ඔබෙ ආදරෙන් මා දැවේ – 24

0
1523

මිනිසුන් වැරදි කරන බව සැබෑවකි. 

එහෙත්, සමහර වැරදි තිබේ, ඒවාට සමාව දීම අපහසු පමණක් නොව, සමහරවිට කළ නොහැක්කක් විය හැකිය. ජීවිතයට තදින්ම කාවදින, සුව කළ නොහැකි තුවාල ඉතිරි කරන එවැනි වැරදි, සමාව දීමට ඇති හැකියාව ප්‍රශ්න කරයි. කෙනෙකුට සමාව දීමට උත්සාහ කළත්, එම සිදුවීම මතකයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කළ නොහැකි නිසා, එය නැවත නැවතත් වේදනාව ඇති කරයි.

තුරුණු උන්නේ එවන් සුව කළ නොහැකි වේදනාවක ගිලී ගොසින් ය. ඒ වේදනාව ජාන්වි විසින් දෙනු ලැබූ දෙයක් වුවද තමන් අද දහවලේ ජාන්විට කතා කල විදිය වැරදි බව යැයි හිත කීම එදා රැයේ තුරුණට මත්වෙන්නට ඕනවටත් වඩා හේතු සැපයුවේය.

“උඹ දැන් බං කාලයක් තිස්සේ බීල නහින්න හැදුවා ජාන්වි හන්දා. මුලින් ඒකි එක්ක තියෙන තරහට බිව්වා. පස්සේ ඒකිව අමතක කරන්න කියලා බිව්වා. පස්සේ ඒකි කියලා කෙනෙක් උන්නෙ නැති කාලෙට යන්න පුලුවන් වෙන්න බොනවා කිව්වා. දැන් උඹ බොන්නෙ මොකටද කියපංකො?

ඒකි ආයෙ ආව හන්දද?” කියා මධුර සුපුරුදු පරිදි කෝපයෙන් අහද්දිත් තුරුණු කරේ කිසිත් සද්දයක් නැතුව මත් පැන් වීදුරුව තොල ගාන එකය.

“මං දැන් බොන්නේ මම ඊලඟට කරන්න ඕන මොකද්ද කියල මට හිතාගන්න බැරි හන්දා බං. මං ඉන්නේ පැටලිල. මම පැටලිලා ඉන්න වෙලාවක ජාන්වි ඇවිල්ලා එයාගෙ පැටලිල්ලල් ලිහලා දෙන්න කියලා කියද්දි මම ආයෙ ආයෙ පැටලෙන එක නේද වෙන්නේ?

මං මෙච්චර දවසක් හිතේ වේදනාවෙන් උනත් බිබී උනත් හිටියා බං. මට දැන් ඉන්න ඕනත් නෑ. ඒකි මාව දාලා ගියේ මම හරි මදි කියලනෙ. හරි බං කමක් නෑ. ගෑනියෙක්ට අයිතියක් තියෙන්න ඕන තමන් අකමැති මිනිහෙක්ව අතෑරල ගිහිල්ලා කැමති කෙනෙක් එක්ක හොඳින් ඉන්න.මං පිළිගන්නවා. මම ඒක මහ ලොකු දෙයක් කරගෙන බීලා පිස්සු නටලා ජිවීතේ විනාස කරගන්න ගිය එක අපරාදෙ. ඒක මගෙ මෝඩකම. ඒකත් මම පිළිගන්නවා.

ඒ උනාට මට පිළිගන්න බැරි මට එකඟ වෙන්න බැරි එක දෙයක් තියෙනවා බං. ඇයි…ඇයි…ඇයි ඒකි ආයෙ පාරක් මගෙ ඇස් ඉස්සරහට ආවෙ. ඒකිගෙ දුක නිවාගන්නද? මගෙ දුක ආයෙ වතාවක් පත්තු කරන්නද? ඒකි මාව දාලා ගිහිල්ලා කසාද බැන්දෙ යාලු උනේ කවුරු එක්කද කියලවත් මම හෙව්වෙ නෑ. මොකෝ මට එහෙමවත් ඒකිට ප්‍රශ්නයක් ඇති කරන්න උවමනාවක් නැති හන්දා. එච්චර දේවල් කරපු මගෙ ඇස් ඉස්සරහට ඇයි ආයෙ ඒකි ආවේ?

අන්න ඒකයි මට තියෙන ප්‍රශ්නෙ. මං මේ දැන් බොන්නෙ ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න” කියා තුරුණු කියද්දි මධුර ගැඹුරු හුස්මක් පිට කලේ “උඹට නම් ඉතින් කියලා වැඩාක් නෑනෙ” කියා කියන්නට මෙන් ය.

“බං… මං හිතන්නේ… කෙනෙක්ව මනසින් අතහරින එකත් එක්ක අපි හිතන විදියට කතාව ඉවර වෙන්නේ නැහැ. ඒ මනුස්සයා ගියා කියලා හරියට අර කොවිඩ් හැදිච්ච කාලේ මිනිස්සු තමන් ඉන්න කාමරේ දොර වහගෙන, ගෙවල් අගුලු ලාගෙන, ගෙයින් එලියට බහින්නෙ නැතුව හොඳින් ඉන්න පුළුවන් කියලා හිතනවා නම්, ඒක බොරු. හෙමින් හෙමින්ම දොරේ අගුලු ගැලවෙනවා. එහෙම වෙන්නේ අපි නොහිතන වෙලාවක”

තුරුණුගේ වචන තිබුණේ පබ් එකේ නිහඬ බව අස්සේ ඔහේ වේදනාවේ ගලා හැලෙමින් ය. පසුබිමෙන් වාදනය වෙමින් තිබූන එල්විස් ප්‍රෙස්ලිගේ Wise men said ගීතය ඒ වේදනාවට සුන්දර පසුබිම් තාලයක් එක්කර බව ඇත්තකි. තුරුණු කීවේත් එල්විස් ගයමින් උන්නේත් ආදරයේ ප්‍රබේධ දෙකක් බව ඇත්තකි. එහෙත් දෙකම ආදරය නම් කාසියේ දෙපැත්තකි.

“ මම හිතුවේ අවුරුදු ගානක් යද්දි හරි, දැන් හැමදේම ඉවරයි, මං ගොඩ කියලා’. ඒත් දැන් ඒකි ආයෙ මගේ ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ආයෙ මං මෙච්චර දවසක් හිත අස්සේ හිර කරගෙන උන්න දේවල් හැමදේම ආයෙත් පටන් ගන්නවා. මට බෑ බං ආයෙ එතෙන්ට යන්න. උඹ දන්නවා මධුර මං මගෙ ජීවිතේ ආදරේ කරේ ගෑනු දෙන්නෙක්ට විතරයි. එක්කෙනෙක් අපෙ අම්මා. අනික් කෙනා ජාන්වි. ජාන්වි ඉතිරි කරලා ගිය හිස්තැනට මම කාවවත්ම ගෙන්න ගත්තෙ නැත්තෙ ඒකිට තිබ්බ ආදරේ බෙදාගන්න බෑ හින්ද වගේම ඒකි ගැන මගෙ හිතේ තියෙන තරහ මට පිරිමහලා ඉවර කරන්න බැරි හන්දා.

ඒකි වැරදි නෑ බං. මං මෙතනට වැටුණෙ මගෙ වරදෙන්. ඒ උනාට…ඒ උනාට මාව වැරදිකාරයෙක් කරේ ඒකි. එතකොට ඒකිත් වැරදියි බං. මාත් වැරදියි. අන්තිමේ අපි දෙන්නම වැරදියි.

බං, මම හැමදාම හිතනවා, මිනිස්සු ස ආසාවෙන් හරි ආදරෙන් හරි එකතු වෙන්න පුළුවන්. ඒත් සමහරු, ඔයා ජාන්වි වගේ උන් හිතන්නෙ ඒ ආසාව ඉවර වෙච්ච දවසට උන්ට යන්න පුලුවන් කියලා. මොකෝ ඒකි මාත් එක්ක යාලු උනේ ආසාවට. මං යාලු උනේ ආදරේට. ඒකිගෙ ආසාව ඉවර උනාට මගෙ ආදරේ ඉවර උනේ නෑ බං. ඒ තුවාලෙ තාම හිත අස්සෙ තියෙනවා. ඒකෙ උඩ කබොල්ල දැන් ආයෙ පාරක් ගලවල මට රිද්දන්න, තුවාල පාදන්න තමයි ඒකි ආයෙ ඇවිල්ලා තියෙන්නෙ”

තුරුණු වීදුරුව මේසය මතින් තබද්දී නැගුනේ සියුම් ශබ්ධයකි. මෙතෙක් වෙලා තුරුණු කියන්නට යෙදුණ සියලුම දේ දෙනෙත් පියාගෙන මෙන් අසමින් උන් මධුර දෙනෙත් විවර කරේ ඒ සියුම් ශබ්ධයේ කම්පනයෙනි.

“මං දැන් බොන්නේ මත් වෙන්න විතරක් නෙවෙයි බං. මත්වෙලාවත් මත් නොවීමත් මට දැන් විසඳගන්න ප්‍රශ්නයක් නෑ. ඇත්ත මට ප්‍රශ්නයක් නෑ. මං ඉස්සරහා තියෙන්නෙ උත්තරයක්. ජාන්වි කියන උත්තරේ. ඒත් ඒ උත්තරේ හරියන්නේ මොන ප්‍රශ්නෙටද කියලා මට හිතාගන්න බෑ”

තුරුණු උන්නේ බාර් චෙයා එකේ පිටුපසට හේත්තු වී ඇස් අඩක් පියාගෙනය. තමන්ගේම වචන තමන්ගේම හිත පෙළන අයුරු ඒ වෙලාවේ තුරුණුට නොතේරුණා නොවේ. එහෙත් මත් බව තිබුණේ ඒ වේදනාව උඩ අයිසින් තවරමිනි. ඒ 

“උඹ මේ විදියටම හිතනවනම් කවදාවත් ගැලවීමක් තියේවි කියල හිතනවද ඔය තුවාලෙන්?” කියා මධුර අහද්දී නමුත් තුරුණු උත්තර දුන්නේ නැත. ඔහුගේ බැල්ම, අඳුරු කාමරයෙන් එහාට, සමහරවිට අතීතයට හෝ ඔහු පවා තාම ළඟා නොවූ තැනකට ගියේය. 

තුරුණුගේ දෙනෙත් යළිත් වීදුරුව වෙතට යොමු විය. “උඹ දන්නවද බං, කවුරුහරි අපිට හිත රිදෙව්වාම අපි ඒකෙන් ගොඩ එන්න උත්සාහ කරනවා. ඒ වේදනාව අපේ ජීවිතේ කොටසක් වෙනවා. අපි ඒ වේදනාවත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙනවා. මම හිතුවා මට පුළුවන් කියලා. මම හිතුවා මට ඒකිව අමතක කරන්න පුළුවන් කියලා.”

“හැබැයි දැන් ඒකි ආපහු ඇවිල්ලා. ඒකිගේ ඇස්වලින් මම අද දකින්නෙ බං ඒකි මාව දාලා ගිය වෙලාවෙ මගෙ ඇස්වලින් මං මාව දැක්ක විදිය. ඒක දරාගන්න කොච්චර අමාරුද කියල මට හිතාගන්න බෑ. මං ආදරේ කරපු කෙල්ල මධුර ඒ දුක් විඳින්නේ. මට ඒක හැමදේටම වඩා දරාගන්න බෑ”

ඒකි මට රිද්දුව බව ඇත්ත, හැබැයි මට ඒකිව අමතක කරන්න බැහැ. මම දන්නවා මම ඒකිට ආදරේ කරා, ඒ වගේම තාම කරනවා පොඩ්ඩක් හරි කියලා. හැබැයි මට ඒක ඒකිට පෙන්වන්න බැහැ. මම පෙන්නුවොත් මොකද වෙන්නෙ මේ වෙලාවෙ ගිලෙන්න යන කෙනා නිසා ඒකි ආයෙ මාව පිදුරු ගහ විදියට දකීවි.

මම බයයි. මම බයයි ආපහු ඒකිට ආදරය කරන්න. මම බයයි ආපහු ඒකිව නැති කරගන්න. මම බයයි ආපහු මගේ ජීවිතය විනාශ කරගන්න. ඒකයි මම අද ඒකිට ඒ විදියට කතා කළේ. මම ඒකිට පෙන්නන්න හැදුවේ, මම කොච්චර නම් ශක්තිමත්ද කියලා. හැබැයි මම දුර්වලයි, මධුර. මම ගොඩක් දුර්වලයි. ඒ දුර්වල කම හන්දා තමයි මම එහෙම කතාකරේ. ඒකි හිතන්න ඇති මම පළිගන්න කතාකරා කියලා එහෙම” කියා තුරුණු කියද්දිත් සැබවින්ම ජාන්වි උන්නේ තුරුණු කෙරේ කෝපයෙනි.

තමන් අතීතයේ ඔහුට කර දේ වැරදි බව ඇත්තක් නමුත් තමුන් දැනටමත් ඉන්නේ ජීවිතයෙන් ඒ වැරදි වලට ඕනවටත් වඩා වන්දි ගෙවමිනි. එහෙම එකේ තුරුණු තමන්ගෙන් පළිගන්න හිතන එක වැරදි බවට හිතමිනි. 

“ආයෙ නම් මං ඔය මිනිහගෙ කකුල් දෙක ළඟට යන්නෙ නෑ. මම වෙන ලෝයර් කෙනෙක්ව හොයනවා” කියා හිතුවද තමන්ට එය කරන්නට සිදු නොවන බව ජාන්වි ඒ මොහොතේ දැනගෙන උන්නේ නැත.

ජාන්විගේ සිතේ තිබූ යම් තාක් දුරක හෝ සැනසීමක් නැති කරනු පිණිස ඒ වීඩියෝ පටය ඇගේ දුරකතනය සොයා ආවේ ඒ මොහොතේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here