අහම්බය

” සමීරා, මම ඩිලිවරි එකක් එව්වා. දැන් එයි බලන්න “

” මොකක්ද අශේන් එව්වෙ? “

” ඒක සප්‍රයිස් එකක් “

දහවල් කාලයේදී සමීරාට දුරකථන ඇමතුමක් ගත්ත අශේන් කිව්වා. සමීරා ලැප්ටොප් එක වහලා පහළ මාලයට ආවෙ හිටි හැටියෙම අශේන් එව්වෙ මොකක්ද කියලා හිතාගන්න බැරුව. ගේට්ටුවෙ සීනුව නාද වෙන හඬ ඇහුනම සමීරා ගේට්ටුව විවෘත කළා

” මැඩම්ට බේක් හවුස් එකෙන් පයිනැපල් ගැටෝ එකක් තියනවා “

කේක් පෙට්ටිය සමීරාගේ අතට දෙන ගමන් ඇණවුම බාර දෙන්න ආව තරුණයා කිව්වා.

” අනේ.. පයිනැපල් ගැටෝ එකක් කන්න ආසයි කියලා මම උදේ නිකමට හස්බන්ට කිව්වේ .බලන්නකො මෙයා මාව සප්‍රයිස් කරන්න පයිනැපල් ගැටෝ එකක් එවලා “

සමීරා හිටියෙ ප්‍රීතියෙන් පිනා ගිහින්.

” හස්බන්ඩ් මැඩම්ට ගොඩක් ආදරේ ඇති “

දෑස් විතරක් පේන හිස් ආවරණය පැළඳ ගෙන හිටපු තරුණයා දිහා සමීරා උනන්දුවෙන් බැලුවෙ එතකොටයි.

” දෙයියනේ “

යතුරුපැදියේ ආව තරුණයා වේගයෙන් ඉගිලිලා ගියේ සමීරාට කිසිවක් හිතන්නත් ඉඩ නොතියාම.ඒත් හිස් ආවරණය අතරින් පෙනුනු දෑස් කාගෙද කියලා හඳුනගන්න සමීරාට අපහසු උනේ නෑ.

මොහොතකට කලින් තමන්ව සතුටට පත් කරපු කේක් එක අරගෙන සමීරා ගේ ඇතුලට ආවේ නොසන්සුන් වූ සිතින්. කේක් එක මේසෙ උඩින් තියපු සමීරා එහෙමම වාඩිවුනා.එතකොට දුරකථනය නාද වුනා.

” තෑග්ග හම්බුනාද සමීරා ? “

” ඔ…ඔව් අශේන්.තැන්ක් යූ “

” මොකද ළමයෝ නිකන් බය වෙලා වගේ ? සතුටු නැද්ද ඉතින් ? “

” න්.. නෑ අනේ.මේ එළියේ අව්වයි.ගේ ඇතුළෙම ඉඳලා එලියට ගිහින් ආව නිසා අමාරුයි “

” හරි හරි.ඔයා ටිකක් රෙස්ට් කරන්නකෝ “

ඇමතුම අවසන් කරපු සමීරා ආපහු වාඩි වුණා. ගෙවුණු කාලය ජීවිත කීයක් නම් වෙනස් කරල ද කියලා ඇයට හිතුනා.

” පුබුදු ” තමන් පණ වගේ ආදරය කරද්දිත් කිසිවක් නොකියාම තමන්ව අමතක කරපු ආදරය.අවුරුදු ගානක් ගිහිල්ලත් පුබුදු ගේ දෑස් සමීරාට අමතක වෙලා තිබුණෙ නැහැ.

අශේන් එක්ක විවාහ වෙනකොටත් සමීරාට තිබුන ලොකුම ගැටලුව වුණේ තමන්ට හොයාගන්නවත් බැරිවෙන්න පුබුදු තමන්ගෙන් ඈත්වුන හේතුව මොකක්ද කියලයි.

” සමීරා. මම අපේ අම්මට කියන්නද ලබන සතියේ ඔයලාගෙ අම්මලා එක්ක කතා කරන්න එන්න කියලා ? “

එක හවසක පුබුදු එහෙම ඇහුවේ බලාපොරොත්තු දල්වාගත්ත දෑස් වලින්.

” මම හිතන්නේ අපේ අම්මලා නම් දැනටමත් අපි ගැන දන්නව පුබුදු “

” ඇයි එහෙම කියන්නේ ? “

” අම්මා මට කිව්වා, එයලා කෙනෙක් හොයලා දෙන්න කලින් , මං හොයා ගත්ත කෙනා ගැන කිව්වා නම් එයාලට ලේසියි කියලා “

” ඔයාගේ තාත්තා අඳුරන අය හැමතැනම ඉන්නවනේ සමීරා. සමහරවිට ආරංචි වෙලා ඇති.ඒත් මට තියෙන බය ඒක නෙමේ “

” එහෙනම් මොකද්ද ? “

” මං වගේ කැම්පස් එකේ ඉගෙන ගන්න .පාට් ටයිම් කැෆේ එකක වැඩ කරන කොල්ලෙක්ට ඔයාලගේ ගෙදරින් කැමති වෙයිද කියලා “

පුබුදු ගේ දෑස් වල ඒ වෙලාවේ තිබුනේ බලාපොරොත්තු සුන් උන බවක්.ඒත් පුබුදුට ඕන වුනේ දවසින් දවස ජීවිතේ දියුණුවට පත්වෙලා සමීරාව විවාහ කරගන්න.ඒකට තමන්ට තව අවුරුදු ගණනාවක් යයි කියලත් පුබුදු දැනගෙන හිටියා

” දෝණි අපිට නොගැලපෙන තැනක පැටලිලා ඉන්නේ සෝමා “

රත්නායක මිදුලේ එහාට මෙහාට ඇවිදින ගමන් ඔහුගේ බිරිඳවුණ සෝමාට කිව්වේ දින කීපයක ඉඳලා තමන් හොයාගත්ත තොරතුරු වලට අනුව

” සමීරා හැමදාම ඔෆිස් ඇරිලා යන ගමන් ඒ කොල්ලව හම්බ වෙනවා.ඌට තියෙන්නෙත් බයික් එකක් විතරයි. මෙච්චර මේ දේපල තියෙන ළමයට එහෙව් තැනකින් කසාදයක් ගැළපෙයි ද? “

තමන්ගේ සැමියාගේ බහට අවනත වන සෝමා සියල්ල අහගෙන සිටියේ සාවධානව

” අපි මොකද්ද මහත්තයා මේකට කරන්නේ ? “

” අපි බලමුකෝ.කොයි වෙලාවෙ හරි ඕක ගැන අපිට කියන්න එයාට වෙනවනේ “

දෙමව්පියන් මිදුලට වෙලා කතා කරන්නේ තමන් ගැන කියලා නොදන්න සමීරා මිදුලට ආවා

” මොකද දෙන්නගෙ රහස් සාකච්චාව “

” නෑ දෝණි අපි මේ කතාව උනේ දැන් ඔයාගේ කල වයසත් හරි එකේ හොඳ තැනකින් ඔයාට කටයුත්තක් කරලා දෙන්න “

රත්නායක එහෙම කිව්වේ ඇඟට පතට නොදැනී .සමීරාගේ මුහුණ වේගයෙන් වෙනස් වෙන හැටි රත්නායක වගේම සෝමාත් හොඳටම දැක්කා

” ඉතින් ඔයාට තිබුණනෙ ඒ වෙලාවේ අම්මලාට මං ගැන කියන්න “

රාත්‍රිය දුරකථන ඇමතුමක් ගත්ත වෙලාවේ පුබුදු සමීරාට කිව්වේ පසුතැවීමෙන්

” මට ඒ වෙලාවේ කියන්න හිතුණේ නැහැ පුබුදු .මම අම්මට හෙමින් සැරේ කියන්නම් “

පුබුදු ගැන දෙමව්පියන්ට කියනකොට අනිවාර්යයෙන්ම පුබුදු ගේ රැකියාව ගැන ඔවුන් අහනවා කියලා සමීර හොඳටම දන්නවා.ස්ථිර රැකියාවක් නැති පුබුදු ගැන දෙමව්පියන්ට කියන්න මැලිකමක් ඇත්තටම සමීරා ට දැනුනා.විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරලා ,රැකියාවක් හොයාගෙන ස්ථාවරත්වයට පත් වෙන්න පුබුදුට කොච්චර කාලයක් යාවිද කියලා සමීරා කල්පනා කරා

” ඔයා වැඩිකල් ඔය ජොබ් එක කරන්න ඕනෙ නෑ දුව “

රත්නායක කිව්වේ රෑ කෑම මේසෙදි

” ඇයි තාත්ති ?”

” මං ඕක කරන්න දුන්නෙ ඔයාගේ ආසාව නිසා.අනික experience එකක් ගන්න ඕන නිසා.fashion designer කෙනෙක් උනහම අනුන් යටතේ නෙමෙයි තමන්ගේම බිස්නස් එකක් තමයි කරන්න ඕනේ “

” මං කොහොමත් මෙතනින් අයින් වෙලා මගේ බිස්නස් එකක් කරන්න තමයි ඉන්නේ තාත්ති “

” ඒක හොඳයි . මම ඔයාට හෙල්ප් කරන්නම්. කොහොමත් මගේ මේ හැමදේම ඔයාට නේ “

ගෙවුණු සුපුරුදු දවස් කීපයකට පස්සේ එක දවසක රෑ සමීරා ,පුබුදුගේ දුරකථනයට කීප වරක්ම ඇමතුම් ගත්තත් එය ක්‍රියාවිරහිත වෙලා තිබුණා.පහුවදා රැකියාවට ගිහින් ගිහිනුත් සමීරා උත්සාහ කළේ පුබුදුව සම්බන්ධ කරගන්න.ඒත් ඇගේ උත්සාහය සාර්ථක වුණේ නැහැ.මාස ගණනාවක් යනතුරුම පුබුදු ගෙන් කිසිම ආරංචියක් නැති තැන පුබුදු පදිංචි වෙලා ඉන්නවා කියපු නිවස තිබුන ප්‍රදේශයට ගිහින් සමීරා පුබුදුව හෙව්වා.වෙළඳසැල් කීපයකින් වගේම ත්‍රිරෝද රථ රියදුරන් කිහිප දෙනෙකුගෙන්ම පුබුදු ගැන විස්තර හෙව්වත් සමීරාට පුබුදුව හොයා ගන්න ලැබුණේ නැහැ. අන්තිමට පුබුදු අර්ධ කාලීනව රැකියාව කරපු අවන්හලට ගියෙ සමීරා ඔහු ගැන විස්තර හෙව්වා.පුබුදු හදිසියේම රැකියාවෙන් අයින් වුනා කියලයි ඒ අවන්හලේ ප්‍රධානියා ගෙන් සමීරාට දැනගන්න ලැබුණේ

සමීරාගේ ජීවිතයට ගෙවාගන්න අපහසුම කාලයක් කාලයක් ආවේ ඊට පස්සේ.තමන් පණ වගේ ආදරය කරපු පෙම්වතා හිටි හැටියෙම මේ විදිහට තමාව හැර යාම සමීරාට දරා ගන්න පහසු වුණේ නැහැ

” ඒ ළමයා ඔයාව රවට්ටන්න ඇති “

සමීරා හොර රහසේම හඬා වැලපෙන බව දන්න සෝමා උත්සාහ කළේ සමීරාගේ හිත හදන්න

” ඔයාට හොඳට සල්ලි තියෙන බව දන්න නිසා ඒ කොල්ලා ඔයා එක්ක යාලු වෙන්න ඇත්තේ .දැන් ඕවා අමතක කරලා දාන්න දෝනි “

රත්නායක කතා කළේ සමීරාගේ හිත් වේදනාවේ තරම නොදැනයි.ඊටත් මාස ගණනාවකට පස්සේ රත්නායක ගෙනාපු යෝජනාවකට කැමතිවෙන්න සමීරාට සිද්ධ වුණා.සමීරාගේ විවාහය සිද්ධ උනේ ඊටත් අවුරුද්දකට විතර පස්සෙ .ඒ වෙද්දි සමීරාගේ හිත යම් තරමකට යථා තත්ත්වයට පත්වෙලා තිබුණා.

” අශේන් කියන්නේ වැදගත් පවුලක උගත් ළමයෙක්.තේරුම් අරගෙන එයා එක්ක හිටියහම ඔය හිතේ අමාරු ඇරිලා යයි “

විවාහයට කලින් දවසේ රෑ සෝමා සමීරාට අවවාද කලා.

සමීරා කල්පනා ලෝකයේ එළියට ආවේ යළිත් ගේට්ටුවෙ සීනුව නාද වෙන හඬින්.සමීරා සිතුවිල්ලේම ගිහින් ගේට්ටුව විවෘත කළා.

” මං ඔයාට කියලා යන්න ආවේ “

නතර කරපු යතුරුපැදියේ හිටියේ මොහොතකට කලින් ඇවිත් ,තමන්ගේ සැමියා එවපු තෑග්ග තමන්ගෙ අතට දීලා ගිය පරණ පෙම්වතා වුන පුබුදු.හිස් ආවරණය ඉවත් කල පුබුදු ලොකු හුස්මක් ගත්තා.අවුරුදු ගණනාවක් ගිහිල්ලත් පුබුදුගේ කිසිම වෙනසක් නැහැ කියලා සමීරාට හිතුනා

” මම ඔයාව හිතාමතා මග ඇරියේ නෑ. ඒත් මට එහෙම කරන්න සිද්ධ වුණා “

සමීරා ගල් ගැහිලා වගේ ඇසිපිය නොහෙළා පුබුදු දිහා බලාගෙන හිටියා

” මම ඔයාව අන්තිමට හම්බ වෙලා ගිය දවසේ රෑ ඔයාගේ තාත්තා ,උස මහත මිනිස්සු කීප දෙනෙකුත් එක්ක අපේ ගෙදර ආවා.ඔයාගෙන් ඈත් නොවුනොත් මගෙයි අම්මගෙයි ජීවිත වලට අනතුරක් වෙන්න පුළුවන් කියලා එයා අපිට තර්ජනය කළා “

සමීරාගේ හදවත වේගයෙන් ගැහුණා.කිසිවක් නොවූ විදියට තාත්තා ගෙදර හිටපු හැටි සමීර මතක් කළේ කේන්තිය මුසු වුන දුකෙන්

” එයා ඊලඟ දවසෙම අම්මටයි මටයි රත්නපුරෙ පැත්තේ ගෙයක් ලෑස්ති කරලා එහෙ යන්න වාහනයකුයි සල්ලියිත් දුන්නා.ඔයාට මේ ගැන කියන්නවත් ඔයා එක්ක කිසිම සම්බන්ධයක් තියාගන්නවත් එපා කියලයි එයා කිව්වේ.මගෙ ජීවිතේටත් වඩා මගෙ අහිංසක අම්මගෙ ජීවිතේ බේරගන්න ඔයාගේ තාත්තා කියපු විදියට වැඩ කරන්න මට සිද්ධ වුණා “

” සෑහෙන කාලෙකට පස්සේ ඔයාගේ තාත්තා ම ඇවිත් මට කිව්වා ඔයා කසාද බැන්දා කියලා.ඊට පස්සෙයි එයා මාව අත ඇරියේ. කැම්පස් ගමන නතර වුණ නිසා ආපහු ඉගෙන ගන්නත් එයා උදව් කරන්නම් කිව්වා.ඒත් මං ඒකට කැමති වුණේ නැහැ “

” ඉතින් ඇයි ඔයා මට කතා නොකළේ පුබුදු ?”

සමීරා කතා කළේ වෙවුලන හඬින්

” ඔයා ඉන්න තැනක් මම දැනගෙන හිටියේ නැහැ.ඒත් ඔයාව කවද හරි හම්බ වෙයි කියලා විශ්වාසෙන් මම හිටියේ.මම කොළඹ ආවේ ලඟදි.රස්සාවක් හොයා ගන්නකම් මේ රස්සාව කරනවා. ඔයාගේ හිතේ තාමත් වැරදි වැටහීමක් මං ගැන තියෙනවා නම්, ඒක නැති කරන්නයි මං මේ ආවේ.”

” කවදාවත් ඔයා ගැන වැරදියට හිතුවේ නැහැ.ඒත් මං ඔයාව ගොඩක් හෙව්වා .අන්තිමට අශේන්ව මට මැරි කරන්න සිද්ධවුනා “

” ඔයා ගොඩක් හොඳින් ඉන්නවා කියලා මම දන්නවා.ඔයාට ගොඩක් ආදරේ කරන හස්බන්ඩ් කෙනෙක් දැන් ඉන්නවා කියලත් මම දන්නවා. ඒ නිසා පහුගිය කාලේ ගැන මට දුකක් නැහැ දැන් “

එහෙම කියපු පුබුදු ආපහු හිස් ආවරණය දාගෙන යතුරුපැදිය පණ ගැන්වූවා. සමීරාට ඔහුට යමක් කියන්න ඕන වුණත් ඒ මොහොතේ වචන ගලපගන්න ඇයට පුළුවන් වුණේ නැහැ.ඇය දැක්කේ පුබුදුගේ යතුරුපැදිය වේගයෙන් ඈතට ඇදෙනවා විතරයි.

More Stories

Don't Miss


Latest Articles