ඉඳුදුන්න – 38

“අර දුලනිගේ ටීච..ඔයා එයාව දන්නවද?”

තරිඳි ඇසුවේ විවේකී සවස් යාමයක ඉඳුවර වෙනුවෙන් කෝපි කෝප්පයක් පිළියෙළ කරන අතර ය.ඔහුගේ නිවසේ නතර වන්නට ඇය බොහෝ දවසක් සැලසුම් කළා ය.නමුත් ඉඳුවර ඈ නවතා ගන්නට කැමැත්ත පළ කළේ නැත.

“එයා මගෙ කැම්පස් යාලුවෙක්.යූනියන් වැඩකදි අපි අමනාප වුණා.ඒත් දැන් අපි කැම්පස් එවුං නෙවේනෙ.මං ඒකයි අමාට කතා කරේ..”

ඉඳුවර කෙරෙහි ප්‍රේමයක් වූ බව අමන්දී අවිශ්කට පැවසුවේ ඔහු පුළුල් චින්තනයක් ඇති මිනිසෙකු බව ඇයට වැටහුණු හන්දා ය.නමුත් අමන්දී ගැන එවැනි කතාවක් තරිඳිට කියන්නට ඉඳුවර සිත් දුන්නේ නැත.දුලනි කණ්ඩායමෙන් පලවා හරින තුරුම ඈ කරදර කරන බව ඉඳුවර දැන සිටියේ ය.

“අපේ සීසන් එකේ හිටිය උත්පලා, එයා ඔයාලගෙ බැච් නේද? එයානම් කීවෙ වෙන කතාවක්..”

තරිඳි චොකලට් කේක් කැබැල්ලක් පීරිසියකින් තබන අතර ඉඳුවර දෙස බැලුවේ නෙත් කොණිනි.

“මොකක්ද කිව්වේ..”

උත්පලා පවසන්නට ඇති දෑ ගැන ඉඳුවර දනියි.නමුත් ඔහු එය අසන්නේ නොදන්නා ගාණට ය.

“ඒ ඔයාගේ එක්ස් නේද?”

ඉඳුවර හඬ නගා හිනැහුණේ ය.අමන්දීට විවාහ ජීවිතයක් ඇත.තමන්ට තාරකා පැවැත්මක් ඇත.නමුත් තරිඳි අමන්දීට වෛර කිරීමෙන් නොනැවතී කුඩා දුලනිට හිරිහැර කරන්නට නොපසුබට වන බව ඉඳුවර සහතික කොට සිතුවේ ය.

“උත්පලාගෙ නම් ඒ දවස්වල මට ලොකු ක්‍රෂ් එකක් තිබුණා.ඒ තරහට අර අවුරුදු පහලොවේ දාසයේ ඉඳන් මස්සිනාට ලව් කරලා ඌ බැඳලා ඩොටේට ගිය අමන්දී අල්ලන්න ඇති..”

ඉඳුවර දැවැන්ත බොරුවක් කීවේ ඇඟට පතට නොදැනෙන්නට ය.තරිඳි පුදුමයෙන් බලා සිටියා ය.විශාල ආරංචියක් කියන්නට මෙන් හදිසියේ ඇමතූ උත්පලා ගැන ඇයට දැනෙන්නේ කෝපයකි.

“උත්පලා ඔයාට ක්‍රෂ්?”

තරිඳිගේ කෝපත් මුහුණ දෙස බලා සිටි ඉඳුවරට දැනුණේ සතුටකි.එය වඩාත් ළං වන්නේ කුරිරු සතුටකට බව ඔහුට නොදැනුණා නොවේ.නමුත් ඔහු ඒ කාරණාව විනෝදයකට පෙරළා ගත්තේ ය.

“අමන්දි මෙහෙ ගර්ල් කෙනෙක්.ඒ වුණාට පොඩි කාලේ ඉඳන් කසින් කෙනෙක් එක්ක අෆෙයා එකක් තිබිලා ඔය එයාවම බැඳලා දුලනිගෙ ගමට ගියේ.ඒ කෙල්ලට නම් මට ආදරේ කරන්න අයිඩියා එකක්වත් තිබ්බෙ නෑ තරූ..ඒත් උත්පලාට නම් තාම එහෙම අදහසක් ඇති.ඔය කෙල්ලො කරේ දාගන් නැතුව ඉන්න..”

ඉඳුවර කියද්දී උත්පලාට අමතා හොඳ දෙකක් කියන්නට උවමනාවක් තරිඳිට ඇති විණි.නමුත් ඈ එය වාවාගත්තේ අතිශය ජනප්‍රිය තලයේ හිඳින මේ කාලයේ අනවශ්‍ය ගැටුම් වල පැටලීම තරම් නොවන හන්දා ය.

“ඇයි ඉඳුවර මට මෙහෙ නවතින්න බැරි..”

ඇය ඊළඟ නෝක්කාඩුව ඇරඹුවා ය.

“වෙඩින් එකක් ගන්න පුලුවන්නෙ.මේ ස්‍ටාර් වැඩෙන් පස්සෙ..ඊට පස්සෙ එන්න..”

තරිඳි ඉඳුවර දෙස බලා සිට දෙවුර සලා හිනැහුණා ය.එය වඩා උස්ව නැගෙද්දී ඉඳුවර ඈ දෙස බැලුවේ නොමනාපයෙනි.

“යාලුවො කසාද බැඳලා ඩොටේට ගියා කීවට ඇත්තටම ඔයාටත් මහ සාම්ප්‍රදායික ආකල්ප තියෙන්නෙ ඉඳුවර..”

ඇය කියද්දී ඉඳුවර වදනුකුදු නොකියා හුන්නේ ය.තරිඳි සමඟ ගිය චාරිකා බොහෝ ය.ඇය දවසකට දෙකකට මේ නිවසේ නතර වූ දින අපමණ ය.තමා සිල් රකින සුන්දර ප්‍රේමවන්තයෙකු වූවානම් ඒවා පාලනය කර ගන්නට තිබූ බව තරිඳි ද දනියි.ඔහුට ඕනෑ ඈ ඔහු සමඟ එක්ව ජීවිතයක් අරඹා එය ඕපාදූපයක් වීමේ ඉඩ වැළකීම ය.නමුත් තරිඳි එවැනි ඕපාදූපයක් පැතිරෙනවාට කැමති බව ද ඉඳුවර නොදන්නවා නොවේ.

තරිඳි ඉඳුවරගේ නිවසින් පිටව ආවේම කෝපයෙනි.ඇයට උවමනා වූයේ ඔහු මුළුමනින්ම අයත් කර ගන්නට ය.නිතරෝම එකට හිඳින තාරකා ප්‍රේමවන්තයන් සයිබරයේ සහ ටැබ්ලොයිඩ වල නිරන්තර කතාබහට ලක්වන බව ඇය දැන සිටියා ය.නමුත් ඉඳුවර තවම මේ ආදරය ගැන ලෝකයට කියන්නට අකමැති ය.

තරිඳි නික්ම ගිය පසු ඉඳුවර දුරකථනය අතට ගත්තේ ය.මේ ගත යුතු ඇමතුමක් නොවුණද ඔහුට රාජකාරියේ කොටසකැයි හැඟෙන්නට අමන්දීට අමතන්නටම සිත් විණි.එහෙත් අමන්දී දුරකථනයට ආවේ නැත.ඇය ඔහු ඇමතුවේ හෝරාවක් පමණ නික්ම ගිය පසු ය.

“ඉඳුවර කෝල් කරල තිබ්බ.දුලනි ගැන අහන්නද?”

ඇය සුහද හඬින් අසන්නී ය.තරිඳි පිහි තල වැනි වචන පැවසූ හැටි සිහි කරමින් මඳ වෙලාවක් ඉඳුවර ගෙවා දැම්මේ ය.

“ෆෝන් එකට ආන්සර් නොකරේ නිදාගෙනද හිටියෙ..”

ඔහු ඇසූ දේට අමන්දී හිනැහෙන හඬ ඉඳුවරට ඇසිණ.

“මේ මහ දවල්? අද අපේ අවිශ්කගෙ පළතුරු කඩන දවසක්.වැඩ තිබුණා ඉඳුවර.ඒත් මං දුලනිගෙ ප්‍රැක්ටිස් මිස් කරන් නෑ..අද හවසත් එයි..”

සරසවියේ හුන් කාලයේ කිසිම බර වැඩකට නොආ තරුණිය දැන් පරිපූර්ණ ගෙවිලියකදැයි අසන්නට ඉඳුවරට ඕනෑ විය.නමුත් අතීත මිත්‍රත්වය අලුත් කර ගැනීම පවා දැන් අසීරු ය.

“අපේ අඹ වාරේ දැන්.දුලනි කියනවා එක එක ළමයි එක එක කන බොන ජාති අරන් එනවත් කියල.අපි පළතුරු ටිකක් ගේන්නංකො.ටීම් එකේ පොඩි උන් ආසයිනෙ..”

බොහෝ කාලයකට පසු පැරණි මිතුරිය හමු වූ බවක් ඉඳුවරට දැනිණ.

“කාලෙ නාස්ති කරගෙන ඉස්කෝලෙ පොඩි එකෙක් ස්ටාර් තරගවලට ගෙනියනව මදිවට විකුණන්න තියෙන දේවලුත් ඔතාගෙන යනව කියල හස්බන්ඩ්ට තද වෙයි..”

ඇය මේ ගුරු වෘත්තිය තෝරා ගත්තේ ද දුලනිගේ කටයුතු වලට එක්වන්නේ ද සැමියාගේ කැමැත්තෙන් දැයි දැන ගන්නට ඉඳුවරට ඕනෑ විය.ඔහු ඒ ප්‍රශ්නය ඇසුවේ එනිසා ය.

“අනේ එයා හරි හොඳ මනුස්සයෙක් ඉඳුවර.දුලනිලා කොහොමත් ඉස්සරත් ජීවත් වුණෙ එයාලගෙ උදව්වෙන් තමා.අනික පොඩි ළමයින්ට ගෙනියන්න කිව්වම අවිශ්ක ලොරියක් පිටින් පළතුරු ගෙනල්ල චැනල් එක ගාවින් බායි.එයා එහෙම මනුස්සයෙක්..”

“එයා හරි හොඳ බව”අමන්දී පවසන සැහැල්ලුව ඉඳුවර අසා සිටියේ ය.ඊර්ෂ්‍යාව කුඩා පැළයක් ව හදවතේ රෝපණය වන අන්දම ඔහුට දැනිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles