“ආයෙ කවදාවත් මං ඔයාගෙ මූණ බලන්නෙ නෑ කියලා හිතුවට මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ තුරුණූ. මං දන්නෙ නෑ ඇයි මම ආයෙ ආයෙ කැරකි කැරකි එකම තැනකට වැටෙන්නෙ කියලා. මං දන්නෙ නෑ ඇයි මලිත් මට ඒ වගේ දෙයක් කරේ කියලා” ජාන්වි අඬද්දි තුරුණු කරේ සුපුරුදු විදියට ජාන්වි ඉස්සරහින් විනිවිද පේන වීදුරුවක පිරවූ කිරි තේ එකක් තියා ආයෙම වතාවක් තමන්ගේ දෙනෙත් වීදුරුවෙන් එහා පේන්න පාර මත අලවාගත් එකය.
මලිත් මංචනායක විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහරින්නට හේතු වුණ වීඩියෝ පටය තිබුනේ “කොල්ලන්ගෙ ජීවිත විනාස කරන්නෙ ගෑණුමයි” කියමින් හැම තැනකම වයිරල් වෙමිනි. ට්‍රෙන්ඩින් වෙමිනි. ඒ වනාහී ඇත්තක් බව හිතේ එක පැත්තක් කියන්නට යෙදුණද ඒ හිතේම අනෙක් පැත්ත තිබුණේ වෙන කතාවක් කියමිනි. ඒ “ඌට මොක උනත් එහෙම බලු වැඩක් කරන්නෙ නැතුව ඉන්න තිබුනා” කියන එකය.
ජාන්වි තමන්ව දමා ගිය වෙලාවේ තමන් හඬා වැලපී, තමන්ගේ හිතටත් ශරීරයට තමන්ගේ ගෙදර මිනිස්සුන්ටත් වේදනාවන් දුන්නා මිසක මෙයාකාරයෙන් ජාන්විට රිද්දන්න, ඇය ගැන බොරු කතන්දර පතුරුවන්නට උත්සහ කරේ නැත.
සමහර ආදර කතා අවසන් වන්නේ බොහෝ විට තුවාලයකිනි. ඒ තුවාලය හදවතේ සදාකාලිකව පවතින තුවාලයක් වන්නටද හැක. අතීතයේ ආදරය කළ පුද්ගලයා සමඟ ගත කළ සුන්දර මතකයන් පවා, විරහයෙන් පසු අපට වේදනාවක් ගෙන දෙන්නේ ඒ මතකයන් විත් ආදරයේ තුවාල මතට ලුණු ඉසිනවාක් මෙන් වැටෙද්දීය.
කෙසේ වෙතත්, ඒ වේදනාව කොතරම් දරුණු වුවත්, ආදරය කළ පුද්ගලයාගෙන් පළිගැනීමට සිත් දීම නොකළ යුතු බව තුරුණු තරයේ විශ්වාස කරේය. පළිගැනීමෙන් ලැබෙන්නේ තවත් දුකක් පමණක් බවත් එය තමන්ගේ හදවතේ තුවාල සුව නොකරන අතර ඒවා තවත් ගැඹුරු කරන බවත් තුරුණු විශ්වාස කරේය. ආදරය අපට උගන්වන්නේ අන් අයට සමාව දීමට සහ ආදරය කිරීමට පමණකි. ඒ හැඟීම් අස්සට පළිගැනීම ගෙන එන්නේ විනාසය පමනක් නොවේද කියන එක තුරුණු ඒ මොහොතේත් වීදුරුවෙන් එළිය බලාගෙන කල්පනා කරේය.
අප ආදරය කළ පුද්ගලයා අපට වේදනාවක් දුන්නත්, ඔවුන්ට සමාව දීමට පුරුදු විය යුත්තේ පළිගැනීමෙන් දැනෙන වේදනාව විරහවෙන් ලද වේදනාවට වඩා මහා පරිමාණ නිසාය.
එහෙත් මේ කිසිවක් දැන් කිසිවෙකුට පැහැදිළි කර තේරුමක් නැත. විනාසය සිදු වී හමාරය. වේදනාව හිතට දැනී හමාරය. කඳුලු දෙනෙතින් වැටී හමාරය. සමාජ මාධ්‍යවල සෑම ප්‍රොෆයිලයක්ම පාහේ තිබුනේ මලිත් ගේ කතාවත් ගීතයත් ශෙයා කරමිනි.
“මෙච්චර වටින කොල්ලෙක්ට ඔහොම කරා කියන්නේ අපිට කෙල්ලො මොනවා කරාවිද?”
“පුදුමගෑනු ඉන්නේ, ෆේමස් වෙන්න ඕන හන්දා කොල්ලො අල්ලගෙන අන්තිමේ උන්ව රවට්ටනවා”
“යාලුවෙද්දි පෙනුනෙ නැද්ද දන්නෙ නෑ මලිත් කියන්නේ ස්ටාර් කෙනෙක් කියලා. දැන් නිකන් බොරු කතන්දර කියලා ඒ කොල්ලව දාලා යන්න හදන්නේ” කියා සමහරු බණිද්දි අතරින් පතර කෙනෙකු “මුන් ඇවිල්ල කියන කතන්දර සම්පූර්ණ ඇත්තද කියලා කවුද දන්නේ? එක පැත්තකින් විතරක් කතාව අහලා කිසිම දෙයක් ඩිසයිඩ් කරන්න බෑනෙ” කියා කියන්නට අමතක කරේද නැත.
ලංකාවේ මිනිස්සුන්ට සතියකින් හැම දේම අමතක වෙන බව ඇත්තක් නමුත් ඒ සතිය ඇතුළත විය හැකි සියලුම විනාසයන් සිදුවන බව තුරුණු දැනගෙන උන්නේය.
“ඔයා මලිත් එක්ක මේ ගැන කතා කරාද?” කියා තුරුණු අහද්දී මෙතෙක් වෙලා මේසය මත හිස ඔබාගෙන කඳුලු ගංගාවක් වගුරුවමින් උන් ජාන්වි හිස නූස්සාම හිස වැනුවේ ඔව් කියන්නට මෙන් ය.
“මිනිහා මොකද කිව්වේ?” කියා තුරුණු අහද්දිත් ජාන්විගේ හදවත තිබුනේ මලිත් විසින් කියන්නට යෙදුණ ඒ වචන ආයෙ ආයෙ මතක් කරමිනි.
“ඇයි මොකද්ද ප්‍රශ්නෙ? මං බොරුවක් නෙවෙයි නේ නේද කිව්වේ?” කියා මලිත් කියද්දී දුරකතන ඔස්සේ ඇසෙන ඒ හඬේ තැවරී තිබුන සමච්චල් සහගත හිනාව තේරුම්ගන්න ජාන්විට අපහසු උනේ නැත.
“බොරුවක් නෙවෙයි නේද කිව්වේ? ඔව් බොරුවක් නෙවෙයි තමයි කිව්වේ. හැබැයි ඔයා කිව්වෙ ඇත්තෙන් භාගයක් විතරයි නේද? ඔයා මිනිස්සුන්ට නිකන් මේ කියන්නේ මම ඔයාව දාලා යන්නෙ ඔයා බිසි හන්දා, ඔයාට මං වෙනුවෙන් දෙන්න වෙලාව නැති හන්දා කියලනෙ.
ඇයි ඔය ඇත්තෙ ඉතිරි බාගෙත් කියන්න බැරි? මං යන්නේ මියුසික් වැඩ වලට කිය කිය එක එක ගෑනුන්ගෙ රෙද්ද අස්සෙ තමුසෙ ලගින්න යන හන්ද කියලා කියන්න බැරි ඇයි. ඒ ටිකත් කියන්න පුලුවන් ඔය මහ ලොකු වීරයා වගේ ඇවිල්ල කිව්ව එකේ? කවුද අයිඩියා එක දුන්නේ අර නාකි බැල්ලිද?” කියා ජාන්වි අහද්දිත් මලිත් උන්නේ මේධංගනී ලඟය. මලිත් දුරකතනයේ හඬ තව අඩු කරගත්තේ ජාන්විගේ මේ වදන් මේධාංගනීගේ කණ වැකේවියැයි බියෙනි.
“ඉතිරි බාගෙ නොකිව්ව කියන ප්‍රශ්නෙ තියෙන්නෙ ඔයාටනෙ නේද? එහෙනම් ඉතිරි බාගෙ ඔයා කියන්න. මට කියන්න ඕන බාගෙ මම කියල ඉවරයි ජාන්වි. ඒ වගේම තමයි ඔයා හිතන්න එපා ඔයා මේ ඩිවෝස් දාලා මාව බය කරන්න මට ලැජ්ජකරන්න හිතුවට ඒව ලේසියෙන් වෙයි කියලා. ඔයාට ඔය ඩිවෝස් එක නිකන් හෙන පොඩි දෙයක් වෙන්න ඇති. හැබැයි මට එහෙම නෑ කියන එක හොඳට මතක තියාගන්න.
තමුසෙට මේ ඩිවෝස් එක හන්දා නැතිවෙන්න දෙයක් නැති උනාට මට තියෙනවා කියන එකත් මතක තියාගන්නවා”
“ඔයා කතා කරන්නේ ඔයාට නැති වෙන්න තියෙන දේවල් ගැන විතරයි මලිත්. ඒකත් හරියට ඔයා කතා කරන්නෙ මේ කසාදෙ නැතිවෙනවා කියන එකත් නිකන් හරියට ඔයාට දිනන්න පුලුවන් ගේම් එකක් වගේනෙ ඔයාට පේන්නෙ. හැබැයි ඔයා කවදාවත් මගෙන් ඇහුවද මලිත් මේ ඩිවෝස් එකෙන් මට නැතිවෙන්නෙ මොනවද කියන එක?”
“මොනවද ඔයාට නැතිවෙන්නේ? අනික ඔයා මේ ඔයාට නැතිවෙන දේවල් මට නැතිවෙන දේවල් එක්ක කම්පෙයාර් කරන්න එපා ජාන්වි. ඔයාට මේ රිදිලා තියෙන්නෙ මිනිස්සු කීප දෙනෙක් ඔයා ගැන බැඩ් මවුත් කරන එක ගැන තින්ක් ඔෆ් මයිසෙල්ෆ් ටූ”
“මිනිස්සු මං ගැන එක එක දේවල් කියන එක නෙවෙයි මලිත් මට තියෙන දුක” කියා ජාන්වි මද අවසරයක් ගත්තේ ඉතුරු වචන කියන්නට අවශ්‍ය දහිරිය සොයාගන්නටය.
“මට තිබ්බ දුක ඒ මිනිස්සු කියන කතා අස්සට ඔයත් ඇවිල්ල මගෙ නම එකතු කරපු එක. ඔයා කිව්වේ ඔයාගේ ඇත්ත. මං තමයි ඔයාව අත ඇරලා ගියේ. ඔයා තමයි මෙතන වික්ටිම්. හරි ලේසි වෙන්නැති නේද ඔයාට ඒ කතාව කියන එක? ඇත්ත ඒකයි කියලා මිනිස්සුන්ට ඒත්තු ගන්නන එක ඔයාලා වගේ අයට ලේසි ඇති මලිත්. හැබැයි ඇත්ත කියන්නේ එක පැත්තකින් මුවහත් කරන්න පුළුවන් පිහියක් නෙවෙයි. ඒ පිහිය ඔයා මුවහත් කරේ එක පැත්තකින් විතරක් උනාට ඒ මුවහත් වෙච්ච පැත්තට ඕන වෙලාවක අපි දෙන්නවම කපලා, තුවාල කරලා දාන්න පුලුවන් කියන එක ඔයා අමතක කරන්න එපා.
ඒ වගේම තමයි ඔයා හිතාගෙන ඉන්නවනම් මම මේක ලේසියෙන් අතෑරලා ඔයාට සමාව දීලා යාවි කියලා ඒක වැරදි කියලා ඔයා හොඳට මතක තියාගන්න මලිත්.
මං මේක ලේසියෙන් අතාරින්නෙ නෑ”
“ඇයි ඔයා හිතන්නෙ මගෙන් පළිගන්නද? මෙන්න මේක හොඳට මතක තියාගන්නවා. තමුසෙ මං කියන එක කොන්දේසියකට කැමති නම් මේ ප්‍රශ්නෙ තව ඉස්සරහට අරගෙන යන්නෙ නැතුව ඉන්න මම ලෑස්තියි. එහෙම නැත්තම් සෙල්ලම් කරන්න නම් බලාපොරොත්තුව නෝ ප්‍රොබ්ලම් පිච් ඊස් රෙඩි ෆ්‍රොම් මයි සයිඩ්”
“මොකද්ද කොන්දේසිය?”
“දැන් කොහොමත් මේ ඩිවෝස් එකක් ගැන කතාව මිනිස්සු දන්න හන්දා මට ආයෙ තමුසෙව ගේ අස්සට දාගන්න කිසිම උවමනාවක් නෑ.
හැබැයි මට නිකන් සද්ද නැතුව මේ ඩිවෝස් එකක් අරගෙන, පිටිපස්සෙන් මිනිස්සුන්ට උන්ගෙ කතන්දර කියාගන්න ඉඩක් දෙන්න උවමනාවකුත් නෑ.
ඒ හන්දා තමුසෙ ඔය ඩිවෝස් එක ෆයිල් නොකර ඉන්නවා”
“ඇයි ඒ?”
“මොකද ඒක දාන්නෙ මම, මගෙ පැත්තෙන්” කියද්දිත් මලිත්ගේ මුව අග තිබුනේ කුරිරු සිනාවකි.
ඒ වනාහී මෙයට කාලයකට පෙර ජාන්විට බොහෝ ආදර වදන් කියන්නට යෙදුන මුවමය.
ජාන්විව සිපගත් ඒ දෙතොලමය.
එහෙත් කාලය තිබුනේ වෙනස් වී ගොසිනි. සෘතු වෙනස් වූයේ එබැවිනි.