම ෆෝන් එක ගන්න එක හරි නෑනේ. සොරි…”

“ඒකට කමක් නෑ මම හිතුව වැඩ වැඩි ඇති කියලා. හෙට අර නඩුව තියෙනවා නේද?” 

“ඔව්.. කොහොමද ඔයාගේ වැඩ හෙට වහල ගහනවා කිව්වා නේද.”

හවස බාසුන්නැහේලා  ඇවිල්ලා බඩු ඔක්කොම ගෙනත් දාලා ගිහිල්ලා. 

“දවසින් කරගන්න පුළුවන් වෙයි. ආ මේ මං අහන්න හිටියේ ඔයාට තමාරා මැඩම් කතා කළාද?”

“කතා කළා කීප වතාවක් කතා කළාට පස්සේ තමයි ෆෝන් එකට ආවේ. මැඩම් ටිකක් අසනීපෙන් කියලා කිව්වා. ඇයි සර් එහෙම ඇහුවේ.”

“නෑ නිකං මට මතක් වුණා. හෙට එයිද දන්නේ නෑ කියලා හිතුනා.”

“මමත් හිතුවා හෙට එයි කියලා. අසනීපෙන්නේ එන්න බැහැනේ. කමක් නෑ.”

“ඔයා අනිද්ද කැම්පස් එකට යන්න ලෑස්ති වෙන්න. මං හයහමාර වෙද්දි ගෙවල් ලඟට එන්නම්. හතරට ලෙක්චර්ස් ඉවරයි. මං ඩොක්ටට කතා කරලා අම්මා බලන්න පුළුවන්ද කියලත් අහන්නම්. ඔයා ආච්චිට කියන්න චුට්ටක් රෑ වුනාට කලබල වෙන්න එපා කියලා.”

“අනේ එහෙම කරන්න පුළුවන්නම් ඒක ලොකු දෙයක්.”

“කතා කරල බලමු අපූර්වා සමහරවිට බැරිවෙන එකක් නෑ.” 

“යුගාශ් සර්.. ඔයා මොනවා හරි ප්‍රශ්නෙකින්ද?”

“නෑ…ඇයි එහෙම අහන්නේ..”

“මට වෙනසක් තේරෙනවා.”

“මම ටිකක් කලබල වෙලා අපූර්වා ඉන්නේ. ඒක හරියයි.”

“හෙට නඩුව නිසාද?”

“ඔව්…ඒක එකක්..අනිත් එක අප්පච්චි ගැන..”

“සර්ට අප්පච්චිව හම්බ වෙනවද?”

“අද හම්බ වුණා..”

“ඇයි කලබල වෙලා ඉන්නේ ඉතින්”

“අප්පච්චි දුර්වල වෙලා අපූර්වා..හරි ටික කාලෙකින් මට එයාගේ ලොකු වෙනසක් දැනෙනවා.” 

“ඇයි ඒ….”

“දන්නෙ නෑ..මට ඔයාට කියන්න ලොකු කතාවක් තියෙනවා. මං ගැන. ගෙයි වැඩ ටික ඉවර කරගෙන අම්මව චුට්ටක් සනීප කර ගත්තට පස්සේ ඒ දිග කතාව මම ඔයාට කියන්නම්.”

“සර්..”

“ඇයි අපූර්වා….”

“ඒ දිග කතාවේ අන්තිමට  සර් මට නැති වෙයිද?..හැම කතාවකම අවසානය සතුටක් නෙමෙයි.”

“නෑ අපූර්වා. එහෙම කතාවක් නෙමෙයි. හැම කතාවකම අවසානය සතුටක් නොවුනට අපේ කතාවේ අවසානය සතුටක් වෙනවා. ඒක මං ඔයාට දීපු පොරොන්දුවක්. ඒ ඇරෙන්න මගේ ජීවිතේ මං කාටවත් පොරොන්දු දීල නෑ. අම්මටවත්…..”

යුවතියගේ දෑස් දැවිල්ලකින් තෙත් වූයේ ඒ මුව මත සිනහවක් පීදී එද්දීමය. ඔහුගේ වදන් ඉර හඳ සේ විශ්වාස කරන්නට ඇය දෙවරක් සිතන්නේ නැත. එනිසාම ඒ සතුටු කඳුළක් බව විශ්වාසය. අපූර්වාට ඕනෑ වූයේ ඒ පපුවට තුරුළුව සිටින්නටය. දහස් වරක් තමාට ඇති ආදරය පිළිබඳව ඔහුගෙන් විමසන්නටය. ඒ මුවින් නළලතට ලැබෙන මෘදු හාදුවක් දෑස් පියාගෙන විඳගන්නටය. බොහෝ වේලාවක් යනතුරු තම දෙතොල් මත්තේ දඟපාන ඒ දෙතොල්වල උණුසුම හදවතෙහි  ගුලි කර ගන්නටය. එවන් තුරුලක රැකවරණය සේම  ගැහැණියකට අවැසි ආදරය උපරිමයෙන්ම ඇති බව විශ්වාසය.

(යළිත් හමු වෙමු ආදරයෙන්…….)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here