” තාත්තා මොන අදහසකින් එහෙම කිව්වත් දැන් අම්මා ඕක ගැන හිතලා තවත් හිත කලබල කර ගන්න එපා ”
අභිමන් කීවේ අශිකා කඳුළු පුරවා ගෙන මුළුතැන්ගෙයි කෑම මේසයෙහි පුටුවකට බර වී වතුර වීදුරුවක් අතැතිව බලා හිඳිනු දුටු නිසාය. අසනීපයෙන් සිටින තමාව බලන්නට පැමිණ දේවක අගක් මුලක් නොමැති කතාවක් පවසා හිතට මහා බරක් එකතු කර යන්නට ගියේය. ඔහු කවදත් කළේ මෙවැනි වූ දෙයක් තමාට සිදු කර කොහෙට හෝ වී සිටීමය. ඒ නිසා මේ අවස්ථාවේ දී ඔහුට අවශ්‍ය විවාහය කෙළවර කර දැමීමට නම් ඒ සඳහාද ඔහුට ඉඩ හැර බලා හිඳින්නට අශිකා තීරණය කළාය.
” තාත්තා කැමති තීරණයක් ගත්ත දෙන් පුතේ. එයාට මගෙන් ඇත්තටම නිදහස් වෙලා යන්න ඕන නං එයා ඒක කරපුවාවේ. අනිත් එක මේ ගෙදර දාලා එලියට බැස්ස එයාට ඔය වගේ දෙයක් කරන එක ලොකු දෙයක් නෙමෙයි නේ ”
අශිකා කීවේ සංවේගයෙනි. ජීවිතය ඉදිරියට ගලා ආවේ මහා පුදුම ආකාරයටය. සියලු සැප සම්පත් සහිතව මහා මන්දිරයක තමා තනි වී ඇත. තමාව ආරක්ෂා කරන්නට පැමිණි ආරක්ෂකයන් දෙදෙනෙකු සේ පුතුන් දෙදෙනෙකු සිටියද ආදරය රැකවරණය නොමැතිව තනි වීමට සිදුවීම ගැන අශිකා හදවතින් තැවුනාය.
මෞර්යා පසු දින උදෑසනම කාර්යාලයට පැමිණ වැඩ ආරම්භ කළේ පෙර දිනයේ උදෑසන කාලයේ පැය ගණනාවක් කාර්යාලයේ නොසිටි නිසා බලාපොරොත්තුවෙන් සිටි ආකාරයට වැඩ කිහිපයක් සම්පූර්ණ කරගත නොහැකි වූ නිසාය. ආදිත්‍ය සහ අභිමන් සාමාන්‍ය වෙලාවල් වලදී කාර්යාලයට පැමිණි අතර මෞර්යා උන්නේ ඔවුන් දෙදෙනා දෙස බැලිය නොහැකි තරමේ දෙගිඩියාවකිනි.
වෙනදාට උදෑසන දී කෙටි පණිවිඩයක් හෝ එවා තබන මෞර්යා උදෑසන දහය වන තුරුත් නිහඬව සිටීමට හේතුව ආදිත්‍ය කාර්යාල කාමරයට වී කල්පනා කළේය. අනතුරුව ඔහු ලැප්ටොප් පරිගණකයෙහි ඇති ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය කරන යොමුව විවෘත කලේය. කාර්යාලයේ එක් කොනක ඇති ආරක්ෂිත කැමරාවකට මෞර්යාව පැහැදිලිව පෙනුණු අතර ඇය සිටින්නේ කුමක් හෝ කල්පනාවක යයි ආදිත්‍ය නිරීක්ෂණය කළේය. මෞර්යා සාමාන්‍යයෙන් මේ ආකාරයේ හැසිරීම් පෙන්නුම් කරන කෙනෙකු නොවන නිසා ආදිත්‍ය ඒ පිළිබඳව පුදුම වූයේය. තවත් විනාඩියක් දෙකක් පමණ මෞර්යාගේ හැසිරීම නිරීක්ෂණය කළ ආදිත්‍ය දුරකථනය අතට ගෙන ඇගේ අංකය අමතා තවදුරටත් ඇය දෙස බලා උන්නේය.
මේසය මත ඇති දුරකථනය අතට ගන්නා මෞර්යා ඒ දෙස බලා හිඳ ඇමතුමට සම්බන්ධ වන ආකාරය ආදිත්‍ය දුටුවේද කැමරාවෙනි.
” කියන්න මිස්ටර් ආදිත්‍යය ”
ආදිත්‍ය තත්පර කිහිපයක් නිහඬව සිට හඬ අවදි කළේය.
” මගේ office එකට එන්න මෞර්යා ”
එසේ කියා ආදිත්‍ය දුරකථන ඇමතුම විසන්ධි කළේය. මෞර්යා දුරකථනයේ මේසය මතින්ම තබා අසුනින් නැගිට අනෙක් සේවකයන් පසු කර ගෙන කාර්යාලයට එන ආකාරය කැමරාවෙන් දුටු ආදිත්‍ය ලැප්ටොප් පරිගණකය වසා දැම්මේය.
මෞර්යා කාර්යාල කාමරයට ඇතුළු වූයේ මවා ගත් මදහසක් ඇතිවය. ආදිත්‍ය හට ඒ වෙනස ලොකුවට නොදැනුනත් මෞර්යා උන්නේ ඔහුට මුහුණ දිය නොහැකිකමකිනි.
” වාඩි වෙන්න මෞර්යා ”
මෞර්යා අසුන් ගෙන ආදිත්‍ය දෙස බලා උන්නාය.ආදිත්‍ය වචනයක් හෝ නොපවසා සෘජුවම මෞර්යා දෙස බලා සිටියේ ඉතා ඕනෑ කමිනි.
” ඇයි මිස්ටර් ආදිත්‍යය ? ”
මෞර්යා ඇසුවේ ආදිත්‍ය තමා දෙස බලා හිඳින බැල්ම දරා ගත නොහැකි තැනය.
” ඔයා මොකක් හරි අවුලකද ඉන්නේ ? “
ආදිත්‍ය ඇසුවේ සෘජුවය. මෞර්යා තමා පිළිබඳව සියලු විස්තර දැන ගත් දිනයේ සිට තමාගේ සිත සුවපත් කිරීමට උත්සාහ කළා මිසක කිසි දිනයක මේ ආකාරයෙන් මගහැර සිට නැත.ආදිත්‍යය ට දැන ගැනීමට වුවමනා වූයේ එයට හේතුවය.
” නෑ මිස්ටර් ආදිත්‍යය .ඇයි ? ”
” එහෙනම් ඔයා අසනීපෙන්ද ? ”
” නෑ ”
මෞර්යා කෙටි පිළිතුරු දුන්නාය. සමහරවිට ආදිත්‍ය තමන් තුළින් කුමක් හෝ වෙනසක් දකින්නට ඇත. මේ වෙනස සිදුවූයේ පෙර දින රාත්‍රියේ සිටය. තමා ගේ පියා සහ ආදිත්‍ය ගේ මව ඈත අතීතයේ පෙම්වතුන් බවත් , තම පියා වර්තමානයේ දී අශිකාට අත් වී ඇති ඉරණම පිළිබඳව ශෝකයෙන් පසු වන බවත් ආදිත්‍යයට කිව නොහැක. අතීතයේ දී සිදුවන දේවල් වර්තමානයට අදාළ නොවූවත් මේ කාරණාව ආදිත්‍යය ඉදිරිය දිග හරින්නට බැරි කමක් මෞර්යාට දැනෙමින් තිබුණි.
” ඔයා දැනුත් මොනවද කල්පනා කරනවා ”
ආදිත්‍ය මෞර්යා දෙස විමසිල්ලෙන් බැලුවේය.තමා ආදිත්‍යව කියවනවා සේ ඔහු ද තමාව කියවන්නට පටන් ගෙන ඇත. එහෙත් මේ අනවශ්‍ය ගැටලු ඔහු හට කිව යුතු නොවේ. මේවා තම පියා විසින් ඔහුගේ හිත නිදහස් කර ගැනීම පිණිස තමාට කියූ කාරණාය.
” වැඩ වගයක් තියෙනවා මිස්ටර් ආදිත්‍යය ඉවර කරන්න. ඒ ටික අද දවසේ කොහොම හරි ඉවර කර ගන්න ඕනේ. මං ටිකක් ස්ට්‍රෙස් වෙලා වගේ ඉන්න නිසා මිස්ටර් ආදිත්‍යයට එහෙම හිතෙන්න ඇති ”
මෞර්යා කටට ආ දෙයක් කීවාය. එහෙත් ආදිත්‍යය එය පිළිගන්නා බවක් පෙනෙන්නට තිබුණේ නැත.
” ලස්සන ගෑණු ළමයෙක් බොරු කියන කොට කැතයි මෞර්යා ”
” අනේ එහෙම දෙයක් නෑ මිස්ටර් ආදිත්‍යය ”
ආදිත්‍ය මොහොතක් බලා උන්නේය. මෞර්යා පුදුමාකාර චරිතයකි.ඇය සියල්ලන්වම පහසුවෙන් තබන්නට උත්සාහ කරන්නීය. එහෙත් ඇගේ සිතැඟි පමණක් සඟවා තබා ගන්නීය.
” හරි. මෞර්යා එහෙනම් ගිහින් වැඩ කර ගන්නකෝ ”
ආදිත්‍ය එසේ කී පසුව මෞර්යා අසුනින් නැගිට දොරටුව වෙත ගොස් නැවත හැරී බලද්දිත් ආදිත්‍ය ඇය දෙස බලා උන්නේය.
මෞර්යා තම අසුනට විත් වාඩි වූයේ දෙගිඩියාවෙනි. ආදිත්‍ය ඇත්තටම තමා ගේ වෙනසක් නිරීක්ෂණය කරන්නට ඇත. නමුත් පවතින තත්ත්වය අනුව අතීත කාරණාවක් හෙළිදරව් කිරීම හෝ ඒ පිළිබඳව පැවසීම මේ මොහොතේදී කිසිසේත්ම කළ නොහැක. ආදිත්‍ය සිටින්නේද එවැන්නක් පිළිගත හැකි තත්ත්වයක නොවේ. අනෙක් අතට තමා චන්දික ගේ දියණිය බව දැන ගතහොත් අශිකා ගේ හැසිරීම කෙසේ වනු ඇතිදැයි මෞර්යා කල්පනා කළාය.
” මං මොකක් කලොත් හොඳයි කියලද පුතාට හිතෙන්නේ ? ”
තම පියා පෙර දින රාත්‍රියේ ඇවිදින මං තීරුව අසලදී තමා ගෙන් එසේ ඇසුවේ ඇත්තටම අශිකා කෙරෙහි උපන් ශෝකය නිසා බව තේරුම් ගැනීමට මෞර්යාට අපහසු වූයේ නැත. තම පියා ඇතුළු අනෙක් සියලු දෙනාම සිටින්නේ අතීතය නැවත ගොඩ ගත හැකි කාල වකවානුවක හෝ තත්ත්වයක නොවේ. ඒ නිසා කළ යුතු වන්නේ සිදුවන දෙයකට සිදු වන්නට හැර බලා හිඳීමය.
” තාත්තා මේ වෙලාවේ මුකුත් කරන්න යන්න එපා. ඒකෙන් අපි කාටවත්ම හොඳක් වෙන්නේ නෑ කියලා මට හිතෙන්නේ. අශිකා මැඩම්ට එයාගේ පුතාලා දෙන්නා ඉන්නවා. ඒ දෙන්න හැම වෙලාවෙම අශිකා මැඩම්ව ආදරෙන් බලා ගන්නවා. ඒ නිසා අපි මේ හිටියා වගේම පැත්තකට වෙලා ඉමු තාත්තා ”
චන්දික දියණියගේ කීමට එකඟ වූයේ ඉන් අනතුරුවය. මෞර්යා සමග කතා කිරීමෙන් පසුව සිතේ තිබූ ශෝකී ගතිය බොහෝ දුරට පහව ගිය පසු චන්දික මෞර්යා සමග නැවත නිවසට පැමිණියේය. පියා පැවසූ බොහෝ දේවල් පිළිබඳව කල්පනා කිරීම නිසා මෞර්යාට අලුයම වනතුරු සුව නින්දක් තිබුණේද නැත. අශිකා තරමටම සෞම්‍ය ගති නොතිබුනද තම මව පියා වෙනුවෙන් බොහෝ කැපකිරීම් කර තිබීමත් , පියාගේ ව්‍යාපාර මේ තරමටම දියුණු වීමට නිල්මිණී හේතුවක් වීමත් පුදුම සහගත බව මෞර්යා කල්පනා කළාය. ජීවිතය විසින් තමාට අවැසිම දේ නොදුන්නද පසුකාලීනව හෝ ඒ හා සමානම දෙයක් හිමිකර දෙන බව මෞර්යා තේරුම් ගත්තේ චන්දික , නිල්මිණී සහ අශිකා පිළිබඳව සිතා බලන විටය.
මෞර්යා අසුනට ගොස් වැඩ ආරම්භ කළ පසුවත් ආදිත්‍ය ආරක්ෂිත කැමරාවෙන් ඇය දෙස බලා උන්නේය. වෙනදාට laptop පරිගණකයට මුහුණ යොමා ගෙන එක දිගට වැඩ වල නිරත වන මෞර්යා අද සිටින්නේ කුමදෝ නොසන්සුන් බවකින් බව ආදිත්‍යය බොහෝ වේලාවක් තිස්සේ නිරීක්ෂණය කලේය.
” මං දන්නවා ඔයා මට කිව්වේ බොරු කියලා ”
තවත් මොහොතකට පසුව ආදිත්‍යගෙන් මෞර්යා හට එවැනි කෙටි පණිවිඩයක් ලැබුණේය.