මම වෙනම මලක් – 23

විකුම් කේක් වර්ග කිහිපයක් ම මිලට ගත්තේ ය. ප්‍රේමයක් බිඳී යාම සමරන අරුම පුදුම මිනිසෙක් යැයි ඔහුට “ලිලී ෂේඩ්” හි කොල්ලන් සහ කෙල්ලන් හිනැහෙන්නට පවා ඉඩ තිබේ. නමුත් ඔහුට එසේ නොකර හිඳින්නට අසීරු ය. එදා සිදුවීම කොහොම වෙතත් මේ මුළු කාලයම පුරාම තමන් සතිපතා යැවූ ඇණවුම් පවා ඔවුන් ඉටු කළ බව ඔහු සිතී ය. ඒ හන්දා ඔවුන්ව අමතක කර දමන්නට ඕනෑ නැත. හැකි උපරිමයකින් සැලකීමට ඕනෑ ය.

කාර්යාලයට පිවිසෙන්නට පෙර ඔහුට එක්තරා අදහසක් පහළ විණ. ඒ එදා ඇසුණු වාක්‍ය දෙක තුනකි. ඔහු සන්සුන් කරන්නට සිතා පණ්ඩිත කෙල්ලක පැවසූ වාක්‍ය දෙක තුනකි.

“මෙහෙම මල් පොකුරක් පොළොවේ ගහන්න ඕනද? මලකට ඊට වඩා වටිනාකමක් තියනවා. එයා ඒක රිජෙක්ට් කරන්න ඇති එයාට ඇති වෙනකම් මල් ලැබිලා තියන නිසා. ඒ වුණාට කවදාවත්ම මල් නොලැබුණු අයත් ඉන්නවා. ඒ නිසා මලකට ඔහොම කරන්න එපා.”

ඔහුට ඒ වචන සිහි විණ. ඔහු ලිලී මල් පොකුරක් තෝරා ගත්තේ ය. නිල් මහනෙලකට ලිලී මල් ගැළපේදැයි කියන්නට ඔහුට අදහසක් නොවේ. නමුත් ඒ මල් පොකුර ඇය වෙනුවෙන් මිලට ගන්නට ඔහුට ඕනෑ විය.

මල් අතර සැරිසරද්දී නිල් මහනෙල පරදා ඔහුට නිමේෂා සිහිව ආයේ ය. ඇය වට කොට තිබූ සිතුවිලි අපමණ ය. ඇය ගැන ඔහු දුටු සිහින අනන්තාපරිමාණ ය.නිමේෂා තමන්ගෙන් ක්‍රමයෙන් ගිලිහෙමින් පවතින බව තේරුම් යද්දී පවා විකුම්ට කම්පාවක් දැනෙන්නට විය. ජීවිතය ඉතා පහසුවෙන් ගත කරන්නට තෝරාගත් පෙම්වතිය වැරදි තේරීමක් බව සිතීම ඔහුට පහසු හැඟීමක් වූයේ නැත. නමුත් දැන් ඇය සහමුලින්ම ගිලිහී ගොස් තිබේ.

“අපි ආදරේ කරලා බලමු. මාව ගැළපෙන්නෙ නෑ කියලා ඔයාට හිතුණොත් හරි ඔයාව ගැළපෙන්නේ නෑ කියලා හිතුනොත් හරි අපිට පුළුවන් වෙන් වෙන්න.”

ප්‍රේමය ඇරඹුණු කාලයේ  නිමේෂාට එවැනි යෝජනාවක් විය.නමුත් විකුම් එය පිළිගන්නට අකමැති වූයේ ය.

“මං ඔයා ගැන හොඳට තේරුම් අරගෙන ඔයාට ආදරේ කරන්න පටන් ගත්තෙ. අපි ගැළපෙනව. අපි බඳින්නෝන.”

වරද ඇත්තේ එතැන වග දැන් ඔහුට සිතේ.ඇත්තටම සිහින දුටුවා ඕනෑවට වඩා වැඩි ය. ආදරය කියන්නේ ආදරයට බවත් විවාහය තීරණය කළ යුත්තේ පසුව බවත් සිතුණේ නම් මේ කිසිම වේදනාවක් තමන් වෙත එන්නට නොහැකි බව ඔහු සිතී ය.ඇලීම තරමට මිදීම පහසු නැති බව විකුම් අවබෝධ කරගෙන සිටියේ ය. එහෙත් ඔහු වසර ගණනක අතීතයේ සිට අද දක්වාම නිමේෂා හන්දා ලැබුණු දේ ද ගිලිහුණු දේ ද හදවතේ සටහන් කර බලන්නට තීරණය කළේ ය.තරාදියක බර වැඩි පැත්තක් අනිවාර්යයෙන් තිබේ.සිත සනසා ගත් දවස් වලට වඩා සිත රිදවා ගත් බවත් රිද්දා ගනිමින් විඳවමින් සිටිනවාට වඩා කළ යුතු වන්නේ නික්මීම බවත් විකුම් තේරුම් ගනිමින් සිටියේ ය.

මේ සෑම කල්පනාවක් ම එන්නේ උඩු මහලේ ඉන්නා නිල් මානෙල් මල හන්දාදැයි කියන්නට ඔහු නොදනී. නමුත් ඔහුට විවිධාකාර සිතුවිලි පහළ වෙමින් තිබිණ. උඩුමහලට නොගොස් මල් අතර සරන්නට ඔහු සිතුවේ ඒ හන්දා ය.

අහස්‍යා අක්කා සමඟ ඊයේ මේ සම්බන්ධයෙන් ඔහු බොහෝ දේ කතා කළේ ය. ඔහුගේ අක්කා සමඟ දේවල් කතා කිරීම පහසු නැත. අක්කා කළේ නොගැළපෙන සමයමක සමඟ පෙමින් බැඳීම ගැන නොනවත්වාම ඔහුට දොස් නැඟීම ය.

ආදරය අවසන් වී ගිය ද බැඳීම් ඉතිරිව ගිය පසු සමහර අවස්ථාවලදී මිදී යාම අපහසු ය. විකුම් ගෙවන්නේ එහෙම කාලයකි. අහස්‍යා එය වඩා හොඳින් තේරුම් ගත්තා ය. ඒ නිසා ඇය විකුම්ට සමහර කාරණා තේරුම් කළේ ඉතා සීරුවෙනි.

“ඔයා තාමත් නිමේෂාට ආදරෙයි.උමී වගේම  මමත් ඒක නම් දිගටම කියනව. ඒත් වේදනාවට ආදරේ කරලා තේරුමක් නෑ කියලා ඔයාට දැන් තේරෙනවනෙ. වේදනාවක් අස්සේ ඉද්දී රිදෙන්නේ අපිටමයි මල්ලි.”

අහස්‍යා එසේ කියද්දී විකුම් කිසිවක්ම නොපවසා ඉන්නට සිතුවේ ය. ප්‍රේමය හන්දා හදවත රිදී බිඳී යන බව ඇත්තකි. ඇගෙන් මිදුණු පසු තනිකම දරා ගන්නේ කෙසේදැයි සිතද්දී  හදවත ගැලවී යන තරමේ වේදනාවක් විකුම්ට දැනේ. ආදරය ගිනි ජාලාවක් වී ඔහුව දැවෙමින් තිබේ. මේ වේදනාවෙන් ගැලවීම පහසු නොවේ.

ඉන් මිදීමේ පහසුම මඟ මේ මල් පොකුර ද රැගෙන උඩුමහලට යාමදැයි ඔහු ඉන්පසු සිතී ය. නමුත් එය කරන්නට ද ඔහුට ලොකු ශක්තියක් නැත. කේක් කපා කාර්ය මණ්ඩලයට පිළිගන්වන්නට කාර්යාල කාර්ය සහායකට උපදෙස් දුන් ඔහු රදීෂ් සොයා ගියේ ලිලී මල් මිට එතැනම තිබෙන්නට ඉඩ දී ය.

ආදරේ කරනව කසාද බඳිනවා වගේම නොගැළපෙනවානම් ඈත් වෙන එකත් මිනිස්සු කරන දෙයක්නෙ මල්ලි. ප්‍රශ්නයක් තියනවනම් ඔයාට පුලුවන් තීරණයක් ගන්න. සදාකාලෙටම රිද්දා ගන්න උවමනාවක් නෑනෙ.”

රදීෂ් එහෙම කියද්දී විකුම්ට සිනාවක් ද ඉපදිණ. මේ අනිවාර්යයෙන් කන රත් වෙන්නට දෙකක් අනිනා වගට පිළිණ දුන් සහෝදරයා ය. නමුත් දැන් ඔහු කතා කරන්නේ පුදුමාකාර ආදරයකිනි. වැඩිමහල්කමකිනි.

“අපිට මූණ පාන්න වෙන හැම දෙයක්ම වෙන්න තිබුනු දේවල් කියල හිතෙන එකයි පහසු. ඒවට මූණ දෙන්න කලින් අපි ඒ දේවල් වුණාට පස්සේ වෙන දේවල් ගැන බය වෙවී කම්පා වෙන්න උවමනා නෑ. හැම දෙයක්ම වෙන්න තියෙන හැටියට සිද්ධ වේවි. හිත රිද්දන්න පටන් ගත්තොත්  අඬ අඬා ඉන්නවා ඇරෙන්න අපිට කිසිම දෙයක් කරන්න බැහැ පුතේ. අන්න ඒක තේරුම් ගනිං. අර අපේ එකෙක් ඉන්නවා. අතින් පයින් ප්‍රශ්න විසඳන්න දක්ෂ..උඹ දන්නේ ඩිප ගහන්න. මේක මෙහෙම කරන්න බෑ කියලා තේරුම් ගනිං හරිද”

රදීෂ් වැඩිමහලුකමට පැවසී ය. ජීවිතය ඔහුට ලබා දුන් සමහර දේ අතර මේ යෞවනයන්ට ඇති ප්‍රශ්න මොනවාදැයි ඔහුට සිතේ. අහස්‍යාගේ අහසේ පායන්නට ඉඩ ලැබෙන තුරුම පාලිත ලියනාරච්චිගේ පුතා වීම පහසු නොවී ය. අනෙක් අතට රූපයක්වත් අමතක අම්මා ගැන මතක ඔහු හදවතේ සිර කරගෙන හිඳියි. නදීෂ්ගේ අම්මා රදීෂ්ට කිසි දවසක අම්මා කෙනෙකු වූයේ නැත. ඇයට අනුව ඔහු නෝන්ජල් කොලුවෙකි. ඒ සෑම අපහාසයක්ම ඔහු වින්දේ ය. අහස්‍යාගේ අහසක් බඳු ප්‍රේමය විඳ ගන්නා තුරුම රදීෂ් ආදරය කියන්නේ මොකක්දැයි දැන සිටියේ ද නැත.

“උඹ මුළු පවුලෙම ආදරේ ඕනෑවටත් වඩා විඳ විඳ හැදුණු එකෙක්නෙ මල්ලි. කෙල්ලෙක් අතින් රිදෙනකොට මෙච්චරටම රිදෙන්නේ ඒකයි.”

එය සත්‍යයක් බව විකුම් දනියි. ඔහු මන්දස්මිතයක් හෙළී ය. 

“කොහෙද ඉතිං. විදුෂා ඇරෙන්න ඔයාට නංගියෙක්වත් නෑනෙ ලොකු අයියේ. නැත්තං මට ඔයාගෙ මස්සිනා වෙන්න තිබ්බා”

ඕනෑවට වඩා බරපතල කතා ඕනෑවට වඩා දුර නොයවා විකුම් එසේ කියා හිනැහිණ. විදූෂා ඇත්තටම රදීෂ්ගේ නංගියෙක් නොව නදීෂ්ගේම නංගි බව විකුම් දනියි. ඇය ප්‍රේමය කියන්නේ කුමක්දැයි කියාවත් නොදන්නා කෙල්ලක බව සහතික ය. රදීෂ් ද ඈ සමඟ මහ ගනුදෙනුවක් නැත. ඒ හන්දා මේ සරදම සරදමක් බව ඔහු දනියි.

නමුත් රදීෂ් ද විකුම් ද නොදන්නා කාරණාවක් තිබිණ. විකුම් හිත හදා ගන්නට සිතන්නේ රදීෂ්ගේ නංගිගේ සිනාවකින් එතෙර වෙමිනි. ඇය කොහේ ඉන්නා යුවතියක්දැයි නොදන්නා විකුම් ඇය ගැන සොයන්නට සිතමින් සිටියේ ය. ඒ සොයා ගැනීම වඩා යහපත් ආකාරයට කෙළවර වන්නට ද අයහපත් ආකාරයට කෙළවර වන්නට ද ඉඩ තිබේ.

ඇය වෙනම මලකි! 

උද්‍යානයක පිපෙන මලක ද මඩ ගොහොරු මත පිපෙන මලක ද රුව සහ සුවඳ කිසිම අඩුවක් නොවේ. නමුත් මඩ ගොහොරුවට බැස මල් නෙළන්නට බොහෝ අය අකමැති ය. මේ වෙද්දී ප්‍රේමයක අංකුර සිතේ ඉපදෙමින් තිබුණාට නිල් මහනෙල පිපී ඇත්තේ වේල්ල වත්තේ වග විකුම් නොදනී. ඇය ගැන ඒ තතු දැන ගැනීම ඔහුව කොතැනකට ගෙන යාදැයි දැන සිටියේ දෙවියන් පමණි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles