අත්‍යවශ්‍ය වැඩ කිහිපයක් නිමා කිරීමට තිබෙන නිසා නිවසට පැමිණීමට ප්‍රමාද විය හැකි බවත් , කුලී රියකින් පැමිණෙන බවත් මෞර්යා චන්දිකට දැනුම් දුන්නේ සවස පහට පමණය. මින් පෙරද දින කිහිපයක් ඒ ආකාරයෙන් පැයක් දෙකක් පමණ ප්‍රමාද වී පැමිණ ඇති නිසා චන්දික කිසිවක් කීවේද නැත.
මෞර්යා ඇත්තටම කුලී රියකින් ගල්කිස්ස වෙරළ තීරය ආසන්නයේ ඇති අවන්හලක් වෙත පැමිණියාය. ආදිත්‍ය එහි පැමිණීමට තවත් විනාඩි 45ක් පමණ ගත වූයේ හදිසි රැස්වීමකට සහභාගී වීමට සිදු වූ නිසාය. මෞර්යා වෙරළ තීරය පෙනෙන සේ ඇති මේසයක වාඩි වී කොකාකෝලා වීදුරුවක් තොල ගාමින් බලා උන්නේ ආදිත්‍ය පැමිණෙන තුරුය.
” අභිමන් ට්‍රිප් එක ගිය වෙලාවෙත් ඔයා එක්කම ඉන්න හදනකොට මට ඒත් හිතුනා එයාගෙ හිතේ මෙහෙම දෙයක් තියෙනවා ඇති කියලා ”
ආදිත්‍ය කීවේ උපේක්ෂා සහගතවය. අභිමන් පෙර දිනයේ සවස තමාට විවාහ යෝජනාවක් ගෙන ආ බව මෞර්යා කීවේ කාර්යාලයේදීය. එයට හිත රිදුනා දැයි , එසේත් නැත්නම් ඉරිසියාවක් පැන නැගුනා දැයි ආදිත්‍ය හට සිතා ගත හැකි වූයේ නැත. විනෝද චාරිකාවේ දී දකින්නට ලැබුණු අභිමන්ගේ හැසිරීම නිසා කොයි මොහොතක හෝ මෙවැන්නක් සිදුවිය හැකි බව ආදිත්‍ය බලාපොරොත්තුවෙන් උන්නේය. එහෙත් අභිමන් මේ තරම් ඉක්මනින් මෞර්යා වෙත මෙවැනි යෝජනාවක් කරාවි යැයි අභිමන් බලාපොරොත්තු වී සිටියේ ද නැත.
හමු වූ මුල් දිනයේ සිටම මෞර්යා කෙරෙහි ඉතා පහන් වූ හැඟීමක් සිතේ තිබුණද තමා විවාහකයෙකු බව ආදිත්‍ය සෑම මොහොතකම තම සිතට මතක් කර දුන්නේය. මෞර්යා වැනි ඉතා ළාබාල තරුණියකට තමා වැනි බිඳුනු මනසක් ඇත්තෙකු ගැලපෙන්නේ නැත.ෂෙහාරා විසින් බිඳ දමන ලද හදවත තව බොහෝ කාලයකට පිළිසකර කර නොහැකි වන අතර ඇය දික්කසාද නඩුවද හැකි තාක් කල් දමා ගනු ඇත. ඒ නිසා ඒ විවාහයෙන් ගැලවීමටද තමාට පහසුවෙන් හැකි වන්නේ නැත.එවැනි තත්ත්වයන් යටතේ මෞර්යාව මේ ගැටලු වලට පටලවා ගෙන නොසිටිය යුතුය. මෞර්යා පිළිබඳව කුමන ආකාරයේ හැඟීමක් සිතට දැනුනද එය සිතේම තබා ගත යුතු බව ආදිත්‍ය නැවත තම සිතටම මතක් කර දුන්නේය.
” මල්ලිගේ තියෙන වැරැද්ද මොකද්ද මෞර්යා ? ”
ආදිත්‍ය ඇසුවේ ඈත බලා ගෙනය. මෞර්යා ඔහු දෙස බැලුවේ පුදුමයෙනි. මෙවැනි ප්‍රතිචාරයක් මෞර්යා ආදිත්‍ය ගෙන් බලාපොරොත්තු වූයේම නැත. ආදිත්‍ය ගේ සිත තුළ තමා පිළිබඳව කුඩාම හෝ හැඟීමක් ඇති බව මෞර්යා හඳුනා ගත්තේ අද ඊයේක නොවේ.එසේ තිබියදී ඔහු මේ අසන්නේ අභිමන් පිළිබඳවය.
” ඇයි ආදිත්‍යය ඔයා එහෙම ඇහුවේ ? ”
” මං අහන්නේ ඔයා අභිමන්ට අකමැති වෙන්න හේතුව මොකද්ද කියලා ? ”
ආදිත්‍ය සෘජුව මෞර්යා දෙස බැලු අතර මෞර්යාගේ මුහුණේ ඇඳී තිබුණේ පුදුමයක සලකුණුය. ඇත්තටම තමා හට අභිමන් පිළිබඳව හැඟීමක් ඇති නොවීමට හේතුව මෞර්යා කල්පනා කළේ ඒ අතරතුරය. අභිමන් යහපත් ගතිගුණ ඇති තරුණයකු බව සැබෑය. එහෙත් මේ මොහොතෙහි තමාගේ සිතෙහි ඇත්තේ වෙනත් දෙයකි. එය පැහැදිලිව වටහා ගෙන මින් ඉදිරියට කටයුතු කළ යුතුය.
” ඒක අභිමන් ගෙ වරදක් නෙමෙයි ආදිත්‍ය. මගේ වරදක් “
මෞර්යා පිළිතුරු දුන්නාය. මේ මොහොතේදී සිතට එකග විය යුතුය. තීරණ ගත ගත යුත්තේ බුද්ධියෙන් වුවත් හදවත කියනා දෙයට ඇහුම්කන් දිය යුතු අවස්ථාවන්ද ජීවිතයෙහි පැමිණේ. මෙයද එවැනි අවස්ථාවකි. මෙතෙක් කල් වචන වලට නොපෙරලූ , උඩු සිත පිළිගන්නට මැලි වූ කාරණාව පිළිබඳව මෞර්යා සිතුවාය.
” මොකක්ද ? ”
සිතුවිලි වචන වලට පෙරලන්නට පෙර මෞර්යා තවත් වරක් සිතුවාය. මේ සිතුවිලි ඒ තරම් ඉක්මනින් වචන කරන්නට සිතූ ඒවා නොවේ. එහෙත් එයට දැන් අවස්ථාව පැමිණ ඇත. මෙයින් ජීවිතයේ බොහෝ දේ හරි යන්නට හෝ වරදින්නට පවා ඉඩ තිබේ. එහෙත් ඒ සියල්ල සිදුවන්නේ දෛවයේ ලියැවී ඇති ආකාරයටය.එය කුමන හේතුවක් මතවත් තමාටවත් වෙනත් අයකුටවත් වෙනස් කළ නොහැක. කළ යුත්තේ සිදුවන දේවල් වලට මුහුණ දීම පමණි.
” මං අහන්නේ මොකක්ද කියලා මෞර්යා ? ”
මෞර්යා නිහඬව බලා සිටින තැන ආදිත්‍ය නැවත ඇසුවේය.
” මං වෙන කෙනෙක්ට ආදරේ කරනවා ආදිත්‍යය”
ආදිත්‍යය ට දැනුනේ හදවතට හී සැරයක් වැදුණු ආකාරයකි.ඒ ඇය පිළිබඳව කුඩා හෝ හැඟීමක් තමා තුළ තිබෙන නිසා බව හඳුනාගන්නට ආදිත්‍යයට අපහසු වූයේ නැත. මෞර්යා මොන ආකාරයෙන් තමා ඉදිරියේ හැසිරුනත් සමහරවිට ඇයට බොහෝ කල් සිට පෙම්වතෙකු හිඳින්නට ඇත . තමා කිසි දිනක එවැනි කාරණාවක් පිළිබඳව මෞර්යාගෙන් නොඇසුවේ මන්දැයි ආදිත්‍ය කල්පනා කළේය. කෙසේ වුවත් ඇය වැනි මෘදු හිතක් ඇත්තියක ගේ හිමිකරු වීමට නම් ඔහු සැබෑ වාසනාවන්තයෙකු විය යුතුය.
” ඉතින් ඔයා අහන්නේ නැද්ද ඒ කවුද කියලා? ”
මෞර්යා හිස ඇල කර ආදිත්‍ය දෙස බලා ඇසුවේ මදහසක් ඇතිවය. ඇය හැසිරෙන්නේ සැහැල්ලුවෙනි. එවැනි සැහැල්ලුවකින් හැසිරෙන්නට ඇයට හැකිව ඇත්තේ සියල්ලන්ගේම ආදරය මැද ජීවත් වන නිසා බව ආදිත්‍ය සිතුවේය.
” ඔයාගේ පර්සනල් දේවල් අහන්න මට අයිතියක් නෑනේ මෞර්යා. ඔයා අභිමන්ට අකමැති ඇයි කියලා උනත් මං ඇහුවේ අහන්න ඕන කමට මිසක් හේතුවකට නෙමෙයි ”
” මිස්ටර් අභිමන් ගේ කිසිම වැරැද්දක් නෑ ආදිත්‍ය. ඇත්තටම එයා ඔයයි අශිකා මැඩමුයි වගේ හරිම හොඳ කෙනෙක්. ඒත් ඉතිං අපේ හිත් නතර වෙන තැන් ගැන අපිට කියන්න බැහැනේ නේද ?අපි නතර වෙන්න ඕනෙ අපිට දැනෙන තැන් වල. අපිට අපි වෙලා නිදහසේ ජීවත් වෙන්න පුළුවන් තැන් වල ”
ආදිත්‍ය බලා උන්නේය.තමාට වඩා වසර දහයකින් ලාබාල තරුණිය ජීවිතය ගැන අපූරුවට කියවන්නීය.
” ඉතින් දැන් ඔයා නතර වෙලා ඉන්නෙ එහෙම තැනකද ? ”
” මං හිතනවා ඔව් කියලා.අනික මට එයා වෙනුවෙන් කරන්න හුඟක් දේවල් තියෙනවා ආදිත්‍යය. එයාගේ ජීවිතේ ලස්සන කරන්න මට කරන්න පුළුවන් හැමදේම මම කරනවා “
ආදිත්‍ය හදවතින් සුසුම් හෙළුවේය. මේ කියනා ආකාරයට මෞර්යා යනු ආදරය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට සූදානම් තැනැත්තියකි.
” එයත් එහෙම කරනවද ? ”
ආදිත්‍ය ගෙන් එවදන් පිට වූයේ ඉබේටමය.
” එයා ඉන්නේ එහෙම කරන්න පුළුවන් තත්වෙක නෙමෙයි. ඒ නිසා මං කිසිම දෙයක් එයා ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. “
” එහෙම පුළුවන්ද මෞර්යා ? ”
” පුලුවන්. හැබැයි මං දන්නවා එයාට පුළුවන් වෙච්ච දවසක එයා මං වෙනුවෙන් මේ ලෝකෙම උනත් අනිත් පැත්ත හරවයි කියලා ”
මෞර්යා පිළිතුරු දුන්නේ ස්ථීරවය.ආදිත්‍යයට මේවා වැටහෙන්නේ නැත.අඩුම තරමේ අභිමන් පිළිබඳව හෝ මෞර්යා තුළ කැමැත්තක් ඇති වේ යැයි සිතා මෙතනට පැමිණියද දැන් සිදුවී ඇත්තේ අනෙකකි.
” මිස්ටර් අභිමන් මොන විදිහට රිඇක්ට් කරයිද කියලා දන්නේ නැති නිසා තමයි ආදිත්‍ය මං හිතුවේ රිසයින් වෙනවා කියලා.තාත්තා තමයි කිව්වේ තව ටිකක් ඉවසල බලන්න කියලා “
” අභිමන් කියන්නේ එහෙම පලිගන්න ජාතියේ මනුස්සයෙක් නෙමෙයි මෞර්යා. මං තරං නැති උනත් එයා හරි අහිංසකයි. එයාගේ ලෝකෙම උනේ අම්මා. මගෙත් එහෙමයි. මට වැරදුණාට එයාට වැරදෙන්නෙ නැති බව මං දන්නවා ”
” මිනිස්සුන්ට වැරදිලා වැරදිලා ඒක තැනකදි හරියන්න පටන් ගන්නවා ආදිත්‍ය. ඔයා දන්නවද ,ඉස්සරහට එන්නේ ඔයාගේ ජීවිතේ හොඳම කාලේ ”
” මගේ හොඳම කාලෙ ගෙවිලා ඉවරයි මෞර්යා “
“ජීවිතේ ගැන ඔහොම හිතන්න එපා ආදිත්‍යය. ඔයාට එකම එක තීරණයක් වැරදුනා කියලා ඒකෙන් ඔයාගේ මුළු ජීවිත කාලෙම තීරණය වෙන්නේ නැහැ. මේ සිද්ධ වෙන දේවල් සිද්ධ වෙලා ඉවර වෙන දවසක් එනවා. එතනින් එහාට ඔයාගේ ජීවිතේ ආයෙමත් පටන් ගන්නවා. ඔයාව තේරුම් ගත්ත , ඔයාගේ සතුට ලොකුම දේ කියලා හිතන කෙනෙක් එක්ක ”
” මට එහෙම කෙනෙක් ජීවිත කාලෙටම ලැබෙන එකක් නෑ මෞර්යා. මං වගේ ජීවිතේ වැරදිච්ච මිනිහෙක්ට ආයෙ තව කොහේ හරි යන්නද ? ”
” මං ඔයාට වරදින්න දෙන්නෙ නෑ ආදිත්‍ය ”
මෞර්යා කීවේ ස්ථීරවය. එහෙත් මෘදුවය. ඈත බිඳී යන රළ දෙස බලාහුන් ආදිත්‍යය එකවරම හිස හරවා මෞර්යා දෙස බැලුවේය.
” මොකක්ද කිව්වේ ? ”