ඔබෙ ආදරෙන් මා දැවේ – 18

0
725

“මට ඕන උනේ මලිත් ව කොහොමහරි මගෙ ලඟම තියාගන්න. ඒ උනාට ඒක කරන්න පුලුවන් දෙයක් නෙවෙයි කියන එක මට තේරුනෙත් පස්සෙ. මම එදා ගෙදර ආව දවසෙ අපි දෙන්නා සෑහෙන රණ්ඩු උනේ මලිත් සෑහෙන දවසකට පස්සෙ ගෙදර හිටියෙ ඒ වීකෙන්ඩ් එකේ. මං ඇත්තටම බලන් ඉඳියෙ එයා එදාවත් ගෙදර ඉඳීවි කියලා. ඒ උනාට එදත් මොකද්ද කවුද කට්ටියක් හම්බුවෙන්න යන්න තියෙනවා කියලා එයා මාත් එක්ක සෑහෙන්න රණ්ඩු උනා.

ඇත්තටම මමයි රණ්ඩුව පටන් ගන්නේ. මොකද මට ඒ වෙද්දි එපා වෙලා තිබ්බෙ එයා එක එක දවසට, එක එක වීකෙන්ඩ්ස් වල මං කියලා කෙනෙක්, කොටින්ම ගෑනියෙක් ඉන්නවා කියන එක අමතක කරලා දාලා වගේ හැසිරෙන එකට.

මාත් මනුස්සයෙක්. ඊටත් එහා මම කසාද බැඳපු ගෑනියෙක්. එයාට හිතන්න තිබ්බා නේද ඒක? මං කොහොමද මේ හැමදේම දරාගන්නෙ කියල. එයා ඔය එයාගෙ කවිවලයි, ෆේස්බුක් එකෙයි ලියන රැඩිකල් ලව් ස්ටෝරීස් ඇත්ත ජීවිතේදි ප්‍රැක්ටිකලි කරන්න පුලුවන් දෙයක් නෙවෙයි කියන එක එයාට තේරුම්ගන්න බැරිවෙච්ච එකයි මේ හැම ප්‍රශ්නෙටම හේතුව. අනික මම එයාව දාලා ගෙදර ආවා කියලවත් එයාට කිසිම ගාණක් උනේ නෑ. එයා නිකමටවත් මට කෝල් එකක් දීලා එන්න කියලා කිව්වෙත් නෑ. එයා නිකන් හිටියෙ මමම එයා එක්ක රණ්ඩුවෙලා ගෙදරින් ආව හන්දා, මමම තනියෙන් හිත හදාගෙන මමම ආපහු එයාගෙ ලඟට එන්න ඕන කියලා තමා එයා හිතාගෙන හිටියෙ. එහෙම නැතුව මෙතන එයාගෙ පැත්තෙනුත් වරදක් උනා, එයාත් හරිනම් මේකට සම්මාදම් වෙන්න ඕන කියන එක එයා කවදාවත් හිතුවෙ නෑ.” කියා ජාන්වි කඳුලු දෙනෙත්වල පුරවගෙන කියවගෙන කියවගෙන යද්දිත් තුරුණුගේ දෙනෙත් තිබුනේ ජාන්විගේ ඒ කඳුලු පිරුණු දෙනෙත් වෙත එක එල්ලේ ගැටීය. එහෙත් හිත අස්සේ අතීතයට අයිති කිසිම සිතුවිල්ලක සේයාවක්වත් තැවරී තිබුනේ නැති බව තුරුණුට විශ්වාසය. ස්ථිරය.

“දැන් මේ ඩිවෝස් එක ගන්න එක ඔයාලා දෙන්නගෙම මියුචුවල් ඩිසිශන් එකක් ද?” කියා තුරුණු ඇසුවේ විසිරෙන්නට යන හිත එකලස් කරගනිමිනි.

“ඔව්, අනික මලිත් කොහොමත් කැමති වෙයි ඩිවෝස් එකක් ලැබෙනවට. එයාට කොහොමවත් කවදාකවත් මාව කසාද බඳින්න උවමනාවක් තිබ්බෙ නෑ” කියා ජාන්වි කියද්දි තුරුණුට ඒ ගැන අහන්න බොහෝ ප්‍රශ්න තිබුණ බව ඇත්තකි. එහෙත් මේ වනාහී පෞද්ගලික දේවල් අහන්න වෙලාවක් නොවන බව දන්න හන්දාම තුරුණු උන්නේ රාජකාරියට සම්බන්ධ දේවල් ගැන පමණක් විමසමිනි.

එදා ආපහු ගෙදර එද්දිත් මංජලී උන්නේ කාරෙක පදවන අතරම තුරුණු නොඑසේනම් මනහාර ගැන බොහෝ දේ ජාන්වි සමග පවසමිනි. එහෙත් ජාන්වි උන්නේ ඒ සියල්ල වචන ලෙස නොව පිහි තුඩු ලෙස හිතට භාරගනිමිනි.

“මනා මාරම ටැලන්ටඩ් හරිද? කැම්පස් ආවට පස්සෙ කවුරුවත් ඒලෙවල් ගැන හොයන්නෙ නැති එක ඇත්ත. අයිලන්ඩ් රෑන්ක් දාලා එන එකයි, පාස් මාක් එකෙන් එන එකයි දෙන්නම සමහර වෙලාවට එකම බැච් එකේනෙ ඉන්නෙ. මනා මුලින් කා එක්කවත් ලොකුවට කතා කරලම නැ. මිනිහා නිකන් තනියම වගේමයි ඉඳල තියෙන්නෙ. මුල් කාලෙ ඩිප්‍රෙශන් වලට එහෙම බෙහෙතුත් අරගෙන තියෙනවලු.

බෝඩිමක් හොයාගෙන එලියට යන්න උනයින් පස්සෙ තමා අනුරුද්ධ එක්කලා මනා සෙට් වෙලා තියෙන්නෙ. එහෙම තමයි අනූ මනාගේ ස්ටෝරි එක දන්නේ. මාර පව් වැඩේ ඉතින් වෙලා තියෙන්නෙ. කවුරුහරි නොටෝරියස් කේස් එකක් එක්ක තමා මූ යාලුවෙල ඉඳලා තියෙන්නෙ. අසනීප උනයින් පස්සෙ මනාගෙ අප්පච්චි තිබිච්ච කුඹුරක් එහෙමත් විකිනුවලු මනාව ගොඩගන්න. මනා නැහීගෙන හම්බ කරලා ආයෙ අප්පච්චිට ඒ කුඹුර අරගෙන දීලා තියෙනවා. පව් හොඳ එකා. ඒ හන්දම මිනිහට කෙල්ලො පේන්න බෑ. අනන්ත නඩු වලදි මිනිහා ගෑනුන්ගෙ පැත්තට කතා කරනවා. හැබැයි ගෑනු ගැන මිනිහගෙ හිතෙ තියෙන අදහස මාර වෙනස්” කියා මංජලී කියාගෙන කියාගෙන යද්දී ඒ කියන නොටෝරියස් කේස් එක වෙන කවුරුවත් නොව තමන් බව කියාගන්නට බැරුව ජාන්වි තැවුණාය. 

එදා රැයේ කරටි කැඩෙන්න බොන්නට හේතුවක් තුරුණුට තිබුණේය. ජීවිතය නමැති මේ ගමනේ, අපට හැරදමා එන්නට සිදුවන ඇතැම් පුද්ගලයන්, නැවත වරක් මුණ ගැසුණු විට අතීතය යළිත් සිදුවෙතැයි යන බිය තුරුණුගේ සිතේ තදින්ම රඳා පැවතියේය. එය හුදෙක් බියක් නොව, ඔහු අත්විඳි වේදනාවේ කැඩපතක් විය. ජීවිතය නිරන්තරයෙන්ම අලුත් වන දෙයක් වුවද, අතීතයේ මතකයන් ජීවිත කාලය පුරාම හොල්මන් කරයි. තුරුණු උන්නේ ඒ අතීත හොල්මන් සිතුවිලි මැද්දේ බියට පත් විය. තමන් මේ තිස් වසරක ජීවිත කාලට පුරාවට තමන්ට ජාන්වි හැර පෙම්වතියක හිටියේ නැතැයි කියන කතාව කවුරුවත් විශ්වාස නොකරද ඒ වනාහී සම්පූර්ණ ඇත්තක් බව තුරුණු දැන උන්නේය.ජීවිතෙ සියල්ලන්ටම බෙදන්නෙ එක හැන්දෙන් නොවන බව තුරුණූ දනි. එහෙත් ආදරය සම්බන්ධයෙන් ගත්කල, තමන්ට දෛවය එකම හැන්දෙන් එදත් අදත් බෙදන එකක් නැතිද යන සැකය තුරුණුව වඩ වඩාත් ඉන්ට්‍රොවර්ට් කෙනෙකු කරන්නට හේතු වූ තිබුනේය.

තුරුණු මත් බව අස්සේ දිය කර හරින්නට තීරණය කර තිබුණේ ඒ හැඟීම් ය.

“දැන් උඹ මෙච්චර දවසක් කරටි කැඩෙන්න ගැහුවෙ ඒකි උඹව දාලා ගියා කියලා. දැන් උඹ කරටි කැඩෙන්න ගහන්නේ ආයෙ ඒකි ආව හන්දද?” කියා මධුර ඇහුවේ තුරුණු විසින් ජාන්විව නැවත හමු වීම සම්බන්ධ සියලු කතන්දර කිමෙන් පසුවය.

“මං බොන්නේ ඒකිව අමතක කරන්න නෙවෙයි බං” කියා තුරුණු මත් පැන් පිරුණ වීදුරුව අතේ තියාගෙනම මධුර උන්න පැත්තට හැරුණේය.

“එහෙනම් මට කියපංකො උබ ඇයි බොන්නෙ කියලා?”

“මං බොන්නෙ මට ඕන ආයෙ ඒකි කියලා කෙනෙක් මගෙ ජීවිතේ උන්න තැනට යන්න. මං හැමදේම නැතිකරගත්තෙ, මගෙ අම්මලගෙ අප්පච්චිලගෙ හිතේ සැනසීම, ගමේ ඉස්කෝලේ ලොකු මහත්තයලගෙ බලාපොරොත්තු එහෙම නැති කරගත්තෙ ඒකි හන්දා බං.

එහෙම එකේ ආයෙ ඒකි මගෙ ඉස්සරහට ආවම මං කොහොමද ඒක සාමාන්‍ය දෙයක් විදියට භාරගන්නෙ? යකෝ මං ගමේ ඉඳන් කොලඹ ඉස්කෝලෙකට ආවෙ අයිලන්ඩ් රෑන්ක් දාලා කැම්පස් යන්න. උඹ දන්නවා මං කියලා තියෙනව උඹට අපේ අප්පච්චිල බං රා ටිකක්වත් කටේ තියෙන උන් නෙවෙයි. එහෙම එකේ මං මේ කොළඹට වෙලා බේබද්දා වගේ බොනවා කියල දන්නවනම් අපෙ අප්පච්චිගෙ පපුව පැලිලා මැරෙයි යකෝ.

මං හොඳටම වැටිලා ඉද්දි අප්පච්චි මට බේත් කරන්න කුඹුරක් විකුණූවා කියලා දැනගත්තම මට මැරෙන්න හිතුනා බං. මං එතනින් ගොඩ ආවෙ කවදහරි අප්පච්චිට ආපහු ඒ කුඹුර අරන් දෙනව කියල හිතාගෙන. උඹ දන්නව මං අවුරුදු කීයක් ඒකට නැහුණද කියලා. මං තාම ඉන්නෙ බෝඩිමක. අපේ බැච් එකේ කී දෙනෙක් නම් සෙට්ල් වෙලා හොඳට ජීවත්වෙනවද? ලෝන් දාලා හරි ගෙවල් හදාගෙන.මං තාම බෝඩිමක ඉන්නෙ. අපතයෙක් වගේ.

මං මෙහෙම ජීවත්වෙන්න බලාපොරොත්තු වෙච්ච එකෙක් නෙවෙයි කියල උඹ දන්නවා. ඒ හැමදේම උනේ ඒකි හන්දා නෙවෙයිද බං?

මෙච්චර දවසක් මම බිව්වෙ ඒකිව මතක කරලා දාන්න බව ඇත්ත. හැබැයි මේ දැන්, අද ඉඳලා මම බොන්නේ ඒකිව අමතක කරන්න නෙවෙයි බං. ඒකි කියලා කෙනෙක් මගෙ ජීවිතේ උන්නෙ නැති කාලයකට ආයෙම ‍යන්න.

මගෙ අම්මා අප්පච්චිගෙ හිතට ආයෙ ගින්දරක් නොදී ඉන්න”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here